Skip to content

පටුනට යන්න

ඔබ නරඹන්නේ මොන වගේ චිත්‍රපටද?

ඔබ නරඹන්නේ මොන වගේ චිත්‍රපටද?

ඔබ නරඹන්නේ මොන වගේ චිත්‍රපටද?

මෑත දශකවලදී චිත්‍රපට තුළ පෙන්වන කාමුකත්වය, ප්‍රචණ්ඩත්වය සහ අසභ්‍ය භාෂාව ගැන බොහෝදෙනෙක් නොයෙක් දේ පවසන්න පෙලඹිලා තිබෙනවා. සමහර කාමුක දර්ශන ඉතාමත් පහත් අඩියක තිබෙන බව සමහරු පවසන අතර තවත් අය ඒවා ගැන ඉහළින් කතා කරනවා. චිත්‍රපටයක ප්‍රචණ්ඩත්වය තිබීම සුදුසු නැහැ කියා ඇතමෙක් තරයේ කියා සිටියත් තවත් අය පවසන්නේ එහි වරදක් නැතැයි කියායි. මුළු චිත්‍රපටය පුරාම අසභ්‍ය භාෂාව තිබීම ගැන ඇතමෙක් කිපුණත් තවත් සමහරු කියන්නේ එයින් චිත්‍රපටයට යම් තාත්විකත්වයක් ලබා දෙන බවයි. එක්කෙනෙකුට අසභ්‍යයයි පෙනෙන දේ තවත් කෙනෙකුට සාමාන්‍ය දෙයක් විය හැකියි. මේ දෙපාර්ශ්වයටම සවන් දීමෙන් පෙනී යන්නේ ඒවා චිත්‍රපටයේ තිබෙන දේ ගැන යම් අදහස් උදහස් දැක්වීමක් පමණක් බවයි.

එහෙත් චිත්‍රපටයේ අඩංගු දේවල් ගැන දරන මතයන්ට වඩා වැඩි දෙයක් එහි තිබෙනවා. ඒ ගැන දෙමාපියන් පමණක් නොව ගුණධර්ම අගයන කොයි කවුරුත් සලකා බැලීම ඉතා වැදගත්. “එච්චර සුදුසු නැහැ කියලා හිතුණත් මම ඒක බලන්න පෙලඹිලා තියෙන අවස්ථාවලදී ශාලාවෙන් එළියට එනකොටම මට හිතෙන්නේ අපරාදේ මම මේ වගේ චිත්‍රපටියක් බැලුවේ කියලයි. මේ වගේ ජරා චිත්‍රපටි හදන අය ගැනත් මට මා ගැනමත් ලැජ්ජාවක් ඇති වෙනවා. මට මං ගැනම පිළිකුලක් දැනෙනවා” කියා අධෛර්යයට පත් තැනැත්තියක් පැවසුවා.

නීති පැනවීම

චිත්‍රපටයේ අඩංගු දේවල් ගැන සැලකිල්ලක් දැක්වීමට පටන්ගත්තේ අද ඊයේ නොවෙයි. චිත්‍රපට ඉතිහාසයේ මුල් අවදියේදී කාමුක චිත්‍රපට සහ ප්‍රචණ්ඩත්වය ඇතුළත් චිත්‍රපට පෙන්වීම ගැන සමහරුන්ට දැඩි කෝපයක් ඇති වුණා. මෙම හේතුව නිසා 1930 ගණන්වලදී චිත්‍රපටයක පෙන්විය හැකි දේ සම්බන්ධයෙන් අමෙරිකාවෙහි දැඩි නීති දැම්මා.

ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසන පරිදි, “චිත්‍රපට සඳහා දැමූ මෙම නීති මාලාව තදින් ක්‍රියාත්මක වුණා. ‘රාගයෙන් මත් වූ දර්ශන’ සහ අනාචාරය, අසම්මත ලිංගික හැසිරීම, වරදට පෙලඹවීම වැනි වැඩිහිටියෙකුගේ ජීවිතයේ සිදු වන ඕනෑම දෙයක් තිරයෙන් පෙන්වීම තහනම් කර තිබුණා. චිත්‍රපටයේ දිග හැරෙන කතා වස්තුවට අනුව ස්ත්‍රී දූෂණය පිළිබඳ යම් දර්ශනයක් පෙන්වීමට අවශ්‍ය වෙනවා නම් චිත්‍රපටය අවසානයේදී දූෂකයාට අනිවාර්යයෙන්ම දඬුවම් කරන බව පෙන්වීම ඇතුළත් විය යුතු වුණා. එවැන්නක් නොතිබුණා නම් ඒ ගැන සඳහන් කිරීම පවා තහනම් වුණා.”

ප්‍රචණ්ඩත්වය ගැන බලන කල, චිත්‍රපට තුළ “ආයුධ පෙන්වීම හෝ ඒ ගැන කතා කිරීමත්, අපරාධයක් සිදු වෙන හැටි සවිස්තරව පෙන්වීමත්, අපරාධකරුවන් අතින් පොලිස් නිලධාරීන් මිය යනවා පෙන්වීමත් තහනම් දේවල් වුණා. චිත්‍රපටයේ කතා වස්තුවට නැතුවම බැරි නම් පමණක් කෲර ලෙස ඝාතනය කිරීම, මරා දැමීම හෝ දිවි නසාගැනීම වැනි දෙයක් ගැන යම් සඳහනක් කිරීමට අවසර තිබුණා. . . . මොනම අවස්ථාවකදීවත් අපරාධයක් හරි දෙයක් ලෙස පෙන්වීමට ඉඩක් ලැබුණේ නැහැ.” කෙටියෙන්ම කියනවා නම් නීති මාලාවෙන් අදහස් කළේ “ප්‍රේක්ෂකයන්ගේ ගුණධර්මවලට වඩා පහත් චිත්‍රපටයක් නිෂ්පාදනය නොකළ යුතු” බවයි.

තහනමේ සිට වර්ග කිරීම දක්වා

හොලිවුඩ් නිෂ්පාදකවරු බොහෝදෙනෙක් 1950ස් ගණන් වන විට එම නීති යල් පැන ගිය ඒවා ලෙසට සැලකුවා. එම නිසා 1968දී එම නීති මාලාව වෙනුවට චිත්‍රපට වර්ග කිරීමේ ක්‍රමයක් ආරම්භ කළා. * මෙම ක්‍රමය නිසා චිත්‍රපටයක් තුළ සවිස්තරව දේවල් පෙන්වීමේ හැකියාවක් තිබුණත් චිත්‍රපටයේ ඇතුළත් වන්නේ මොනවාද කියා දැනගැනීමට විශේෂ සංකේතයක් දැමිය යුතු වුණා. දශක හතරකට ආසන්න කාලයක් අමෙරිකාවේ චිත්‍රපට සමාගමක සභාපති ලෙස සේවය කළ ජැක් වැලන්ටී පවසන පරිදි එහි අරමුණ වුණේ මෙයයි. “දෙමාපියන්ට යම් පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දීමයි. එවිට තම දරුවන් බැලිය යුතු හා නොබැලිය යුතු චිත්‍රපට පිළිබඳ නිශ්චය කරගැනීමට ඔවුන්ට හැකි වෙනවා.”—Motion Picture Association of America.

වර්ග කිරීමේ ක්‍රමය හඳුන්වා දීමත් සමඟම තිබූ සීමා බාධක සුනු විසුණු වී ගියා. කාමුක දේවල්, ප්‍රචණ්ඩ දර්ශන සහ අසභ්‍ය භාෂාව හොලිවුඩ් සිනමාවට ගලා එන්න පටන්ගත්තා. බලාපොරොත්තු නොවූ ආකාරයට ලැබුණ මේ නිදහස නිසා නිෂ්පාදකවරු හිතේ හැටියට චිත්‍රපට තැනීම ඇරඹූ අතර කිසිවෙකුට එයට වැටකඩුලු බැඳීමට නොහැකි වුණා. ඒත් වර්ග කිරීමේ ක්‍රමය නිසා චිත්‍රපටයේ ඇතුළත් දේ පිළිබඳව ප්‍රේක්ෂකයන්ට දැනුම් දීමක් කරනු ලැබුවා. නමුත් මෙම වර්ග කිරීමේ ක්‍රමය මගින් චිත්‍රපටයක් පිළිබඳ ඔබ දත යුතු සෑම දෙයක්ම දැනගැනීමට හැකියාවක් ලැබෙනවාද?

වර්ග කිරීමේ ක්‍රමය මගින් හෙළි නොවන දේ

කාලය ගෙවීයත්ම මෙම වර්ග කිරීමේ ක්‍රමය ලිහිල් වී තිබෙනවාද කියා සමහරෙකු සැක කරනවා. එක් පාසැලක් විසින් සිදු කළ අධ්‍යයනයක් මගිත් එම සැකය තහවුරු කරනවා. (Harvard School of Public Health). දරුවන්ට සුදුසුයි කියා වර්ග කරන චිත්‍රපට තුළ මීට අවුරුදු දහයකට පෙර තිබුණාට වඩා වැඩියෙන් දැන් කාමුකත්වය හා ප්‍රචණ්ඩත්වය ඇතුළත් බව එම අධ්‍යයනයෙන් පෙනී ගියා. එම අධ්‍යයනයෙන් පසු එළඹුණේ මෙවැනි නිගමනයකටයි. “එකම වර්ගයකට දමා තිබෙන චිත්‍රපට තුළ පෙන්වන නුසුදුසු දර්ශන ප්‍රමාණය හා දර්ශනයේ ස්වභාවය විශාල වශයෙන් වෙනස් විය හැකියි.” එම හේතුව නිසා “වයස් සීමාව අනුව චිත්‍රපට වර්ග කර තිබීමෙන් පමණක් එහි පෙන්වන ප්‍රචණ්ඩත්වය, කාමුක දර්ශන, අසභ්‍ය භාෂාව සහ අනෙකුත් දේ පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගන්න බැහැ.” *

දෙමාපියන් සිනමා හල්වලට දරුවන්ව යවන්නේ දරුවන්ට නැරඹීමට සුදුසුයි කියා අද දින වර්ග කර තිබෙන චිත්‍රපටයේ තිබෙන දේ ගැන නොදැන වෙන්න පුළුවන්. නහඹරයන්ට සුදුසුයි කියා නම් කළ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් පිළිබඳව එක් චිත්‍රපට විචාරකයෙක් පැහැදිලි කළේ මෙසේයි. “හැමදාම බීමත් වන, මත්ද්‍රව්‍ය භාවිත කරන, දුරාචාරය පිරි සාදයන්වලට යන සහ නව පෙම්වතා සමඟ අසාමාන්‍ය ලෙස ලිංගිකව හැසිරෙමින් ස්වාධීනව කටයුතු කරන 17හැවිරිදි යෞවනියකගේ චරිතයක් ගැනයි එහි තිබුණේ.” චිත්‍රපට තුළ මෙවැනි චරිත දකින්න ලැබීම අසාමාන්‍යය දෙයක් නෙමෙයි. එක් සඟරාවක් සඳහන් කළේ, නහඹරයන්ට සුදුසුයි කියා වර්ග කර ඇති චිත්‍රපට තුළ මුඛ ලිංගික හැසිරීම පිළිබඳව “නිතර කතා කිරීමට” අවසර දී තිබෙනවා කියායි. (The Washington Post Magazine) මෙයින් එක් දෙයක් පැහැදිලියි. එනම් චිත්‍රපටයක් නැරඹීමට සුදුසුදැයි තීරණය කිරීමට වර්ග කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට වඩා සාර්ථක ක්‍රමයක් තිබෙනවාද?

“නපුරට වෛර කරන්න”

බයිබලයට අනුව පුරුදු පුහුණු කළ හෘදය සාක්ෂිය වෙනුවට වර්ග කිරීමේ ක්‍රමය ආදේශ කළ නොහැක. විනෝදය සඳහා කරන දේවල් ඇතුළු ක්‍රිස්තියානීන් කරන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් තීරණයක් ගනිද්දී “යෙහෝවාට ප්‍රේම කරන්නෙනි, නපුරට වෛර කරන්න” යන ගීතාවලිය 97:10හි සඳහන් උපදෙස පිළිපැදීමට ඔවුන් වෑයම් කරනවා. නපුරට වෛර කරන පුද්ගලයෙක් දෙවි වෛර කරන දේවල්වලින් විනෝදයක් ලැබීම වැරදි දෙයක් ලෙස සලකනවා.

දෙමාපියන් තම දරුවන්ට නරඹන්න ඉඩ දෙන්නේ මොන වගේ චිත්‍රපටද කියන එක ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. වර්ග කිරීම දෙස පමණක් බලා දරුවන්ව සිනමා හලකට යැවීම නුවණක්කාර ක්‍රියාවක් නොවේ. ඔබේ දරුවන්ගේ වයස් සීමාවට සුදුසු චිත්‍රපටයක් ලෙස වර්ග කර තිබුණත් දෙමාපියෙකු ලෙස ඔබ අනුමත නොකරන දේවල් පෙන්වන්න ඉඩ තිබෙනවා. මෙය ක්‍රිස්තියානියෙකුට නම් පුදුමයට කාරණයක් නොවේ. මන්ද අද ලෝකය දෙවිගේ ප්‍රමිතිවලට විරුද්ධව කටයුතු කරන හා සිතන පතන ලෝකයක් නිසයි. *එෆීස 4:17, 18; 1 යොහන් 2:15-17.

කොහොමවුණත් ඉන් අදහස් වෙන්නේ හැම චිත්‍රපටයක්ම නරක බව නොවෙයි. එනමුත් අපි ඉතා පරෙස්සම් විය යුතුයි. මේ ගැන 1997 මැයි 22 පිබිදෙව්! සඟරාවේ මෙවන් දෙයක් සඳහන් කර තිබුණා. (සිංහලෙන් නැත) “එක් එක්කෙනා කරුණු කාරණා කිරා මැන බැලිය යුතුයි. ඉන්පසුව දෙවි ඉදිරියෙත් මනුෂ්‍යයන් ඉදිරියෙත් හොඳ හෘදය සාක්ෂියක් ඇතිව සිටිය හැකි අයුරින් තීරණ ගත යුතුයි.”—1 කොරින්ති 10:31-33.

විනෝදය සඳහා සුදුසු දේවල් තේරීම

තමන්ගේ පවුලේ අය නරඹන්න කැමති චිත්‍රපට ගැන තේරීමක් කරන්න සිදු වන විට ඒ ගැන තීරණය කරන්නේ කොහොමද? ලොව පුරා දෙමාපියන් ඉදිරිපත් කරන අදහස් දැක්වීම් සලකා බලන්න. ඔබ ඔබේ පවුලට විනෝදය සඳහා සුදුසු යමක් ගැන සොයා බලද්දී ඔවුන්ගේ අදහස් දැනගැනීම ඔබට උපකාරවත් විය හැකියි.—“විනෝද වීමේ විවිධ ක්‍රම” නමැති 14වන පිටුවේ ඇති කොටුව බලන්න.

ස්පාඤ්ඤයේ යුවාන් කියන්නේ මෙහෙමයි. “අපේ ළමයි පුංචි කාලේදී චිත්‍රපටියක් බලන්න යනකොට මගේ බිරිඳ නැත්නම් මම ළමයි එක්ක ගියා. ඒගොල්ලෝ කවමදාකවත් තනියෙන්වත් ඒගොල්ලන්ගේ යාළුවන් එක්කවත් ගියේ නෑ. දැන් ඒගොල්ලෝ නහඹරයෝ. නමුත් චිත්‍රපටියේ මංගල දර්ශනවලට ළමයි යන්නේ නෑ. ඒ වෙනුවට අපි පත්තරෙන් ඒ ගැන කියවා බලනකං නැත්නම් අපිට විශ්වාසය තැබිය හැකි වෙනත් අයගෙන් ඒ ගැන අහනකං ඉන්න කියලා අපි ඒගොල්ලන්ට කියනවා. ඊට පස්සේ පවුලක් හැටියට චිත්‍රපටිය නැරඹීමට යනවාද නැද්ද කියලා අපි තීරණය කරනවා.”

දකුණු අප්‍රිකාවේ මාක් සිනමා ශාලාවල පෙන්වන චිත්‍රපට ගැන තමන්ගේ අදහස් දැක්වීමට ඔහුගේ තරුණ පුතාට අවස්ථාව දෙනවා. මාක් මෙහෙම කියනවා. “චිත්‍රපටිය ගැන පුතාගේ අදහස විමසමින් මමයි මගේ බිරිඳයි සාකච්ඡාව පටන්ගන්නවා. මේ නිසා පුතාගේ අදහස්වලට කන් දී ඒ අදහස් ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න හැකි වෙලා තියෙනවා. මේ නිසා අපිට පවුලක් හැටියට නැරඹිය හැකි චිත්‍රපටි තෝරාගන්න හැකියාව ලැබිලා තියෙනවා.”

බ්‍රසීලයේ රෝසෙරියෝත් තමන්ගේ දරුවන් නැරඹීමට කැමති චිත්‍රපට ගැන හොඳින් සොයා බැලීමට කාලය ගත කරනවා. “මම ළමයි එක්ක චිත්‍රපටි විචාරකයන් දක්වන අදහස් ගැන කියවා බලනවා. දරුවන් එක්කම වීඩියෝ අලෙවි කරන සාප්පුවලට ගිහිල්ලා යම් චිත්‍රපටියක් නුසුදුසුද කියන එක කවරය දිහා බලලා සොයාගත හැකි ආකාරය ගැන දරුවන්ට කියලා දෙනවා.”

බ්‍රිතාන්‍යයේ මැතිව් සොයාගත්තේ දරුවන් බලන්න කැමති චිත්‍රපටි ගැන ඔවුන් සමඟ කතා කිරීම ප්‍රයෝජනවත් බවයි. ඔහු මෙසේ පැවසුවා. “පවුලක් හැටියට අපගේ සිත්ගත් චිත්‍රපටවල ඇති දේ ගැන සාකච්ඡා කිරීමේදී කුඩා කාලයේ ඉඳලාම අපි දරුවන්වත් හවුල් කරගන්නවා. යම් චිත්‍රපටියක් බලන්න හොඳ නෑ කියලා තීරණය කළොත් නිකම්ම ඒක බලන්න එපා කියනවාට වඩා ඒ ගැන කරුණු කාරණා පැහැදිලි කරනවා.”

තවදුරටත් චිත්‍රපට පිළිබඳව අන්තර්ජාලයේ ඇති කරුණු ගැන සොයා බැලීමත් ප්‍රයෝජනවත් බව සමහර දෙමාපියන් සොයාගෙන තිබෙනවා. චිත්‍රපටවල අඩංගු දේ ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙබ් අඩවි ගණනාවක්ම තිබෙනවා. මේ මාර්ගවලින් යම් චිත්‍රපටයක පෙන්වන දේ ගැන වඩා පුළුල් අවබෝධයක් ලබාගත හැකියි.

පුහුණු කරන ලද හෘදය සාක්ෂියක ප්‍රයෝජන

“හරි වැරැද්ද නිශ්චය කරගැනීමට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු කළ විමර්ශන ශක්තියක් ඇති මේරූ පුද්ගලයන්” ගැන බයිබලයේ සඳහන් කරනවා. (හෙබ්‍රෙව් 5:14) දෙමාපියන්ගේ ඉලක්කය විය යුත්තේ දරුවන්ගේ හදවත් තුළ යහපත් ගුණධර්ම පැළපදියම් කිරීමයි. එවිට විනෝදය සඳහා දේවල් තෝරාගැනීමට නිදහස ලැබෙන අවධිය වන විට නැණවත් තීරණ ගන්න එය ඔවුන්ට උපකාරයක් වේවි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවනයන් බොහෝදෙනෙක් මේ කාරණයේදී තම දෙමාපියන්ගෙන් හොඳ පුහුණුවක් ලබා තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ බිල් සහ ෂෙරීගේ අද්දැකීම මීට උදාහරණයක් ලෙස දැක්විය හැකියි. ඔවුන් නහඹර වයසේ සිටින තම පුතුන් දෙදෙනා සමඟ චිත්‍රපට නැරඹීමට යෑමෙන් ප්‍රීතියක් අද්දකියි. බිල් මෙහෙම කියනවා. “සිනමා ශාලාවෙන් එළියට ආවට පස්සේ චිත්‍රපටිය ගැන අපි කට්ටියම එකතු වෙලා කතා කරනවා. අපි චිත්‍රපටියෙන් ඉගෙනගත්තේ මොන වගේ ප්‍රතිපත්ති ගැනද, ඒවා හරි ප්‍රතිපත්තිද නැත්නම් වැරදි ඒවාද කියන එක ගැන සාකච්ඡා කරනවා.” තෝරා බේරාගැනීමේ අවශ්‍යතාව ගැන බිල් සහ ෂෙරී වටහාගෙන තිබෙනවා. “චිත්‍රපටියේ තියෙන්නේ මොනවාද කියලා අපි කලින්ම කියවලා බලනවා. ඒවගේම අපිට බලන්න සුදුසු නැති දෙයක් චිත්‍රපටියේ තිබුණොත් නැගිටිලා එන්නත් අපි ලැජ්ජා වෙන්නේ නෑ” කියා බිල් පවසනවා. තීරණ ගැනීමේදී දරුවන්වත් හවුල් කරගැනීමෙන් හරි වැරැද්ද පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගැනීමට ඔවුන්ට උපකාරයක් ලැබෙනවා කියලා බිල් සහ ෂෙරීට හැඟෙනවා. “දරුවන් ඒ අය බලන්න ආස චිත්‍රපටි තෝරාගන්න කොට ඥානවන්ත තීරණ ගන්නවා” කියා බිල් පවසනවා.

බිල් සහ ෂෙරී මෙන් බොහෝ දෙමාපියන් තම දරුවන්ට විනෝදාංශ සම්බන්ධයෙන් විමර්ශන ශක්තිය පුහුණු කර ගැනීමට උපකාර කර තිබෙනවා. චිත්‍රපට කර්මාන්තයෙන් අද දින නිපදවන බොහොමයක් චිත්‍රපට නුසුදුසු ඒවා බව පිළිගත යුතුයි. අනෙක් අතට ක්‍රිස්තියානීන් බයිබල් ප්‍රමිතිවලට අනුව තීරණ ගන්නා විට හිතකර හා ප්‍රබෝධයක් ගෙන දෙන විනෝදාංශවලින් ප්‍රීතියක් ලැබීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

[පාදසටහන්වල]

^ 9 ඡේ. ලොව පුරා බොහෝ රටවල මෙම වර්ග කිරීමේ ක්‍රමය යොදාගෙන තිබෙනවා. වර්ග කිරීමට යොදා තිබෙන සංකේත මගින් චිත්‍රපටයක් සුදුසු කුමන වයස් මට්ටමටද කියා ඇඟවීමක් කෙරෙනවා.

^ 12 ඡේ. මීට අමතරව විත්‍රපට වර්ග කිරීමට යොදාගන්න මිනුම් දණ්ඩ රටකින් රටකට වෙනස් විය හැකියි. එක රටක නහඹරයන්ට නැරඹීමට සුදුසු නැහැයි කියා නම් කළ චිත්‍රපටයක් වෙනත් රටක නැරඹීමට හැකි වන සේ වර්ග කර තිබිය හැකියි.

^ 16 ඡේ. දරුවන්ගේ හා නහඹරයන්ගේ චිත්‍රපට තුළ මායා බන්ධන, භූතවාදය හෝ භූතවාදයට සම්බන්ධ වෙනත් ක්‍රියා තිබිය හැකි බව ක්‍රිස්තියානීන් අමතක නොකළ යුතුයි.—1 කොරින්ති 10:21.

[12වන පිටුවේ කොටුව⁄පින්තූර]

“අපි තීරණයක් ගන්නේ එකට එකතු වෙලා”

“මම පොඩි කාලේ චිත්‍රපටියක් බලන්න ගියේ අම්මයි තාත්තයි එක්කයි. මම දැන් ලොකු හින්දා තනියෙන් යන්න ඉඩ දීලා තියෙනවා. ඒත් මම යන්න ඉස්සෙල්ලා මම බලන්න යන්නේ මොන චිත්‍රපටියද, ඒකේ තියෙන්නේ මොනවාද කියලා මගේ දෙමාපියන් අහනවා. ඒ චිත්‍රපටිය කොයි වගේ එකක්ද කියලා ඔවුන් දන්නේ නැත්නම් ඒ ගැන පත්තරෙන් කියවනවා. එහෙමත් නැත්නම් රූපවාහිනියෙන් ඒ චිත්‍රපටිය ගැන දෙන හැඳින්වීම බලනවා. ඒ වගේම අන්තර්ජාලයෙනුත් ඒ ගැන සොයා බලනවා. ඒ චිත්‍රපටිය හොඳ එකක් නෙමෙයි කියලා ඒගොල්ලන්ට හැඟුණොත් ඊට හේතුව පැහැදිලි කරනවා. මගේ අදහසුත් කියන්න මට ඉඩ දෙනවා. අපි විවෘතව අදහස් හුවමාරු කරගන්නවා. අපි තීරණයක් ගන්නේ එකට එකතු වෙලා.”—ප්‍රංශයේ 19 හැවිරිදි හෙලොයිස්.

[13වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඒ ගැන කතා කරන්න!

“දෙමාපියන් යම් දේවල්වලට තහංචි දමනවා නම් ඒ වෙනුවට හිතකර දේවල් කිරීමට මඟ පෙන්විය යුතුයි. එසේ නොකළොත් දෙමාපියන්ට හොරෙන් තමන් කැමති දේවල් කිරීමට දරුවෝ පෙලඹෙන්න ඉඩ තිබෙනවා. නුසුදුසු දේවල් නැරඹීමට දරුවෝ කැමැත්තක් දක්වන විට සමහර දෙමාපියන් ඒ මොහොතේදීම එපා කියන්නෙවත් බලන්න කියන්නෙවත් නැහැ. ඒ වෙනුවට ඒ ගැන හිතන්න කාලය දෙනවා. දවස් කිහිපයකට පසුව ඒවා නරඹන්න ආස හිතුණේ ඇයි කියලා දරුවන්ගෙන් අහනවා. එහෙම අහනකොට ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඒ ගැන සාකච්ඡා කරනවා. එසේ සාකච්ඡා කිරීමෙන් යෞවනයෝ බොහෝවිට දෙමාපියන් සමඟ එකඟ වෙනවා විතරක් නෙමෙයි ඒ ගැන ස්තුතිවන්තද වෙනවා. දෙමාපියන්ගේ උපකාරය ලැබෙන විට පවුලක් ලෙස විනෝද වීමට යම් ක්‍රියාකාරකමක් සොයාගත හැකියි.”—ජපානයේ සංචාරක අවේක්ෂකයෙක් වන මාසාකි.

[14වන පිටුවේ කොටුව⁄පින්තූර]

විනෝද වීමේ විවිධ ක්‍රම

▪ “යෞවන අය සාමාන්‍යයෙන් කැමතියි තමන්ගේම වයසේ ඉන්න අයත් එක්ක කාලය ගත කරන්න. ඒනිසා නිතරම අපේ අධීක්ෂණය යටතේ හොඳ අයව ඇසුරු කරන්න අපේ දුවට අපි ඉඩ ඇරලා තියෙනවා. අපේ සභාවේ ආදර්ශවත් යෞවන යෞවනියන් හුඟදෙනෙක් ඉන්න නිසා ඔවුන් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න කියලා අපි අපේ දුවව දිරිගැන්නුවා.”—ඉතාලියේ එලීසා.

▪ “අපේ දරුවෝ විනෝද වෙනකොට හුඟක් වෙලාවට අපිත් ඒගොල්ලෝ එක්ක හවුල් වෙනවා. ඕනෑම වයසක ඉන්න ක්‍රිස්තියානීන් එක්ක එකට එකතු වී කළ හැකි හිතකර ක්‍රියාකාරකම් අපි සංවිධානය කළා. ඒවාට උද්‍යානයක ඇවිදීම, එළිමහන් සාදයක් පැවැත්වීම, විනෝද ගමන් යෑම සහ එකමුතු හමුවන් පැවැත්වීම වැනි දේවල් ඇතුල් වුණා. මේනිසා තමන්ගේ යාළුවෝ එක්ක විතරක් විනෝද වෙන්න ඕන කියලා අපේ දරුවෝ හිතන්නේ නැහැ.”—බ්‍රිතාන්‍යයේ ජෝන්.

▪ “සෙසු ක්‍රිස්තියානීන් එක්ක එකට එකතු වීම හොඳ දෙයක් කියලා අපි දැනගත්තා. මගේ දරුවෝ පාපන්දු ක්‍රීඩාව කරන්නත් ආසයි. ඒනිසා ඉඳලා හිටලා අනිත් අයවත් එකතු කරගෙන මේ ක්‍රීඩාවට හවුල් වෙන්න අපි සැලසුම් කරනවා.”—ස්පාඤ්ඤයේ යුවාන්.

▪ “සංගීත භාණ්ඩ වාදනය කිරීමෙන් ප්‍රීතියක් ලබන්න අපි දරුවන්ට දිරිගන්වනවා. ටෙනිස් ක්‍රීඩාවේ යෙදීම, අත්පන්දු ගැසීම, බයිසිකල් පැදීම, කියවීම සහ මිතුරු මිතුරියන් ඇසුරු කිරීම වැනි විනෝදාංශ හුඟකට අපිත් ඒගොල්ලෝ එක්ක හවුල් වෙනවා.”—බ්‍රිතාන්‍යයේ මාක්.

▪ “අපි ක්‍රීඩා කරන්න යන්නේ අපේ දරුවෝ හා මිතුරන් සමඟයි. ඒවගේම මාසෙකට වතාවක් එකට එකතු වී විශේෂ දෙයක් කරන්න සැලසුම් කරනවා. ගැටලු වළක්වාගැනීමට තිබෙන හොඳම ක්‍රමය නම් දරුවන් කරන්නේ මොනවාද කියලා නිතර සොයා බැලීමයි.”—පිලිප්පීන ජනරජයේ ඩානිලෝ.

▪ “චිත්‍ර ප්‍රදර්ශනයක්, මෝටර් රථ ප්‍රදර්ශනයක් හෝ සංගීත සංදර්ශනයක් වැනි දේවල් නැරඹීම පුටුවක ඉඳගෙන චිත්‍රපටියක් නැරඹීමට වඩා බොහෝවිට ප්‍රීතියක් ලැබෙන දෙයක්. එනිසා අපි නිතරම එවැනි දේවල් තිබෙන්නේ කොහේද, කොයි වෙලාවලටද කියන එක ගැන සොයා බලා ඒවා නරඹන්න යනවා. එවැනි දේවල් නරඹද්දී හුඟක් වෙලාවට කතා බහා කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම අපි ඕනෑවට වඩා විනෝදයට බර නොවීමටත් වගබලා ගන්නවා. විනෝදයට බරවීමෙන් කාලය නාස්ති වෙනවා විතරක් නොවෙයි එවන් ක්‍රියාකාරකම්වල නිරත වීමේදී මුලින් ලැබුණු ප්‍රබෝධය හා ප්‍රීතියත් නැති වී යන්න පුළුවන්.”—දකුණු අප්‍රිකාවේ ජූඩිත්.

▪ “අනිත් ළමයි කරන හැම දෙයක්ම මගේ ළමයින්ට සුදුසු නෑ. මගේ දරුවන්ට ඒ දේ තේරුම් කරලා දෙන්න මම උත්සහ කරනවා. ඒත් එක්කම මමයි මගේ මහත්තයයි ඒගොල්ලන්ට සුදුසු විනෝදයක් ලබා දෙන්න උත්සහ කරනවා. ‘අපි කොහේවත් යන්නේ නෑනේ. අපි මුකුත් කරන්නේ නෑනේ’ කියලා දරුවන්ගේ කටින් පිට නොවෙන්න අපි වගබලා ගන්නවා. අපේ පවුලේ ඔක්කමලා එකතු වෙලා උද්‍යාන බලන්න යනවා. සභාවේ අනිත් අය සමඟ අපේ ගෙදර එකමුතු හමුවන් පවත්වනවා.” *— බ්‍රසීලයේ මාරියා.

[පාදසටහන]

^ 47 ඡේ. සමූහයක් වශයෙන් කළ හැකි දේවල් ගැන වැඩිමනත් තොරතුරු දැනගැනීම සඳහා අපගේ අනෙක් සඟරාව වන 1992 අගෝස්තු 15වන දා මුරටැඹ කලාපයේ 15-20 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

[හිමිකම් විස්තර]

James Hall Museum of Transport, Johannesburg, South Africa

[11වන පිටුවේ පින්තූරය]

චිත්‍රපටයක් නැරඹීමට පෙර ඒ ගැන දක්වා තිබෙන අදහස් සෝදිසි කර බලන්න

[12, 13වන පිටුවේ පින්තූරය]

දෙමාපියෙනි, ඔබේ දරුවන්ට තෝරා බේරා ගන්නා අයුරු උගන්වන්න