Skip to content

පටුනට යන්න

“එකම සැබෑ දෙවි” කවරෙක්ද?

“එකම සැබෑ දෙවි” කවරෙක්ද?

එකම සැබෑ දෙවි” කවරෙක්ද?

යේසුස් දෙවිට නිතර යාච්ඤා කළේ පියාණන් කියා අමතමිනි. පියාණන්ට යාච්ඤා කිරීමට ඔහු අන්‍යයන්ටද ඉගැන්නුවේය. (මතෙව් 6:9-11; ලූක් 11:1, 2) යේසුස්ගේ මරණයට පැය කීපයකට පෙර ප්‍රේරිතයන් සමඟ සිටියදී ඔහු කළ යාච්ඤාව මෙයයි. “පියාණෙනි, පැය පැමිණ තිබේ. ඔබේ පුත්‍රයා ඔබව මහිමයට පමුණුවන පිණිස, ඔබේ පුත්‍රයාව මහිමයට පමුණුවන්න. සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:1, 3.

යේසුස් යාච්ඤා කළේ “එකම සැබෑ දෙවි” ලෙස හැඳින්වූ තැනැත්තාටය. ඔහු දෙවිගේ ශ්‍රේෂ්ඨ තත්වය ගැන මෙලෙස සඳහන් කළේය. “එබැවින් පියාණෙනි, මහිමයෙන් යුක්තව ඔබ ළඟ සිටීම සඳහා, ලෝකය පවතින්න කලින් ඔබ ළඟ සිටියදී මට තිබුණ මහිමයෙන් දැන් මාව මහිමයට පත් කරන්න.” (යොහන් 17:5) යේසුස් දෙවිට යාච්ඤා කරමින් ඉල්ලා සිටියේ දෙවි ළඟ සිටීමට තමාව නැවතත් මහිමයට පත් කරන්න කියා නම්, කෙසේද ඒ මොහොතේදීම “එකම සැබෑ දෙවි” වීමට යේසුස්ට හැකි වන්නේ? මෙම කාරණය ගැන අපි සෝදිසි කර බලමු.

ස්වර්ගයේදී යේසුස්ට හිමි ස්ථානය

මෙම යාච්ඤාවෙන් පැය කීපයකට පසු යේසුස්ව මරණයට පත් කරන ලදි. එහෙත් ඔහු බොහෝ කලක් මැරී සිටියේ නැත. එසේ සිටියේ සිකුරාදා අපර භාගයේ සිට ඉරිදා උදෑසන දක්වා පමණි. (මතෙව් 27:57-28:6) “මෙම යේසුස්ව දෙවි නැවත නැඟිටෙවුවේය. සැබෑ වූ එම කාරණය ගැන අපි සියල්ලෝම සාක්ෂිකරුවෝ වන්නෙමු” කියා ප්‍රේරිත පේතෘස් වාර්තා කළේය. (ක්‍රියා 2:31, 32) තමාවම නැඟිටුවීමට යේසුස්ට හැකි වූවාද? නැත. බයිබලයේ පවසන ආකාරයට “මළ අය කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5) යේසුස්ගේ ස්වර්ගික පියාණන් වන “එකම සැබෑ දෙවි” ඔහුගේ පුත්‍රයාව නැවත නැඟිටෙවුවේය.—ක්‍රියා 2:32; 10:40.

ඉන් ටික කලකට පසුව යේසුස්ගේ ගෝලයෙකු වූ ස්තේපන්ව ආගමික උන්මත්තකයන් විසින් මරා දමනු ලැබීය. ඔවුන් ස්තේපන්ට ගල් ගැසීමට මොහොතකට පෙර ඔහු දර්ශනයක් දුටුවේය. ඒ ගැන ඔහු මෙසේ පැවසුවේය. “බලන්න! අහස විවර වී, මනුෂ්‍ය පුත්‍රයා දෙවිගේ දකුණු පැත්තේ සිටගෙන සිටිනවා මට පෙනේ.” (ක්‍රියා 7:56) මෙසේ “මනුෂ්‍ය පුත්‍රයා” වන යේසුස් ස්වර්ගයේ “දෙවිගේ දකුණු පැත්තේ” සිටින ආකාරයයි ස්තේපන් දුටුවේ. එනම් දෙවිට වඩා බලයෙන් අඩු තත්වයකි. යේසුස් එහි සිටියේ පොළොවට පැමිණීමට පෙර ඔහු ‘දෙවි ළඟ සිටි’ ආකාරයටමය.—යොහන් 17:5.

ස්තේපන්ගේ මරණයෙන් පසු යේසුස් ප්‍රාතිහාර්යයකින් සාවුල්ට පෙනී සිටියේය. රෝමයේ ඔහු වඩාත් ප්‍රචලිත පාවුල් යන නමිනි. (ක්‍රියා 9:3-6) පාවුල් ග්‍රීසියේ ඇතන්ස්වල සිටියදී “ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ දෙවි” ගැන කතා කළේය. ඔහු මෙලෙස පැවසුවේය. ‘එකම සැබෑ දෙවි තමන් පත් කළ මිනිසෙකු මාර්ගයෙන් මුළු ලෝකයම ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට දවසක් නියම කර තිබේ. ඔහු ඒ මිනිසාව මළවුන්ගෙන් නැවත නැඟිටවීමෙන් සියලුදෙනාටම සහතිකයක් දී තිබේ.’ (ක්‍රියා 17:24, 31) මෙහිදී ප්‍රේරිත පාවුල් යේසුස්ව විස්තර කළේ ස්වර්ගයේ විසීමට ගනු ලැබූ ‘මිනිසෙක්’ ලෙසය. ඔහු දෙවිට වඩා බලයෙන් අඩු කෙනෙකි.

ප්‍රේරිත යොහන්ද යේසුස්ව විස්තර කළේ දෙවිට වඩා බලයෙන් අඩු කෙනෙක් හැටියටය. “යේසුස් යනු” දෙවි නොවන බවත් ඔහු දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් බවත්” විශ්වාස කළ හැකි වන පිණිස ප්‍රේරිත යොහන් තම සුවිශේෂය ලියූ බව පැවසුවේය. (යොහන් 20:31) එමෙන්ම යොහන් ස්වර්ගික දර්ශනයක්ද දුටුවේය. එවිට ඔහු ‘බැටළු පැටවෙකු’ දුටුවේය. ඔහු තම සුවිශේෂයෙහි එම බැටළුවාව හැඳින්වූයේ යේසුස් කියාය. (යොහන් 1:29) බැටළු පැටවා තවත් 1,44,000ක් සමඟ සිටගෙන සිටියේය. යොහන් පවසන්නේ ඔවුන්ව “පොළොවෙන් මිල දී ගනු ලැබූ [හෝ නැවත නැඟිටවනු ලැබූ] බවය. මෙම 1,44,000දෙනාගේ ‘නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබුණු’ බව යොහන් පැහැදිලි කළේය.—එළිදරව් 14:1, 3.

“බැටළු පැටවා” සහ “ඔහුගේ පියා” යන මේ දෙදෙනා එක්කෙනෙකු විය හැකිද? එසේ නොවන බව පැහැදිලිය. බයිබලයේ පෙන්වන්නේ ඔවුන් වෙනස් බවය. ඔවුන්ගේ නම් පවා වෙනස්ය.

බැටළු පැටවාගේ සහ පියාගේ නම

අප දැන් දුටුවේ බැටළු පැටවා ලෙස නම් කර සිටින දෙවිගේ පුත්‍රයා යේසුස් බවය. (ලූක් 1:30-32) ඔහුගේ පියාගේ නම කුමක්ද? එය බයිබලයෙහි බොහෝ තැන්වල දක්නට තිබේ. ගීතාවලිය 83:17හි මෙසේ පැවසේ. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොව කෙරෙහි ඉතාම උසස්ය.” යෙහෝවා යන දෙවිගේ නම වෙනුවට බොහෝ බයිබල් පරිවර්තනවල “ස්වාමීන්වහන්සේ” සහ “දෙවියන්වහන්සේ” ලෙස දක්වා ඇත. තද කළු අකුරින් යොදා තිබෙන්නේ වෙනත් දෙවිවරුන් හෝ ස්වාමිවරුන්ගෙන් යෙහෝවා දෙවිව වෙන් කොට හැඳින්වීමටය. * එහෙත් බොහෝ බයිබල් පරිවර්තනවල දිව්‍ය නාමය නිසි තැනට යළිත් යොදා ඇත.

දෙවිගේ නාමය 1890දී සිංහල භාෂාවෙන් නිකුත් කළ ශුද්ධ වූ බයිබලය පුරාම යොදා තිබීම එක් උදාහරණයකි. දෙවිගේ නම අතිපරිශුද්ධ නිසා එය භාවිත කිරීමට නුසුදුසුයි යන යුදෙව් මිථ්‍යා මතයක් තිබුණත් එය භාවිත කිරීම යෝග්‍යය කියා එම පරිවර්තකයන්ට හැඟුණ බව පැහැදිලිය. මීට තවත් කදිම උදාහරණයකි ඉංග්‍රීසියෙන් පළ වූ අමෙරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන් අනුවාදය (1901). මෙම අනුවාදයේ පෙරවදනෙහි මෙවැනි අදහසක් පළ විය. “දෙවියන්ගේ නාමය සඳහන් කිරීමවත් නුසුදුසු තරමටම එය පරිශුද්ධය යන යුදෙව් ආගමික මතය ඉංග්‍රීසි භාෂාවේ හෝ පරණ තෙස්තමේන්තුවේ කිසිම අනුවාදයකට බලපෑ නොයුතු බව අමෙරිකානු බයිබල් සංශෝධකයන් ඒකමතිකව තීරණය කර ඇත. මෙම තීරණය ගෙන තිබෙන්නේ පුළුල් පර්යේෂණයක් කිරීමෙන් අනතුරුවය. බොහෝ නූතන අනුවාදවලද මෙම මතයේ බලපෑම දක්නට නොතිබීම සන්තෝෂයට කරුණක් බව මෙහිදී සඳහන් කළ යුතුය.” *

ත්‍රිත්වය—කාගේ ඉගැන්වීමක්ද?

යෙහෝවා සහ යේසුස් යනු එකම දෙවිය යන ත්‍රිත්ව ඉගැන්වීම ගැන කුමක් කිව හැකිද? එක් සඟරාවක 1999 අප්‍රියෙල්-ජූනි කලාපයේ ත්‍රිත්වය විග්‍රහ කර තිබුණේ මෙයාකාරයෙනි. “පිතා වන දෙවියන්ද, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ද, ශුද්ධාත්මයාණන්ද ‘තුන්දෙනෙකි’ . . . ඔවුන් එක සමානයි. නැතහොත් සිටින්නේ එකම ස්වභාවයේය. . . . තුන්දෙනාම එකම ගති ලක්ෂණ ඇති එක සමාන දෙවිවරුන් වේ. එහෙත් ඔවුන්ගේ පෞද්ගලිකත්වයන් අනුව ඇත්තෙන්ම ඔවුන් වෙන වෙන පුද්ගලයන්ය.” *The Living Pulpit සඟරාව.

තේරුම්ගන්න බැරි මේ ඉගැන්වීමේ මූලාරම්භය කුමක්ද? එක් සඟරාවක 1998 මැයි 20-27 කලාපයේ දේවගැතිවරයෙකුගේ අදහස් උපුටා දක්වා තිබේ. (Christian Century සඟරාව). ඔහු කියා සිටින්නේ ත්‍රිත්වය “පල්ලියේ ඉගැන්වීමක් මිස යේසුස්ගේ ඉගැන්වීමක් නොවෙයි” කියාය. ත්‍රිත්වය යේසුස්ගේ ඉගැන්වීමක් නොවුවත් එයින් කියවෙන අදහස ඔහු ඉගැන්වූ දේවලට එකඟද?

පියා—පුතාට වඩා උසස්

යේසුස් තම ගෝලයන්ට කියා දුන්නේ මෙලෙස යාච්ඤා කිරීමටය. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” ස්වර්ගයේ සිටින අපේ පියාගේ නම යෙහෝවාය. ඔහුගේ පුතාට වඩා ඔහු උසස් කෙනෙක් කියායි බයිබලයෙහි ඔහුව විස්තර කර තිබෙන්නේ. උදාහරණයකට යෙහෝවා “සදාකාලයෙන් සදාකාලයටම” සිටින කෙනෙකි. එහෙත් යේසුස් “මුළු මැවිල්ලේම කුලුඳුලා” බවයි බයිබලයේ පවසන්නේ. “පියාණන් මට වඩා උතුම්ය” කියමින් තමාට වඩා යෙහෝවා දෙවි උසස් බව පැවසුවේ වෙන කිසිවෙකු නොව යේසුස්මය. (මතෙව් 6:9; ගීතාවලිය 90:1, 2; කොලොස්සි 1:15; යොහන් 14:28, පැරණි අනුවාදය) එහෙත් ත්‍රිත්ව ඉගැන්වීමේ පෙන්වන්නේ පියා සහ යේසුස් “එක සමාන දෙවිවරුන්” බවය.

පුතාට වඩා පියා උතුම් බව මෙන්ම පියා වෙනම පුද්ගලයෙකු බව යේසුස්ගේ යාච්ඤාවල විශේෂයෙන්ම දක්වා තිබේ. මියයෑමට පෙර ඔහු යාච්ඤා කළේ මෙලෙසිනි. “පියාණෙනි, ඔබ කැමති නම්, මේ කුසලානය [එනම් මේ නින්දිත මරණය] මා වෙතින් ඉවත් කරන්න. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා.” (ලූක් 22:42) ත්‍රිත්ව ඉගැන්වීමේ පවසන පරිදි දෙවිට හා යේසුස්ට තිබෙන්නේ “එකම ස්වභාවයක්” නම් යේසුස්ගේ කැමැත්ත හෝ ආශාව ඔහුගේ පියාගේ කැමැත්තට වඩා වෙනස් බවක් පෙනෙන්න තිබිය හැකිද?—හෙබ්‍රෙව් 5:7, 8; 9:24.

එමෙන්ම යෙහෝවා සහ යේසුස් එක සමාන වූවා නම් ඔවුන්ගෙන් එක්කෙනෙක් දන්නා දේ අනිත් කෙනා නොදැන සිටිය හැකිද? උදාහරණයකට මේ ලෝකයට විනිශ්චය පැමිණෙන වෙලාව සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මෙයයි. “ඒ දවස හෝ පැය කිසිවෙක් දන්නේ නැත. පියාණන් මිස ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.”මාක් 13:32.

ත්‍රිත්වය සහ පල්ලිය

යේසුස් හෝ මුල් ක්‍රිස්තියානීන් ත්‍රිත්වය ගැන ඉගැන්වූයේ නැත. කලින් සඳහන් කළ ආකාරයට එය “පල්ලියේ ඉගැන්වීමකි.” ත්‍රිත්වය පිළිබඳව එක් සඟරාවක 1999 කලාපයේ ත්‍රිත්වය ගැන මෙවැන්නක් පළ විය. “ත්‍රිත්ව ඉගැන්වීම ක්‍රිස්තියානි දේවධර්මයේ මූලික ඉගැන්වීමක් ලෙස සෑමදෙනාම පිළිගන්නා බව පෙනෙන්න තිබුණත්” එය “බයිබලයේ තිබෙන අදහසක්” නොවේ.—The Living Pulpit සඟරාව.

නිව් කැතලික් එන්සයික්ලොපීඩියා නම් විශ්වකෝෂයේ (1967) ත්‍රිත්වය ගැන සවිස්තරව සාකච්ඡා කරමින් මෙලෙස පවසයි. “ත්‍රිත්ව ධර්මය 4වන සියවසේ අග භාගයේදී ප්‍රබන්ධ කරන ලද්දකි. . . . ‘තුන්දෙනා එකම දෙවි’ බව ප්‍රබන්ධ කළත් එය ඔප්පු කළ හැකි සාක්ෂි මත පදනම් කරගෙන තිබුණේ නැත. එමෙන්ම 4වන සියවසේ අග භාගයට කලින් එය ක්‍රිස්තියානි ජීවිතයට හෝ ඔවුන්ගේ ආගමික විශ්වාසයන් තුළට මුළුමනින්ම කාවැදී තිබුණේ නැත.”

ස්විට්සර්ලන්තයේ බර්න්හි විශ්වවිද්‍යාලයේ දේවධර්මාචාර්යවරයෙකු වූ මාර්ටින් වර්නර් මෙසේ පැවසුවේය. “යේසුස් මිනිසෙකු ලෙස පොළොවට පැමිණීම ගැන හෝ ගැලවුම්කරු වශයෙන් ඔහුගේ තත්වය ගැන හෝ සලකා බැලුවහොත් ඔහු දෙවිට වඩා පහත් බව තේරුම්ගත හැකියි. ඔහු හා පියා වන දෙවි අතර සම්බන්ධතාව පිළිබඳව නව තෙස්තමේන්තුවේ කොතැනක සෝදිසි කර බැලුවත් ඔහුව දක්වා තිබෙන්නේ එලෙසිනි.” එසේනම් යේසුස් මෙන්ම මුල් ක්‍රිස්තියානීන් විශ්වාස කළ දේ අද දින පල්ලිවල උගන්වන ත්‍රිත්ව ඉගැන්වීමට වඩා හාත්පසින්ම වෙනස් බව පැහැදිලිය. මෙම ඉගැන්වීමේ මූලාරම්භය කුමක්ද?

ත්‍රිත්වයේ මූලාරම්භය

අෂ්ටාරොත්, මිල්කොම්, කෙමොෂ්ට සහ මොලෙක් ඇතුළු දෙවිදේවතාවුන් රැසකට ජනයා නමස්කාර කළ බව බයිබලයෙහි සඳහන් වේ. (1 රාජාවලිය 11:1, 2, 5, 7) පුරාණ ඊශ්‍රායලයේ බොහෝදෙනෙකු පවා එක් කලකදී සැබෑ දෙවි ලෙස විශ්වාස කළේ බාල් දෙවියන්වය. යෙහෝවාගේ ප්‍රොපේතවරයෙකු වූ එලියා සෙනඟගෙන් මෙලෙස ඉල්ලා සිටියේය. “යෙහෝවා දෙවි නම් ඔහු අනුව යන්න; බාල් දෙවි නම් ඔහු අනුව යන්න.”—1 රාජාවලිය 18:21.

තුන්දෙනෙකුගෙන් යුත් මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන් හෝ ත්‍රිමූර්තිය ගැන අසන්න ලැබී තිබුණේ යේසුස්ගේ උපතට පෙර සිටය. “දෙවිවරු තුන්දෙනෙකුගෙන් සෑදුණු ත්‍රිත්වය පිළිබඳ අදහස ආරම්භ වූයේ ඊජිප්තුවේදීයි” කියා ඉතිහාසඥ විල් ඩූරන්ට් පැවසුවේය. ජේම්ස් හේස්ටිංස් නම් තැනැත්තා විසින් එක් විශ්වකෝෂයක මෙසේ ලීවේය. “හින්දු ආගමේ බ්‍රහ්ම, සිව සහ විෂ්ණු යන දෙවිවරුන්ගේ ත්‍රිමූර්තිය තුළත්, ඊජිප්තුවේ ආගම්වල ඔසිරිස්, අයිසිස් සහ හෝරස් යන දෙවිවරුන් තිදෙනා තුළත් ත්‍රිත්ව ඉගැන්වීම අපට දැකගත හැකිය.”—Encyclopædia of Religion and Ethics විශ්වකෝෂය.

මෙයින් පෙනී යන්නේ බොහෝ දෙවිවරුන් සිටින බවය. මුල් ක්‍රිස්තියානීන් ඒ බව පිළිගත්තාද? ඔවුන් යේසුස්ව සැලකුවේ සර්ව පරාක්‍රම දෙවි හැටියටද?

[පාදසටහන්වල]

^ 11 ඡේ. උදාහරණයකට 1938දී මුද්‍රණය කරන ලද පැරණි අනුවාදයේ ගීතාවලිය 110:1 බලන්න. මෙම පද යේසුස් සහ පේතෘස් යන දෙදෙනාම උපුටා දැක්වූහ.—මතෙව් 22:42-45; ක්‍රියා 2:34-36.

^ 12 ඡේ. මෙම සඟරාවේ 22වන පිටුවේ තිබෙන “අප දෙවිගේ නම කිව යුතුද?” යන ලිපිය බලන්න.

^ 14 ඡේ. යේසුස්ගේ මරණයෙන් වසර දෙතුන් සියයකට පසුව ඇතනේසියානු ලබ්ධිය බිහි වූ අතර ඔවුන් ත්‍රිත්වය පිළිබඳව නිර්වචනය කළේ මෙලෙසිනි. “පියාණන්වහන්සේ දෙවියන්වහන්සේය, පුත්‍රයාණන්වහන්සේ දෙවියන්වහන්සේය, ශුද්ධාත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේය. එසේද වුවත් ඔවුන්වහන්සේලා දෙවිවරුන් තුන්දෙනෙක් නොව එකම දෙවියන්වහන්සේය.”

[27වන පිටුවේ පින්තූරය]

ඊජිප්තුවේ

ක්‍රි. පූ. 2000ත් 1000ත් අතර කාලයේදී දෙවිවරුන් තිදෙනා වන ඔසිරිස්, අයිසිස් සහ හෝරස්

[27වන පිටුවේ පින්තූරය]

සිරියාවේ පැල්මයිරාහි

සඳු දෙවි, අහස් දෙවි හා හිරු දෙවි යන තිදෙනා ක්‍රි. ව. මුල් සියවසේදී පමණ

[27වන පිටුවේ පින්තූරය]

ඉන්දියාවේ

හින්දු දෙවියන්ගේ ත්‍රිමූර්තිය ක්‍රි. ව. හත්වන සියවසේදී පමණ

[27වන පිටුවේ පින්තූරය]

නෝර්වේ

ත්‍රිත්වය (පියා, පුත්‍රයා සහ ස්ප්‍රීතු සාන්තු) ක්‍රි. ව. 13වන සියවසේදී පමණ

[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

මුල් පින්තූරු දෙක: Musée du Louvre, Paris