Skip to content

පටුනට යන්න

තවත් ලුණු ජාතියක්

තවත් ලුණු ජාතියක්

තවත් ලුණු ජාතියක්

සැම්බියාවේ පිබිදෙව්! ලේඛක විසින්

ලුණු ගැන සිතන විට ඔබේ මනසට එන්නේ කොයි ආකාරයේ ලුණුද? සහිඳ ලුණු, මුහුදු වතුරෙන් හදන ලුණු කැට නැත්නම් ලුණු කුඩු වෙන්න පුළුවන්. නමුත් ඔබ කවදාහරි සැම්බියාවේ උතුරු පළාතේ මිපිකා දිස්ත්‍රික්කයේ සාදන චිබ්වා ලුණු ගැන අහලා තියෙනවාද? චිබ්වා ලුණුවල විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලුණු ලබාගන්නේ තණ කොළවලින්!

චිබ්වා වගුරු බිම අසල ජීවත් වන ගම්මු මේ ලුණු ජාතිය හදන්නේ විශේෂිත ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙන්. ඒ සඳහා ලුවිටිකෙලා ගං ඉවුර අසල වැවෙන උස තණ කොළ වර්ගයක් යොදාගන්නවා. වැසි මාස පටන් ගන්න කලින් ඒ කියන්නේ අගෝස්තුවේ සිට ඔක්තෝබර් දක්වා කාලය ඇතුළත මේ තණ කොළ කපාගන්නවා. ඊට හේතුව වැස්ස පටන්ගත්තාම මේ තණ කොළවල ලුණු උපදවන්නේ නැති නිසයි.

තණ කොළ කපා වේළගත්තාට පස්සේ ලුණු ටික ලබාගැනීමට එය පුච්චනවා. ඒ වුණාට ලුණු ටික පිච්චෙන්නේ නෑ. ලුණු අළුවල ඉතුරු වෙනවා. අළු ටික ලබු කැටයකට දානවා. ඉන්පසු ඒකට වතුර දමා ටිකෙන් ටික පෙරෙන්න හරිනවා. ලුණු, වතුරේ දිය වෙලා ලබු කැටයේ තියෙන කුඩා සිදුරු අතරින් පහළට බේරෙනවා. බේරෙන ලුණු වතුර ටික එකතු කරගන්නවා. ඊළඟ පියවර වන්නේ වාෂ්ප කිරීමයි.

රත් කිරීමෙන් වතුර ටික වාෂ්ප කර යවනවා. මේ ක්‍රියාවලියට පැය හයක් විතර ගත වෙනවා. මෙය කිරීම සඳහා ලුණු වතුර ටික මැටි වළඳකට දමා දර ලිපක තබා උතුරවනවා. වතුර වාෂ්ප වෙන්න වෙන්න තව තවත් ලුණු වතුර දානවා. මේ ක්‍රමය නිසා ගන වූ ලුණුවලින් වළඳ පිරෙනවා. දැන් ලුණු කුට්ටියක් හැදිලා තියෙන්නේ වළඳේ හැඩයටයි. ඒක ලිපෙන් බා වළඳ කැඩුවාම රවුම් හැඩයක් තියෙන ලුණු කුට්ටියක් ඉතිරි වෙනවා.

ගම්මු මේ චිබ්වා ලුණු පරම්පරා ගානක් තිස්සේ සාදමින් සිටිනවා. මේ ක්‍රමය සොයාගත්තේ කවුද කියලා කවුරුත් දන්නේ නෑ. සැම්බියාවේ හද්ද පිටිසර පිහිටි මේ පුංචි ගමේ ලුණු හදන ක්‍රමයම, නවීන දින ලුණු සෑදීමේ විද්‍යාත්මක ක්‍රියාවලිය පිටුපසත් තිබීම පුදුමයට කාරණයක්!

[19වන පිටුවේ පින්තූරය]

ලබු කැටයෙන් වතුර පෙරෙනවා

[19වන පිටුවේ පින්තූරය]

අවසන් නිෂ්පාදනය

[19වන පිටුවේ පින්තූරය]

මැටි වළඳ