Skip to content

පටුනට යන්න

කාන්තාවන් සැලකිලිමත් විය යුතු වයිරසයක්!

කාන්තාවන් සැලකිලිමත් විය යුතු වයිරසයක්!

කාන්තාවන් සැලකිලිමත් විය යුතු වයිරසයක්!

විවාහ වී වසර එකහමාරක් ගත වූ පසු ක්‍රිස්ටිනාට * සිදු වුණා මුල් වතාවට නාරි වේදී වෛද්‍යවරයෙකු වෙත යන්නත් පැප් පරීක්ෂණයක් කරගන්නත්. නාරි වේදී විශේෂඥවරිය ක්‍රිස්ටිනාව පරීක්ෂා කරද්දී ටිකක් තිගැස්සුණා. යෝනි මාර්ගය හා ගැබ් ගෙල පරීක්ෂා කිරීම සඳහා ඇයව විශේෂ පරීක්ෂණයකට (colposcopy) භාජන කළ යුතු බව වෛද්‍යවරිය පැවසුවා. ගැබ් ගෙලෙහි අසාමාන්‍ය තත්වයක් වර්ධනය වී ඇති බව සොයාගත් වෛද්‍යවරිය ආසාදිත වූ ගැබ් ගෙල පටකවලින් කොටසක් රැගෙන (biopsy) රසායනාගාර පරීක්ෂාවකට යොමු කළා.

ක්‍රිස්ටිනා මෙසේ පවසයි. “ප්‍රතිඵල දැනගන්න සති දෙකකට පස්සේ එන්න කියා වෛද්‍යවරිය කිව්ව නිසා මගේ සැමියයි මමයි ඇයව හමු වෙන්න ගියා. අසාමාන්‍ය තත්වයක් ඇති වෙලා තියෙන්නේ මානව පැපිලෝමා වයිරසය නිසයි, දැන් තත්වය දරුණුයි කියලා ඇය අපිට කිව්වා. ඈ පැහැදිලි කළේ මේ ආසාදනයෙන් ගැබ් ගෙල පිළිකාවක් සෑදීමේ අවදානම තිබෙන නිසා වහාම ප්‍රතිකාර පටන්ගත යුතු බවයි.

“ප්‍රතිඵල දැනගත්තහම මගේ සැමියටයි මටයි හිතාගන්න බැරි වුණා මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මට ඉබේම ඇඬුණා. ඊළඟ දවසේදී සුළු ශල්‍යකර්මයක් කරගන්න සිද්ධ වුණා. එදා මට දැනුණේ පුදුම දුකක්, කනස්සල්ලක්. ‘ඇයි මට මේ වගේ දෙයක් වුණේ’ කියලා මට හිතුණා.”

මෙම වයිරසය ලිංගිකව පැතිර යන්නක් බව කියවා තිබූ නිසා තමාට කෙසේද මෙවැන්නක් බෝ වුණේ කියා ක්‍රිස්ටිනාට හිතාගන්න බැරි වුණා. මොකද ඇයත් ඇගේ සැමියත් සැමවිටම බයිබලයේදී තිබෙන උසස් සදාචාර ප්‍රතිපත්ති පිළිපැද තිබුණා.

ආසාදනය අමුතු එකක් නොවෙයි

ඇත්තෙන්ම මානව පැපිලෝමා වයිරසය නිසා ලෝකයේ සිටින කාන්තාවන් මිලියන ගණනක් රෝගී වී සිටිනවා. (මෙම වයිරසය සරලව හඳුන්වන්නේ HPV යන ඉංග්‍රීසි අකුරු තුනෙන්) මෙය ලිංගිකව පැතිරෙන රෝග අතුරින් සුලභව දක්නට තිබෙන රෝගී තත්වයක්. ජගත් සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ගැබ් ගෙල පිළිකාවක් සෑදීමට හේතුවන සාධකවලින් මූලික හේතුකාරකයක් වන්නේ HPV වයිරසයයි. *

වාර්ෂිකව සිය දහස්ගණන් සංඛ්‍යාවක් මෙම HPV වයිරසයෙන් ආසාදනය වන බව සොයාගෙන තිබෙනවා. වයිරසයේ ප්‍රතිඵලයක් වශයෙන් සෑම වසරකම ගැබ් ගෙල පිළිකාවෙන් කාන්තාවන් දහස් ගණනක් මියයනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්ට පිළිකා වැලඳීම සඳහා HPV වයිරසය විශාලතම හේතුකාරකයක් වෙලා. ලොව පුරා ගර්භාශ පිළිකා අතුරෙන් ගැබ් ගෙල පිළිකාව දෙවන ස්ථානයෙහි පවතිනවා. එසේ නම් ජගත් සෞඛ්‍ය සංවිධානය විසින් මෙම HPV වයිරසය “ලොව පුරාම පවතින සෞඛ්‍ය ගැටලුවක්” ලෙස නම් කිරීම පුදුමයක්ද! මෙම වයිරසය ගැන තවදුරටත් හඳුනාගන්නේ කෙසේද?

එම මානව පැපිලෝමා වයිරසය සමාජ රෝග වැලඳුණ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ලිංගේන්ද්‍රයන් ආශ්‍රිතව ඉන්නන් හටගන්වයි. මේවා බොහෝවිට පිළිකා ඇති නොකරන ඒවායි. මෙම HPV වයිරසයේ වර්ග සියයකට වඩා තිබුණත් පිළිකාවලට හේතු වන්නේ ඉන් ස්වල්පයක් විය හැකියි. මේ ස්වල්පයෙන් දිගු කලක් පුරා ආසාදිත වී සිටියොත් පමණයි ගැබ් ගෙල පිළිකා හටගන්නේ. අනිත් අතට මෙම වයිරසයෙන් ආසාදිත වුවත්, ඉන් වර්ග බොහොමයක් ප්‍රතිකාර නොකරම සුව වන්නේ සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසයි.

අවදානමට හේතු

වැඩි අවදානමක සිටින්නේ ළාබාල වියෙන්ම හා පිරිමින් බොහෝදෙනෙකු සමඟ ලිංගිකව හැසිරෙන කාන්තාවන්. ඒ වගේම සහකාරියන් බොහෝදෙනෙකු සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් පවා රෝගය බෝ කිරීමට දායක වෙනවා. බොහෝවිට පිරිමියෙකුගෙන් කාන්තාවකට මෙම HPV වයිරසය බෝවන විට ඔහු තුළ බාහිර රෝග ලක්ෂණ දකින්න නැහැ.

කෙසේවුවද සුචරිතවත් ජීවිත ගත කරන ඇතැම් කාන්තාවන් හෝ කිසිදාක ලිංගික හැසිරීමක යෙදී නැති කාන්තාවන් පවා සමහරවිට මෙයින් ආසාදනය වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දරුවෙකු උපදින විටම මවගෙන් මෙම වයිරසය දරුවාට බෝ විය හැකි බවත්, වෙනත් ක්‍රමයකින් හෝ කෙනෙකුට එය බෝ විය හැකි බවත් මෑතකදී සිදු කළ යම් අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා. කෙනෙකුට රෝගය වැලඳී වසර ගණනාවක් යන තුරුත් රෝග ලක්ෂණ මතු නොවී තිබිය හැකියි.

ආසාදනය වී ඇද්දැයි දැනගන්නා අයුරු

ඔබ ස්ත්‍රියක් නම් ඔබ මෙසේ සිතිය හැකියි. ‘මට HPV වයිරසය ආසාදනය වෙලාද කියලා කොහොමද මම දැනගන්නේ?’ එය වැදගත් ප්‍රශ්නයක්. මන්ද සාමාන්‍යයෙන් මෙම රෝගයේ බාහිර ලක්ෂණ පෙන්නුම් නොකරන නිසයි. කලින් සඳහන් කළ ක්‍රිස්ටිනා සිදු කළාක් මෙන් ගත යුතු මූලික පියවර වෙන්නේ ගැබ් ගෙල පටක සෛල සාම්පලයක් පරීක්ෂා කිරීමයි. මෙය හඳුන්වන්නේ පැප් පරීක්ෂණය ලෙසයි. *

පරීක්ෂණය කිරීම සඳහා වෛද්‍යවරයෙක් සූරන උපකරණයක් හෝ බුරුසුවක් භාවිත කර ගැබ් ගෙලේ කුඩා සෛල සාම්පලයක් ගෙන එය රසායනාගාරයට යවනවා. මෙම පරීක්ෂණයෙන් ආසාදනයක්, ඉදිමුමක් හෝ අසාමාන්‍ය සෛල වර්ධනයක් තිබෙනවාදැයි හෙළි වෙයි. පැප් පරීක්ෂණය නිසා ගැබ් ගෙල පිළිකාවලින් මිය යන සංඛ්‍යාව සහ ගැබ් ගෙල පිළිකා සෑදීමේ සංඛ්‍යාව අඩු කරගත හැකි බව වාර්තා කර තිබෙනවා.

ජගත් සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසයි. “සෛල පරීක්ෂාවකින් පිළිකාවක් සෑදීමට පෙර ඇති වන අසාමාන්‍ය තත්වයන් අනාවරණය කරගැනීමට හැකි වී තිබෙනවා. එමනිසා ලොව පුරා මෙම රෝගය මර්දනය කිරීමට බොහෝදුරට දායක වී ඇති ක්‍රමය එයයි.” පැප් පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් රෝගය නිර්ණය කළ නොහැකි නම් ආසාදිත ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට විශාල කර පෙන්වන කාච සහිත උපකරණයක් භාවිත කර විශේෂ පරීක්ෂණයක් සිදු කෙරෙනවා. (colposcopy) මෙමගින් අසාමාන්‍ය තත්වයක් ඇති වී තිබෙනවාදැයි නිශ්චය කළ හැකියි. එය එසේ නම්, ආසාදිත ප්‍රදේශයෙන් පටක කොටසක් රැගෙන පරීක්ෂණයක් කළ පසු ප්‍රතිකාර කිරීමට පටන්ගනියි.

අද දින ඊටත් වඩා නවීන රසායනාගාර පරීක්ෂණයන් සිදු කරගත හැකියි. රෝග තිබෙනවාද කියා ඒවාවලින් නිශ්චිත වශයෙන්ම පෙන්නුම් කරයි.

ප්‍රතිකාර කිරීම සහ වළක්වාගැනීම

මෙම HPV වයිරසය මර්දනය කළ හැකි ප්‍රතිකාර ක්‍රම කීපයක්ම තිබෙනවා. විශේෂඥයන් ක්‍රීම් වැනි බෙහෙත් වර්ග ප්‍රතිකාර වශයෙන් ලබා දෙනවා. මේවා සමහරකින් වයිරසයෙන් ආසාදිත සෛල විනාශ කෙරෙන අතර අනිත් ඒවා මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරනවා. ඊට අමතරව හානි වූ හෝ ආසාදිත වූ කොටස් ඉවත් කිරීම සඳහා විද්‍යුත් උපකරණ භාවිතයෙන් ශල්‍යකර්මයක් කිරීම, ලේසර් කිරණ ප්‍රතිකාරය ලබා දීම හෝ අධික ශීත කිරීමකට ලක් කිරීමෙන් සිදු කෙරෙන ප්‍රතිකාරය වැනි වෙනත් ප්‍රතිකාර ක්‍රමද තිබෙනවා. සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබුණත් හොඳම දේ රෝගය වළක්වාගැනීමයි කියා ඔබ සිතන්නේ නැද්ද! එය වළක්වාගන්නේ කෙසේද?

වසර කීපයකට කලින් මෙක්සිකෝ නගරයේදී “නව සහස්‍රයේ ගැබ් ගෙල පිළිකාව හා HPV වයිරසය” යන විෂය යටතේ සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. මෙහිදී HPV වයිරසය පිළිබඳ ප්‍රවීණයෙකු වූ වෛද්‍ය වී. සීසල් රයිට් කැනඩාවෙන් පැමිණි ආරාධිත දේශකයා හැටියට දුන්නේ මෙවැනි උපදෙසක්. “විවාහයට පෙර ලිංගිකව හැසිරෙන්න එපා.” කැනඩාවේ මොන්ට්‍රියෙල්හි මක්ගිල් විශ්වවිද්‍යාලයේ ව්‍යාධිවේදී විශේෂඥයෙකු වූ වෛද්‍ය ඇලෙක්ස් ෆරෙන්සීද එවැනිම දෙයක් පැවසුවා. “ගැබ් ගෙල පිළිකාව වළක්වාගැනීමට නම් . . . එක් සහකරුවෙකුට පමණක් සීමා විය යුතුයි.”

සදාචාරය පිළිබඳව බයිබලයේ දී තිබෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන අයට HPV වයිරසය ආසාදනය වීමෙන් ඇති වන පිළිකා හටගැනීම අඩු බවයි පෙනෙන්න තිබෙන්නේ. ඊට හේතුව විවාහයෙන් පිටත ලිංගික හැසිරීම් බයිබලයෙහි හෙළා දැක ඇති නිසයි. එමෙන්ම එහි විවාහ සහකරුවන් අතර එකිනෙකාට විශ්වාසවන්තව සිටීමටද දිරිගන්වා තිබෙනවා. එම ප්‍රතිපත්තිම අනුගමනය කරන කෙනෙකු හා විවාහ වන්න කියා ක්‍රිස්තියානීන්ට එහි අවවාද කර තිබෙනවා.—1 කොරින්ති 7:39; හෙබ්‍රෙව් 13:4.

කෙසේවුවත් මෙම HPV වයිරසය ආසාදනය වීම වළක්වාගත හැකි නිසා ඒ ගැන දැනුවත්ව සිටීම අත්‍යවශ්‍යයි. ආසාදනය දරුණු වූ පසුව පවා ප්‍රතිකාර කරන්න පුළුවන්. ජගත් සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙයයි. “ගැබ් ගෙල පිළිකාව හැදුණත් එය මුල් අවදියේදීම හඳුනාගතහොත් සුව කරගැනීමට බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා.”

සදාචාරය පිළිබඳ දැනුමක් තිබීමට අමතරව රෝගය පිළිබඳවද කාන්තාවන් දැනුවත්ව සිටීම වැදගත් වෙනවා. කලින් කලට පැප් පරීක්ෂාව වැනි පරීක්ෂණයන් කරගැනීම ගැන අවබෝධයක් තිබීමද වැදගත්. * රෝගී තත්වයක් තිබෙන බව හඳුනාගතහොත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හැකියි. කාන්තාවකට තිබිය යුතු දැනුම හා සුදුසු ආකල්පය සම්බන්ධයෙන් විශේෂඥවරියක වන වෛද්‍ය මෝන්සරාට් ෆ්ලෝරෙස් මෙසේ පවසයි. “රෝගය ගැන සහ එය කෙතරම් දුරට තමාට බලපා ඇද්දැයි දැන සිටිනවා නම් භයානක අන්ත දෙකකට යෑමෙන් වැළකී සිටීමට ඇයට හැකියි. එකක් නම් රෝගයේ තත්වය ගැන නිසි සැලකිල්ලක් නොදැක්වීම හා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීමයි. එමනිසා පිළිකාවක් ඇති විය හැකියි. අනික නම් පිළිකාවක් සෑදෙයි යන අනවශ්‍ය බියක් ඇති කරගැනීමයි. ඒ නිසා අනවශ්‍ය සැත්කම්වලට භාජන වීමට පෙලඹීමක් ඇති වෙයි.”

විද්‍යාඥයන් HPV වයිරසය හඳුනාගැනීම සඳහා මීටත් වඩා සාර්ථක මෙන්ම වියදම් අඩු ක්‍රම සොයමින් සිටිනවා. ඊට අමතරව, මෙම ආසාදනය වළක්වාගැනීමට හා එයට ප්‍රතිකාර කිරීමට එන්නත්ද සොයාගනිමින් සිටිනවා.

ක්‍රිස්ටිනාගේ අවසන් පරීක්ෂණයේ ප්‍රතිඵල හොඳ වුණත් මාස හයකට වතාවක් ඇය තවමත් විශේෂ පරීක්ෂණය කරවාගන්නවා. තමන්ගේ රෝගය ගැන හොඳින් දැනුවත්ව සිටින ඇය මෙසේ පවසනවා. “අප තුළ HPV වයිරසය තිබුණත් අපේ ශරීර සෞඛ්‍ය හොඳ තත්වයක තබාගන්න අපිට හුඟක් දේවල් කරන්න පුළුවන්.”

[පාදසටහන්වල]

^ 2 ඡේ. නම වෙනස් කර ඇත.

^ 7 ඡේ. ගැබ් ගෙල පිහිටා තිබෙන්නේ ස්ත්‍රියකගේ ගර්භාශය සහ යෝනි මාර්ගය අතර තිබෙන සිහින් කොටසෙහියි.

^ 14 ඡේ. ග්‍රීක් වෛද්‍යවරයා වන ජෝර්ජ් එන්. පැපනිකොලාවූ සෛල පරීක්ෂා කිරීමේ මෙම ක්‍රමය සොයාගත් නිසා එය හඳුන්වන්නේ ඔහුගේ නමින්මයි.

^ 23 ඡේ. එක්සත් ජනපදයේ ජාතික පිළිකා ආයතනයට අනුව මෙම පරීක්ෂණයන් කරගැනීමට පටන්ගත යුත්තේ වයස අවුරුදු 18දී හෝ ලිංගික හැසිරීම්වල යෙදෙන්න පටන්ගත් වහාමයි.

[30වන පිටුවේ කොටුව]

නැණවත් කාන්තාවන්. . .

කලින් කලට පැප් පරීක්ෂණය කරගත යුතුයි. දුම්පානයෙන් වැළකී සිටිය යුතු අතර පෝෂ්‍යදායී ආහාර අනුභව කළ යුතුයි. එයට එළවළු, පලතුරු සහ ධාන්‍ය ඇතුළත් කරගැනීම යෝග්‍යයි. සමහර අධ්‍යනයන්වලින් පෙන්වන්නේ කැරොටින්, විටමින් A, C සහ E මෙන්ම ෆෝලික් අම්ලය මගින් බොහෝ දුරට ගැබ් ගෙල පිළිකාව වැළඳීමේ අවදානම අවම වීමට ඉඩ ඇති බවයි.

[31වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මාරාන්තික වයිරසය

මානව පැපිලෝමා වයිරසය (HPV) ලෝකයේ ලිංගිකව පැතිර යන රෝගවලින් සුලභම රෝගය ලෙස සැලකෙනවා. එය දියුණු වෙමින් පවතින රටවල ගැබ් ගෙල පිළිකාවට මූලික හේතුවක්. ලොව පුරා ඇති වන ගර්භාශ පිළිකාවන් අතරින් දෙවනුවට පොදුවේ දක්නට ලැබෙන පිළිකාව නම් ගැබ් ගෙල පිළිකාවයි.

[හිමිකම් විස්තර]

© Science VU/NCI/Visuals Unlimited

[31වන පිටුවේ පින්තූරය]

පැප් පරීක්ෂණය හඳුන්වා දුන් වෛද්‍ය ජෝර්ජ් පැපනිකොලාවූ