Skip to content

පටුනට යන්න

“අපි අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැහැ”

“අපි අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැහැ”

“අපි අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැහැ”

අසභ්‍ය වචන යනු මොනවාද? ඒවා “නින්දාසහගත, පහත් හෝ ගරු සරු නැති කතාව” ලෙස නම් කළ හැකියි. (The American Heritage Dictionary) බොහෝ රටවල අසභ්‍ය භාෂාව පාවිච්චි කිරීම සාමාන්‍ය දෙයක් වෙලා තිබීම කනගාටුවට කාරණයක්. අතීතයේදී නම් අසභ්‍ය වචන වැඩියෙන් පාවිච්චි කළේ පුරුෂයන් වුවත් අද දින ස්ත්‍රීන්ගේ කටිනුත් අසභ්‍ය වචන පිටවන්නේ වක්කඩේ ඇරියා වගෙයි. ඒත් සමහර සංස්කෘතීන්වල එදිනෙදා කතා බහේදී එය අහන්න නොලැබෙන දෙයක්. අමෙරිකාවේ අපාචි ඉන්දියානු ගෝත්‍රයට අයත් කෙනෙකු වූ ජේම්ස් කයිවේද පැවසූ දේ ගැන අපි බලමු.

ජේම්ස් උපන්නේ 1873දී පමණ එක්සත් ජනපදයේ නව මෙක්සිකෝවෙහියි. ඔහුට වයස 90ක් පමණ වෙද්දී මෙවැනි දෙයක් පැවසුවා.

“එක දවසක් උදේ මම ඇහැරුණේ සීයාගේ කටහඬ ඇහිලයි. ඔහු අපේ මිදුලේ තිබුණ තුරුගොමු යට ඉඳගෙන නැඟෙන හිරු දෙස බලාගෙන ගීතිකාවක් ගායනා කළා. එය ගැයුවේ යූෂ්වොන් වෙනුවෙනුයි. . . . යූෂ්වොන් දුන් උතුම්ම තෑග්ගට ඔහු ස්තුති කරමින් සිටියා. එම තෑග්ග නම් පුරුෂයෙකු සහ ස්ත්‍රියක අතරේ තිබෙන ආලවන්ත බැඳීමයි. අපාචි ගෝත්‍රිකයන්ට එය පරිශුද්ධ දෙයක්. * ඔවුන් කවදාවත් ලිංගික දේවල් ගැන අසභ්‍ය විහිළු කරන්නේ නැහැ. පිළිසිඳගැනීම හා උපත ගැන සුදු ජාතිකයන් හාස්‍යයට ලක් කරන්නේ ඇයි කියලා ඔවුන්ට තේරුම්ගන්න හරි අමාරුයි. දෙවිගේ නම නිකරුණේ භාවිත කිරීම බරපතළ පාපයක් ලෙස සලකනවා හා සමානවම, එයද බරපතළ පාපයක් ලෙසයි ඔවුන් සලකන්නේ. අපේ ගෝත්‍රයේ අය අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැති එක ගැන මම ආඩම්බර වෙනවා. දරුවෙකු බිහි කරන්න ලැබී තිබෙන වරප්‍රසාදය ගැන අපි ඇත්තටම ජීවයේ නිර්මාතෘට ස්තුති කරනවා.”—Native Heritage නම් ප්‍රකාශනය සැකසුවේ ආලීන් හර්ෂ්ෆෙල්ඩර් විසින්.

වසර 2,000කට පමණ කලින් ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා. “කිසි දූෂිත වචනයක් ඔබේ මුවින් පිටවීමට ඉඩ නෑර අසන්නන්ට ප්‍රයෝජනවත් වූ යමක් ලැබෙන පිණිස, ගොඩනැංවීම සඳහා උචිත යහපත් දේ කතා කරන්න.” එමෙන්ම ඔහු මෙසේද පැවසුවා. “වේශ්‍යාකමද සියලු ආකාරයේ අපවිත්‍රකම හෝ ගිජුකම හෝ ඔබ අතරේ සඳහන්වත් නොකරන්න. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත. එමෙන්ම ලජ්ජාසහගත හැසිරීම, මෝඩ කතා, අසභ්‍ය විහිළු යන නුසුදුසු දේවල නොයෙදී, ස්තුති දීමෙහි නිරත වන්න.”—එෆීස 4:29; 5:3, 4.

අසභ්‍ය භාෂාව සහ අසභ්‍ය විහිළු සිතෙන් සහ මුඛයෙන් සම්පූර්ණයෙන්ම පහ කර දමන්නේ කෙසේද? පාවුල් ෆිලිප්පිවරුන්ට දුන් අවවාදය අප සියලුදෙනාටම උපකාරයක් විය හැකියි. “ඉතින් සහෝදරයෙනි, සැබෑ වූ, ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ, නිර්මල වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවල්වලට දිගටම මනස යොමු කරන්න.”—ෆිලිප්පි 4:8.

[පාදසටහන]

^ 4 ඡේ. අපාචි ගෝත්‍රිකයන්ගේ විශ්වාසයට අනුව යූෂ්වොන් නම් දෙවි ජීවයේ නිර්මාතෘයි.

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos: Library of Congress, Prints & Photographs Division; Apache symbol: Dover Publications, Inc.