Skip to content

පටුනට යන්න

සමලිංගික විවාහයට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

සමලිංගික විවාහයට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

සමලිංගික විවාහයට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

පල්ලියේ පැවැත්වූ විවාහ මංගල්‍යයකදී සුප්‍රකට එපිස්කෝපල් බිෂෝප්වරයෙකු ඉදිරියේ පුරුෂයෝ දෙදෙනෙක් අතිනත ගනිත්. ඔවුහු “දෙවි හා පල්ලියේ සිටින සෙනඟ ඉදිරියේ . . . පොරොන්දුවක් දෙති.” රනින් වැඩ දැමූ සුදු පැහැති ලෝගුවකින් සැරසී සිටින බිෂොප්වරයා ප්‍රසිද්ධියේ ඔවුන්ගේ එක්වීමට ආසිරි පතයි. ඉන්පසු යුවළ එකිනෙකාව වැලඳගෙන සිපගන්නා අතරේ සෙනඟ නැඟිට ප්‍රීතියෙන් අත්පොළොසන් හඬ නඟති. මේ බිෂොප්වරයා පැවසු විදිහට එවැනි සමලිංගික සබඳතා සැලකිය යුත්තේ, ‘ශුද්ධ මෙන්ම ආශීර්වාද ලැබීමට . . . වටින දෙයක් ලෙසයි. ඒ විතරක් නෙමෙයි එවැනි සබඳතා පරිශුද්ධයි කියාද සැලකිය යුතුයි.’

කෙසේවෙතත්, අනෙකුත් ආගමික නායකයෝ සමලිංගික එක්වීම්වලට දැඩි ලෙස විරෝධය පළ කරති. “මෙම [බිෂොප්වරයාගේ] තීරණය අපිට කොහොමටවත් අනුමත කරන්න බැහැ” කියා සින්තියා බ්‍රස්ට් පැවසුවාය. ඇය ගතානුගතික එපිස්කෝපලියන්වරු කණ්ඩායමක් වන අමෙරිකානු එංගලන්ත කවුන්සලය වෙනුවෙන් පෙනී සිටින නියෝජිකාවකි. එමෙන්ම “සමලිංගිකයන්ට ආශීර්වාද කිරීම විවාහය හා ලිංගිකත්වය සම්බන්ධයෙන් බයිබලයේ උගන්වන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ලිංගිකත්වය . . . පුරුෂයෙකු හා ස්ත්‍රියක අතරේ ඇති වන පාරිශුද්ධ විවාහයකදී පමණක් තිබිය යුතු දෙයක්” කියා ඈ තවදුරටත් පැවසුවාය.

මෙම ප්‍රශ්නය පිළිබඳව දැඩි මතභේදයක් තිබීම ආගමට පමණක් සීමා වූ දෙයක් නොවේ. මෙය ජාත්‍යන්තර වශයෙන්ද විවාදයට ලක් වී ඇති අතර ඔවුන්ගේ විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය දීමනා සහ අය බදු වැනි කාරණාවලට සෑහෙන බලපෑමක් වන බැවින් එය සමාජීය, දේශපාලනික හා ආර්ථික ගැටලුවක් බවටද පත්ව ඇත.

මහජන අයිතිවාසිකම් හා නෛතික පිළිගැනීම සම්බන්ධ ප්‍රශ්න බොහෝවිට වියවුල්සහගත වන අතර මහජනයා ඒ සම්බන්ධයෙන් එකම මතයක්ද දරන්නේ නැත. දේශපාලනික වාද විවාදවලින් වැළකී පක්ෂයක් නොගෙන සිටීමටද සැබෑ ක්‍රිස්තියානීහු සැලකිලිමත් වෙති. (යොහන් 17:16) * එහෙත් බයිබලයට ගරු කරන ඇතැම් අයට සමලිංගිකයන්ගේ විවාහය හා සමලිංගික සේවනය පිළිබඳ විෂය ගැන ව්‍යාකූලත්වයක් ඇත. සමලිංගිකයන්ගේ විවාහය ගැන ඔබ දරන්නේ කුමන මතයක්ද? විවාහය පිළිබඳව දෙවිගේ ප්‍රමිතිය කුමක්ද? දෙවි සමඟ වූ ඔබේ සබඳතාවට ඔබේ ආකල්පය බලපාන්නේ කෙසේද?

අපේ මැවුම්කරු ප්‍රමිති පනවයි

විවාහය සම්බන්ධයෙන් අපේ මැවුම්කරු නීති පිහිටෙව්වේ ආණ්ඩු මගින් විවාහ නීති පැනවීමට බොහෝ කලකට පෙරය. බයිබලයේ මුල් පොත අපට මෙවැන්නක් පවසයි. “මනුෂ්‍යයා තමාගේ පියාද මවුද අත්හැර තමන් භාර්යාවට ඇලුම් වන්නේය; ඔවුහුද එක මාංසයක් වන්නෝය.” (උත්පත්ති 2:24) එක් ශබ්දකෝෂයකට අනුව, හෙබ්‍රෙව් භාෂාවෙන් “භාර්යාව” යන වචනයේ අර්ථය වන්නේ “ස්ත්‍රියක්” යන්නයි. (Vine’s Expository Dictionary of Biblical Words) යේසුස් ස්ථිර වශයෙන් කියා සිටියේ විවාහයෙන් එකට බැඳෙන අය “පුරුෂයෙකු සහ ස්ත්‍රියක” වශයෙන් බැඳිය යුතු බවයි.—මතෙව් 19:4.

මෙබැවින් විවාහය පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර ස්ථිර මෙන්ම කුලුපග බැඳීමක් විය යුතු බවටයි දෙවි අදහස් කළේ. පුරුෂයන් හා ස්ත්‍රීන්ව මවා තිබෙන්නේ එකිනෙකාට සහයෝගය දැක්වීමටය. එම නිසා එකිනෙකාගේ චිත්තවේගීය, ආගමික හා ලිංගික අවශ්‍යතාවන් මෙන්ම ආශාවන් ඉටු කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබේ.

සොදොම් සහ ගොමෝරාව පිළිබඳ සුප්‍රකට බයිබල් සිද්ධියෙන් සමලිංගික සේවනය පිළිබඳ දෙවිගේ හැඟීම් හෙළි කරයි. දෙවි මෙසේ ප්‍රකාශ කළේය. ‘සොදොම් හා ගොමොරාවේ හඬ ගැසීම මහත්ය. ඔවුන්ගේ පාපයද ඉතා බරපතළය.’ (උත්පත්ති 18:20) ඔවුන්ගේ සදාචාරත්වය මොන තරම් බිඳවැටී ඇද්ද යන්න දක්නට ලැබුණේ ධර්මිෂ්ඨ මිනිසා වූ ලොත්ව බැහැදැකීමට අමුත්තන් දෙදෙනෙකු පැමිණි අවස්ථාවේදීය. “සොදොමේ මනුෂ්‍යයන් වන සියලු දිගින් ආවාවූ තරුණ වූද මහලු වූද මුළු සෙනඟ ගෙය වට කරගත්තෝය. ඔවුහු ලොත්ට හඬගසමින්: අද රාත්‍රියෙහි ඔබ වෙතට ආ මනුෂ්‍යයන් කොයිද? අප විසින් ඔවුන් ඇඳිනගන්නා පිණිස ඔවුන් අප වෙත පිටතට ගෙනෙන්නැයි කීවෝය.” (උත්පත්ති 19:4, 5) “සොදොම්හි මනුෂ්‍යයෝ දුෂ්ටව යෙහෝවාට විරුද්ධව අතිශයෙන් පව්කාරයෝ වූහ” කියා බයිබලයේ පවසයි.—උත්පත්ති 13:13.

පුරුෂයෝ ‘පුරුෂයන් කෙරෙහි අධික කාම තෘෂ්ණාවෙන් දැවෙන්න’ පටන්ගත්තෝය. (රෝම 1:27) ඔවුහු “අස්වාභාවික සේවනය සඳහා මාංසය ලුහුබැඳ ගොස්” සිටියහ. (යූද් 7) සමලිංගිකයන් තමන්ගේ අයිතිවාසකම් වෙනුවෙන් සටන් කිරීමේ ව්‍යාපාරයන් පුළුල්ව අරඹා තිබෙන රටවල ඇතමුන් සමලිංගික හැසිරීම්වලට “අස්වාභාවික” යන වචනය භාවිත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ හැකියි. අප ක්‍රියා කළ යුතු ආකාරය තීරණය කිරීමට හා හරි වැරැද්ද පෙන්වා දීමට අයිතිය තිබෙන්නේ අපේ මැවුම්කරුවාණන් හැටියට දෙවිට නොවේද? ඔහු පුරාණයේ සිටි තම ජනයාට අණ කළේ මෙසේය. “ස්ත්‍රීන් සමඟ මෙන් පුරුෂයන් සමඟ සයනය නොකරන්න; ඒක පිළිකුලකි.”—ලෙවී කතාව 18:22.

ඔබ දෙවිට වගකිව යුතුයි

බයිබලයේ පැහැදිලිවම පවසන්නේ සමලිංගික හැසිරීමට අනුමැතිය හා සමාව දෙවි විසින් නොදෙන බවය. එමෙන්ම ඔහු “ඒ දේ කරන අයට අනුබල” දෙන අයවත් ප්‍රතික්ෂේප කරයි. (රෝම 1:32) සමලිංගිකයන් “විවාහ” වූ පලියට එම හැසිරීමට ගෞරවනීයභාවයක් අත් වන්නේ නැත. “විවාහය සියල්ලන් අතර ගෞරවනීයව” තබාගන්න කියා දෙවි උපදෙස් දුන්නේය. දෙවි පිළිකුල් කරන සමලිංගික විවාහය ඊට ඇතුළත් නැත.—හෙබ්‍රෙව් 13:4.

එහෙත් දෙවිගේ උපකාරයෙන් සමලිංගික ක්‍රියාද ඇතුළු “වේශ්‍යාකමින් වැළකී” සිටීමටත් “තම තමාගේ ශරීරය ශුද්ධව, ගෞරවයෙන් යුක්තව පාලනය” කරගැනීමටත් ඕනෑම කෙනෙකුට හැකියි. (1 තෙසලෝනික 4:3, 4) මෙය සැමවිටම පහසු දෙයක් නොවන බව සත්‍යයකි. එහෙත් කලින් සමලිංගික ජීවන රටාවක් ගත කළ නේදන් * පැවසුවේ මෙයයි. “මම හිතුවේ මට කවදාවත් ඒක නතර කරන්න බැරි වෙයි කියලයි. ඒත් “අපේ දෙවිගේ ආත්මයේ” උපකාරයෙන් ඔහු වෙනස් විය. (1 කොරින්ති 6:11) දෙවිට විසඳිය නොහැකි ගැටලුවක් නැති බවත්, ඔහුගේ ප්‍රමිති රැකීමට අවශ්‍ය ශක්තිය හා උපකාරය දීමට ඔහුට හැකි බවත්, ඔහුගේ ආශීර්වාද ලබාගත හැකි බවත් නේදන් දැනගත්තේය.—ගීතාවලිය 46:1.

[පාදසටහන්වල]

^ 6 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිපදින බයිබල් ප්‍රතිපත්තිවලට වඩා රටේ නීති වෙනස් වෙතත් එම නීති වෙනස් කරවීමට ඔවුහු විරෝධතා රැළිවලට හෝ දේශපාලනික ව්‍යාපාරවලට හවුල් නොවෙති.

^ 14 ඡේ. ඔහුගේ නියම නම නොවේ.

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo by Chris Hondros/Getty Images