Skip to content

පටුනට යන්න

ඔබේ රැකියාව රැකගත හැකි අන්දම

ඔබේ රැකියාව රැකගත හැකි අන්දම

ඔබේ රැකියාව රැකගත හැකි අන්දම

“තමාගේ වැඩවල කඩිසර කෙනෙක් දකින්නෙහිද? ඔහු නීචයන් ඉදිරිපිට නොව රජුන් ඉදිරිපිට සිටින්නේය.”—හිතෝපදේශ 22:29.

ඉහත සඳහන් බයිබල් පදයෙන් පෙන්නුම් කරන්නේ බොහෝවිට දක්ෂ සේවකයන්ව පැසසුමට ලක්වන බවයි. ආයතන විසින් අගය කරන්නේ සේවකයන්ගේ කුමන දක්ෂතා හා ගුණාංගද? සේවකයන් 700ක් සිටින ආයතනයක මානව සම්පත් අධ්‍යක්ෂකවරයෙක් වන ජෝර්ජ් පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසුවා. “හොඳින් අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව සහ සෙසු සේවකයන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව අපි සේවකයෙකුගෙන් බලාපොරොත්තු වෙනවා.” මෙම හැකියාවන් දියුණු කරගැනීමට බයිබලයේ සඳහන් ප්‍රායෝගික උපදෙස් උපකාරවත් වෙයි. එමෙන්ම ඔබේ රැකියාව රැකගැනීමටත් ඉන් හැකියාව ලැබෙයි. උදාහරණ සලකා බලමු.

හොඳින් අදහස් හුවමාරු කරන්න

අදහස් හුවමාරුව ඇරඹෙන්නේ කෙනෙකුගේ මුවින් වචනයක්වත් පිටවීමට පෙර බව බයිබලයේ ලේඛකයෙකු වන යාකොබ් පෙන්වනවා. “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය” කියා ඔහු ලියා තිබෙනවා. (යාකොබ් 1:19) මෙය නැණවත් උපදෙසක් වෙන්නේ කොහොමද? “යමෙක් කාරණයක් අසන්ට පළමුවෙන් උත්තර දේ නම් ඒක ඔහුට අඥානකමත් ලජ්ජාවත් වේ” කියා සලමොන් ලියා තිබෙනවා. (හිතෝපදේශ 18:13) ඇත්තෙන්ම, ආයතනයේ ප්‍රධානීන්ට සහ සෙසු සේවකයන්ට හොඳින් ඇහුම්කන් දීමෙන් වරදවා වටහාගැනීම් සහ මෝඩ අත් වැරදීම් වළක්වාගත හැකියි.

ඔබ කතා කරන විට කතා කරන විදිහත් ඉතාමත් වැදගත්. ඔබ පැහැදිලිව මෙන්ම ප්‍රමාණවත් ශබ්දයකින් කතා කරනවා නම් ඔබ කියන දේ බොහෝදුරට ඉක්මනින් තේරුම්ගැනීමට හැකි වෙයි. ඒ වගේම ඔබ පවසන දෙයට අසන්නාගේ අවධානය ඇඳ බැඳ තබාගන්නත් හැකි වෙනවා. කලින් ලිපියේ සඳහන් කළ රැකියා උපදේශකයෙකු වන බ්‍රයන් මෙසේ අදහස් දක්වනවා. “පුදුමයට කාරණයක් වන්නේ බොහෝදෙනෙකුගේ රැකියා අහිමි වීමට හේතුව ඔවුන්ට තාක්ෂණික දැනුම නොමැතිකම නෙමෙයි හොඳ අදහස් හුවමාරුවක් නැතිකමයි.”

සෙසු සේවකයන් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න

සෙසු සේවකයන් සමඟ ඔබ ගත කරන කාලය ගැන සලකා බලන විට ඔබ ඔවුන්ව හොඳින් දැන හඳුනන බවට කිසි සැකයක් නැහැ. ප්‍රතිඵලයක් වශයෙන් ඔබ ඔවුන්ගේ වැරදි සහ දුර්වලකම් ගැන අන් අය සමඟ කතා කිරීමට පෙලඹිය හැකියි. ඒත් බයිබලයේ උපදෙස් දෙන්නේ “සන්සුන් ජීවිතයක් ගත කරන ලෙසත්, තම තමාගේම කාරණා බලාගන්නා ලෙසත්ය.” (1 තෙසලෝනික 4:11) මෙසේ කටයුතු කිරීමෙන් ‘අනුන්ගේ කාරණා අනිසි ලෙස හසුරු වන්නෙක්’ යන නාමය ලැබීම ඔබට වළක්වාගත හැකියි. (1 පේතෘස් 4:15) ඒ විතරක් නෙමෙයි, කාලය නාස්ති කිරීම වගේම සෙසු සේවකයන් සමඟ අනවශ්‍ය ඝට්ටන ඇතිවීමද වළක්වාගත හැකියි.

ඔබට යම් වගකීමක් පැවරුවොත් යේසුස්ගේ මෙම නැණවත් උපදෙස මතකයේ තබාගන්න. “යම් නිලධාරියෙකු එක සැතැප්මක් යන ලෙස ඔබට අණ කළොත් ඔහු සමඟ සැතැප්ම දෙකක් යන්න.” (මතෙව් 5:41) යේසුස් මෙහිදී කතා කළේ ආණ්ඩුවේ නිලධාරීන් ගැනයි. නමුත් එහි ප්‍රතිපත්තිය වැඩ කරන ස්ථානයටත් අදාළ වෙනවා. ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයෙක්, ඒ කියන්නේ සැතැප්ම දෙකක් යන්න සතුටු වෙන කෙනෙක් ලෙස නමක් දිනා ගන්නවා නම් බොහෝදුරට ඔබේ රැකියාව රැකගැනීමට ඔබට හැකි වෙයි. කෙසේවෙතත් ආයතනයේ ස්වාමිවරුන්ට ඔබෙන් බලාපොරොත්තු විය හැකි දේට සීමා තිබෙනවා. යේසුස්ම මෙසේ කියා තිබෙනවා. යමෙකු “සීසර්ගේ දේ සීසර්ටද දෙවිගේ දේ දෙවිටද” දිය යුතුයි. (මතෙව් 22:21) මෙහි ප්‍රතිපත්තිය නම් යේසුස් පෙන්වා දුන් ආකාරයට, ඔබේ ජීවිතයේ වඩා වැදගත් දේවල් එනම් දෙවිට පිරිනමන නමස්කාරය වැනි කාරණාවලට බාධා කිරීමට නිලධාරීන්ට ඉඩ නොදිය යුතු බවයි.

අවංක වන්න

ආයතන 1,400කට වඩා වැඩි සංඛ්‍යාවක් යොදාගෙන කළ එක් සමීක්ෂණයකින් හෙළි වුණේ ආයතන බොහොමයක් “රැකියා අපේක්ෂකයන්ගෙන් ඉතාමත් ඉහළින් අගය කරන්නේ අවංකකම සහ පක්ෂපාතකම නමැති ගුණාංග” බවයි. අවංකකමට ඇතුල් වන්නේ ආයතනයේ මුදල් සහ වෙනත් භාණ්ඩ සොරකම් නොකර සිටීම විතරක්ම නෙමෙයි. ඊට කාලය සොරකම් නොකිරීමත් ඇතුළත් වෙනවා. එක් රැකියා ඒජන්සියක් විසින් කළ අධ්‍යයනයකින් සොයාගත්තේ එක් සතියකට එක් සේවකයෙකු පැය 4කුත් විනාඩි 15ක කාලයක් සොරාගන්නා බවයි. වෙනත් ආකාරවලින් කාලය සොරාගන්නවාට අමතරව, පුරුද්දක් ලෙස ප්‍රමාද වී වැඩට පැමිණීම, කලින් වැඩ අවසන් කිරීම සහ වැඩ කරන අවස්ථාවේ සෙසු සේවකයන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම වැනි දේවලින් කාලය සොරාගන්නවා.

බයිබලයේ සඳහන් වන්නේ මෙවන් උපදෙසක්. “සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, අග හිඟකමින් සිටින කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කරන්න.” (එෆීස 4:28) දෙවිගේ වචනයේ ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නේ නිලධාරීන්ගේ අධීක්ෂණය නොමැති විට පවා මහන්සි වී වැඩ කරන ලෙසයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලියා තිබෙනවා. “ඔබේ මාංසික ස්වාමිවරුන්ට සියලු කාරණාවලදී කීකරු වන්න. මූණිච්චාවට මිනිසුන්ව සතුටු කරන්නන් මෙන් නොවී, අවංක සිතින් යෙහෝවා කෙරෙහි භය ඇතිව කීකරු වන්න.” (කොලොස්සි 3:22) ඔබේ වැඩ අධීක්ෂණය නොකරන විට පවා ඔබ හොඳින් වැඩ කරනවා කියා නමක් දිනාගෙන තිබෙනවා නම් ඔබව විශ්වාසවන්ත සේවකයෙකු ලෙස ගණන් ගනීවි.

යථාර්ථය තේරුම්ගන්න

අපගේ කාලය කටයුතු කිරීමට අසීරු අන්තරාදායක කාලයක් බව බයිබලයේ නිවැරදි ලෙස කලින්ම කියා තිබෙනවා. (2 තිමෝති 3:1) දේශපාලන හා සමාජ අස්ථිරභාවය මෙන්ම කැළඹිලි සහිත තත්වයක් නිසා ආර්ථිකයට සිදු වන බලපෑම් වැළැක්විය නොහැකියි. (මතෙව් 24:3-8) එමනිසා, ඉහත කී යෝජනා ඔබ අදාළ කරගත්තද සමහරවිට ඔබේ රැකියාව අහිමි වීමට ඉඩ කඩ තිබෙනවා.

කෙසේවෙතත්,රැකියාවක් අහිමි වූ විට ඇති වන කාංසාව අඩු කරගැනීමට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම උපකාරයක් විය හැකියි. යේසුස් මෙසේ පැවසුවා. “අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තණබිමේ පැළෑටි දෙවි මෙසේ පළඳවන්නේ නම්, යම් ඇදහිල්ලක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු නොවන්නේද? එබැවින් ‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. . . . මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය.”—මතෙව් 6:30-32.

ලොව වටා සිටින බොහෝදෙනෙකු මෙන් එරිකා ඉහත සඳහන් වදන්වල සත්‍යතාව අද්දැක්කා. ඇය ඇගේ හැඟීම් මෙසේ ප්‍රකාශ කරනවා. “මම දැන් කරන රැකියාවට කැමතියි. ඒත් මගේ අද්දැකීමෙන් මම දන්නවා දේවල් වෙනස් වෙනවා කියලා. කොහොම වුණත් රැකියාව අහිමි වුණාම ඇති වන කාංසාව අඩු කරගැනීමට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න හා යෙහෝවා කෙරෙහි විශ්වාසය තබාගන්න මම ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මට ලැබෙන රස්සාවෙන් සෑහීමට පත් වෙන්නත් මම ඉගෙනගෙන තියෙනවා.”

[10වන පිටුවේ පින්තූරය]

රැස්වීම්වලදී අවධානය නොදීම ඔබේ රැකියාව අහිමි වීමට හේතු පාදක විය හැකියි