Skip to content

පටුනට යන්න

සාප්පු සොරකමට නිමාවක්!

සාප්පු සොරකමට නිමාවක්!

සාප්පු සොරකමට නිමාවක්!

“සොරකම ව්‍යාපාරිකයන්ට පමණක් බලපාන්නේ නැහැ. එය මුළු මහත් සමාජයටම ගැටලුවක්. මෙම සොරකම නතර වුණොත් එයින් හැමෝටම ලාභයක් ලැබෙනවා.”—“Every Retailer’s Guide To Loss Prevention.”

වෙනත් වැරදි ක්‍රියා මෙන් සාප්පු සොරකමත් කෙනෙකු සිතන ආකාරයට බලපෑම් කරන නිසා එහි නියැලෙන අය නිදහසට කරුණු කීමට ඉඩ තිබෙනවා. එමනිසා මෙම සොරකම අත්හැරීමට කැමති කෙනෙකු මිදුලක වල් පැළ මුලින්ම උදුරා දමනවා හා සමානව තම වැරදි සිතුවිලිද සිතින් සම්පූර්ණයෙන්ම අහක් කළ යුතුයි. ‘ඔබේ මනස අලුත් කරගන්න’ කියා බයිබලයේ රෝම 12:2හි උපදෙස් දෙනවා. ඒ වගේම 1 පේතෘස් 1:14හි සඳහන් වන්නේ “ඔබේ නොදන්නාකම නිසා කලින් ඔබට තිබුණු ආශාවලට අනුව හැඩගැසීමෙන් වැළකී” සිටින්න කියායි. සාප්පු සොරකමේ යෙදෙන කෙනෙකුට සොරකම සම්බන්ධයෙන් තමන්ට තිබෙන ආකල්ප වෙනස් කරගැනීමට පහත දැක්වෙන කාරණා පහ උපකාරවත් වේවි.

සිතන ආකාරය නිවැරදි කරගැනීමට උපකාර

▪ පළමු කාරණය නම් සාප්පු සොරකම නීති විරෝධි ක්‍රියාවක්. එම සොරකමේ නියැලෙන්නන් ජීවත් වෙන පළාතේ එය සාමාන්‍ය දෙයක් විය හැකියි. ඒ වගේම අසු නොවී සිටින්නට පවා ඔවුන්ට පුළුවන් විය හැකියි. නමුත් බඩු සොරකම් කරන්නෙක් නීති විරෝධි ක්‍රියාවකයි නියැලෙන්නේ.—රෝම 13:1.

හැමෝම නීති විරෝධි ක්‍රියාවල නිරත වුණොත් සිදු වෙන්නේ කුමක්ද? බයිබලයට අනුව නම් ‘ව්‍යවස්ථාව බෙලහීන’ වෙයි. (හබක්කුක් 1:3, 4) වෙනත් විදිහකින් පවසනවා නම් නීතියෙහි තහනම් කර තිබෙන දේවල් සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. එවිට සමාජයේ සිවිල් නීතිය බිඳ වැටෙනවා. සාප්පු සොරකමේ නියැලෙන සෑම අවස්ථාවකම එම පුද්ගලයා සමාජයේ නීතියට අවමන් කරනවා. එවිට සෑම කෙනෙකුම පීඩා විඳිනවා.

▪ දෙවෙනි කාරණය නම් මෙම සොරකම් මගින් විශ්වාසය බිඳ දැමීමයි. එවැනි වංක ක්‍රියාවලින් මිනිස් සබඳතාද ක්‍රම ක්‍රමයෙන් විනාශ වී යනවා. ඒ නිසා පුද්ගලයන්ට එකිනෙකාව තේරුම්ගෙන සාධාරණ ලෙස සැලකීමටත් අපහසු වෙනවා.—හිතෝපදේශ 16:28.

“මගේ ලොකුම වරද මම ඕනෑවට වඩා ඕන කෙනෙක්ව විශ්වාස කරන එකයි.” එසේ පැවසුවේ සොරකම් නිසා බංකොලොත් වූ රෙදි සාප්පුවක හිමිකාරියක්. ඇගේ පාරිභෝගිකයන් හා සේවකයන් ඇගෙන් සොරකම් කරන එකක් නැහැ කියලා කලින් ඇය සිතුවා. ඒත් දැන් ඇගේ විශ්වාසය බිඳ වැටිලා.

එක් පුද්ගලයෙක් තවත් කෙනෙකුට බොරුවක් කීමෙන් සිදු වන්නේ එම පුද්ගලයා ඔහුත් සමඟ තිබෙන යහපත් සබඳතාව විනාශ කරගැනීමයි. නමුත් සාප්පු සොරෙකුගේ ක්‍රියාව නිසා සාප්පුවට ඇතුල් වෙන අනෙකුත් පාරිභෝගිකයන් හැම කෙනෙකු දෙසම සාප්පු සේවකයන් බලන්නේ වපර ඇසින්. ඔවුන් අවංක අයවත් හොරු කියා සැක කිරීමට ඉඩ සලසනවා. එලෙස සැක කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් තිබෙනවාද?

▪ තුන්වන කාරණය නම් සාප්පු සොරකම් දරුණු අපරාධ කිරීමට පවා මඟපෑදිය හැකිවීමයි. කාලයත් සමඟ මෙම සොරකමේ නියැලෙන්නන් දැඩි අවදානම් සහිත අපරාධවලට අත පෙවීමට පවා පුළුවන්.—2 තිමෝති 3:13.

සාප්පු සොරකම සදහටම අවසන්

▪ වැදගත්ම කාරණය හතරවෙනි එකයි. සාප්පු සොරකමේ නිරත වන කෙනෙක් සර්වබලධාරි දෙවිත් සමඟ ඔහුට තිබෙන යහපත් සබඳතාව විනාශ කරගන්නවා. දෙවි බයිබලයේ පවසා තිබෙන්නේ “සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා” කියායි. ඒ වගේම ඔහුට අකීකරු වන අයට අත් වන විනිශ්චය ගැනත් අනතුරු අඟවා තිබෙනවා. (එෆීස 4:28; ගීතාවලිය 37:9, 17, 20) නමුත් සොරකම අත් හරින අයට යෙහෝවා දෙවි සමාව දෙනවා. ඔවුන්ට දෙවිත් සමඟ සාමකාමී සබඳතාවක් ඇති කරගත හැකියි.—හිතෝපදේශ 1:33.

▪ පස්වන කාරණය නම් අනෙකුත් අපරාධ මෙන් සාප්පු සොරකමද සදහටම අවසන් වීමයි. බයිබලයේ පොරොන්දු දී තිබෙන ලෙස දෙවිගේ රාජ්‍යය පොළොවේ සියලු කටයුතුවල පාලනය භාරගත් පසු මිනිසුන් එකිනෙකාට අවංකකමෙන් සලකනු ඇත. ඒ කියන්නේ සාප්පු සොරකම සහ එයින් ඇති වන පාඩුව සදහටම නැති වෙනවා කියන කාරණයයි.—හිතෝපදේශ 2:21, 22; මීකා 4:4.

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වැඩි වියදමක් නැති ආරක්ෂක ක්‍රම

කුඩා ව්‍යාපාරවලට බොහෝදුරට ආරක්ෂාව සපයාගැනීම සඳහා විශාල මුදලක් වියදම් කළ නොහැකියි. නමුත් ඔවුන්ට සාප්පු සොරුන්ගෙන් ගැලවීමට බැරි බවක් ඉන් අදහස් කරන්නේ නැහැ. සාප්පු හිමියන්ට සරල ක්‍රම භාවිත කිරීමෙන් යම්තාක් දුරකට තම බඩු තොගය ආරක්ෂා කරගත හැකියි.

රහස් පරීක්ෂකයන් දෙදෙනෙක් වන මයිකල් බ්‍රෝ සහ ඩෙරික් බ්‍රවුන් එක් පොතක මෙසේ තම අදහස් පළ කළා. ඔවුන් පාරිභෝගිකයන්ට හොඳ අවධානයක් දීමේ වැදගත්කම හුවා දැක්වුවා. “හැම කෙනෙක් දිහාම බලන්න. . . . ආරක්ෂාව සැපයිය හැකි හොඳම පුද්ගලයන් නම් ඔබ සහ ඔබේ සේවකයන්.” සොරකම් කරයි කියා සැක කරන කෙනෙකුගෙන් මෙවැනි ප්‍රශ්න අහන්න කියා ඔවුන් යෝජනා කරනවා. “මොන වගේ එකක්ද හොයන්නේ? මේකට බිල දාන්නද?” “මම මේක ඔතන්නද නැත්නම් බෑග් එකකට දාලා දෙන්නද?” “ඔය අතේ තියෙන එක ඔයාට හරි යයිද?” “බඩු දාන්න කූඩයක් ගෙනත් දෙන්නද?” රහස් පරීක්ෂකයන් තවදුරටත් මෙසේ පවසනවා. “මෙම ක්‍රමයෙන් අවංක පාරිභෝගිකයන් වගේම සොරුත් දැනගන්නවා ඔබ ඔවුන්ව නිරීක්ෂණය කරන බව සහ ඔවුන් කෙරෙහි සැලකිල්ලක් දක්වන බව.”

සාප්පුවක තිබිය යුතු පිළිවෙළ සම්බන්ධයෙන් එම පරීක්ෂකයන් මෙසේ අදහස් දක්වනවා. “බඩු පිළිවෙළකට අසුරා තබන්න. බඩු ගැන නිතර අවධානය යොමු කිරීමෙන් ඔබට ඒවා මතකයේ රැඳෙනවා. ඒ වගේම පිළිවෙළකට බඩු අසුරා තැබීමෙන් යම් බඩුවක් සොරකම් කළ විට ඉක්මනින්ම දැකගත හැකියි.”—Every Retailer’s Guide to Loss Prevention නම් පොත.

රහස් පරීක්ෂකයෙක් වන රසල් බින්ට්ලිෆ් මෙවන් යෝජනාවක් ඉදිරිපත් කරනවා. “රාක්ක අතර මැද ඇවිදින ප්‍රදේශය බාධාවකින් තොරව තබාගැනීමෙන් පාරිභෝගිකයන් වෙත අවධානය යොමු කිරීම පහසු වෙයි. සැක කටයුතු පුද්ගලයෙකු දුටු විට රාක්ක අතර මැද ප්‍රදේශයේ ඇවිද මොන බඩුද අඩු වී තිබෙන්නේ කියා සොයා බලා ඉන්පසුව සැක සහිත පුද්ගලයා ළඟට ගොස් රාක්කවල නැති බඩු ඔහුගේ හෝ ඇයගේ මල්ලේ තිබෙනවාද කියා සොයා බැලිය හැකියි. . . . එවිට බඩු සොරකම් කරන කෙනෙක් නම් ඔබ ඔහුව හෝ ඇයව නිරීක්ෂණය කරන බව තේරුම්ගනියි. නමුත් අවංක පාරිභෝගිකයෙකුට නම් සේවකයන් තමන්ව නිරීක්ෂණය කරන බව දැනෙන්නෙවත් නැහැ.” රාක්ක තැබිය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දක්වනවා. “පාරිභෝගිකයන්ව හොඳින් දැක බලාගත හැකි වන ලෙස රාක්ක අතර මැද මාර්ග තිබිය යුතුයි. එසේ තැබීමෙන් [සාප්පු හිමියාටත්] සේවකයන්ටත් පහසුවක් සැලසෙයි.”—Crimeproofing Your Business—301 Low-Cost, No-Cost Ways to Protect Your Office, Store, or Business.

[25වන පිටුවේ පින්තූරය]

අවංකකම නිසා විශ්වාසය හා යහපත් සබඳතා ඇති වෙයි