Skip to content

පටුනට යන්න

පිටපතෙන් රිදී තිරයට

පිටපතෙන් රිදී තිරයට

පිටපතෙන් රිදී තිරයට

පසුගිය දශක කිහිපය පුරා හොලිවුඩ් සිනමාව මගින් ඉතා ජනප්‍රිය මෙන්ම සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපට රැසක් බිහි කළා. මෙම චිත්‍රපට ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණා. අමෙරිකාවේ සිනමා හල්වල මුල්ම දර්ශනය තිරගත වී සතියකින් පසුව හෝ සමහරවිට දවස් කිහිපයකින් පසුව පවා බොහෝ චිත්‍රපට වෙනත් රටවල් තුළ තිරගත වෙනවා. සමහර චිත්‍රපට ලොව පුරා තිරගත වන්නේ එකම දිනයේදීයි. අමෙරිකාවේ චිත්‍රපට සමාගමක සභාපති වන ඩෑන් ෆෙල්මන් මෙවැන්නක් කියා සිටිනවා. “අමෙරිකාවේ චිත්‍රපටවලට දැන් ජාත්‍යන්තර වෙළඳ පොළක් තිබෙනවා. ඒ නිසා අපි චිත්‍රපට හදන්නේ ලොව වටා සිටින ප්‍රේක්ෂකයන්ටත් ගැළපෙන විදිහටයි.” පෙර කවරදාකටත් වඩා හොලිවුඩ් සිනමාවට ලෝක ව්‍යාප්ත ඉල්ලුමක් තිබෙනවා. *

කෙසේවෙතත් චිත්‍රපටයකින් ලාභ ඉපදවීම හිතන තරම් පහසු කාර්යයක් නෙමෙයි. බොහෝ චිත්‍රපට තැනීමට හා අලෙවියට පමණක් ඩොලර් මිලියන 100කට වඩා වැඩියෙන් වැය වෙනවා. නමුත් චිත්‍රපටයක් සාර්ථක වෙනවාද නැද්ද යන්න මුළුමනින්ම රඳා පවතින්නේ මහජනයා දක්වන ප්‍රතිචාරය අනුවයි. “මහජනයා කොයි වගේ චිත්‍රපටයකට කැමති වෙයිද කියලා කලින් තීරණය කරන්න බැහැ” කියා ජෝර්ජියාවේ විශ්ව විද්‍යාලයක චිත්‍රපට පිළිබඳ අධ්‍යයනයක නියැලෙන ඩේවිඩ් කුක් නමැති මහාචාර්යවරයා පවසනවා. එසේනම්, චිත්‍රපට නිෂ්පාදකවරු සාර්ථක චිත්‍රපට නිපදවන්නේ කොහොමද? මෙයට පිළිතුරු දීම සඳහා චිත්‍රපට තැනීමේදී යොදාගන්නා මූලික පියවර කිහිපයක් සලකා බලමු. *

නිෂ්පාදනයට පෙර සැලසුම්

චිත්‍රපටයක් සෑදීමේදී නිෂ්පාදනයට පෙර සැලසුම් සඳහා වැඩි කාලයක් ගත වන අතර එය ඉතා වැදගත් දෙයක්. විශාල ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා පෙර සූදානම ඉතා වැදගත් වන්නාක් මෙන් මෙහිදීද එය වැදගත් ස්ථානයක් ගනියි. රූගත කරන අවස්ථාවේදී මුදල් අපතේ යෑම වළක්වාගැනීමට නිෂ්පාදනයට පෙර සැලසුම් කිරීමේදී වැය කරන සෑම සතයක්ම දායක වෙනවා.

චිත්‍රපටයක් තැනීම සඳහා කතා වස්තුවක් පාදක කරගනියි. එය ප්‍රබන්ධ කතාවක් හෝ සත්‍ය කතාවක් විය හැකියි. රචකයෙකු විසින් එම කතාව තිරයකට නැඟිය හැකි සේ පිටපතක් සකසයි. එය තිර රචනය ලෙසද හඳුන්වනු ලබනවා. අන්තිම පිටපත සැකසීමට පෙර එය බොහෝවර සකස් කිරීම්වලට ලක් කෙරෙයි. මෙම පිටපත රූපගත කිරීමට යොදාගැනෙයි. එම පිටපතේ දෙබස් හා රඟ දැක්වීම් පිළිබඳ කෙටි විස්තරයක්ද ඇතුළත් වෙනවා. එහි කැමරාව මෙහෙයවන ආකාරය හා රූප රාමුවකින් තවත් රූප රාමුවකට මාරු කළ යුතු අවස්ථාවන් ගැනද යම් මඟ පෙන්වීම සපයා තිබෙනවා.

මෙම මුල් අවස්ථාවේදීම තිර රචනය නිෂ්පාදකවරයෙකුට ඉදිරිපත් කරන්නේ මුදලකටයි. * නිෂ්පාදකවරයෙක් උනන්දු වන්නේ කුමනාකාරයේ තිර රචනයකටද? සාමාන්‍යයෙන් ජනප්‍රිය වන්නේ නහඹරයන්ව හා තරුණයන්ව ඉලක්ක කරගෙන සෑදූ චිත්‍රපටයි. ඒ නිසා නිෂ්පාදකවරයෙක් වැඩි කැමැත්තක් දක්වන්නේ යෞවනයන්ගේ සිත්ගන්නා කතාවක් පදනම් කරගත් චිත්‍රපටයකටයි.

බොහෝ නිෂ්පාදකවරු බාල මහලු සැමට ගැළපෙන පවුලේ චිත්‍රපටයක් සඳහා සකසා ඇති තිර රචනයකට වැඩි කැමැත්තක් දක්වනවා. උදාහරණයකට සමහර රටවල දරුවන්ට හුරු පුරුදු වීර චරිතයක් වටා චිත්‍රපට නිපදවන්නේ ඔවුන්ව ආකර්ෂණය කරගැනීමටයි. එවිට දරුවන් සමඟ දෙමාපියන්ද එය නැරඹීමට පැමිණෙන බවට කිසි සැකයක් නැහැ. චිත්‍රපට නිෂ්පාදකවරු නහඹරයන්ව හා තරුණයන්ව ආකර්ෂණය කරගන්නේ කොහොමද? එහි රහස ‘ඔවුන්ට සිත් ගන්නා යමක් ඉදිරිපත් කිරීමයි’ කියා ලයිසා මන්ඩි පහත දැක්වෙන සඟරාවට ලියනු ලැබුවා. එසේ කරනු ලබන්නේ පහත් භාෂාව, සටන්කාමී දර්ශන, කාමුක දර්ශන බොහෝමයක් ඇතුළත් කිරීමෙන්. ඉහත සඟරාවේම තවදුරටත් මෙසේ ලියා තිබුණා. “වැඩිම ආදායමක් ලබන්න නම් බාල මහලු කොයි කාටත් ගැළපෙන අයුරින් චිත්‍රපටය තැනිය යුතුයි.”—The Washington Post Magazine.

තිර රචනය හොඳ කතාවක් කියා නිෂ්පාදකවරයාට හැඟී ගියොත් ඔහු එය මිල දී ගන්න ඉඩ තිබෙනවා. ඉන්පසු ඔහු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් හා සුප්‍රකට නළුවෙකු හෝ නිළියක් සමඟ ගිවිසුමක් අත්සන් කරගැනීමට උත්සාහයක් දරයි. ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් සහ ප්‍රවීණ සිනමා නළු නිළියන් යොදාගෙන චිත්‍රපටයක් තැනීමෙන් ආදායම් වාර්තා බිඳ හෙළන චිත්‍රපටයක් තිරගත කිරීමට හැකි වෙයි. චිත්‍රපටයක් තැනීමට පෙරම ප්‍රවීණ පුද්ගලයන්ව හවුල් කරගැනීමෙන් එම චිත්‍රපටය සඳහා මුදල් යොදවන්නන්ව සොයාගැනීමට පහසු වෙනවා.

නිෂ්පාදනයට පෙර සලකා බැලිය යුතු තවත් අංගයක් නම් රූප රාමු පෙළ ඇඳගැනීමයි. රූප රාමු පෙළක් යනු චිත්‍රපටයේ දර්ශනයෙන් දර්ශනය දිග හැරෙන අයුරු දළ ලෙස චිත්‍රයට නැඟීමයි. මෙය චිත්‍රපටයේ කාර්මික ශිල්පීන්ට නිශ්චිත සැලැස්මක් ලබා දෙනවා. චිත්‍රයට නැඟූ රූප රාමු පෙළ යොදාගන්න නිසා රූගත කරන අවස්ථාවේදී කාලය ඉතිරි කරගත හැකියි. අධ්‍යක්ෂකවරයෙක් හා තිර රචකයෙක් වන ෆ්‍රෑන්ක් ඩැරබොන්ට් මෙසේ පවසනවා. “රූගත කරන ස්ථානයේදී කැමරාව හසුරුවන්නේ කොයි කෝණයේ සිටද කියා කල්පනා කර කර ඉන්න සිදු වෙනවා නම් ඒ තරම් කාලය කා දමන තවත් දෙයක් නැහැ.”

නිෂ්පාදනයට පෙර කරන සැලසුම්වලදී සොයා බැලිය යුතු වෙනත් බොහෝ දේවල්ද තිබෙනවා. රූගත කිරීම් සඳහා යොදාගන්නේ කුමන ස්ථානද? එම ස්ථානවලට සෑහෙන දුරක් යන්න තිබෙනවාද? රූගත කිරීම් සඳහා ගොඩනැඟිල්ලක ඇතුළත දර්ශන සහ අවශ්‍ය පසුතල ඉදි කිරීම හා නිර්මාණය කිරීම අවශ්‍යද? නළු නිළි ඇඳුම් අවශ්‍යද? ආලෝකකරණය, වේශ නිරූපණය සහ හිස කෙස් සැකසීම සිදු කරන්නේ කවුද? චිත්‍රපටයකට ශබ්දය, විශේෂ ප්‍රයෝග හා වික්‍රමාන්විත ක්‍රියා ආදිය ඇතුළත් කරන්නේ කොහොමද? මේවා චිත්‍රපටයක් රූගත කිරීමට පෙර සලකා බැලිය යුතු බොහෝ කාරණා අතුරින් කිහිපයක් පමණයි. විශාල වියදමක් දරා සෑදූ චිත්‍රපටයකට දායක වූවන්ගේ නාමාවලිය දෙස බැලූ විට එය රූගත කිරීම සඳහා සියගණනක් සහභාගි වී ඇති බව ඔබට දැකගත හැකි වෙයි. “චිත්‍රපටයක් තැනීමට බොහෝදෙනෙක් අවශ්‍යයි” කියා චිත්‍රපට බොහොමයක පසුතලය නිර්මාණය කිරීමේ කාර්යයෙහි නියැළුණු කාර්මික ශිල්පියෙක් කියා සිටියා.

නිෂ්පාදනය

චිත්‍රපටයක් රූගත කිරීම කාලය වැය වන වෙහෙසකර සහ මිල අධික කටයුත්තක් විය හැකියි. එක විනාඩියක් හෝ අපතේ ගියොත් ඩොලර් දහස් ගණනක පාඩුවක් විඳින්න සිදු විය හැකියි. සමහර අවස්ථාවල නළු නිළියන්, චිත්‍රපටයේ වැඩ කටයුතුවලට දායක වන කණ්ඩායම සහ අංග උපාංග ආදිය බොහෝ ඈත පළාතකට පවා ගෙන යෑමට සිදු විය හැකියි. රූගත කිරීම් කොතැනක සිදු කළත් සෑම දිනකම විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා.

රූගත කරන ස්ථානයට මුලින්ම පැමිණෙන්නේ ආලෝකය සපයන, හිසකෙස් සකසන සහ වෙස් ගන්වන ශිල්පීනුයි. රූගත කරන සෑම දිනකම කැමරාව ඉදිරිපිට පැය ගණනාවක් සිටීමට නළු නිළියන්ව සූදානම් කරන්න සිදු වෙනවා. ඉන්පසු දවස පුරාම රූගත කිරීම් කෙරෙනවා.

සෑම දර්ශනයක්ම රූගත කරන ආකාරය අධ්‍යක්ෂකවරයා හොඳින් නිරීක්ෂණය කරනවා. සමහරවිට එක පුංචි දර්ශනයක් ගැනීමට මුළු දවසම ගත විය හැකියි. චිත්‍රපටයේ දර්ශන බොහොමයක් ගනු ලබන්නේ එකම කැමරාවෙන්. මේ නිසා එක දර්ශනයක් එකම කැමරා කෝණයකින් නැවත නැවත ගැනීමට සිදු වෙනවා. මීට අමතරව රූගත කිරීමේදී හොඳම රඟ දැක්වීම ලබාගැනීමට සහ වෙනත් ගැටලු මඟ හැරවීමට එකම දර්ශනය කිහිප වතාවක් ගැනීමටද සිදු වෙන අවස්ථා තිබෙනවා. විශාල දර්ශනයක් සඳහා එකම දේ පනස්වාරයක් හෝ ඊට වැඩි වාර ගණනක් ගැනීමට සිදු විය හැකියි! රූගත කිරීම්වලින් පසු සෑම දිනකම අවසානයේදී, අධ්‍යක්ෂකවරයා සෑම දර්ශනයක්ම නැවත සෝදිසි කර බලා හොඳම දර්ශනය කුමක්ද කියා තීරණය කරනවා. මේ අනුව රූගත කිරීම් සඳහා සති ගණනාවක් හෝ මාස ගණනාවක් වුණත් ගත විය හැකියි.

නිෂ්පාදනයට පසු

නිෂ්පාදනයට පසු සිදු වන කටයුතුවලදී වෙන වෙනම ගත් දර්ශන සකස් කර සම්බන්ධ කරනවා. ඉන්පසු මුලින්ම දර්ශනවලට ගැළපෙන ලෙස හඬ කවනවා. ඊළඟට සංස්කාරක විසින් රූගත කරන ලද දළ සේයාපටය නිපදවනවා.

ශබ්ද ප්‍රයෝග සහ දෘෂ්ටි ප්‍රයෝග චිත්‍රපටයට ඇතුළත් කරන්නේ මෙම අවස්ථාවේදීයි. මෙය චිත්‍රපටයක් තැනීමේ තිබෙන දුෂ්කර කාර්යයක්. සමහර අවස්ථාවලදී මේ සඳහා පරිගණක තාක්ෂණයද යොදාගන්නවා. මෙමගින් ජීවමාන සහ සිත්ගන්නා දසුන් මැවීමට හැකි වෙනවා.

නිෂ්පාදනයට පසු සංගීත කාණ්ඩ චිත්‍රපටයට ඇතුල් කරනවා. අද චිත්‍රපට ලෝකය තුළ මෙයට විශාල තැනක් හිමි වී තිබෙනවා. “චිත්‍රපටයකට සපයන තේමා සංගීතය දැන් චිත්‍රපට කර්මාන්තයේ වෙන කවරදාකටත් වඩා යොදාගැනෙනවා. කලින් විනාඩි 20ක් හෝ විශේෂ අවස්ථාවන්වල පමණක් වාදනය කළ සංගීතය දැන් බොහෝවිට පැයකට වැඩි කාලයක් පුරා වාදනය වෙනවා” කියා එඩ්වින් බ්ලැක් සඟරාවකට ලියා තිබුණා.—Film Score Monthly.

සමහර අවස්ථාවල මූලික වශයෙන් සංස්කරණය කළ චිත්‍රපටය තෝරාගත් පිරිසකට පෙන්වනවා. එය සෑදීමේදී හවුල් නොවූ තම මිතුරන්ව හෝ තම ක්ෂේත්‍රයේ වැඩ කරන වෙනත් අයව අධ්‍යක්ෂකවරයා ඊට ඇතුළත් කරගන්නවා. ඔවුන් දක්වන ප්‍රතිචාරය අනුව අධ්‍යක්ෂකවරයා දර්ශන යළිත් රූගත කිරීමට හෝ යම් දර්ශන කපා හැරීමට හෝ ඉඩ තිබෙනවා. සමහර අවස්ථාවලදී එම චිත්‍රපටය අවසන් වන ආකාරයට ඔවුන් එතරම් සතුටක් නොදැක්වුවහොත් අවසානය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

ඉන්පසු සියල්ල සම්පූර්ණ කරන ලද චිත්‍රපටය සිනමා හල්වල තිරගත කරනවා. එය අතිශය ජනප්‍රිය චිත්‍රපටයක්ද නැද්ද කියා හෝ පාඩුවක් හා ලාභයක් නැති චිත්‍රපටයක්ද කියා තීරණය වන්නේ මෙම අවස්ථාවේදීයි. ලාභයක් ලැබෙයිද නැද්ද යන අවිනිශ්චිතභාවයට අමතරව තවත් අවදානමක් තිබෙනවා. චිත්‍රපට කීපයක්ම එක දිගට අසාර්ථක වුවහොත් එම චිත්‍රපටවල රඟ පෑ නළු නිළියන්ගේ අනාගත සිනමා ජීවිතයට එය බලපෑමක් කරන අතර අධ්‍යක්ෂකවරයාගේ කීර්ති නාමයටත් පහරක් එල්ල විය හැකියි. ජෝන් බෝර්මන් නම් අධ්‍යක්ෂකවරයා චිත්‍රපට තැනීමේ තම මුල් අවදිය ගැන මෙසේ පවසනවා. “මාත් එක්ක වැඩ කළ වෙනත් අධ්‍යක්ෂකවරුන් කීපදෙනෙකුගේ චිත්‍රපට අසාර්ථක වුණා. නිෂ්පාදකයන්ට මුදල් හම්බ කරලා දුන්නේ නැත්නම් තමන්ගේ රස්සාවත් ඉවරයි. තියෙන ලොකුම අවදානම ඒකයි.”

චිත්‍රපටයක් නැරඹීම සඳහා සිනමා ශාලාවේ දර්ශන පුවරු ඉදිරිපිට සිටින ප්‍රේක්ෂකයන් චිත්‍රපටයක් තැනීමේදී අද්දකින දුෂ්කරතා ගැන කල්පනා කරන්නේ නැහැ. ඔවුන් බොහෝදුරට කල්පනා කරන්නේ මෙලෙසයි. ‘මේ චිත්‍රපටයෙන් මට වින්දනයක් ලබන්න පුළුවන්ද? ප්‍රවේශ පත්‍රයට ගෙවන මුදලට හරියන දෙයක් මට ලැබෙයිද? අපෝ මේක මහ ජරා චිත්‍රපටියක්නේ කියලා මට හිතෙයිද? මගේ දරුවන්ට බලන්න තරම් චිත්‍රපටිය සුදුසු එකක්ද?’ ඔබ නරඹන්නේ කුමන චිත්‍රපටද කියා තීරණය කිරීමේදී එවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න ඔබට හැක්කේ කෙසේද?

[පාදසටහන්වල]

^ 2 ඡේ. හාවඩ් ව්‍යාපාර පාසැලේ මහාචාර්යවරියක් වන අනීටා එල්බර්ස් පවසන ආකාරයට “විදේශ රටවලදී අමෙරිකාවේ චිත්‍රපටයක් වැඩි ආදායමක් ලැබුවත් අමෙරිකාවේදී එම චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරය ඉතා වැදගත් වෙනවා.”

^ 3 ඡේ. විවිධ ක්‍රම තිබුණද මෙහි ඉදිරිපත් කරන්නේ එක් ක්‍රමයක් පිළිබඳවයි.

^ 7 ඡේ. සමහර අවස්ථාවලදී නිෂ්පාදකවරයෙකුට ඉදිරිපත් කරන්නේ තිර රචනයක් වෙනුවට කතාව පිළිබඳව දළ සටහනක් පමණයි. ඔහු එම කතාවට කැමැත්තක් දක්වනවා නම් නීත්‍යනුකූලව එහි අයිතිය ලබාගෙන තිර රචනයක් ලෙස සකස් කරනවා.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මහජනයා කොයි වගේ චිත්‍රපටයකට කැමති වෙයිද කියලා කලින් තීරණය කරන්න බැහැ.”—චිත්‍රපට පිළිබඳ අධ්‍යයනයක නියැලෙන මහාචාර්ය ඩේවිඩ් කුක්

[6, 7වන පිටුවේ කොටුව⁄පින්තූර]

ප්‍රචාරණ කටයුතු

දැන් චිත්‍රපටය තිර ගතවීමට සූදානම්. මිලියන ගණනක් එය නැරඹීමට ඉඩ තිබෙනවා. එය සාර්ථක චිත්‍රපටයක් වෙයිද? එය ආදායම් වාර්තා බිඳ හෙළන චිත්‍රපටයක් බවට පත් කිරීම සඳහා චිත්‍රපට තනන අය ගනු ලබන ක්‍රම කිහිපයක් සලකා බලන්න.

කටින් කට ප්‍රචාරය: චිත්‍රපටයකට ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කිරීම සඳහා හොඳම ක්‍රමයක් වන්නේ කටින් කට ප්‍රචාරය යැවීමයි. සමහර අවස්ථාවලදී මෙය පටන්ගන්නේ චිත්‍රපටය තිර ගතවීමට මාස ගණනාවකට පෙර සිටයි. කලින් ආදායම් වාර්තා බිඳ හෙළු චිත්‍රපටයක ඊළඟ කොටස තිර ගතවීමට නියමිත බව නිවේදනය කරනවා. එහි රඟ පෑ නළු නිළියන්ම මෙම චිත්‍රපටයෙත් රඟ පායිද? කලින් චිත්‍රපටය වගේ මෙම චිත්‍රපටයත් හොඳ එකක් (නැතහොත් නරක එකක්) වෙයිද?

සමහර අවස්ථාවලදී චිත්‍රපටයේ පිළිකුල් කාමුක දර්ශනයක් “ප්‍රේක්ෂකයන්ට” දකින්න සැලැස්වීම මගින් එය කතා බහට ලක් වන විෂයක් බවට පත් කෙරෙනවා. දර්ශනය එතරම්ම අශික්ෂිතද? චිත්‍රපටය අන්තයටම ගිහිල්ලාද? චිත්‍රපටය මත භේදයට තුඩු දෙන කාරණයක් වීම හේතුවෙන්ම තම චිත්‍රපටයට නොමිලේ ලැබෙන ප්‍රචාරය ගැන චිත්‍රපට සාදන්නන් සතුටු වෙනවා. චිත්‍රපටය කතා බහට ලක් වී තිබෙන නිසා එය මුල් වතාවට තිරගත වෙද්දීම විශාල ජනකායක් ඒ වෙත ඇදී එනවා.

▪ මාධ්‍යය: සාමාන්‍යයෙන් ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ දැන්වීම් පුවරු, පුවත්පත් නිවේදන, රූපවාහිනි වෙළඳ දැන්වීම්, චිත්‍රපටයේ විවිධ දර්ශන පෙන්වීම, එම චිත්‍රපටයේ රඟ පෑ නළු නිළියන්ව පිළිසඳරකට කැඳවීම වැනි ක්‍රම යොදාගැනීමෙන්. දැන් චිත්‍රපට ප්‍රචාරණය සඳහා අන්තර්ජාලය ප්‍රධාන මාධ්‍යයක් වී තිබෙනවා. ‘දැන් ගෙයින් එළියට නොයාම චිත්‍රපටයක සියලු තතු දැනගත හැකියි. ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන ප්‍රචලිත වන කතා බහ, අලුත්ම චිත්‍රපටවල දර්ශන, ප්‍රවේශ පත් සහ නැරඹිය හැකි වේලාවන් වැනි ඕනෑම දෙයක් අන්තර්ජාලයෙන් ලබාගත හැකියි’ කියා චිත්‍රපට විචාරකයෙක් වන ස්ටීව් පසැල් පවසයි.

ප්‍රචාරණ භාණ්ඩ: මෙම භාණ්ඩ මගින් තිරගත වීමට නියමිත චිත්‍රපටයට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙනවා. උදාහරණයකට කෑම පෙට්ටි, කෝප්ප, රන් ආභරණ, ඇඳුම්, යතුරු අමුණන දම් වැල්, ඔරලෝසු, ලාම්පු සහ කැරම් ලෑලි වැනි ක්‍රීඩා භාණ්ඩ ආදියේ වීර චරිතයක් පාදක කරගෙන තැනූ චිත්‍රපටියක නම හෝ එහි වීරයාගේ රූපය නිරූපණය වීමට සලස්සනවා. “චිත්‍රපට ප්‍රචාරණ භාණ්ඩවලින් සියයට 40ක්ම විකුණනු ලබන්නේ චිත්‍රපටය තිරගත වීමටත් පෙරයි” කියා ජෝ සිස්ටෝ අමෙරිකානු සංගමයකට අයත් සඟරාවක සඳහන් කරනවා.

▪ නිවසේ සිට නරඹන වීඩියෝ පට: යම් චිත්‍රපටයකින් බලාපොරොත්තු වූ තරම් ආදායමක් නොලැබුණේ නම් එම චිත්‍රපටය වීඩියෝ පට බවට පරිවර්තනය කර විකුණා අලාභය පියවා ගැනෙයි. චිත්‍රපට මගින් උපයන ආදායම් ගැන වාර්තා තබන්නෙකු වන බෲස් නෑෂ් කියන්නේ “වීඩියෝ පට මගින් සියයට 40ත් සියයට 50ත් අතර ආදායමක් උපයන” බවයි.

▪ වර්ග කිරීම: චිත්‍රපට සාදන අය තමන්ට වාසි වන ආකාරයට වර්ග කරන්න පුරුදු වී සිටිනවා. උදාහරණයකට වැඩිහිටියන්ට පමණයි කියා වර්ග කිරීම සඳහා ඔවුන් හිතාමතාම ඊට සරිලන භාෂා විලාසයක් හා දසුන් ඇතුළත් කරන්න ඉඩ තිබෙනවා. අනෙක් අතට වැඩිහිටියන්ට පමණයි කියා නම් කළ යම් චිත්‍රපටයක දර්ශන බොහොමයක් කපා හැර නහඹරයන්ගේ චිත්‍රපටයක් ලෙස වර්ග කිරීමට ඉඩ තිබෙනවා. ලීසා මන්ඩි පහත දැක්වෙන සඟරාවේ මෙසේ ලියයි. නහඹරයන්ගේ චිත්‍රපටයක් ලෙස වර්ග කිරීමෙන් “යම් ප්‍රචාරයක් නිකුත් කරනවා. චිත්‍රාගාර මගින් නහඹරයන්ට මෙන්ම නහඹරයන් වීමට කැමැත්තෙන් සිටින බාල දරුවන්ට සුදුසු දේවල් මෙම චිත්‍රපටයේ තිබෙනවා කියන පණිවිඩය ලබා දෙනවා. දෙමාපියන්ට යම් දැනුම් දීමක් කරන අතරතුරේ දරුවන්ව මුළා කරන නිසා දෙමාපියන් හා දරුවන් අතර හැලහැප්පීමක් ඇති වෙනවා.”—Washington Post Magazine.

[8, 9වන පිටුවේ පින්තූර]

චිත්‍රපට නිෂ්පාදනය කරන අයුරු

පිටපත

රූප රාමු පෙළ

රූගත කරන ස්ථානයක්

ඇඳුම් ආයිත්තම්

වේෂ නිරූපණය

සංස්කරණය

විශේෂ ප්‍රයෝග රූගත කිරීම

සංගීතය පටිගත කිරීම

ශබ්ද පරිපාලනය

පරිගණක තාක්ෂණය යොදාගැනීම