Skip to content

පටුනට යන්න

සකුරා මල ඈත අතීතයේ සිට නෙත් සිත් වසඟ කළ මලක්

සකුරා මල ඈත අතීතයේ සිට නෙත් සිත් වසඟ කළ මලක්

සකුරා මල ඈත අතීතයේ සිට නෙත් සිත් වසඟ කළ මලක්

ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්

සකුරා මලේ අලංකාරය ගැන පැසසීමට ජපන් ජාතිකයන් පටන්ගත්තේ අද ඊයේ නෙවෙයි. එහි සුන්දරත්වය කෙතරම්දයත් ජපානයේ තිබෙන අන් සෑම මලකටම වඩා එයට විශිෂ්ට තැනක් මෙන්ම ජනප්‍රියත්වයක් හිමි වෙයි. ඉපැරණි ඉතිහාසයක් ඇති සකුරා මල ජපන් සංස්කෘතියෙන් බැහැර කළ නොහැකි තරමටම බැඳී පවතියි. ජපන් භාෂාවෙන් “මල” කියා පවසන ඇතැම් අවස්ථාවලදී එයින් අදහස් කරන්නේ සකුරා මලයි. සකුරා මල ඔවුන්ගේ ගෞරවයට පාත්‍ර වුණේ මීට වසර දහසකටත් වැඩි කලක සිටයි.

ජපන් දූපත්වල සකුරා ගස් දස දහස් ගණනක් දැකගත හැකියි. මෙය චෙරි ගස් වර්ගයට අයත් ගසක්. චෙරි ගස් ප්‍රභේද 300කට වඩා තිබෙනවා. ඉන් එක් ප්‍රභේදයක් වන මෙම සකුරා ගස් වර්ගය නරඹන්න ඔබට ජපන් රටේ දුර කතරකට යන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. සකුරා මලේ සාමාන්‍යයෙන් තිබෙන්නේ පෙති පහයි. ඇතැම් වර්ගවල ඊට වඩා පෙති තිබෙන්න පුළුවන්. පෙති අග දෙකට බෙදී ඇති ආකාරයක් දැකිය හැකියි. ඒවා පිපෙන්නේ පොකුරු පිටින්. මල් පෙති සුදු, රෝස, රතු සහ ඒ වර්ණ අතරේ තිබෙන වෙනත් නොයෙක් වර්ණවලින්ද යුක්තයි. පවිත්‍රත්වය සහ චාම් බව ගැන විස්තර කරද්දී ඒ කාලයේ සිටම මේ මල සංකේතයක් ලෙස යොදාගෙන තිබෙනවා. එසේ කර තිබෙන්නේ මල්වල හැඩයෙන් සහ වර්ණයෙන් පරිසරයට ශාන්තභාවයක් මුසු කර ඇති නිසයි.

මලින් බර වූ සකුරා ගසක් දෙස බලන්නෙකුට එක මොහොතක් හෝ ඒ දෙස නොබලා සිටිය නොහැකියි. සුසිනිඳු සුදු මල් පෙති ලා හිරු කිරණෙන් නැහැවී තිබෙන විට ලා රෝස පැහැයකින් දිදුලයි. වියනක් සේ අතු පතර වෙළාගෙන එකට පෙළ ගැසී සිටින සකුරා තුරු ගොමු දකින්නෙකු පුදුමයෙන් පුදුමයට පත් වෙනවා නොඅනුමානයි.

මනස්කාන්ත දසුනක්

යෝෂීනෝ කඳුවල පිපෙන සුදු සකුරා මල් ගැන ප්‍රසිද්ධව තිබුණේ ඈත අතීතයේ සිටමයි. එහි සකුරා ගස් 1,00,000කට වඩා තිබෙන විශාල ගස් ගොමු හතරක් තිබෙනවා. එහි එක් පෙදෙසකට නෙත් යොමද්දී ‘එක විටම ගස් දාහක්’ දැකගත හැකියි. සුදු මලින් දිදුලන කඳු යාය දෙස බලද්දී මුළු කඳුකරයම හිමෙන් වැසි ඇත්තාක් මෙන් පෙනෙයි. එසේ නම්, නෙත් සිත් වසඟ කරන මේ දසුන දැක බලා ගැනීමට සෑම වසරකම 3,50,000කට වැඩි පිරිසක් මෙහි එක් රොක්වීම අරුමයක්ද!

සකුරා ගස් සිටුවා ඇති පිළිවෙළ අනුව එහි චිත්තාකර්ෂණීය බව වැඩි කළ හැකියි. ගස් සමාන්තරව සිටුවා ඇත්නම් වියනක් සේ අතු පතර එකිනෙකට යා වෙයි. ගස් අතරේ සිටින විට ඔබේ හිසට උඩින් ‘සකුරා මල් පොකුරු වියනක්’ මෙන් එක පොදියට පිපී ඇති ආකාරය දැකගත හැකියි. රෝස පැහැයට හුරු සුදු වියනක් යට ඔබ සිටගෙන ඉන්නා බව ඔබට හැඟෙයි. ඒ විතරක් නෙවෙයි, ඔබ සිටගෙන ඉන්නේ විසිරුණු මල් පෙති මතනේ කියලත් ඔබට දැනේවි.

ඒත් ඉතින් මේ ලස්සන සියුමැලි මලට හැමදාමත් ලස්සනට ඉන්න නම් ලැබෙන්නේ නැහැ. වැඩිම වුණොත් දවස් දෙකයි නැත්නම් තුනයි. අහස නපුරු වුණොත් එහි ආයුෂ ඊටත් වඩා කෙටි වෙන්නත් පුළුවන්.

තුරු වදුලේ විනෝද චාරිකාවක්

සකුරා මල සොඳුරු දසුනක් මවන්නේ එකම කාලයේදී නෙවෙයි. ජපානයේ දකුණු දූපතක් වන ඕකිනාවාවල මල් පිපෙන්නේ ජනවාරියේදීයි. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ජපානයේ උතුරු ප්‍රදේශවල පිපෙන්න පටන්ගෙන අවසන් වන්නේ මැයි මාසේ අග භාගයේදී උතුරේ පිහිටි හොකයිඩෝවලින්. අනුපිළිවෙළින් මල් පිපෙන මේ ක්‍රමය නිසා සකුරා මල් ගසේ “මල් පූදින කාලය” කියාත් ඒ කාලය හැඳින්වෙයි. මල් පූදින කාලය උදා වී තිබෙන්නේ කුමන පළාතේද කියා රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන්, පුවත් පත්වලින් සහ අන්තර්ජාලයෙන් පවා නිතර නිතර දැනුම් දෙයි. ජපානයේ සකුරා මල් පිපෙන පුවත සැල වෙද්දී මිලියන ගණන් ජනතාවක් එම මනස්කාන්ත දසුන නැරඹිය හැකි ප්‍රදේශවලට ඇදී එයි.

‘මල්වල සුන්දරත්වය නැරඹීමේ’ පුරුද්ද පටන්ගත්තේ අද ඊයේ නෙවෙයි. මල් අතරින් සකුරා මලට විතරයි එවැනි විශිෂ්ටත්වයක් හිමි වන්නේ. ජපානයේ හේයන් සමයේදී (794-1185) සකුරා මලට ගෞරවය පුද කිරීම සඳහා ප්‍රභූවරුන් විසින් සාදයන් පැවැත්වුවා. හමුදාපතිවරයෙකු වූ හිඩෙයෝෂී ටෝයෝටෝමී 1598දී ජපානයේ ක්යෝතෝහි ඩයිගෝජී පන්සලේදී සකුරා මල්වල සුන්දරත්වය නැරඹීමේ සාදයක් පැවැත්වුවා. බලවත් ඉඩම් හිමියන් මෙන්ම විශිෂ්ට අමුත්තන් මලින් පිරී ගිය සකුරා තුරු වදුලේ හමු වුණා. සකුරා මල වර්ණනා කරමින් ඔවුන් ගී ගැයුවා. ස්ත්‍රීන් සකුරා මල් මෝස්තර දැමූ ඇඳුම්වලින් සැරසී සිටියා.

ඉන්පසුව, ඉඩෝ යුගයේදී (1603-1867) සාමාන්‍ය ජනතාවත් සකුරා තුරු වදුලේ විනෝද ගමන් යන්න පටන්ගත්තා. ඔවුන් තම පවුල් සාමාජිකයන් හා මිතුරු මිතුරියන් සමඟ කමින්, බොමින්, නටමින්, ගයමින් මේ මල්වල සුන්දරත්වය නැරඹුවා. සකුරා මල් නැරඹීමේ සිරිත අදත් ජනප්‍රියයි. ගිමන් නිවාලන සිත් පහන් කරන මේ සොඳුරු ඉසව්වට විශාල ජනකායක් එක් රොක් වෙයි.

දසුනෙන් ඉවත් නොවෙයි

ජපන් ඉතිහාසය හා සංස්කෘතිය සමඟ බැඳී පවතින සකුරා මල ගැන කතා නොකර සිටිය නොහැකියි. මේ ගැන එහි පොත් පත්වල, කවිවල, සිනමා පටවල සහ ගී පදමාලාවල පුන පුනා කියැවෙයි. කලා ශිල්පීන් සියවස් ගණනාවක් පුරා සකුරා මලේ සුන්දරත්වයෙන් පල ප්‍රයෝජන ලබා තිබෙයි. මුළුතැන් ගෙයි සිට ආලින්දය දක්වා තිබෙන බොහෝ භාණ්ඩවලට මේ මල් මෝස්තර යොදා ඇති ආකාරය ඔබට දැකගත හැකියි.

ප්‍රබල යුධ කණ්ඩායමකුත් සකුරා මල සංකේතයක් හැටියට යොදාගත්තා. තම නායකයා වෙනුවෙන් ඇප කැප වී සිටි ඔවුන් ඕනෑම මොහොතක තම දිවි පුදන්න සූදානමින් සිටියා. තමන්ගේ කෙටි කාලීන ජීවිතය සංකේතවත් කරන්න හොඳම දේ සකුරා මල බව ඔවුන්ට වැටහී ගියා. මේ සම්බන්ධයෙන් ජපන් විශ්වකෝෂයක මෙසේ පවසනවා. “සකුරා මල පිපී සුන්දරත්වය දසත විදහා දවසෙන් දෙකෙන් පර වී වැටෙන්නාක් මෙන් ඔවුන්ද ජපානයේ අභිමානය වෙනුවෙන් සටන් කර ජය කෙහෙලි නංවා කෙටි කලකින් දිවි පුදයි.”—Kodansha Encyclopedia of Japan.

ජපානයේ අදත් සකුරා මලට විශිෂ්ට තැනක් හිමියි. ලස්සන කිමෝනෝ ඇඳුමේ සකුරා මල් මෝස්තර බොහෝවිට දක්නට ලැබෙයි. ගෘහ භාණ්ඩවලද, හිස් ආවරණයක් සේ පළඳින ස්කාෆ්වල (සිනිදු රෙද්දක්), නානාප්‍රකාර ඇඳුම්වලද සකුරා මෝස්තර දැකගත හැකියි. සකුරා මලට මොනතරම් ආශාවක් දක්වනවාද යත් දෙමාපියන් ආඩම්බරයෙන් තම ලස්සන කිරිකැටි දියණියන්ට සකුරා යන නම දමන්නේ සකුරා මල ගෞරවයට පාත්‍ර කරමින්.

ඉක්මනින් පර වී යන මලක් වුණත් මුළු ජපන් සංස්කෘතියම සොලවන්න තරම් එය ප්‍රබලයි. අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ හස්ත කර්මාන්තවල තිබෙන සුන්දරත්වය පිළිබඳව සකුරා මල එක් විශිෂ්ට නිදසුනක් පමණයි.

[15වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සකුරා ගස

සකුරා ගසේ ලීයත් වටිනවා. රූප ඇඹීමට, ගෘහ භාණ්ඩ සෑදීමට, කැටයම් චිත්‍ර ඇඳීමට එය යොදාගත හැකියි. ඒත් ජපානයෙහි එයට විශිෂ්ටත්වයක් ලැබී තිබෙන්නේ ඒ නිසා නම් නෙවෙයි. එහි තිබෙන පලතුරු නිසාවත් නෙවෙයි. ඊට නෑකම් කියන ලොව පුරා ඇති වෙනත් ගස් මෙන් නොව ජපානයේ සකුරා ගස වවන්නේ එහි පිපෙන මල් නිසාමයි. එය දුටු දුටුවන්ගේ සිත වසඟ කරගත් ගසයි.

සකුරා බීජවලින් පහසුවෙන්ම තවත් පැළ බෝ කරගන්න පුළුවන්. ගං ඉවුරු දෙපස මෙන්ම ප්‍රධාන මාර්ග දෙපසද, රට පුරාම තිබෙන උද්‍යාන මෙන්ම මල් වතු බොහොමයකද සකුරා ගස් වවා තිබෙනවා.

[15වන පිටුවේ කොටුව]

පොකුරු පිටින් පර වී වැටෙන මල

සකුරා මල් පෙති පොකුරු පිටින් දිග හැරෙන විට දිස් වන්නේ රෝස පැහැයේ හිම යායක් මතු වී ඇති සේයාවක්. ඒත් කිසිම ඉඟියක් නොදී හදිසියෙන්ම නටුවෙන් ගිලිහී සන්සුන් ලීලාවකින් ඒ පෙති පොළොව සිපගනියි. එකපාරටම ලොකු හුළඟක් හැමුවොත් මල් හුඟාක් වැටී යයි. මේ නිසා ජපන් ජාතිකයන් එයට කියන්නේ පොකුරු පිටින් පර වී වැටෙන මල කියලයි. මල් වැටුණහම දීප්තිමත් රෝස ඇතිරිල්ලක් මෙන් මුළු බිම් තීරයම වසාගනියි. මෙවැනි සුන්දරත්වයකට සම කළ හැකි යමක් සොබා දහමේ තවත් ඇත්නම් ඒ ඉතා ස්වල්පයක් පමණයි.

[16, 17වන පිටුවේ පින්තූරය]

මලින් පිරී ගිය සකුරා තුරු වදුලේ විනෝද චාරිකාවක

[17වන පිටුවේ පින්තූරය]

‘සකුරා මල් පොකුරු වියනක්’