Skip to content

පටුනට යන්න

වත්තේ පිටියේ වැඩ ගෙන දේ සිරුරට සුව

වත්තේ පිටියේ වැඩ ගෙන දේ සිරුරට සුව

වත්තේ පිටියේ වැඩ ගෙන දේ සිරුරට සුව

වත්තේ පිටියේ වැඩ කිරීමෙන් ඔබ ප්‍රීතියක් ලබනවාද? ඔබේ විනෝදාංශයෙන් ඔබ ලබන විනෝදයට වඩා වැඩි යමක් ඉන් ලබාගත හැකි වේවි. පර්යේෂකයන් සොයාගත් සාක්ෂි සම්බන්ධයෙන් එංගලන්තයේ පළවන පුවත්පතක් වාර්තා කරන්නේ මෙහෙමයි. “ගෙවත්තේ වැඩ කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට හුඟක් ප්‍රයෝජනවත්. එයින් මානසික පීඩනය මෙන්ම රුධිර පීඩනය අඩු වෙනවා. ඒ වගේම දිගු කල් නිරෝගී දිවි පෙවෙතකටත් එය දායක වෙනවා.”—Independent.

කර්තෘවරියක් වන ගේ සර්ච් මෙහෙම කියනවා. “කාර්යාලයේ වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් වත්ත පිටියේ වැඩ කළාම දැනෙන්නේ පුදුම සනීපයක්.” වත්තේ පිටියේ වැඩ කිරීම ඉතා ආශාවෙන් කළ හැකි යමක් වගේම ඒකෙන් ප්‍රයෝජනත් ගන්න පුළුවන්. ව්‍යායාම කරන මධ්‍යස්ථානයකට ගිහින් කරන ව්‍යායාමවලට වඩා හොඳ ව්‍යායාමයක් වත්තේ වැඩ කිරීමෙන් ලැබෙනවා. ඒ කොහොමද? ඉහත කර්තෘවරියම කියා සිටින්නේ “වත්ත උදළු ගෑම, රේක්කයෙන් කොළ එකතු කිරීම වගේ දේවල් කරන එක හොඳ ව්‍යායාමයක්. ඒවා කරනකොට බයිසිකල් පදිනවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් පිච්චෙනවා කියලයි.”

මහලු වියේ ඉන්න අය තම ගෙවත්තේ වැඩ කරනකොට විශේෂ ප්‍රයෝජන ලැබෙනවා. පැළවල දළු දානකොට, පොහොට්ටු පිපෙනකොට හෙට දවස ගැන හරි විදියට හිතන්න ඒ අයට පුළුවන් වෙනවා. එක් සමිතියක ආචාර්යවරියක් වන බ්‍රිජිඩ් බෝඩ්මන් මෙහෙම කියනවා. මහලු වයසේදී ඇති වෙන “වේදනාවන්ට හා කලකිරීම්වලට දෙන්න පුළුවන් හොඳ බෙහෙතක් තියෙනවා. ඒ තමයි ගෙවතු වැඩ.” (Royal Horticultural Society). මහලු වයසේදී හුඟක් වෙලාවට අනිත් අයගෙන් යැපෙන්න වෙන නිසා ඔවුන් ලෙහෙසියෙන්ම කලකිරෙනවා. ආචාර්ය බෝඩ්මන් තවදුරටත් කියන්නේ “තමන්ටම හිතල මතලා දේවල් කිරීමට තියෙන අවශ්‍යතාව අප සැමදෙනාටම තියෙනවා. ඒ නිසා නිදහසේ තමන් කැමති පැළ තෝරලා බේරලා හිටවීම, වත්ත සකස් කිරීම හා පැළවලට සාත්තු කිරීම යනාදිය දේවල් කිරීමෙන් එය ඉටු කරගත හැකි වෙනවා. එහෙම කරද්දී නැවතත් රැකබලා ගැනීමේ කාර්යයක් ලැබී තිබෙන නිසා සෑහීමට පත් වෙන්න ඔවුන්ට හැකි වෙනවා කියලයි.”

මානසික ගැටලුවලින් පීඩා විඳින අයත් සාමකාමී සුන්දර වටපිටාවක වැඩ කරද්දී සහනයක් අද්දකිනවා. අනිත් අය වෙනුවෙන් මල් වැවීම හා බෝග වගා කිරීම මගින් ඒ වගේ අයට ආත්ම විශ්වාසය සහ ආත්ම ගෞරවය නැවත ලබාගත හැකියි.

කොහොමවුණත්, ගස්වැල්වලින් ප්‍රයෝජන ලබන්නේ ගෙවතු වගා කරන්නන් පමණක් නොවෙයි. ටෙක්සස්හි පිහිටි සරසවියේ මහාචාර්ය රොජර් උල්රික් මානසික පීඩනයට ලක් කරනු ලැබූ කණ්ඩායමක් සමඟ පරීක්ෂණයක් පැවැත්තුවා. එම කණ්ඩායමේ අයගේ හෘද ස්පන්දන වේගය හා රුධිර පීඩනය මැන්නා. එවිට හෙළි වුණේ ගස්වැල්වලින් වට වූ පරිසරයකට ගෙන ගිය අය, ස්වාභාවික පරිසරයකට නොගෙන ගිය අයට වඩා ඉක්මන් සුවයක් අද්දැක්ක බවයි. රෝහලේදී ශල්‍යකර්මයක් කිරීමෙන් පසු සුවය ලබමින් සිටි අය සම්බන්ධයෙනුත් ඒ හා සමාන පරීක්ෂණයක් කළා. ඉන් පෙනී ගියේ රෝහලේ ජනේලෙන් පිටත බලද්දී ගස්වැල් පෙනෙන කාමරවල සිටි රෝගීන් වැඩි ප්‍රයෝජන අද්දැක්ක බවයි. අනෙක් රෝගීන් එක්ක ඔවුන්ව සැසඳූ විට ඔවුන් “ඉක්මන් සුවයක් ලබා තිබුණ බව පෙනී ගියා. අනිත් අයට කලින් ඔවුන් ගෙදර ගියා. වේදනා නාශක බෙහෙත් පාවිච්චි කළේ අඩුවෙන්. ඒ වගේම ඔවුන් වේදනා කැක්කුම් තියෙනවා කියලා කිව්වෙත් අඩුවෙන්.”