Skip to content

පටුනට යන්න

අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් ඇරඹීමෙන් අනතුරක් වෙන්න පුළුවන්ද?

අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් ඇරඹීමෙන් අනතුරක් වෙන්න පුළුවන්ද?

යෞවන අය අසති . . .

අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් ඇරඹීමෙන් අනතුරක් වෙන්න පුළුවන්ද?

“අන්තර්ජාලය හරහා පණිවිඩ හුවමාරු කරද්දී පණිවිඩ එවන අනිත් පුද්ගලයා ඇත්තටම කවුද කියලා දන්නේ නැහැ.”—17 හැවිරිදි දාන්. *

“අන්තර්ජාලය හරහා සබඳතා පවත්වන විට ඕනෑම කෙනෙක්ට බොරු කියන්න පුළුවන්. ඒ කියන්නේ බොරු මවාපෑමක් කරන්න හරි ලෙහෙසියි කියන එකයි.”—26 හැවිරිදි ජෝර්ජ්.

අන්තර්ජාලය හරහා පෙම් සබඳතා ඇරඹීම දැන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සිදු වෙන දෙයක්. මෙම ලිපි මාලාවේ මුල් ලිපියේ සඳහන් කළ ලෙස අන්තර්ජාලයෙන් පෙම් සබඳතා අරඹන විට ඉක්මනින් ආලවන්ත හැඟීම් පිබිදෙනවා. ඒත් ඇස් දෙකින් දකින විට සියල්ල ක්ෂණයකින් බිඳ වැටෙනවා. * මෙහිදී සිදු වන්නේ බලාපොරොත්තු සුන්වීම විතරක් නොවෙයි. ශාරීරික හා චිත්තවේගීය අන්තරායන්වලට මෙන්ම ආගමික ප්‍රතිපත්ති පවා දීම වැනි තත්වයන්වලටද මුහුණ දීමට සිදුවීමයි.

ඔබේම නිවසේ තිබෙන පරිගණකයෙන් ඔබට අනතුරක් සිදු වෙන්න පුළුවන්ද? ඔව්. ඉන් සිදු වන සමහර අනතුරු එක් වැදගත් බයිබල් ප්‍රතිපත්තියකට සම්බන්ධයි. එය ප්‍රේරිත පාවුල් මෙසේ ලියා තිබෙනවා. ‘සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න අප කැමතියි.’ (හෙබ්‍රෙව් 13:18) අන්තර්ජාලය භාවිත කිරීම වංකකමක් කියා හෝ එය භාවිත කිරීමෙන් ඔබ වංක පුද්ගලයෙක් වෙනවා කියා හෝ ඉන් අදහස් කරන්නේ නැහැ. ඒත් බොහෝවිට අප සබඳකම් පවත්වන පුද්ගලයන් අවංක නැහැ. ලිපියේ මුල පැහැදිලි කර තිබූ ආකාරයට අන්තර්ජාලය තුළින් පහසුවෙන් යම් වංචනික ක්‍රියා සිදු කළ හැකි අතර එය සොයාගැනීමත් අපහසු බව පෙන්වනවා. විශේෂයෙන්ම පෙම් සබඳතාවලදී සිදු කරන වංචනික ක්‍රියා නිසා සිදු වන අනතුරු දරුණුයි.

උදාහරණයකට මෙම බයිබල් පදයේ පැහැදිලි කර තිබෙන වංකකම ගැන සලකා බලන්න. “බොරුකාර මිනිසුන් සමඟ හිඳනොගතිමි. රැවටිලිකාරයන් සමඟද ප්‍රවිෂ්ට නොවන්නෙමි.” (ගීතාවලිය 26:4) “රැවටිලිකාරයන්” යන්නෙහි තේරුම කුමක්ද? සමහර බයිබල් පරිවර්තනවල එයට යොදා තිබෙන්නේ “කුහකයෝ” යන වචනයයි. එක් පොතක ඊට මෙවන් පැහැදිලි කිරීමක් දී තිබුණා. “තමන්ගේ අරමුණු හෝ සැලසුම් අන් අයගෙන් සඟවන එසේ නැතහොත් තමන්ගේ නියම චරිතය සහ චේතනා සඟවන අයයි.” එවැනි වංකකමක් අන්තර්ජාලය තුළින් සිදු වන්නේ කොහොමද? ඒවගේම පෙම් සබඳතාවක් ඇරඹීමට බලාපොරොත්තු වන අයට මින් එල්ල වන්නේ කුමනාකාරයේ අනතුරක්ද?

බැටළු වෙස් ගන්න වෘකයෝ

එක් පියෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඔහුගේ නම මයිකල්. ඔහු අන්තර්ජාලය සම්බන්ධයෙන් තිබුණ සම්මන්ත්‍රණයකදී අසන්න ලැබුණ දෙයකින් පුදුමයට පත් වුණා. එම සම්මන්ත්‍රණයේදී කියා සිටියේ දරුවන් හුඟදෙනෙක් තම දෙමාපියන්ගේ අණ නොතකා අනතුරුදායක වෙබ් අඩවිවලට පිවිසෙන බවයි. එම පියා මෙසේ පවසනවා. “ළමයින්ව පහත් ලිංගික ක්‍රියාවලට පොලඹවාගැනීමට මාන බලන කාමාතුරයන්ට අන්තර්ජාලයෙන් ඒ සඳහා ඉඩ ලැබෙන බව දැනගත්තාම මම හොඳටම බය වුණා.” අන්තර්ජාලය හරහා යෞවනයන් අලුත් අයව දැන හඳුනා ගැනීමට යෑමේදී ඔවුන් කිසිවිටකත් නොසිතන ආකාරයේ අන්තරායන්ට මුහුණ දීමට ඉඩ කඩ තිබෙනවා.

අන්තර්ජාලය හරහා යෞවන දරුවන්ව ගොදුරු කරගැනීමට මාන බලන වැඩිවියේ පසුවන කාමාතුරයන් පෙනී සිටින්නේ යෞවනයන් ලෙසයි කියා ප්‍රවෘත්ති වාර්තාවලින් අසන්න ලැබෙනවා. එක් අධ්‍යයනයකින් සොයාගත්තේ “අන්තර්ජාලය භාවිත කරන ළමයින්ගෙන් ළමයින් පස්දෙනෙකුගෙන් එක්කෙනෙකුට ලිංගික ක්‍රියා සඳහා ඇරයුම් ලැබෙන බවයි.” තවත් පුවත්පතක මෙසේ වාර්තා වුණා. වයස අවුරුදු 10ත් 17ත් අතර සිටින ළමයි 33න්දෙනෙකුගෙන් 1ක් අයෙකුට පරිගණකය හරහා අදහස් හුවමාරු කරන්න කියා ‘නිතර නිතර බල කරනවා.’

පරිගණකය හරහා ආලවන්ත අදහස් බෙදාගත් “යෞවනයන්” ඇත්තටම කලින් හිර ගෙවල්වල සිටි වැඩිහිටි පුද්ගලයන් බව සමහර යෞවනයන්ට දැනගන්න ලැබී තිබෙනවා. තවත් සමහර යෞවනයන් ලිංගික ක්‍රියා සඳහා ගොදුරු කරගැනීමට මාන බලන අයට නොදැනුවත්වම හසු වී තිබෙනවා. මෙම නීච පුද්ගලයන් මුලින්ම තමන් ගොදුරු කරගැනීමට මාන බලන කෙනාගේ සිත ‘දිනාගැනීමට’ මිත්‍රශීලීව පණිවිඩ හුවමාරු කරගනිමින් තමා කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගන්නවා. ඉන්පසු කාලය ගතවීමත් සමඟම තම පහත් ආශාවන් සන්සිඳුවාගැනීම සඳහා මුණගැසීමට උත්සාහ කරනවා. කියන්න කනගාටුයි යෞවනයන් මෙසේ මුණගැසීමෙන් පහර කෑම්වලට, දූෂණයට සහ මරණයට පවා පත් වී තිබෙනවා.

දුෂ්ට පුද්ගලයන් අන්තර්ජාලය හරහා යමෙකුව ගොදුරු කරගැනීමට ‘රැවටීම්’ කරනවා. එවැනි රැවටීම් කරන පුද්ගලයන්, බොරු අනාගතවක්තෘවරුන් ගැන යේසුස් කළ නිදර්ශනය ඔබේ මතකයට නංවන්න ඉඩ තිබෙනවා. යේසුස් කීවේ “ඔවුන් බැටළු වෙස් ගෙන ඔබ වෙතට පැමිණියත් ඔවුහු ඇතුළතින් කෑදර වෘකයෝය” කියායි. (මතෙව් 7:15) අන්තර්ජාලය හරහා අදහස් හුවමාරු කරගැනීමේදී පුද්ගලයෙකුට තමන්ගේ නියම ස්වභාවය හොඳින් සඟවාගන්න පුළුවන් වන නිසා එය රැවටීමක් බව වටහාගත නොහැකියි. ලිපිය ආරම්භයේදී සඳහන් කළ ජෝර්ජ් මෙසේ පවසනවා. “ඔබ යම් පුද්ගලයෙක් එක්ක කතා කරද්දී එම පුද්ගලයාව ඇස් දෙකින් දකින්න පුළුවන් නම් එම පුද්ගලයාගේ මුහුණේ ඉරියව්වලින්, කට හඬේ ස්වරයෙන් යමක් ඉගෙනගත හැකියි. නමුත් අන්තර්ජාලය තුළින් ඒ දේ කරන්න බැහැ. ඒනිසා ඉක්මනින්ම රැවටෙනවා.”

බයිබලයේ සඳහන් උපදෙස ඇත්තෙන්ම ඥානවන්තයි. “බුද්ධිමත් අය නපුර දැක සැඟ වෙයි; එහෙත් නුවණ නැත්තෝ ගොස් එයින් දුක් විඳිති.” (හිතෝපදේශ 22:3) අන්තර්ජාලය හරහා ඔබට මුණගැසෙන හැම කෙනෙක්ම වැරදි දේට පොලඹවන අය නෙමෙයි. ඒත් පුද්ගලයන් වෙනත් අයව ‘රවට්ටන්න’ යොදාගන්න තවත් ක්‍රම තිබෙනවා.

මුළා කිරීමේ හා ඇත්ත වසං කිරීමේ ඇති අනතුරු

අන්තර්ජාලය හරහා පෙම් සබඳතා ඇරඹීමේදී තමන්ට නැති ගුණ වර්ණනා කිරීමත් තමන්ගේ බරපතළ වරදක් සැඟවීම හෝ වරදේ බරපතළකම අඩු කොට දැක්වීම පොදුවේ පවතින දෙයක්. එක් පුවත්පතක කතුවරයෙක් මෙසේ උපුටා දැක්වුවා. “මිනිසුන් මුළා වෙන නිසා අන්තර්ජාලයේ පෙම් සබඳතා එච්චර හොඳ දෙයක් වෙන්න බැහැ. තමන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද යන කාරණය සඟවනවා. . . . එමෙන්ම ආදායම් මට්ටම, . . . ජාතිය, තමන් අපරාධකරුවෙකු වී සිටි බව සහ තමා කලින් මානසික රෝගියෙකුව සිටි බව යන දේවල් ගැන සැබෑ තොරතුරු හෙළි කරන්නේ නැහැ. විවාහකද අවිවාහකද යන්න ගැන දැනගන්නෙත් සබඳතාව අරඹා බොහෝ කලක් ගියාට පසුවයි.” (The Washington Post නම් පුවත්පත) අනිත් අයට අනතුරු ඇඟවීමක් ලෙස යමක් කියන්න කැමතියි. හුඟදෙනෙක් අන්තර්ජාලය හරහා පෙම් සබඳතා ඇරඹීමට ගොස් තමන් වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දුන් බව කියා තිබෙනවා.

ආගමික ප්‍රතිපත්ති වැනි වැදගත් කාරණාවලදී පවා බොරු කීමට පුද්ගලයන් පෙලඹෙනවාද? ඔව්, සමහරු බොරුවට තමන් සැබෑ ක්‍රිස්තියානීන් බව කියා සිටිනවා. ඇයි මේ විදිහට පුද්ගලයන් මුළා කරන්නේ? අන්තර්ජාලය හරහා එසේ කිරීම පහසු නිසයි. අයර්ලන්තයේ ෂොන් නමැති තරුණයා මෙසේ පිළිගන්නවා. “පරිගණකය හරහා පණිවිඩ හුවමාරු කරද්දී තමන්ට නැති දේවල් මවා පාන්න හරි ලෙහෙසියි.”

හුඟදෙනෙක් මෙවැනි මුළා කිරීම් එතරම් බැරෑරුම් දෙයක් හැටියට සලකන්නේ නැහැ. ඔවුන් කියන්නේ ආදර සබඳතාවක් පටන්ගන්න විට ටිකක් බොරු කීම සාමාන්‍ය දෙයක් කියලා. ඒත් බොරු කීම දෙවි ද්වේෂ කරන කාරණයක් කියන එක අමතක කරන්න එපා. (හිතෝපදේශ 6:16-19) ඊට සාධාරණ හේතුවක් තිබෙනවා. අප මේ ලෝකයේ මෙතරම් දුක් වේදනාවන් අද්දකින්නෙත් බොරු කියූ නිසයි. (යොහන් 8:44) ඕනෑම සබඳතාවකදී වංකකම සුදුසු දෙයක් නෙමෙයි. විශේෂයෙන් ජීවිත කාලය දක්වා පවත්වාගැනීමට අදහස් කරන සබඳතාවකදී එය කොහෙත්ම සුදුසු නැහැ. ඉන් සිදු වන ලොකුම හානිය නම් බොරු කියන පුද්ගලයා යෙහෝවා දෙවිත් සමඟ ඔහුට තිබෙන සබඳතාව විනාශ කරගැනීමයි.

තවත් කනගාටුවට කාරණයක් වන්නේ සමහර යෞවනයන් තවත් ආකාරයක වංක ක්‍රියාවන් කිරීමට පෙලඹීමයි. ඔවුන් අන්තර්ජාලය හරහා සබඳතා පවත්වන අතර ඒ බව තම දෙමාපියන්ගෙන් වසන් කරනවා. ඊට උදාහරණයක් තිබෙනවා. එක් පවුලක නහඹර වියේ පසුවෙන පුතෙක් දෙමාපියන්ට හොරෙන් අන්තර්ජාලය හරහා තරුණියක් සමඟ සබඳකම් පැවැත්වුවා. එම තරුණිය ඔවුන්ගේ ක්‍රිස්තියානි ඇදහිල්ලට අයිති කෙනෙක් නෙමෙයි. දිනක් එම තරුණිය කිලෝමීටර් 1,500ක දුරක් ගෙවාගෙන එම නිවසට පැමිණි විට දෙමාපියන් පුදුම වුණා. ඔවුන්ගේ පුතා එම තරුණියත් සමඟ මාස හයක් පුරා අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් පවත්වා තිබෙනවා. නමුත් තරුණිය නිවසට පැමිණෙන තෙක්ම දෙමාපියන් ඒ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ!

“කොහොමද මේ වගේ දෙයක් වුණේ?” කියා එම දෙමාපියන් ඇසුවා. ‘අපේ පුතා නම් කවදාකවත් ඇස් දෙකින් දැක්ක නැති කෙනෙක් එක්ක ආලවන්තකමක් ඇති කරගන්න එකක් නැහැයි කියලායි’ ඔවුන් සිතාගෙන හිටියේ. ඇත්තටම ඔවුන්ගේ පුතා ඔවුන්ව මුළා කරලා. ඔහුගේ සැබෑ රූපය වසං කරලා. විවාහ සබඳතාවක් ඇරඹීමට එවැනි මුළාවක් කිරීම හොඳ දෙයක් නෙමෙයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

මනඃකල්පිත පුද්ගලයෙක් නොව සැබෑ පුද්ගලයෙක් තෝරාගන්න

අන්තර්ජාලය හරහා සබඳතා පවත්වන විට වෙනත් ආකාරයක අන්තරාවන්ද තිබිය හැකියි. සමහර අවස්ථාවන්වල පරිගණකය හරහා දැනහඳුනා ගන්න මිතුරිය හෝ මිතුරා එදිනෙදා ජීවිතයේ මුණගැසෙන අයට වඩා සැබෑ පුද්ගලයෙක් වීමට ඉඩ තිබෙනවා. එවිට පවුලේ අය, මිතුරන් සහ වගකීම් වැටෙන්නේ දෙවෙනි තැනට. ඕස්ට්‍රියාවේ වෙසෙන තරුණියක් වන මොනිකා මෙසේ පවසනවා. “අන්තර්ජාලය හරහා හමු වූ පුද්ගලයන් සමඟ වැඩි කාලයක් ගත කළ නිසා වෙනත් වැදගත් සබඳතාවන් අතපසු කරන්න මම පටන්ගත්තා.” සිදු වෙමින් තිබෙන දෙය තේරුම් ගත් පසු ඇය පරිගණකය හරහා පුද්ගලයන් සමඟ සබඳතා පැවැත්වීම නවතා දැමුවා.

බොහෝදෙනෙක් සමබරව අන්තර්ජාලය භාවිත කරන බව ඇත්තයි. ඊ-මේල් මාර්ගයෙන් නෑහිතමිතුරන් සමඟ අදහස් හුවමාරු කිරීම ඉතා පහසු ක්‍රමයක් විය හැකියි. නමුත් මුහුණට මුහුණ හමු වී අදහස් හුවමාරු කිරීම තරම් මෙය සාර්ථක ක්‍රමයක් නොවෙයි. ඔබත් එයට එකඟ වේවි. ඔබ “යොවුන් වියේ ඇති වන හැඟීම්වල උච්චාවස්ථාව පසු කර සිටී නම්” ඒවගේම විවාහ වීමට ආශාවක් ඇතිව සිටිනවා නම් ඔබ ඔබේ ජීවිතයේ වැදගත් තීරණයක් ගත යුතු අවස්ථාවට එළඹ තිබෙනවා. (1 කොරින්ති 7:36) හොඳින් සිතා බලා එම තීරණය ගන්න.

බයිබලයේ මෙම උපදෙස සඳහන් වෙනවා. “මෝඩයා සැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් අය තමාගේ හැසිරීම හොඳ හැටි සොයයි.” (හිතෝපදේශ 14:15) ඔබ ඇස් දෙකින් නුදුටු කෙනෙකු ලියා එවන සෑම දෙයක්ම විශ්වාස කරනවාට වඩා ඒ ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. සැබෑවට දැකගත හැකි පුද්ගලයන් සමඟ මිත්‍රත්වයන් ගොඩනඟාගැනීමට මූලිකත්වය ගැනීම වඩාත් නැණවත් දෙයක් විය හැකියි. ඔබ දෙදෙනා ඇත්තටම ගැලපෙනවාද කියා සොයා බලන්න. විශේෂයෙන්ම ඔබගේ ආගමික විශ්වාසයන් හා ගුණධර්ම ඔහුගේ හෝ ඇයගේ ඒවාට ගැළපෙනවාද කියා සොයා බලන්න. විවාහයට පෙර පවත්වන එවැනි ඇසුරක් ප්‍රීතිමත් යුග දිවියකට මං උදා කරාවි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

^ 5 ඡේ. වර්ෂ 2005 මැයි 8 පිබිදෙව්! කලාපයේ “මම අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් අරඹන එක හොඳ දෙයක්ද?” යන යෞවන අය අසති නමැති ලිපිය බලන්න.

[12වන පිටුවේ පින්තූරය]

අන්තර්ජාලය හරහා පණිවිඩ එවන්නේ කවුද කියා ඔබ ඇත්තටම දන්නවාද?

[14වන පිටුවේ පින්තූරය]

විවාහයට පෙර ඇසුරකදී මුහුණට මුහුණ හමු වී කතා කිරීම වෙනුවට ආදේශ කළ හැකි වෙනත් ක්‍රමයක් නැහැ