Skip to content

පටුනට යන්න

“මම අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් අරඹන එක හොඳ දෙයක්ද?”

“මම අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් අරඹන එක හොඳ දෙයක්ද?”

යෞවන අය අසති . . .

“මම අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් අරඹන එක හොඳ දෙයක්ද?”

“අපි හැමදාම ඊ-මේල් පණිවිඩ හුවමාරු කරගත්තා. අපි ජීවත් වෙන්න යන්නේ කොහේද, මොන වගේ රැකියාවක්ද කරන්නේ කියලත් අපි කතා කෙරුවා. විවාහ ගිවිසගැනීමේ මුදු හදන්න කියලා මට කිව්වා. අපි දැන හඳුනා ගෙන මාසයක්වත් නැහැ. මුහුණට මුහුණ මුණ ගැහිලත් නැහැ.”—ඔස්ට්‍රියාවේ මොනිකා. *

ඔබ ආස ඇති කවුරු හරි කෙනෙකුව හොඳින් දැන හඳුනාගන්න. මිතුරෙකු හෝ මිතුරියක් ලෙස එහෙමත් නැත්නම් විවාහ වීමේ අරමුණින් කෙනෙකුව දැන හඳුනාගන්න ඔබ කැමති ඇති. ඒත් ඒ සඳහා මේ වන තෙක් ඔබ දැරූ වෑයම් අසාර්ථක වුණා වෙන්න පුළුවන්. ඔබේ මිතුරන් සහ පවුලේ අය ඔබට යම් කෙනෙකුව මුණගස්සන්න හොඳ හිතින් දැරූ වෑයම්ද සාර්ථක වී නැහැ. එයින් සිදු වී තිබෙන්නේ ඔබ තව තවත් ලැජ්ජාවට හා කලකිරීමට පත්වීම පමණයි. මෙවැනි අවස්ථාවක පරිගණකය වැනි දෙයකින් හරි පිහිටක් ලබාගැනීමට පුළුවන් වෙයිද කියා ඔබ කල්පනා කරනවා ඇති.

පරිගණකයට විශේෂ තැනක් හිමි වී තිබෙන මෙම කාලයේ ගැළපෙන සහකරුවෙකු සොයාගැනීම බොත්තමක් එබූ සැණින් කළ හැකි දෙයක් මෙන් පෙනිය හැකියි. අවිවාහක අය සඳහා සැලසුම් කර තිබෙන වෙබ් අඩවියකට ඇතුල් වීම විතරයි ඔබට කරන්න තියෙන්නේ කියා සමහරෙකු පවසනවා. එක්සත් ජනපදයේ පමණක් මිලියන 45දෙනෙක් අන්තර්ජාලය හරහා විවාහ සහකරුවෙකු සොයා දෙන වෙබ් අඩවියකට පිවිස තිබෙනවා කියා ද නියු යෝර්ක් ටයිම්ස් වාර්තා කරනවා. එම සේවා සපයන එක් වෙබ් අඩවියක් කියා සිටියේ ඔවුන්ගේ සේවාව රටවල් 240ක් පුරා මිලියන නවයකට වැඩි පිරිසක් ප්‍රයෝජනයට ගන්නා බවයි.

මෙතරම් ආකර්ෂණයක් තිබෙන්නේ මන්ද?

ඔබ ලැජ්ජාශීලී කෙනෙක්ද? පුද්ගලයන් සමඟ සබඳතාවක් ඇරඹීම ඔබට අමාරුද? ඔබව ප්‍රතික්ෂේප කරයි කියා බිය වෙනවාද? එහෙමත් නැත්නම් ඔබ ජීවත් වන පළාතේ විවාහ සහකරුවෙක් සොයාගැනීමට අමාරුයි කියා ඔබට සිතෙනවාද? එසේනම් පරිගණකය හරහා විවාහ සහකරුවෙක් සොයාගැනීමට ආශාවක් ඔබ තුළ ඇති වීමට ඉඩ තිබෙනවා. මෙයට ඇදී යන එක් හේතුවක් තමයි එම වෙබ් අඩවි සාදන අය දෙන පොරොන්දුව. ඔවුන් කියන්නේ ඔබේ හිතේ හැටියට “පෙම්වතුන්ව” සොයාගැනීමට ඔබට ඉන් හැකියාවක් ලැබෙන බවයි. පරිගණකයේ දිස්වන කොටු තුළ වයස් කාණ්ඩ, ජීවත් වන රට, පෞද්ගලික තොරතුරු, ඡායාරූප හා අන්තර්ජාලයේ වෙබ් අඩවියකට පිවිසීම සඳහා තමාගේ නම වෙනුවට ඇතුළත් කරන වෙනත් නම් පවා දක්නට ලැබෙනවා. මේවා බැලීමෙන් තමන්ට කැමති අයව තෝරාගැනීමේ නිදහසක් තිබෙන නිසා මෙය සාර්ථක ක්‍රමයක් ලෙස පෙනෙන්න පුළුවන්. ඒවගේම පුද්ගලයෙකුව මුහුණට මුහුණ හමුවීමේදී මෙන් නොව මෙහිදී දැනෙන මානසික පීඩනයද අඩුයි.

ඇත්තටම යථාර්ථය එයද? අන්තර්ජාලය හරහා කරන පෙම් සබඳතා ප්‍රීතිමත් විවාහයකට මඟ පාදනවාද? එය දැනගැනීමට මෙම උදාහරණ සලකා බලන්න. අවුරුදු හයක් ඇතුළත පුද්ගලයන් මිලියන 11ක් විවාහ සහකරුවන් සොයා දෙන වෙබ් අඩවියක සාමාජිකයන් බවට පත් වුණා. නමුත් විවාහ සහකරුවන් ලැබී විවාහයක් කරගැනීමට හැකි වුණේ එම සංඛ්‍යාවෙන් 1,475දෙනෙකුට පමණයි. අන්තර්ජාලය හරහා සහකරුවන් සොයා දෙන තවත් එවැනි සේවාවක සාමාජිකත්වය ලබා සිටි මිලියනයකට වැඩි පුද්ගලයන්ගෙන් විවාහයට පිවිසියේ 75දෙනෙකු පමණයි! මෙම ක්‍රමයේ ඇති වරද කුමක්ද?

සැබෑ රූපය දකින්න පුළුවන්ද?

එක් පුවත්පතක මෙවැන්නක් සඳහන් වුණා. “අන්තර්ජාලයේ ඉන්න හැමෝම පෙන්වන්න උත්සාහ කරන්නේ තමන් කඩවසම්, අවංක මෙන්ම සාර්ථකත්වයක් ලබා තිබෙන අය විදිහටයි.” ඒත් පුද්ගලයන් තමන් ගැන ලබා දෙන තොරතුරු කොතරම් නිවැරදිද? තවත් පුවත් වැකියක මෙසේ සඳහන් වුණා. “හැමෝම සියයට සියයක්ම ඇත්ත කියනවා කියලා විශ්වාස කරන්න බැහැ.” මේ පිළිබඳව ජනප්‍රිය යොවුන් සඟරාවක කර්තෘවරියක් පෞද්ගලිකවම යම් පර්යේෂණයක් කළා. ඇය මෙම සේවාවන් සපයන ප්‍රසිද්ධ වෙබ් අඩවි තුනකට ඇගේ නම ඇතුල් කළා. ඊට පසු දිනම ප්‍රතිචාරයන් කිහිපයක් ඇයට ලැබුණ අතර තරුණයන් කිහිපදෙනෙකු සමඟ ඈ සබඳතාවන් පැවැත්තුවා. ප්‍රතිඵලය කුමක්ද? එය අසාර්ථක වෑයමක්! එම තරුණයන් තමන් ගැන කිසිම බියක් සැකක් නැතිව බොරු ගොතා කිව්වා. “මගේ අද්දැකීමට අනුව නම් ඒ අය බොරු කියනවා.” ඒ ඇගේ අවවාදයයි.

කෙනෙකුගේ උස හෝ බර ගැන ඇත්ත තොරතුරු නොදීම එතරම් දෙයක් නොවෙයි කියා යමෙකු සිතන්න පුළුවන්. ‘පෙනුම එතරම් වැදගත් දෙයක් නෙමෙයිනේ’ කියලා සමහරෙකු තර්ක කරන්න පුළුවන්. ඒක ඇත්ත, “රූපශ්‍රීය රැවටිලි සහිතය; රුව නිෂ්ඵලය” කියා බයිබලයෙත් සඳහන් වෙනවා. (හිතෝපදේශ 31:30) ඒත් පොඩි බොරුවක් දෙකක් කීම සබඳතාවක් පටන්ගන්න හොඳ ක්‍රමයක්ද? (ලූක් 16:10) එම පුද්ගලයාගේ පෞද්ගලික ඉලක්ක වැනි ගැඹුරු කාරණා ගැන පවසද්දී ඒවා කොයිතරම් දුරට ඔබට විශ්වාස කරන්න පුළුවන් වේවිද? බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “තම තමාගේ අසල්වාසියාට සියල්ලෝ සැබෑව කියන්න.” (සෙකරියා 8:16) ඇත්තෙන්ම සබඳතාවක් ශක්තිමත් වීමට දායක වෙන්නේ අවංකකමයි.

එහෙත් අන්තර්ජාලය හරහා පවත්වන පෙම් සබඳතා, ඔබව සැබෑ නොවන සිහින ලෝකයකට රැගෙන යන්න පුළුවන්. නිව්ස්වීක් සඟරාවේ එක් වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “සබඳතා පවත්වන අයට හැකියාවක් තිබෙනවා තමා කෙරෙහි හොඳ පැහැදීමක් ඇති වන ආකාරයෙන් ඉතාමත් සිත්ගන්නා ලෙස ඊ-මේල් පණිවිඩ යවන්න. . . . එම පණිවිඩ කියවන අයත් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වමින් සිත්ගන්නා ලෙස ලියන්න පෙලඹෙනවා. ඔවුන් හරි හොඳයි, ඔබ ගැන උනන්දුවක් දක්වනවා කියා ඔබ සිතනවා. ඔබ හරි හොඳයි, ඔවුන් ගැන ඔබ උනන්දුවක් දක්වනවා කියා ඔවුන් සිතනවා.” අන්තර්ජාලය හරහා පවත්වන පෙම් සබඳතා ගැන අධ්‍යයනයක නිරත වන එක් ආයතනයක මහාචාර්යවරයෙක් පැවසුවේ ඉතාමත් ආකර්ෂණීය ලෙස එවන ඊ-මේල් මගින් ඔවුන් අතර විශාල බැඳීමක් ඇති වෙනවා කියලයි. (New York’s Rensselaer Polytechnic ආයතනය) ඒත් බොහෝවිට දකින්න ලැබෙන්නේ එය ප්‍රීතිමත් විවාහයක් දක්වා වර්ධනය වන සබඳතාවක් වෙන්නේ නැති බවයි. මෙම සබඳතා ගැන එක් පුද්ගලයෙක් ලද අද්දැකීමක් ගැන ඔහු මෙසේ විස්තර කරනවා. “ඒක මර උගුලක්. ඔබ ඔහු හෝ ඇය ගැන දන්න තොරතුරු ටිකෙන් මනෝ ලෝකයක් ගොඩ නඟාගන්නවා.”

මුහුණට මුහුණ දකින විට

මුහුණට මුහුණ මුණ නොගැසී සබඳතාවක් ඇරඹීමෙන් යම් වාසි තිබෙනවා කියා සමහරෙකු විශ්වාස කළ හැකියි. ඔවුන්ට හැඟෙන්නේ පරිගණකය හරහා සබඳතා පවත්වන විට විවාහ වීමට බලාපොරොත්තු වන සහකරුගේ හෝ සහකාරියගේ පිටාතර පෙනුමට වශී නොවී අභ්‍යන්තරය දැකගැනීමට හැකියාවක් ඉන් ලැබෙන බවයි. ඇත්තයි, පුද්ගලයෙකුගේ අභ්‍යන්තර ගුණාංගවලට මුල් තැන දෙන්න කියලා තමයි බයිබලයෙත් අපට උනන්දු කරන්නේ. (1 පේතෘස් 3:4) ඒත් මෙම ක්‍රමයේ අඩු පාඩුවක් තිබෙනවා. ඔබට පුද්ගලයෙකුගේ ඉරියව්, සිනහව හෝ මුහුණෙන් හැඟීම් ප්‍රකාශ වන විදිහ බලාගන්න බැහැ. ඔහු හෝ ඇය අන් අයට සලකන විදිහ හෝ පීඩනයන් යටතේ කටයුතු කරන්නේ කොහොමද කියා බලාගැනීමට ඔබට හැකියාවක් නැහැ. ඔහු හෝ ඇය කෙරෙහි ඔබට විශ්වාසයක් හා ආදරයක් ඇති කරගන්න පුළුවන්ද කියා තීරණය කිරීමට පෙර එවැනි දේවල් දැනගැනීම ඉතා වැදගත්. ප්‍රේමය පිළිබඳව බයිබලයේ 1 කොරින්ති 13:4, 5හි දී තිබෙන විස්තරය කියවන්න. එහි ප්‍රේමය අර්ථ දක්වා තිබෙන්නේ හැසිරීමෙන් සිදු වන යමක් ලෙසයි. එය වචනයට පමණක් සීමා වී නොතිබෙන බව සැලකිල්ලට ගන්න. එමනිසා ඔබ ඔහු හෝ ඇය පවසන දේට අනුවම ක්‍රියා කරනවාද කියා බැලීමට කාලය ගත යුතුයි.

බොහෝවිට අවිවාහකයන් එසේ එකිනෙකාව හොඳින් දැන හඳුනා නොගෙන සබඳතා ඇරඹූ විගසම තමන්ගේ සිතේ තිබෙන බලවත් හැඟීම් සහ සිතුවිලි බෙදාගන්නවා. එකිනෙකා ගැන වැඩි තොරතුරක් දන්නේ නැති වුණත් දුරදිග බලන්නේ නැතිව සමහර අවිවාහකයන් පොරොන්දු පවා දෙනවා. සැතපුම් 8,000ක් පමණ දුරකින් ජීවත් වූ දෙදෙනෙක් අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් ඇරඹූ හැටිත් සති තුනකට පසු ඔවුන් මුහුණට මුහුණ මුණගැසුණ විට සිදු වූ දේත් එක් ලිපියක සඳහන් වුණා. “අන්තර්ජාලයේදී ආලය ඇත්තටම අන්ධයි.” එයයි එම ලිපියේ මාතෘකාව. එහි මෙසේ සඳහන් වුණා. “ඇය ඇස් තදට පාට කරලා. මම ඇස් පාට කරන අයත් එක්ක සබඳතාවක් තියාගන්න කැමති නැහැ” කියා තරුණයා පැවසුවා. පරිගණකය හරහා ඔවුන් පවත්වමින් තිබූ සම්බන්ධය සැණින් බිඳ වැටුණා. තවත් දෙදෙනෙක් මුණගැසුණ විට ඔවුන්ගෙත් බලාපොරොත්තු සුන් වුණා. තමාව මුණගැසීමට පැමිණීම සඳහා ගමන් වියදම් ගෙවීමට ඉදිරිපත් වූ තරුණයා, තරුණියව මුණ ගැසුණාට පසු ආපසු යෑමේ ගුවන් ටිකට් පතට මුදල් ගෙව්වේ නැහැ!

එඩා නමැති තරුණිය තමන්ගේම අද්දැකීම ගැන මෙසේ පවසනවා. “දෙන්නට දෙන්නාව වෙන් කරන්න බැරි තරමේ බැඳීමක් අපි අතරේ තිබුණේ. අපේ විවාහය ගැන පවා සාකච්ඡා කෙරුවා.” නමුත් දෙන්නා මුහුණට මුහුණ හමු වූ පසු මොකක්ද වුණේ කියලා දන්නවාද? සම්බන්ධය සම්පූර්ණයෙන්ම කැඩුණා. “එයා මම හිතාගෙන හිටපු කෙනා නෙමෙයි. හැම තිස්සේම මගේ අඩු පාඩුම තමයි හොයන්නේ. ඒක හරි යන මංගල්‍යයක් නෙමෙයි.” සතියකට පස්සේ ඔවුන්ගේ සම්බන්ධය කැඩිලා ගියා. එඩාට යථාර්ථය තේරුම්ගන්න පුළුවන් වුණා.

පරිගණක හරහා සැබෑ නොවන පෙම් සබඳතා පැවැත්වීමේදී ඉක්මනින් බලවත් හැඟීම් ඇති විය හැකියි. මෙය භයානකයි. මොකද බොහෝවිට සිදු වන ආකාරයට සබඳතාව දිගටම පවත්වාගෙන යෑමට නොහැකි වුණොත් ඔබව මානසිකව වැටෙන්න පුළුවන්. හිතෝපදේශ 28:26හි අනතුරු ඇඟවීමක් දී තිබෙනවා. “තමාගේ සිත විශ්වාස කරන්නා අඥානයෙක් වේ.” දවල් සිහින මවමින් හැඟීම්වලට වහල් වෙලා ජීවිතයේ වැදගත් තීරණ ගැනීම නම් අඥාන දෙයක්. හිතෝපදේශයේ තවදුරටත් කියන්නේ, “එහෙත් නුවණින් හැසිරෙන කවුරු නමුත් මුදනු ලබන්නේය” කියලයි.

ඉක්මන් කොටයි

එකිනෙකා ගැන වැඩි තොරතුරක් නොදැන ඉක්මනින්ම සබඳතාවක් ඇරඹීම නම් ඇත්තෙන්ම මෝඩකමක්. ඉංග්‍රීසි ජාතික ලේඛකයෙක් වන ෂේක්ස්පියර් මෙවැනි අදහසක් ලියා තිබෙනවා. ‘විවාහයට කඩිමුඩියේ තබන පය, නොලිස්සන්නේ කලාතුරකින්.’ බයිබලය තුළත් කදිම උපදෙසක් දී තිබෙනවා. “එහෙත් ඉක්මන්කාර සියල්ලෝ හිඟකමට පමණක් යුහුව යති.”—හිතෝපදේශ 21:5.

කනගාටුවට කාරණයක් වන්නේ පරිගණකය හරහා සබඳතා අරඹන හුඟදෙනෙකුට මෙය සත්‍යයක් බව දැනගන්න ලැබීමයි. ලිපිය ආරම්භයේදී සඳහන් කළ මොනිකා තරුණයෙකු සමඟ සබඳතාවක් අරඹා මාසයක් යෑමටත් පෙර සිතුවේ ඇය සොයමින් සිටි පෙම්වතා ඇයට හමු වුණා කියලා. ඔවුන් විවාහය ගැන සාකච්ඡා කළා විතරක් නෙමෙයි විවාහ ගිවිස ගැනීමේ මුදු හදන්නත් කටයුතු සැලසුම් කළා. ඉක්මන් වී ඇති කරගත් ඇගේ පෙම් සබඳතාව නතර වුණේ “මහත් හෘද වේදනාවක්ද” ඇති කරමිනුයි.

බයිබලයේ උපදෙස් පිළිපැදීමෙන් ඔබට හෘද වේදනාව වළක්වාගත හැකියි. “බුද්ධිමත් අය නපුර දැක සැඟ වෙයි; එහෙත් නුවණ නැත්තෝ ගොස් එයින් දුක් විඳිති.” (හිතෝපදේශ 22:3) අන්තර්ජාලය හරහා පවත්වන මෙවැනි සබඳතාවලින් ඇති වන්නේ සිත් තැවුල් හා බලාපොරොත්තු සුන්වීම විතරක් නොවෙයි. අමතර ගැටලුවලටත් මුහුණ දීමට සිදු වෙනවා. ඒ ගැන මතු ලිපියක සාකච්ඡා කෙරේ.

[පාදසටහන]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

[17වන පිටුවේ පින්තූරය]

පරිගණකය හරහා පවත්වන සබඳතාවලදී බොහෝවිට ඇත්ත වසං කරනවා

[18වන පිටුවේ පින්තූරය]

ආදර වදන්වලින් පිරි ඊ-මේල් පණිවිඩ බොහොමයක් හුවමාරු කරගැනීමෙන් අනතුරුව මුහුණට මුහුණ හමු වූ දාක බලාපොරොත්තු සුන් වෙනවා