Skip to content

පටුනට යන්න

සාප්පුවලින් බඩු සොරකම් කිරීම—විනෝදයක්ද? අපරාධයක්ද?

සාප්පුවලින් බඩු සොරකම් කිරීම—විනෝදයක්ද? අපරාධයක්ද?

සාප්පුවලින් බඩු සොරකම් කිරීම—විනෝදයක්ද? අපරාධයක්ද?

පහත සඳහන් සිද්ධිය සිතේ මවාගන්න. සාප්පුවක ඉස්සරහ දොරින් ලස්සනට ඇඳ පැළඳ ගත් නහඹර වියේ පසුවන තරුණියන් දෙදෙනෙක් ඇතුල් වී රූපලාවන්‍ය අංගෝපාංග තිබෙන ස්ථානයට ඇවිදගෙන යනවා. ආරක්ෂක නිලධාරියෙක් ඔවුන්ගේ පසුපස ගොස් ඔවුන්ට මීටර් 10ක් පමණ දුරක දී නතර වී අත් දෙක පිටුපසට කරගෙන බලාගෙන සිටිනවා. තරුණියන් දෙදෙනා තොල් ආලේපන හා ඇස් ආලේපන අත ගා බලන ආකාරය ඔහුගේ නෙත ගැටෙනවා.

තමන් දෙස බලා සිටින ආරක්ෂක නිලධාරියා දෙස තරුණියන් දෙදෙනා බලයි. ඔවුන් දෙදෙනා යම් දෙයකට අරඅඳිනවා. එක් තරුණියක් නිය ආලේපන තිබෙන තැනට ගොස් බෝතල් දෙකක් අතට ගන්නවා. බැලු බැල්මට පෙනෙන්නේ තද රතු එකද ලා රතු එකද ගන්නේ කියා ඇය සිතන ආකාරයයි. ඉන්පසු එක් බෝතලයක් තබා ඊට වඩා තද වර්ණයක් අතට ගන්නවා.

ආරක්ෂක නිලධාරියා මොහොතකට අනෙක් පැත්ත බලනවා. ඒ සැනින් තරුණියන් දෙදෙනා තොල් හා නිය ආලේපන තමන්ගේ අත් බෑගයට දමා ගන්නවා. මුහුණුවලින් සන්සුන් බවක් පෙනුණත් ඔවුන්ගේ හදවත් වේගයෙන් ගැහෙනවා. ඔවුන් එම ස්ථානයේ ටික වේලාවක් රැඳෙනවා. එක් තරුණියක් නිය උපකරණ දෙස බලන අතරතුරේ අනෙක් තරුණිය ඇස් ආලේපන දෙස බලනවා.

තරුණියන් දෙදෙනා එකිනෙකා දෙස බලා යම් ඉඟියක් කර අනෙක් බඩු තිබෙන පැත්තට ගමන් කරනවා. එවිට ආරක්ෂක නිලධාරියා ඔවුන්ට යන්න ඉඩ දී පැත්තකට වෙන විට තරුණියන් ඔහු දෙස බලා මද සිනහාවක් පායි. අයකැමි ඉදිරිපිට තිබෙන ජංගම දුරකථන උපාංග තිබෙන ස්ථානයට පැමිණ ඒ බඩු දෙස බලනවා. එසේ බලමින් සිටින අතරතුර තරුණියන් දෙදෙනා ජංගම දුරකථන ආවරණ ගැන යමක් කොඳුරනවා. පසුව ඔවුන් පිටවීමේ දොරටුව දෙසට පිය නඟනවා.

මේ දෙදෙනා තබන හැම පියවරකදීම වැඩේ හරි යයිද යන සිතුවිල්ලත් බියත් හදවතේ තෙරපෙනවා. තරුණියන් පිටවීමේ දොරටුවෙන් පිට වෙද්දී තමන්ගේ වෑයම හරි ගියා කියා කෑ ගැසීමට සිතුණත් කට පියාගෙන ඉදිරියට ඇවිදගෙන යනවා. ඔවුන් පිටතට පැමිණි පසු ඔවුන්ගේ සිතේ තෙරපෙන හැඟීම් මුහුණෙන් දිස්වෙනවා. සිතේ හටගත් කැලඹුණු සිතුවිලි ක්‍රමක්‍රමයෙන් සන්සුන් වෙද්දී ලොකු සුසුමක් හෙළනවා. තරුණියන් පය ඉක්මන් කර ඇවිදගෙන යන විට ඔවුන්ට සිනහා නොවී සිටිය නොහැකියි. ‘අහු නොවී අපි කොහොමහරි වැඩේ කළා’ කියන අදහසයි ඔවුන්ගේ මනසේ තිබුණේ.

ඉහත සඳහන් තරුණියන් දෙදෙනා මනඃකල්පිතයක් පමණයි. නමුත් එවැනි සිද්ධීන් සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්. එක්සත් ජනපදයේ පමණක් දිනකට සාප්පුවලින් බඩු සොරාගැනීමේ සිද්ධීන් මිලියනයක් පමණ සිදු වෙන බවට ගණන් බලා තිබෙනවා. මෙම ගැටලුව එක්සත් ජනපදයට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. ලෝකයේ කොතැනත් එය දකින්න තිබෙනවා. අපි දැන් සොයා බලන්න යන පරිදි එය විශාල අපරාධයක්. සාප්පු සොරකමේ යෙදෙන හුඟදෙනෙක් අනිත් අයට තමන්ගෙන් සිදු වෙන විශාල අලාභය ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. ධනවත් පුද්ගලයන් පවා මෙම සොරකමේ නියැලෙනවා. ඊට හේතුව කුමක්ද?