Skip to content

පටුනට යන්න

රැකියාවක් සොයාගැනීමට ක්‍රම පහක්

රැකියාවක් සොයාගැනීමට ක්‍රම පහක්

රැකියාවක් සොයාගැනීමට ක්‍රම පහක්

හොඳම රැකියාව ලැබෙන්නේ කාටද? වැඩිම සුදුසුකම් ඇති අයට විතරද රැකියාවල් ලැබෙන්නේ? “නැහැ. බොහෝවිට එසේ වන්නේ උනන්දුවෙන් රැකියා සොයන අයෙකුට” කියා රැකියා උපදේශකයෙක් වන බ්‍රයන් පවසනවා. උනන්දුමත් රැකියා සොයන්නෙකු වීම සඳහා ඔබට කුමක් කළ හැකිද? ඒ සඳහා තිබෙන ක්‍රම පහක් සලකා බලමු.

සැලසුම් කරන්න

ඔබට හොඳ රැකියාවක් තිබී එය අහිමි වුණා නම්, නැතහොත් කාලයක් පුරා රැකියාවක් නොමැතිව සිටිනවා නම්, කලකිරීමට පත්වීම පුදුමයක් නෙමෙයි. ජර්මනියේ ඇඳුම් මසන්නියක් ලෙස සේවය කරන කැටරීනා තම රැකියාව අහිමි වූ අවස්ථාවේ ඇයට හැඟුණ ආකාරය ගැන මෙසේ පවසනවා. “මගේ රස්සාව නැති වුණාම මට ආයෙත් රස්සාවක් ඉක්මනින්ම සොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඒත් මාස ගණන් ගත වුණත් රස්සාවක් සොයාගන්න මට බැරිව ගියා. මම මානසිකව වැටුණා. අන්තිමට මගේ යාළුවන් එක්ක ඒ ගැන කතා කරන එක පවා මට අමාරු කාර්යයක් වුණා.”

එවැනි මානසික බිඳ වැටීමකින් ඔබ ගොඩ එන්නේ කොහොමද? එක් පොතක මෙවන් යෝජනාවක් දී තිබුණා. “දවසේ වැඩ කටයුතු සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. එවිට දවස තුළ කළ යුතු දේ කුමක්ද කියා ඔබ දන්නවා.” එම පොතේ කර්තෘවරුන් තවදුරටත් මෙසේ කියා සිටිනවා. “දවස්පතා යම් ඉලක්කයන් තබා අත් කරගත් ඉලක්ක ගැන සටහන් කරන්න. ඒ වගේම සෑම දිනක්ම රැකියාවට යනවා හා සමානව ඇඳ පැළඳ සිටින්න. ඊට හේතුව මනාව ඇඳ පැළඳ සිටීමෙන් දූරකථනයෙන් කතා කරන විට පවා ආත්ම විශ්වාසයක් ඔබ තුළ ඇති වන නිසයි.”—Get a Job in 30 Days or Less නමැති පොත.

දැන් ඔබේ රැකියාව වන්නේ රැකියාවක් සෙවීමයි. ඒ සඳහා කොතරම් කාලයක් ගත වුණත් උත්සාහය අත්හරින්න එපා. කලින් සඳහන් කළ කැටරීනා සැලසුමක් අනුව කටයුතු කළා. “මම රැකියා ඇබෑර්තු ගැන දැනුම් දීම සඳහා පිහිටුවා තිබෙන රජයේ කාර්යාලයකින් නොයෙක් ආයතනවල ලිපින හා දූරකථන අංක ලබාගත්තා. පුවත්පත්වල රැකියා ඇබෑර්තුවලට ලිව්වා. මම දූරකථන නාමාවලියෙන් ආයතනවල අංක සොයාගෙන රැකියා ඇබෑර්තු තිබෙනවාද කියා සොයා බැලුවා. ඒ වගේම මම අයදුම්පතක් සකස් කර එම ආයතනවලට යැව්වා.” එලෙස රැකියාවක් සෙවීමට වෑයමක් දැරීමෙන් පසු කැටරීනාට රැකියාවක් ලැබුණා.

දැන්වීම් පළ නොකරන ලද ඇබෑර්තු ගැන විමසා බලන්න

විශාල මාළු දැලක් තිබෙන ධීවරයෙකුට බොහෝ මසුන් අල්ලාගැනීමේ ප්‍රස්තාව වැඩියි. ඒ හා සමානව රැකියා සොයාගැනීමේ ක්‍රම පුළුල් කරන කෙනෙකුට රැකියාවක් සොයාගැනීම පහසු වෙනවා. ඔබ රැකියාවක් සෙවීම සඳහා පුවත්පත් හා අන්තර්ජාලය පමණක් යොදාගන්නවා නම් රැකියා ප්‍රස්තා බොහොමයක් ගිලිහී යා හැකියි. රැකියා ඇබෑර්තු බොහොමයක් දැන්වීම්වල පළ කරන්නේ නැහැ. ඔබ පළ නොකරන ලද රැකියාවන් ගැන හෝඩුවාවක් ලබාගන්නේ කොහොමද?

පුවත්පත්වල පළ කර තිබෙන දැන්වීම්වලට ප්‍රතිචාරය දක්වනවාට අමතරව කැටරීනා කළාක් මෙන් ඔබත් රැකියා ඇබෑර්තු තිබේවී කියා සිතන ආයතනවලට ගොස් විමසා බැලීමට සෑම සතියකම කාලය වෙන් කළ යුතුයි. ඔවුන් ඇබෑර්තු ගැන දැන්වීම් පළ කරන තුරු බලා සිටින්න එපා.ආයතනයක කළමනාකරු ඇබෑර්තු නැහැයි කියා පැවසුවොත් ඇබෑර්තු තිබෙන වෙනත් ආයතනයක් ගැන ඔහු දන්නවාද කියාත්,විශේෂයෙන් කොයි පුද්ගලයා ළඟටද යා යුත්තේ කියාත් ඔහුගෙන් අසන්න. ඔහු යම් ආයතනයක් ගැන තොරතුරක් දුන් විට එම ආයතනයේ අංකයට අමතා ඔබට තොරතුරු ලබා දුන් පුද්ගලයාගේ නම සඳහන් කරන්න.

කලින් ලිපියේ සඳහන් කළ ටෝනි මෙම ක්‍රමය යොදාගැනීමෙන් රැකියාවක් සොයාගත්තා. ඔහු මෙසේ පැහැදිලි කරනවා. “ආයතනවල රැකියා ඇබෑර්තු ගැන දැන්වීම් පළ කර නැතත් මම මුල් පියවර අරගෙන රැකියාවල් තියෙනවාද කියලා ඔවුන්ගෙන් විමසා බැලුවා. එක සමාගමක් කිව්වා දැනට රැකියා ඇබෑර්තු නැහැ. නමුත් මාස තුනකට පසු නැවත සොයා බලන්න කියලා. ඒ කියපු විදිහට මම කළා. මට රැකියාවක් ලැබුණා.”

ප්‍රිම්රෝස් දකුණු අප්‍රිකාවේ තනි මාපියෙක්. ඇයත් ඒ හා සමාන ක්‍රියාමාර්ගයක් ගත්තා. “මම ප්‍රථමාධාර පාඨමාලාවක් හදාරන කාලයේ දැක්කා පාර එහා පැත්තේ ගොඩනැඟිල්ලක් හදනවා. එම ගොඩනැඟිල්ල වැඩිහිටි නිවාසයක් සඳහා යොදාගන්නා බවත් මට දැනගන්න ලැබුණා. ආයතනයේ වැඩ භාර නිලධාරියාව මුණ ගැසෙන්න මම නිතර නිතර උත්සාහ කළා. අන්තිමට ඔහු කිව්වා දැනට ඇබෑර්තු නැහැ කියලා. ඒත් මට එම ආයතනයේ ස්වේච්ඡා සේවිකාවක් හැටියට හරි සේවය කරන්න පුළුවන්ද කියලා බලන්න නැවත නැවත ගියා. කොහොමහරි තාවකාලික සේවිකාවක් ලෙස මාව බඳවාගත්තා. මට මොන වැඩක් දුන්නත් මම උනන්දුවෙන් ඒ වැඩේ කළා. මෙහි ප්‍රතිඵලයක් විදිහට මට අමතර සුදුසුකම් ලැබුණ අතර මගේ රැකියාවද ස්ථිර කළා.”

ඇබෑර්තු ගැන දැන්වීම් පළ කර නැති රැකියා සොයාගැනීමට උපකාර කරන්න කියා ඔබේ මිතුරන්ට, පවුලේ අයට සහ ඔබ ඇසුරු කරන වෙනත් අයට පැවසීමටත් ඔබට හැකියි. මේ ක්‍රමයට තමයි සේවකයන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන නිලධාරියෙකු ලෙස සේවය කරන දකුණු අප්‍රිකාවේ යාකෝබුස් රැකියාවක් සොයාගත්තේ. ඔහු තම අදහස් මෙසේ ඉදිරිපත් කරනවා. “මම රස්සාව කරමින් හිටිය සමාගම බංකොලොත් වුණාම මම රස්සාවක් සොයනවා කියලා මගේ මිතුරන්ට සහ පවුලේ අයට කිව්වා. එක දවසක් මගේ මිතුරෙක් වෙළඳසැලක පෝලිමේ සිටින විට කාන්තාවන් දෙදෙනෙකුගේ කතා බහක් ඔහුගේ කනට වැටුණා. රැකියාවක් සොයන කෙනෙක්ව ඔබ දන්නවාද කියා එක කාන්තාවක් අනෙක් කාන්තාවගෙන් අසනවා ඔහුට ඇසුණා. එතකොට මගේ මිතුරා සංවාදයට ටිකක් බාධා කරලා මං ගැන කියලා තියෙනවා. ඉන්පසු ඇයව මුණ ගැසීමට වෙලාවක් යෙදූ අතර මට රැකියාව ලැබුණා.”

තත්වයන් අනුව හැඩගැසෙන්න

රැකියාවක් සොයාගැනීමේ අවස්ථා වැඩි කරගැනීම සඳහා ඔබ තත්වයන් අනුව හැඩගැසිය යුතුයි. කලින් ලිපියේ සඳහන් කළ හයිමි මෙසේ තම අදහස් පළ කරනවා. “හුඟාක් වෙලාවට අපිට ඕන විදිහට රස්සාවල් ලැබෙන්නේ නැහැ. යම් යම් අඩු පාඩු තිබුණත් අපි තත්වයන් අනුව සකස් වෙන්න ඕනේ.”

තත්වයන් අනුව සකස් වීම යන්නෙන් අදහස් කරන්නේ, සමහර රැකියාවන් සම්බන්ධයෙන් අප තුළ තිබෙන ආකල්ප වෙනස් කරගැනීම විය හැකියි. මෙක්සිකෝවේ ජීවත් වන එරිකාගේ අද්දැකීම සලකා බලන්න. ඇය විධායක ලේකම්වරියක් ලෙස පුහුණුවක් ලැබුවා. ඒත් මුලින්ම ඇයගේ සුදුසුකම් අනුව ඇයට රැකියාවක් ලැබුණේ නැහැ. ඇය මෙසේ පවසනවා. “මට කරන්න පුළුවන් ඕනෑම සාධාරණ රැකියාවක් මම භාරගත්තා. ටික කාලයක් මම වෙළඳ සේවිකාවක් ලෙස සේවය කළා. ඒ වගේම පොඩි පොඩි කෑම වර්ග හදලා පාරේ තියාගෙන වික්කා. ගෙවල් සුද්ද පවිත්‍ර කරලත් දුන්නා. අන්තිමේදී මගේ සුදුසුකම්වලට ගැළපෙන රස්සාවක් ලැබුණා.”

ලිපිකාරිනියක් ලෙස සේවය කරමින් සිටි කලින් ලිපියේ සඳහන් කළ මේරීටත් තම රැකියාව අහිමි වූ විට තත්වයන් අනුව හැඩගැසීමට සිදු වුණා. ඇය මෙසේ පැහැදිලි කරනවා. “මම කරමින් හිටිය රස්සාවම ඕනේ කියලා මම හිතුවේ නැහැ. මම ලැබුණ හැම රැකියාවක් ගැනම, ඒ කියන්නේ සමහරෙකු අඩු තත්වයේ රැකියාවක් කියලා හිතුව ඒවා ගැන පවා හොයලා බැලුවා. මේ නිසා මගේ දරු දෙන්නව රැකබලා ගන්න පුළුවන් විදිහේ රස්සාවක් සොයාගන්න මට පුළුවන් වුණා.”

අයදුම්පතක් සකසාගන්න

විධායක තනතුරක් සඳහා අයදුම් කරනවා නම් අයදුම්පතක් පිළිවෙළකට සකස් කිරීමත් එය අන් අය වෙත යැවීමත් අත්‍යවශ්‍යයි. ඒත් ඔබ කුමන රැකියාවක් සෙව්වත් පිළිවෙළකින් යුත් අයදුම් පතක් ඉතාමත් ප්‍රයෝජනදායකයි. “අයදුම්පතකින් ඔබ ගැන විතරක් නෙමෙයි ඔබ අත් කරගෙන තිබෙන දේත් ආයතනයට ඔබව අවශ්‍ය කරන්නේ මන්ද කියාත් පෙන්නුම් කරනවා.” එසේ පැවසුවේ ඕස්ට්‍රේලියාවේ රැකියා උපදේශකයෙක් වන නයිජල්.

පිළිවෙළකින් යුත් අයදුම්පතක් සකසන්නේ කොහොමද? ඔබේ සම්පූර්ණ නම, ලිපිනය, දූරකථන අංකය සහ ඊ මේල් ලිපිනය ඇතුළත් කරන්න. අයදුම් කරන තනතුර සහ අධ්‍යාපන සුදුසුකම්ද සඳහන් කරන්න. රැකියාවට අදාළ යම් පුහුණුවක් ලබා තිබෙනවා නම් සහ දක්ෂතා තිබෙනවා නම් ඒ ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න. කලින් රැකියාවේ ලද අද්දැකීම් පිළිබඳව විස්තර සපයන්න. නමුත් ඔබ කළ දේවල් පමණක් නොව ඔබ අත් කරගත් ඉලක්ක සහ ආයතනයට ඔබ ගෙන දුන් වාසි ප්‍රයෝජන ගැනද සඳහන් කරන්න. ඒ වගේම ඔබ දැන් අයදුම් කරන රැකියාවට ඔබ කලින් කළ රැකියාවේ යම් සම්බන්ධයක් තිබෙනවා නම් එය විශේෂයෙන්ම සඳහන් කරන්න. ඒ වගේම ඔබේ ගතිගුණ, උනන්දුවක් දක්වන දේවල් සහ විනෝදාංශ යන පෞද්ගලික තොරතුරුද ඇතුළත් කරන්න. ආයතනයෙන් ආයතනයට අවශ්‍යතා වෙනස් නිසා එක් එක් සම්මුඛ පරීක්ෂණය සඳහා වෙන වෙනම අයදුම්පත් සකස් කළ යුතුයි.

ඔබේ මුල්ම රැකියාව සඳහාත් මේ ආකාරයේ අයදුම්පතක් අවශ්‍යද? ඔව්! ඔබ කර තිබෙන බොහෝ දේ රැකියාව සඳහා පළපුරුද්ද ලෙසට සැලකිය හැකියි. උදාහරණයකට වඩු වැඩ, වාහන අලුත් වැඩියා කිරීම වැනි විනෝදාංශ ඔබට තිබෙනවාද? මේවා සඳහන් කරන්න පුළුවන්. ඔබ මොනයම් හෝ ස්වේච්ඡා සේවාවක නිරත වුණාද? ඔබ හවුල් වූ ස්වේච්ඡා සේවාවන් හා ඔබ අත් කරගත් ඉලක්ක සඳහන් කරන්න.—“මුල්ම රැකියාව සඳහා ආදර්ශ අයදුම්පතක්” නමැති කොටුව බලන්න.

සමහර ආයතන සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ අයදුම්පත බැලීමට පෙරයි. එවැනි සම්මුඛ පරීක්ෂණයකට ගියවිට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට ඔබට අවස්ථාවක් නොලැබුණහොත් කුඩා කාඩ්පතක් තබා ආ හැකියි. එය සෙ.මී. 10ක් දිග සෙ.මී. 15ක් පළල එකක් නම් වඩාත් හොඳයි. එහි ඔබේ නම, ලිපිනය, දූරකථන අංකය, ඊ-මේල් ලිපිනය මෙන්ම ඔබේ හැකියාවන් හා නිපුණතා ගැනද කෙටියෙන් සඳහන් කර, සුදුසු නම් කාඩ් එකේ පිටුපස ඔබේ ඡායාරූපයක් අලවා එය භාර දෙන්න. ඔබට රැකියාවක් සොයාගැනීමට උපකාර කරයි කියා බලාපොරොත්තු වන අයටත් එම කාඩ් එක ලබා දෙන්න. ඒ වගේම ඔබ සොයන ආකාරයේ රැකියාවක් සොයා දිය හැකි කෙනෙකු ඔවුන් දන්නවා නම් එම කාඩ් එක ඒ අයටත් ලබා දෙන්න කියා පවසන්න. යම් ආයතනයක ප්‍රධානියෙකුට මෙම කාඩ් එක කියවීමට ලැබෙනවා නම් ඔහු සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඔබව කැඳවීමට ඉඩ තිබෙනවා. සමහරවිට ඔබට රැකියාවක් ලැබීමට පවා ඉඩ තිබෙනවා!

අයදුම්පතක් සකසාගැනීමෙන් රැකියා සෙවීමේ අභියෝගයට මුහුණ දෙන්න ඔබට ආත්ම ශක්තියක් ඇති වෙයි. කලින් සඳහන් කළ නයිජල් මෙසේ පවසනවා. “අයදුම්පතක් සකසා ගැනීමෙන් ඔබේ තොරතුරු හා ඉලක්ක පිළිවෙළකට ඉදිරිපත් කිරීමට ඔබට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි සම්මුඛ පරීක්ෂණයේදී ඔබෙන් අසයි කියා බලාපොරොත්තු වෙන ප්‍රශ්නවලට සූදානම් වීමටද එය උපකාරයක් වෙනවා.”—7වන පිටුවේ තිබෙන කොටුව බලන්න.

සම්මුඛ පරීක්ෂණවලට හොඳින් සූදානම් වීම

මේ සඳහා මොනවාද ඇතුළත් වෙන්නේ? ඔබ රැකියාව කිරීමට බලාපොරොත්තු වන සමාගම ගැන සොයා බැලීමට ඔබට අවශ්‍ය විය හැකියි. ඔබ යම් ආයතනයක් ගැන දන්න තොරතුරු වැඩි වන තරමට එම ආයතනය ඔබ ගැන වැඩි සැලකිල්ලක් දක්වයි. ඔබ ආයතනය ගැන සොයා බැලීමෙන් ඔබ සොයන ආකාරයේ රැකියාවක් එහි තිබෙනවාද එසේ නැතහොත් එම ආයතනයේ ඔබට රැකියාවක් කරන්න කැමතිද කියා තීරණය කිරීමට හැකියාවක් ලැබෙනවා.

ඊළඟට ඔබ සම්මුඛ පරීක්ෂණය සඳහා අඳින්නේ මොනවාද කියා සිතා බලන්න. ඔබ සොයන රැකියාව කය වෙහෙසා කරන රැකියාවක් නම් පිරිසිදු, මනා පිළිවෙළකින් යුත් ඇඳුමකින් සැරසී යන්න. මනා පිළිවෙළකින් යුත් ඇඳුම් ඇඳීමෙන් ඔබ, ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙක් බව ආයතනයට කියාපාන අතර රැකියාව ගැනත් එලෙසම සැලකිලිමත් වන අයෙක් බවද ඉන් කියාපායි. ඔබ කාර්යාලයක සේවය කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ ජීවත් වන පළාතේ කාර්යාල සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසෙන්න. නයිජල් මෙසේ පවසනවා. “සම්මුඛ පරීක්ෂණය තිබෙන දිනයේදී අඳින ඇඳුම් කල් වේලා ඇතිව සූදානම් කරගන්න. එවිට අන්තිම මොහොතේ අනවශ්‍ය ලෙස කරදර වීමට හෝ පීඩනයක් ඇති කරගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.”

සම්මුඛ පරීක්ෂණයට විනාඩි 15කට කලින් යන්න කියාත් නයිජල් යෝජනා කරනවා. ඕනෑවට වඩා කලින් යෑම නුවණට හුරු දෙයක් නෙමෙයි. නමුත් ප්‍රමාද වීම ඊටත් වඩා හානිදායක දෙයක් විය හැකියි. විශේෂඥයන් පවසන්නේ සම්මුඛ පරීක්ෂණයේ මුල්ම තත්පර තුන ඉතාමත් වැදගත් බවයි. සම්මුඛ පරීක්ෂණය පවත්වන තැනැත්තාට ඔබ ගැන හොඳ හැඟීමක් ඇති වෙන්නේ එම කෙටි කාලය තුළයි. ඔබ ප්‍රමාද වුණොත් ඔබ ගැන හොඳ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මේක මතක තියාගන්න. ඔබ ගැන මුලින්ම ඇති වන හැඟීම් වෙනස් කරන්න තවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

තවත් දෙයක් මතක තියාගන්න. සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්නා ඔබේ සතුරෙක් නොවෙයි. ඔහුටත් ඔහුගේ රැකියාව සඳහා අයදුම් කිරීමට සිදු වෙන්න ඇති. එමනිසා, ඔබට හැඟෙන විදිහ ඔහු දන්නවා. සමහරවිට සම්මුඛ පරීක්ෂණයක් පවත්වන්නේ කොහොමද කියා හරි හැටි පුහුණුවක් ඔහු ලබා නොමැති නිසා ඔහුට යම් චකිතයක් දැනෙනවා ඇති. ඊට අමතරව, සම්මුඛ පරීක්ෂණය පවත්වන්නේ ආයතනයේ අයිතිකරු නම් ඔහු වැරදි පුද්ගලයෙකුව තෝරාගතහොත් ඔහුට විශාල පාඩුවක් පවා සිදු විය හැකියි.

මුලින්ම සිනාමුසු මුහුණින් ගොස් ඔබේ ප්‍රදේශයේ සිරිතට අනුව සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්නාට ආචාර කරන්න. සම්මුඛ පරීක්ෂණය පවත්වන අවස්ථාවේ ආයතනයට ඔබෙන් අවශ්‍ය මොනවාද සහ ඔබට ආයතනයට දිය හැක්කේ මොනවාද යන දේවලට අවධානය දෙන්න. නමුත් නොකළ යුතු කාරණා කිහිපයක් ගැන නයිජල් අදහස් දක්වනවා. “කලබලකාරී හෝ අගෞරවනීය ඉරියව්වක් පවත්වා නොගන්න. ගෞරවනීය ඉරියව්වකින් ඔබේ ආත්ම විශ්වාසය පිළිබිඹු වෙයි. ඕනෑවට වඩා මිත්‍රශීලී හෝ කටකාර වෙන්න එපා. තැනට ඔබින්නේ නැති වචන පාවිච්චි නොකරන්න. ඒ වගේම කලින් සේවය කළ ආයතනය ගැන සහ සේවකයන් ගැන විවේචනය කරන්න එපා. ඔබ කලින් රැකියාව ගැන විවේචනය කරනවා නම් මෙම රැකියාව ගැනත් කවදා හරි විවේචනය කරාවී කියා නිගමනය කිරීමට ඉඩ තිබෙනවා.”

සම්මුඛ පරීක්ෂණය අවස්ථාවේ කළ යුතු හා කිව යුතු දේ සම්බන්ධයෙන් විද්වතුන් මෙම දේවල් යෝජනා කරනවා. සම්මුඛ පරීක්ෂණය පවත්වන්නා දෙස කෙළින් බලන්න. කතා කරන විට පැහැදිලිව කතා කරන්න. ඒ වගේම බොරු මවා පෑම් නැතිව ස්වාභාවික ලෙස සිටින්න. ප්‍රශ්නවලට පිළිතුරු දෙන විට කෙටි, අවංක පිළිතුරු සපයන්න. එමෙන්ම ආයතනය හා රැකියාවට අදාළ ප්‍රශ්න අසන්න. සම්මුඛ පරීක්ෂණය අවසානයේදී ඔබට රැකියාව අවශ්‍ය නම් ඒ ගැන පවසන්න. එසේ කිරීමෙන් ඔබට තිබෙන උද්‍යෝගය පෙන්වීමට හැකි වෙයි.

ඉහත කී යෝජනා අනුගමනය කිරීමෙන් ඔබට ඉක්මනින්ම රැකියාවක් සොයාගැනීමට හැකිවීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා. රැකියාවක් සොයාගත් පසු එය රැකගැනීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මුල්ම රැකියාව සඳහා ආදර්ශ අයදුම්පතක්

ඔබේ නම:

ඔබේ ලිපිනය:

ඔබේ දූරකථන අංකය සහ ඊ-මේල් ලිපිනය:

තනතුර: නිෂ්පාදන අංශයේ මූලික රැකියාවක් සඳහා.

අධ්‍යාපන සුදුසුකම්: 2004 අ.පො.ස. උසස් පෙළ සමත්.

වෙනත් පාඨමාලා: භාෂා කුසලතා, ගණිතය හා පරිගණක, වඩු කර්මාන්තය .

කුසලතා හා හැකියාවන්: දෑතේ වැඩ සඳහා දක්ෂතාවය. පෞද්ගලික වාහනය නඩත්තු කිරීම, මේස සහ පුටු වැනි ලී බඩු සෑදීමේ හැකියාව. ස්වේච්ඡා සේවකයන්ගේ ගොඩනැඟිලි ව්‍යාපෘතියක වහල තැනීමෙන් ලද අද්දැකීම්. පරිගණක භාවිතය පිළිබඳ දැනුම.

පෞද්ගලික තොරතුරු: විශ්වසනීයයිඋසස් පෙළ පංතියේදී පාසැල් නොයා සිටියේ දින දෙකයි. අවංකයි—මුදල් සහිත පසුම්බියක් නැවත අයිතිකරුට භාර දුන්නා. මිත්‍රශීලීයි—ප්‍රදේශයේ සමාජ සේවයක නිතිපතා හවුල්වන අතර වැඩිහිටියන්ට උපකාර පිරිනමනවා. ක්‍රීඩා—පැසි පන්දු ක්‍රීඩාවේ නියැලෙනවා. විනෝදාංශ—වාහන අලුත් වැඩියා සහ වඩු වැඩ.

නිර්දේශකයෝ: අවශ්‍ය නම් ඉදිරිපත් කළ හැකියි. *

[පාදසටහන]

^ 41 ඡේ. නිර්දේශකයන් ලෙස ඔබව හොඳින් දැන හඳුනන පාසැල් ගුරුවරියක් හෝ ගුරුවරයෙකු නැතහොත් ව්‍යාපාරයක් සතු පවුලේ හිතවතෙකුව නම් කළ හැකියි. ආයතනය විසින් නිර්දේශකවරුන්ගේ නම් ඔබෙන් ඉල්ලා සිටිනවා නම් ආයතනය ඔබ ගැන උනන්දුවක් දක්වන බවට එය ඉඟියක් වෙයි. නිර්දේශකවරු ලෙස ඉදිරිපත් කරන අයගේ නම් ලිවීමට පෙර ඒ සඳහා ඔවුන්ගෙන් අවසර ලබාගන්න.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සම්මුඛ පරීක්ෂණයක් අතරතුර ඔබෙන් ඇසිය හැකි ප්‍රශ්න

❑ ඇයි මෙම රැකියාවට අයැදුම් කළේ?

❑ විශේෂයෙන්ම මෙම ආයතනයේ රැකියාවක් කිරීමට ඔබට අවශ්‍ය වන්නේ ඇයි?

❑ මෙම රැකියාව/ආයතනය/කර්මාන්තය ගැන ඔබ දන්න තොරතුරු මොනවාද?

❑ මෙවැනි රැකියා කලින් කර තිබෙනවාද?

❑ මොන වගේ යන්ත්‍ර හසුරුවන්න පුළුවන්ද?

❑ මෙම ක්ෂේත්‍රයේ යම් අද්දැකීම් ඔබට තිබෙනවාද?

❑ මෙම රැකියාවට ප්‍රයෝජනවත් වන හැකියාවන් ඔබට තිබෙනවාද?

❑ ඔබ ගැන යමක් පවසන්න.

❑ ඔබ ගැන හොඳින්ම විස්තර කිරීමට යොදාගත හැකි වචන පහ මොනවාද?

❑ අධික වැඩ ඔබට දරාගන්න පුළුවන්ද?

❑ කලින් රැකියාවෙන් ඔබ අයින් වුණේ ඇයි?

❑ මෙච්චර කල් රැකියාවක් නැතුව හිටියේ ඇයි?

❑ ඔබේ කලින් ආයතනය ඔබ ගැන දරන්නේ මොන වගේ අදහසක්ද?

❑ කලින් රැකියාවේදී දැනුම් නොදී රැකියාවට නොගොස් සිටියේ කී වතාවක්ද?

❑ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

❑ රැකියාව භාරගන්න පුළුවන් කවදා ඉඳන්ද?

❑ ඔබේ දක්ෂතාවන් මොනවාද?

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රැකියා සොයා දෙන වෙබ් අඩවි ගැන කුමක් කිව හැකිද?

එක්සත් ජනපදයේ විශාලතම රැකියා වෙබ් අඩවියට අයදුම්පත් මිලියන 17ක් ඇතුල් කර ඇති අතර රැකියා සොයන අයට රැකියා ඇබෑර්තු 8,00,000ක් පමණ ඇති බව නිවේදනය කර තිබෙනවා. සමහර රටවල රැකියාවන් සොයන අයගෙන් සියයට 96ක් රැකියා සෙවීම සඳහා වෙබ් අඩවි යොදාගන්නා බව පර්යේෂණවලින් පෙන්නුම් කරනවා. ඒත් රටවල් 40ක විද්වතුන් එකතු වී සිදු කළ පර්යේෂණවලින් පෙන්නුම් කළේ වෙබ් අඩවි හරහා රැකියාවන් සොයන අයගෙන් රැකියාවල් ලැබෙන්නේ සියයට 5කට පමණක් බවයි.

ඔබේ අයදුම්පත වෙබ් අඩවියට ඇතුළත් කිරීමෙන් ආයතන බොහොමයකට ඔබ රැකියාවක් සොයන බව දැනගත හැකියි. නමුත් ප්‍රවේසම් විය යුතුයි. එමගින් ඔබව වංචාවකට හසු කර ගත හැකියි. එවන් දෙයක් සිදුවීම වළක්වාගැනීමට එම ක්ෂේත්‍රයේ විද්වතුන් මතු දැක්වෙන උපදෙස් සපයනවා:

1. අයදුම්පත දැමීමට පෙර එම වෙබ් අඩවිය ඔබේ පෞද්ගලිකත්වය රැකගනීවිද කියා සොයා බලන්න. සමහර රැකියා සොයා දෙන වෙබ් අඩවි ඔබේ පෞද්ගලික තොරතුරු විශාල වෙළඳ ආයතනවලට හෝ වෙනත් පාර්ශ්වයන්ට විකුණනවා.

2. හොඳ කීර්ති නාමයක් දිනා සිටින වෙබ් අඩවිවලට පමණක් ඔබේ අයදුම්පත ඇතුළත් කරන්න. ඔබේ පෞද්ගලික තොරතුරු අනිසි ලෙස යොදාගැනීමෙන් වළක්වාගැනීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්. ඔබව අනවශ්‍ය මූල්‍යමය ගැටලුවලට හසු කරගැනීමට නොහැකිවන ලෙස සොරෙකුට ඔබේ අනන්‍යතාව සොරාගැනීමට අවශ්‍ය කරන තොරතුරු ඔබේ අයදුම්පතට ඇතුළත් නොකළ යුතුයි. නීත්‍යනුකූල ආයතනවලට ඔබේ බැංකු ගිණුම් අංකය, ක්‍රෙඩිට් කාඩ් පතේ අංකය හෝ උපන් දිනය දැනගැනීමට අවශ්‍ය නැහැ.

3. අපැහැදිලි රැකියා ඇබෑර්තු ගැන ප්‍රවේසම් වෙන්න. ජාත්‍යන්තර පෞද්ගලිකත්වය රැකගැනීමේ කණ්ඩායමේ පර්යේෂිකාවක් වන පැම් ඩික්සන් පවසන්නේ දැන්වීම අපැහැදිලි නම් බොහෝදුරට එම රැකියාව ස්ථිර නැති බවයි. “‘අප ළඟ රැකියා දහස් ගණනක් තිබෙනවා.’ එසේ නැතහොත් ‘අපි විශාල සමාගම් සමඟ එකතු වී වැඩ කරනවා’ වැනි නිශ්චිතභාවයක් නැති කියමන් පවසනවා නම් ඒවා අනතුරු ඇඟවීමේ ලකුණු හැටියට සලකන්න.” ඇය තවදුරටත් මෙසේ පවසනවා. “අලුත් අයදුම්පතක් එවන්න කියා පවසනවා නම් අවදානම තවත් වැඩියි.”

යම් ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් හොඳ නමක් දිනා සිටින වෙබ් අඩවිවලින් ඔබේ අයදුම්පත ලබාගත් පසු ඒ ගැන වගකීමට එම වෙබ් අඩවිවලට නොහැකි බව මතක තබාගන්න.

[5වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

රැකියාව

සම්මුඛ පරීක්ෂණවලට හොඳින් සූදානම් වන්න

අයදුම්පතක් සකසාගන්න

තත්වයන් අනුව හැඩගැසෙන්න

දැන්වීම් පළ නොකරන ලද ඇබෑර්තු ගැන විමසා බලන්න

සැලසුම් කරන්න

[7වන පිටුවේ පින්තූරය]

රැකියාවක් සෙවීමට අත් නෑර සොයා බැලීම අවශ්‍යයි

[8වන පිටුවේ පින්තූරය]

මනා පිළිවෙළකින් සිටීමෙන් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න ඔබට පහසු වෙයි