Skip to content

පටුනට යන්න

නමස්කාරය සඳහා ආගමික චිත්‍ර භාවිත කළ යුතුද?

නමස්කාරය සඳහා ආගමික චිත්‍ර භාවිත කළ යුතුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

නමස්කාරය සඳහා ආගමික චිත්‍ර භාවිත කළ යුතුද?

සෑම වසරකම අගෝස්තු 15වනදා ග්‍රීසියේ ටීනොස් දූපතේ විශාල ආගමික උත්සවයක් පැවැත්වෙනවා. දහස් ගණනක් එම ස්ථානයට එක් රොක් වෙන්නේ යේසුස්ගේ මව වූ මරියාට සහ ආශ්චර්යවත් බලයක් තිබෙන බවට විශ්වාස කෙරෙන අඳින ලද ඇගේ රූපයට ගෞරව කිරීමටයි. * ග්‍රීක ඕතඩොක්ස් ආශ්‍රේය ග්‍රන්ථයක මෙවන් දෙයක් සඳහන් කර තිබුණා. “අපගේ ස්වාමීන්ගේ මව වන අතිශුද්ධ කන්‍ය මරිය තුමියට මහත් ඇදහිල්ලකින් හා භක්තියකින් අපි ගරු බුහුමන් දක්වනවා. අප ඇගෙන් රැකවරණය හා උපකාරය පතනවා. ඒවගේම අපගේ ආත්මික හා ශාරීරික ශුභසාධනය ගැන මහත් ආශ්චර්යයන් සිදු කරන සාන්තුවරයන්ට උපකාර කරන්න කියා ඇයගෙන් අයදිනවා. . . . අප මේ සාන්තුවරයන්ගේ රූප හා ආගමික පින්තූර ඉතා භක්ත්‍යාදරයෙන් සිඹිමින් ඊට ගෞරවය පිරිනමනවා.”

ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ බොහෝ ආගම්, නමස්කාරයේදී ආගමික චිත්‍ර යොදාගන්නවා. නමුත් නමස්කාරයේදී ආගමික චිත්‍ර භාවිතය බයිබලයට එකඟද?

මුල් ක්‍රිස්තියානීන්

ප්‍රේරිත පාවුල් ක්‍රි. ව. 50දී රූප වන්දනාව වැජඹෙමින් තිබූ ඇතන්ස් නුවරට ගිය විට සිදු වූයේ කුමක්ද කියා සලකා බලන්න. පාවුල් ඇතන්ස් නුවර වැසියන්ට කළ පැහැදිලි කිරීම සැලකිල්ලට ගන්න. දෙවි “අතින් සෑදූ දේවස්ථානවල වාසය කරන්නේ නැත. යම් දෙයකින් අඩුවක් ඇති කෙනෙකු මෙන් ඔහුට මිනිස් අත්වලින් උපස්ථාන ලබන්නද අවශ්‍ය නැත. . . . දෙවි රන්, රිදී හෝ ගල් මෙන්, මිනිස් කලාවෙන් සහ කල්පනාවෙන් නෙළූ දෙයක් හා සමාන වන්නේයයි අප නොසිතිය යුතුය.”—ක්‍රියා 17:24, 25, 29.

ඇත්තෙන්ම රූප භාවිතය පිළිබඳ එවැනි අනතුරු ඇඟවීම් නව ගිවිසුම ලෙසින්ද හඳුන්වන ග්‍රීක ලියවිල්ලේ සුලභව දක්නට ලැබෙනවා. ඊට උදාහරණ කිහිපයක් සලකා බලමු. ප්‍රේරිත යොහන් ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කළා. “දේවතා රූපවලින් පරෙස්සම් වන්න.” (1 යොහන් 5:21) පාවුල් කොරින්තිවරුන්ට ලීවේ මෙසේයි. “දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර ඇති එකඟත්වය කුමක්ද?” (2 කොරින්ති 6:16) මුල් ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් කලින් යෙදී සිටි නමස්කාරයේදී රූප භාවිත කර තිබෙනවා. ඒ බව පාවුල් තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියන විට මෙසේ සිහිගැන්නුවා. ‘ඔබේ දේවතා රූප කෙරෙන් ඔබ දෙවි වෙතට හැරුණේ ජීවමාන වූ, සැබෑ වූ දෙවි කෙනෙකුට වෙහෙස මහන්සි වී සේවය කරන පිණිසයි.’ (1 තෙසලෝනික 1:9) පාවුල්ට හා යොහන්ට ආගමික චිත්‍ර කෙරෙහි තිබූ ආකල්පයම එම ක්‍රිස්තියානීන්ටත් තිබුණ බව එයින් පැහැදිලියි.

“ක්‍රිස්තියානීන්” ආගමික චිත්‍ර භාවිත කිරීමට පෙලඹුණු අයුරු

එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා නම් විශ්වකෝෂයේ මෙවැන්නක් සඳහන් වෙනවා. “මුල් සියවස් තුන ඇතුළත ක්‍රිස්තියානි පල්ලිවල, . . . ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ චිත්‍ර කිසිවක් තිබුණේ නැහැ. පල්ලි තුළ එවැනි දේවල් භාවිත කිරීම පිළිබඳව තදින්ම විරෝධය පළ කරනු ලැබුවා. ඊට උදාහරණයක් පෙන්වනවා නම් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් ක්‍රිස්තියානි සභාව තුළ ආගමික (මිථ්‍යා) චිත්‍ර භාවිතය විවේචනය කළා. ඔහු පැවසුවේ එමගින් මැවුම්කරුට වඩා ජනයා මැවිල්ලට නමස්කාර කිරීමට පෙලඹෙන බවයි.”

එසේනම් ආගමික චිත්‍ර භාවිතය මෙතරම් ජනප්‍රිය වුණේ කොහොමද? බ්‍රිටැනිකා විශ්ව කෝෂයේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “තුන්වන සියවසේ මැද භාගයේ පමණ ක්‍රම ක්‍රමයෙන් ක්‍රිස්තියානි පල්ලි තුළ චිත්‍ර භාවිතය පටන්ගත් බවට සාක්ෂි තිබෙනවා. නමුත් සමහර සභාවලින් ඊට දැඩි විරුද්ධවාදිකම් එල්ල වුණා. හතරවන සියවසේ මුල් වකවානුව තුළ ක්‍රිස්තියානි පල්ලිය කොන්ස්ටන්ටයින් අධිරාජයා යටතේ රෝම ආණ්ඩුවේ පාලන සමයේදී පල්ලි තුළ චිත්‍ර භාවිතය මුළුමනින්ම වගේ ඇරඹුණා. ඉන්පසු එය ක්‍රිස්තියානි ආගමේ ජනප්‍රිය පිළිවෙතක් බවට පත් වුණා.”

එම වකවානුවේ ක්‍රිස්තියානීන් බවට පත් වූ මිථ්‍යා විශ්වාසයන් තිබූ බොහෝ පුද්ගලයන් අතර තිබුණ පොදු සිරිතක් වූයේ අධිරාජ්‍යයාගේ පින්තූරවලට නමස්කාරය පිරිනැමීමයි. ජෝන් ටේලර් විසින් රචිත පොතේ මෙසේ සඳහන් කරනවා. (Icon Painting පොත) “අධිරාජ්‍යයාට කළ නමස්කාරයක් වශයෙන් පුරුද්දක් ලෙස මිනිසුන් ඔහුගේ රූපය කැන්වස් රෙදි මත හෝ ලී මත පින්තාරු කර ඊට නමස්කාරය පිරිනැමුවා. ඉන්පසු එම පිළිවෙත ආගමික චිත්‍රවලට ගරු බුහුමන් දැක්වීමක් බවට පරිවර්තනය වීම අමාරු දෙයක් වුණේ නැහැ.” පසුව අධිරාජ්‍යයාගේ චිත්‍රය වෙනුවට යේසුස්ගේ, මරියාගේ, දේවදූතයන්ගේ සහ “සාන්තුවරුන්ගේ” චිත්‍ර යොදාගත්තා. පල්ලි තුළ භාවිත කිරීමට පටන්ගත් මෙම පින්තූර දහස් ගණන් ජනයා ක්‍රම ක්‍රමයෙන් තම නිවෙස්වල තබාගෙන ඒවාට නමස්කාර කිරීමට පෙලඹුණා.

“ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” නමස්කාර කිරීම

දෙවිගේ සේවකයන් “ආත්මයෙන්ද සත්‍යතාවෙන්” නමස්කාර කළ යුතුයි කියා යේසුස් තම ශ්‍රාවකයන්ට පැවසුවා. (යොහන් 4:24) එමනිසා අවංක පුද්ගලයෙකුට ආගමික චිත්‍ර භාවිතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට උවමනාවක් තිබෙනවා නම් ඔහු දෙවිගේ වචනය පරීක්ෂා කර බැලිය යුතුයි.

බයිබලයේ යේසුස් ප්‍රකාශ කළ දෙයක් ගැන මෙසේ සඳහන් වෙනවා. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත.” (යොහන් 14:6) පාවුල් මෙසේ ප්‍රකාශ කළා. “ඇත්තේ එක දෙවි කෙනෙක්ය. එමෙන්ම, දෙවි සහ මිනිසුන් අතර සිටින්නේ එක මැදිහත්කරුවෙක්ය. එනම් මිනිසෙකු වූ ක්‍රිස්තුස් යේසුස්ය.” එමෙන්ම ‘අප වෙනුවෙන් අයැදින්නෙත් ක්‍රිස්තුස්ය.’ (1 තිමෝති 2:5; රෝම 8:34) ක්‍රිස්තුස්ගේ මෙම කාර්යභාරය තේරුම්ගැනීමට පහත සඳහන් බයිබල් පදයද ඉවහල් වෙයි. ක්‍රිස්තුස් ‘මාර්ගයෙන් දෙවිට ළඟා වන අයව සම්පූර්ණයෙන්ම ගලවන්න ඔහුට පුළුවන. මන්ද ඔවුන් උදෙසා අයැදීමට ඔහු සදහටම ජීවත්ව සිටින්නේය.’ (හෙබ්‍රෙව් 7:25) අප දෙවි වෙතට ළඟා විය යුත්තේ යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්. ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙක්, එසේ නැතහොත් අජීවි ආගමික චිත්‍රයක් යොදාගත නොහැකියි. “පියාණන්ට ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර” කිරීමට මාර්ගය සොයන කෙනෙකුට දෙවිගේ වචනය තුළින් ලැබෙන එවන් දැනුමක් උපකාරවත් වෙයි. මෙවැනි උතුම් නමස්කාර ක්‍රමයක යෙදීමෙන් ආශීර්වාද අත් කරගත හැකියි. සැබවින්ම යේසුස් පැවසුවේ “පියාණන් තමන්ට නමස්කාර කරන පිණිස එබඳු අයව සොයන්නේය” කියායි.—යොහන් 4:23.

[පාදසටහන]

^ 3 ඡේ. ආගමික චිත්‍ර යනු යම් කිසි ආගමක් අදහන්නන් විසින් ගෞරවය දක්වන චිත්‍ර හෝ සංකේතයි. උදාහරණයකට නැඟෙනහිර ඕතඩොක්ස් පල්ලියේ සමහර චිත්‍රවලින් පිළිබිඹු කර තිබෙන්නේ යේසුස්ව. තවත් සමහරක් චිත්‍රවලින් ත්‍රිත්වය, “සාන්තුවරුන්,” දේවදූතයන් හෝ ඉහත සඳහන් කළ ආකාරයට යේසුස්ගේ මවගේ පින්තූරය නිරූපණය කර තිබෙනවා. නමස්කාරයේදී රූප භාවිත කරන බොහෝදෙනෙක් ඒවාට ගෞරවය දක්වනවා වගේම ගෞරවයක් මිලියන ගණන්දෙනෙක් ආගමික චිත්‍රවලටද දක්වනවා. ක්‍රිස්තියානි නොවන සමහර ආගම්වල අයටත් ඔවුන්ගේ දෙවිවරුන්ගේ චිත්‍ර හා රූප සම්බන්ධයෙන් තිබෙන්නේ එවැනිම ගෞරවයක්.

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Boris Subacic/AFP/Getty Images