Skip to content

පටුනට යන්න

“එකම සැබෑ දෙවි” පොරොන්දු වන්නේ මෙයයි

“එකම සැබෑ දෙවි” පොරොන්දු වන්නේ මෙයයි

“එකම සැබෑ දෙවි” පොරොන්දු වන්නේ මෙයයි

යෙහෝවා දෙවි මුල් මනුෂ්‍ය යුවළට ඉන්න සැලැස්වූයේ මිහිපිට තිබූ පාරාදීසය වන ඒදන් උයනෙහිය. දරුවන් බෝ කරගනිමින් ‘පොළොව යටත් කරගන්න’ කියා ඔහු උපදෙස් දුන්නේය. එයින් අදහස් වූයේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වැඩි වන විට ඔවුන්ගේ පාරාදීස නිවස පුළුල් කිරීමට සිදු වන බවය. (උත්පත්ති 1:26-28; 2:15) භූමික පාරාදීසයක මිනිසාව ජීවත් කරවීම සඳහා වූ දෙවිගේ අරමුණ කවදා හෝ ඉටු වනු ඇද්ද?

අනිවාර්යයෙන්ම එය ඉටු වෙනවා! බයිබල් අනාවැකිවලට අනුව ‘යෙහෝවා මරණය සදාකාලයටම නැති කර දමනු ඇත.’ එමෙන්ම ‘සියලු මුහුණුවලින් කඳුළුද පිස දමන්නේය.’ එදාට “මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවිය; අපි ඔහු ගැන බලා සිටියෙමු; ඔහු අප ගළවන්නේය; මේ යෙහෝවාය; අපි ඔහු ගැන බලා සිටියෙමු; අපි ඔහුගේ ගැලවීමට සතුටුව ප්‍රීති වන්නෙමු.”—යෙසායා 25:8, 9.

සාතන්ගේ පාලනය යටතේ පවතින වත්මන් ලෝකය නොහොත් මේ සමාජ ක්‍රමය නැති කර දැමූ පසු පොළොවේ තිබෙන තත්වයන් ගැන බයිබලයේ අන්තිම පොතේ විස්තර කර ඇත. දෙවිට ප්‍රේම කරන මිනිසුන් සිටින්නාවූ “අලුත් පොළොව” සම්බන්ධයෙන් බයිබලයේ මෙසේ සඳහන් වේ. “දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය; ඔවුහුද ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:1-4.

මෙම පොරොන්දු මොන තරම් අනර්ඝද! අපට හැකිද මෙම පොරොන්දු කෙරෙහි විශ්වාසයක් තබන්න? දෙවි පොරොන්දු වන ඕනෑම දෙයක් ඉටු කරන බවට නිසැක වීම සඳහා යේසුස්ගේ පරිත්‍යාගශීලී මරණය සහ ඔහු කළ ප්‍රාතිහාර්යයන් පදනමක් සපයන ආකාරය ගැන ටිකක් සිතා බලන්න.—2 කොරින්ති 1:20.

යේසුස්ගේ ජීවිත පූජාව

සාතන්ගේ බලපෑම යටතේ ආදම් දෙවිට අකීකරු වී පව් කළ අවස්ථාවේදී ආදම්ගෙන් පැවතෙන සැමටද පාපය උරුම විය. බයිබලයේ පවසන්නේ “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය” කියාය. කෙසේවෙතත් බයිබලයෙහි තවදුරටත් මෙසේ පවසයි. “එක් තැනැත්තාගේ [පරිපූර්ණ මිනිසෙකු වූ යේසුස්ගේ] කීකරුකම නිසා බොහෝදෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබන්නෝය.” (රෝම 5:12, 19) මෙම ලිපි පෙළේ මුල් ලිපියේ සඳහන් කළ ආකාරයට “අන්තිම ආදම්” යේසුස්ය. “ස්වර්ගයෙන්” පැමිණි තැනැත්තා වූ ඔහු තම ජීවිතය “බොහෝදෙනෙකු වෙනුවෙන් . . . මිදීමේ මිලයක්” ලෙස දුන්නේය.—1 කොරින්ති 15:45, 47; මතෙව් 20:28.

මේ හේතුවෙන් යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන සියලුදෙනාටම “මිදීමේ මිලය නිසා [පාපයෙන්] නිදහස” ලැබිය හැකි අතර සදාකාල ජීවිතයක් භුක්ති විඳීමටද හැකියි. (එෆීස 1:7; යොහන් 3:36) මෙලොව වෙසෙන මනුෂ්‍යවර්ගයාට යෙහෝවා දෙවි බොහෝ සෙයින් ප්‍රේම කළ නිසා අපේ ගැලවුම්කරු ලෙස ඔහුගේ පුත්‍රයාව අප වෙනුවෙන් දීම ගැන අපට ඇත්තෙන්ම ප්‍රීති විය හැකියි. (ලූක් 2:10-12; යොහන් 3:16) පළමු සියවසේදී වේදනා විඳිමින් සිටි මනුෂ්‍යයන් සඳහා යේසුස් කළ දේ සෝදිසි කර බලන කල අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් මැවේ. යේසුස් කළ දේ ඇත්තෙන්ම මවිතාකාරයි!

අනාගතය පිළිබඳ පෙර දැක්මක්

යේසුස් වෙතට ගෙනා සියලුම රෝගීන්ව සුව කිරීමට ඔහුට හැකි විය. ඕනෑම අසනීපයක් සුව කිරීමට ඔහුට හැකිකම තිබිණ. මසුන් හා රොටි කීපයකින් පමණක් දස දහස් සංඛ්‍යාතයකගේ කුස පිරවීමට ඔහුට හැකි විය. මෙසේ කළේ එක වතාවක් පමණක් නොවේ.—මතෙව් 14:14-22; 15:30-38.

උපදිනකොටම අන්ධව සිටි මිනිසෙකුට යේසුස් පෙනීම ලබා දුන් විට අසල්වාසීන් හා දන්නා හඳුනන අය එය ප්‍රාතිහාර්යයක් ලෙස පිළිගත්තත්, යුදෙව් ආගමික නායකයෝ ඒ ගැන සැක පහළ කළහ. එබැවින් පෙනීම ලද තැනැත්තා ඔවුන්ට මෙසේ කරුණු පැහැදිලි කළේය. “කිසි කෙනෙකු අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව පුරාණයේ සිට කවදාවත් අසා නැත. මේ මිනිසා දෙවි වෙතින් නොපැමිණියේ නම්, ඔහුට කිසිවක් කළ නොහැක.”—යොහන් 9:32, 33.

යේසුස් දේවසේවයේ යෙදෙමින් සිටි කාලයේදී සිරගත වී සිටි ඔහුගේ ඥාති සොහොයුරු යොහන් බව්තීස්ත යේසුස් පිළිබඳව අසන්න ලැබෙන දේ ස්ථිර කරගැනීමට පණිවුඩකරුවන්ව යැවීය. “ඒ පැයේදී” යේසුස් “බොහෝදෙනෙකුගේ අසනීප සහ බරපතළ රෝග සුව කොට, ඔවුන්ට වැහී සිටි දුෂ්ට ආත්ම දුරු කළ අතර, අන්ධ මිනිසුන් බොහෝදෙනෙකුට කරුණාව දක්වමින් පෙනීම ලබා දුන්නේය” කියා බයිබලයේ සඳහන් වේ. ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ කීවේය: “ගොස්, ඔබ ඇසූ දුටු දේ යොහන්ට කියන්න: අන්ධ අය පෙනීම ලබති, කොර වී සිටි අය ඇවිදිති, ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරනු ලබයි, බිහිරි අයට ඇසෙයි, මළවුන්ව නැඟිටුවනු ලබයි.”—ලූක් 7:18-22.

ඒ ගැන සිතා බලන්න. අතීතයේදී යහපත් දෙයක් සිදු වූවා නම් යළි කවදා හෝ අනාගතයේදී එවැන්නක් සිදු වෙයි කියා ඔබට නිසැකකමක් තබාගත නොහැකිද? ප්‍රාතිහාර්යයන් සිදු කිරීම මගින් යේසුස් විදහා පෙන්නුවේ සුළු පරිමාණයකින් තමන් සිදු කළ ප්‍රාතිහාර්යයන්, දේවරාජ්‍යයේ රජු ලෙස පාලනය කරන කාලයේදී මහා පරිමාණයෙන් සිදු කරන බවය. ඔහුව එවනු ලැබුවේ දෙවි විසින් බවත්, ඔහු දෙවිගේ පුත්‍රයා බවත් ඔහුගේ ප්‍රාතිහාර්යයන්වලින් ඔප්පු වේ.

දේවරාජ්‍යය මගින් පාලනය සිදු කෙරෙන කාලයේදී අනාවැකි බොහොමයක් ඉටු වනු ඇත. අන්ධයන්ට පෙනීම ලැබෙන බවත්, බිහිරන්ගේ කන් ඇරෙන බවත්, කොරා මුවෙකු මෙන් පැන යන බවත්, කිසිවෙකු අසනීප නොවන බවත් පුරෝකථනය කර ඇත. එමෙන්ම පොළොව පුරා සාමය හා සුරක්ෂිතභාවය දසත පැතිර තිබෙනු ඇත. මිනිසා හා දැන් සිටින දරුණු සත්වයන් අතර පවා සාමය තිබෙනු ඇත.—යෙසායා 9:6, 7; 11:6-9; 33:24; 35:5, 6; 65:17-25.

දේවරාජ්‍යයේ පාලනය යටතේ එවැනි තත්වයන් තිබෙන කාලයක සදහටම ජීවත් වෙන්න ඔබ කැමතිද? ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද කියා යේසුස් තම පියාට යාච්ඤා කළ අවස්ථාවකදී පෙන්වා දුන්නේය. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) ජීවිතය රැක දෙන එවැනි දැනුමක් ලබාගැනීමෙන් ඔබව වැළැක්වීමට කිසිවකට ඉඩ නොදෙන්න.

[30වන පිටුවේ පින්තූරය]

පොළොව සම්බන්ධයෙන් දෙවිගේ පොරොන්දුව මෙයයි