Skip to content

පටුනට යන්න

“‘දෙවිවරුන්’ යයි කියන ලද අය”

“‘දෙවිවරුන්’ යයි කියන ලද අය”

“‘දෙවිවරුන්’ යයි කියන ලද අය”

ප්‍රේරිත පාවුල් ලිස්ත්‍රාවෙහි සිටි කොර වූ මිනිසෙකුව සුව කළ අවස්ථාවේදී “දෙවිවරු මිනිසුන් මෙන් වී අප වෙතට බැස ඇවිත් සිටිති!” කියා සෙනඟ හඬ නඟා කීවෝය. ඔවුහු පාවුල්ට හර්මීස් කියාද, ඔහුගේ සහයකයා වූ බානබස්ට සියුස් කියාද නම් තැබූහ. (ක්‍රියා 14:8-14) එෆීසයේ දෙමේත්‍රියස් නම් රිදීකරුවෙක් අනතුරු අඟවමින් කීවේ, පාවුල්ට දේශනා කිරීමට ඉඩහැරියොත් “උතුම් දේවතාවිය වූ ආටෙමිස්ගේ දේවස්ථානයත් කිසි වැදගැම්මකට නැති යමක් ලෙස සැලකීමටත් ඉඩ ඇත” කියාය.—ක්‍රියා 19:24-28.

අද දින මෙන් පළමුවන සියවසේදීද බොහෝදෙනෙක් “ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ ‘දෙවිවරුන්’ යයි කියන ලද අයට” වන්දනාමාන කළහ. පාවුල් මෙසේ පැවසුවේය. “බොහෝ ‘දෙවිවරුන්’ සහ බොහෝ ‘ස්වාමිවරුන්’ සිටිති.” කෙසේවෙතත් ඔහු මෙසේද පැහැදිලි කළේය. “ඇත්තෙන්ම අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය. එනම් පියාණන්ය.” එමෙන්ම “සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය. එනම් යේසුස් ක්‍රිස්තුස්ය.”—1 කොරින්ති 8:5, 6.

යේසුස්ට දෙවි කියාත් පැවසුවාද?

තමන් දෙවි බව යේසුස් නොපැවසූ නමුත් යෙහෝවාගේ පත් කරන ලද පාලකයා වශයෙන් යෙසායාගේ අනාවැකියේ ඔහුව හඳුන්වා තිබෙන්නේ “පරාක්‍රමවත් දෙවියන්” හා “සමාදානයේ කුමාරයා” ලෙසයි. යෙසායාගේ අනාවැකියේ තවදුරටත් මෙසේද පවසයි. “උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.” (යෙසායා 9:6, 7, පැරණි අනුවාදය) එබැවින් “කුමාරයා” වන යේසුස්, ශ්‍රේෂ්ඨ රජු වන යෙහෝවාගේ පුත්‍රයාය. “සර්වපරාක්‍රම දෙවිගේ” ස්වර්ගික ආණ්ඩුවේ පාලකයා ලෙස යේසුස් සේවය කරනු ඇත.—නික්මයාම 6:3.

‘යේසුස් “පරාක්‍රමවත් දෙවි” කෙනෙකු වන්නේ කුමන අර්ථයෙන්ද, යේසුස් දෙවිව සිටි බව ප්‍රේරිත යොහන් පැවසුවා නේද?’ කියා කෙනෙකු ඇසිය හැකියි. පැරණි අනුවාදය නම් බයිබලයේ යොහන් 1:1හි මෙසේ පවසා තිබේ. “පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.” සමහරු තරයේ කියා සිටින්නේ බිලිඳකු ලෙස මිහිපිට උපන් යේසුස් හෙවත් “වාක්‍යයාණෝ” සර්වපරාක්‍රම දෙවිමය කියාය. මෙය සැබෑවක්ද?

මෙම පදය පරිවර්තනය කර තිබෙන්නේ යේසුස් සර්ව බලධාරි දෙවිම බව දැක්වීමට නම් “වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක” යනුවෙන් ඊළඟට සඳහන් කර තිබෙන ප්‍රකාශයට එය පටහැනිය. කෙනෙකු තවත් කෙනෙකු “සමඟ” සිටිනවා නම් දෙදෙනාම එක්කෙනෙකු විය නොහැකියි. බොහෝ බයිබල් පරිවර්තනවල වාක්‍යාණෝ සර්ව බලධාරී දෙවි නොවන බවට පැහැදිලිව දක්වා තිබේ. උදාහරණයකට ඇතැම් බයිබල් පරිවර්තනවල පවසන්නේ මෙලෙසය. “වචනය [වාක්‍යා ණෝ] දෙවි කෙනෙක්ව සිටියේය” සහ “වචනය [වාක්‍යාණෝ] දිව්‍යමය පුද්ගලයෙක්ව සිටියේය.” *

ග්‍රීක් භාෂාවේ බයිබල් පදවලද යොහන් 1:1හි ඇති “දෙවි කෙනෙකු” යන අදහසට සමාන යෙදුම් යොදා තිබේ. උදාහරණයක් බලමු. පළමුවන හෙරොද් අග්‍රිපා ගැන පවසමින් ‘කතා කරන්නේ දෙවි කෙනෙක්’ බව සෙනඟ හඬ නඟා කීවෝය. විසකුරු සර්පයෙක් පාවුල්ට දෂ්ට කළත් ඔහු මැරුණේ නැති බව දුටු සෙනඟ “ඔහු දෙවි කෙනෙකුයයි” පැවසූහ. (ක්‍රියා 12:22; 28:3-6) මෙබැවින් වාක්‍යාණෝ දෙවි නොව “දෙවි කෙනෙකු” යයි පැවසීම ග්‍රීක් ව්‍යාකරණවලට මෙන්ම බයිබලයේ ඉගැන්වීම්වලටද එකඟය.—යොහන් 1:1.

යොහන් තම සුවිශේෂයේ මුල් පරිච්ඡේදයේම ‘වාක්‍යයාණෝව’ හඳුන්වා දුන්නේ කෙසේදැයි සලකා බලන්න. “වාක්‍යයාණෝ මාංසවත් වී, . . . අප අතරෙහි වාසය කළේය. පියාණන්වහන්සේ වෙතින් වූ [දෙවිගේ නොව] ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.” එබැවින් මාංසවත් වූ වාක්‍යයාණෝ පොළොවේ ජීවත් වූයේ යේසුස් නම් මිනිසා ලෙසිනි. මිනිස්සු ඔහුව දුටුවෝය. එම නිසා ඔහු සර්වපරාක්‍රම දෙවි විය නොහැක. මන්ද යොහන් දෙවි ගැන පැවසුවේ “කිසිවෙක් කිසිකලක දෙවි දුටුවේ නැත” කියාය.—යොහන් 1:14, 18, පැ. අ.

‘නැවත නැඟිටුණු යේසුස් දුටු විට තෝමස් “මාගේ ස්වාමිනි, මාගේ දෙවියනියි” කියා පැවසුවේ මන්දැයි’ කෙනෙකු ඇසිය හැකියි. දැනටමත් සලකා බලා තිබෙන ආකාරයට යේසුස් දෙවි කෙනෙකි. ඉන් අදහස් වන්නේ දේවත්වයක් ඇතත් ඔහු පියා නොවන බවය. යේසුස් මග්දලායේ මරියාට පැවසුවේ “මම මාගේ පියාණන්වහන්සේ හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි” කියාය. එමෙන්ම යොහන් තම සුවිශේෂය ලියුවේ මන්ද යන කාරණාව ගැනත් සිහියට නඟාගන්න. තෝමස් ගැන වාර්තා කළ පදයෙන් පද තුනකට පසු ඔහු පැහැදිලි කිරීමක් කළේය. ඔහු මේ දේවල් ලියුවේ “යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව [සෙනඟ] විශ්වාස කරන පිණිසය.”—යොහන් 20:17, 28, 31, පැ. අ.

“මේ ලෝකයේ දෙවියා” කවරෙක්ද?

බොහෝ දෙවිවරුන් සිටින බව පැහැදිලි වී හමාරයි. සමහරෙකුගේ නම් අපි බයිබලයෙන්ම දැක බලාගත්තෙමු. එහෙත් පුරාණයේදී යෙහෝවාගේ බලය දුටු සෙනඟ පුදුමයෙන් මෙසේ පැවසූහ. “යෙහෝවා දෙවිමය, යෙහෝවා දෙවිමය.” (1 රාජාවලිය 18:39) කෙසේවුවද බලය තිබෙන තවත් දෙවි කෙනෙකු සිටියි. බයිබලයේ පවසන්නේ මෙයයි. “මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.”—2 කොරින්ති 4:4, පැ. අ.

යේසුස් තම මරණයට පෙර රාත්‍රියේදී මෙම දෙවියා ගැන තම ගෝලයන්ට තුන් වරක් අනතුරු ඇඟවූයේ මොහු “මේ ලෝකයේ අධිපතියා” යයි පවසමිනි. යේසුස් කීවේ මෙම බලවත් අධිපතියා හෝ දෙවියා “දැන් පිටත දමනු ලබන්නේය” කියාය. (යොහන් 12:31; 14:30; 16:11; පැ. අ.) මෙම දෙවියා කවරෙක්ද? ඔහු අධිපතිකම් කරන ලෝකය කුමක්ද?

ඔහු වෙන කවරෙකු හෝ නොව සාතන් නමැති යක්ෂයාමය. දෙවිට විරුද්ධව කැරලිගැසූ දේවදූතයා ඔහුය. අප කෙසේද දන්නේ? සාතන් යේසුස්ව පරීක්ෂා කළ අවස්ථාවේදී සාතන් ඔහුට “ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්වර්යයද උන්වහන්සේට පෙන්වා, ‘ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමියි’ උන්වහන්සේට කීවේය.” (මතෙව් 4:8, 9, පැ. අ.) සාතන් තමා සතු දෙයක් ඉදිරිපත් කරමින් සිටියේ නැත්නම් ඔහු යේසුස්ව පරීක්ෂා කළා කියා පැවසිය නොහැකිය. ඇත්තවශයෙන්ම ප්‍රේරිත යොහන් පැවසුවේ “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” කියාය.—1 යොහන් 5:19.

යේසුස්ගේ පොරොන්දුව සිහියට නඟා ගන්න. “මේ ලෝකයේ අධිපතියා දැන් පිටත දමනුලබන්නේය.” (යොහන් 12:31, පැ. අ.) මෙම ලෝකය හෙවත් මෙම සමාජ ක්‍රමය එහි අධිපතියා සමඟම පහව යනු ඇත. ප්‍රේරිත යොහන් ඒ ගැන පුරෝකථනය කළේ මෙලෙසය. ‘ලෝකය පහව යන්නේය.’ කෙසේවුවද යොහන් මෙසේද පැවසුවේය. “දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහන් 2:17, පැ. අ.) එකම සැබෑ දෙවිගේ ශ්‍රේෂ්ඨ අරමුණු ගැනත්, ඒවාවලින් අපට ප්‍රයෝජන ලැබිය හැකි ආකාරය ගැනත් දැන් අපි සලකා බලමු.

[පාදසටහන]

^ 7 ඡේ. ජේම්ස් එල්. ටෝමනෙක්ගේ නව තෙස්තමේන්තුව, බෙන්ජමින් විල්සන්ගේ දි එම්ෆැටික් ඩයග්ලොට් ලෙස හඳුන්වන ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ල, ජේ.එම්.පී. ස්මිත් සහ ඊ. ජේ. ගුඩ්ස්පීඩ් අමෙරිකානු පරිවර්තනයක් නම් බයිබල් පරිවර්තනය බලන්න.—ඒවා සිංහලෙන් නැත.

[28, 29වන පිටුවේ පින්තූරය]

ලුස්ත්‍රාවේ මිනිස්සු පාවුල්ට සහ බාර්ණබස්ට දෙවිවරුන් කියා නම් තැබූහ

[28, 29වන පිටුවේ පින්තූරය]

යේසුස් මග්දලායේ මරියාට පැවසුවේ “මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි” කියාය