Skip to content

පටුනට යන්න

අනාගතය තීරණය වන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට අනුවද?

අනාගතය තීරණය වන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට අනුවද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

අනාගතය තීරණය වන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට අනුවද?

ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? හොඳ විවාහ සහකරුවෙකු සොයාගන්නේ කොහොමද? අත මිට සරු කරගන්නේ කොහොමද? බොහෝදෙනෙක් මේ සඳහා ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ පිහිට පතන්න පෙලඹෙනවා. මිලියන සංඛ්‍යාත පිරිසක් දිනපතා පුවත්පත්වල පළ වන පලාපල පිටුවෙන් තම බලාපොරොත්තු ඉටු වෙයිද කියා සොයා බලනවා. ලෝක නායකයෝ පවා තීරණ ගන්නේ තමන්ගේ ග්‍රහ අපල ගැන සොයා බැලීමෙන් පසුවයි.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය විශ්වාසදායකද? ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගේ අනාවැකිවලට පදනම කුමක්ද? තම ජීවිතය පාලනය කිරීමට ක්‍රිස්තියානීන් ග්‍රහවස්තූන්ට ඉඩ දිය යුතුද?

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය යනු කුමක්ද?

එක් විශ්ව කෝෂයකට අනුව ජ්‍යෝතිඃ ශාස්ත්‍රය විස්තර කෙරෙන්නේ “ග්‍රහ වස්තූන් පිහිටන ආකාරය අනුව කෙනෙකුගේ චරිතය හා අනාගතය ගැන දැනගත හැකි දෙයක්” ලෙසයි. (එම විශ්වකෝෂය The World Book Encyclopedia) ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් පවසන්නේ යම් පුද්ගලයෙකු උපදින වෙලාවේදී ග්‍රහයන් පිහිටා තිබෙන ආකාරය සහ රාශි චක්‍රයේ පිහිටීම අනුව ඔහුගේ අනාගතය තීරණය කළ හැකි බවයි. * එය කෙනෙකුගේ කේන්දරය නැත්නම් හඳහනයි.

මිනිසුන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රය විශ්වාස කිරීමට පටන්ගත්තේ අද ඊයේ නෙවෙයි. වසර හාරදාහකට පමණ පෙර බබිලෝනිවරුන් ඉර, සඳ හා ඒ කාලයේදී ඔවුන් පැහැදිලිව දුටු ග්‍රහයන් පහේ පිහිටීම අනුව අනාගතය ගැන අනාවැකි පළ කළා. ඔවුන් විශ්වාස කළේ මෙම ග්‍රහයන් මිනිසාගේ ජීවිතයට විවිධාකාරයෙන් බලපාන බවයි. පසු කලකදී ජ්‍යෝතිඃ ශාස්ත්‍රය සඳහා ඔවුන් රාශි චක්‍රය යොදාගත්තා.

කවදත් අසාර්ථකයි

බබිලෝනියේ සිටි ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ගැන බයිබලයේ කීප වතාවක් සඳහන් කර තිබෙන නිසා බබිලෝනියේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය තිබූ බව පැහැදිලියි. (දානියෙල් 4:7; 5:7, 11) ප්‍රොපේත දානියෙල්ගේ කාලයේදී කල්දියාවේ (බබිලෝනියේ) ජ්‍යෝතිඃ ශාස්ත්‍රය මොන තරම් ප්‍රසිද්ධ වී තිබුණාද කිවහොත් “කල්දිවරුන්” කියා කියූ සැනින් බොහෝදෙනෙකු තේරුම්ගත්තේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ගැන පවසන බවයි.

බබිලෝනියේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය තිබූ බව පමණක් නොව එම නගරයේ වැටීම කලින් කීමට ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් අසමත් වූ බවත් දානියෙල් දැක්කා. (දානියෙල් 2:27) ප්‍රොපේත යෙසායා ඊට සියවස් දෙකකට කලින් නිවැරදි ලෙස මෙවැන්නක් පැවසුවා. “ඉතින් නක්ශස්ත්‍රකාරයෝද, නැකත් බලන්නෝද, අමාවක් දවස්වලදී ශුභ අශුභ කියන්නෝද ඉදිරියට පැමිණ නුඹට සිදු වන්න යන දෙයින් නුඹ ගලවාගනිත්වා.” ඉන්පසු සරදම් විලාසයෙන් “තමන්ම ගලවාගන්න ඔවුන්ට නොහැකිය” කියාද ඔහු පැවසුවා.—යෙසායා 47:13, 14, නව අනුවාදය.

ඇත්තටම බබිලෝනියේ සිටි මෙම නක්ශස්ත්‍රයන්ට ඔවුන්ගේ නගරයේ වැටීම සම්බන්ධයෙන් පැය කීපයකට කලින් හෝ කීමට නොහැකි වුණා. ඒ වගේම බේල්ෂශර් රජුගේ මාලිගාවේ බිත්තියේ දෙවිගේ විනිශ්චය පණිවිඩය ලියවුණු අවස්ථාවේදී සැඟවුණු අරුතක් ඇති එම ලියවිල්ලේ තේරුම පැහැදිලි කිරීමට ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට නොහැකි වුණා.—දානියෙල් 5:7, 8.

අද දිනත් විශේෂ අවස්ථාවන් ගැන ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් කියූ අනාවැකි නිවැරදි බව ඔප්පු වී නැහැ. ඔවුන් පළ කළ අනාවැකි 3,000කට වැඩි සංඛ්‍යාවක් ගැන විද්‍යානුකූලව සෝදිසි කිරීමෙන් පසු පර්යේෂකයන් වන ආර්. කල්වර් සහ ෆිලිප් ඉයානා මෙවැනි නිගමනයකට එළඹුණා. එම අනාවැකිවලින් නිවැරදි වුණේ සියයට 10ක් පමණයි. ඇත්තටම ඕනෑම විශ්ලේෂකයෙකුට සම්පූර්ණ තොරතුරු ලැබෙනවා නම් ඊටත් වඩා හොඳින් අනාවැකි පළ කළ හැකියි.

බයිබලයේ ඉගැන්වීම්වලට එය පටහැනියි

කෙසේවුවත් හෙබ්‍රෙව් ප්‍රොපේතවරුන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කළේ අනාගතය ගැන එයින් නිවැරදිව කීමට නොහැකි වූ නිසාම නොවෙයි. දෙවි මෝසෙස්ට දුන් නීතියෙහි වෙලාව බැලීමට එරෙහිව ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟෙව්වා. “ශාස්ත්‍ර කියන්නෙකුවත් වෙලාව බලන්නෙකුවත් . . . ඔබ අතරෙහි නොවිය යුතුය. මේ දේ කරන කවරෙක් නුමුත් යෙහෝවාට පිළිකුලක්ය” කියා නීතියෙහි සඳහන් වෙනවා.—ද්විතීය කතාව 18:10, 12.

එම බයිබල් පදයේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය යන වචනය භාවිත නොකළත් එහි ප්‍රතිපත්තිය මෙයටත් අදාළයි. බ්‍රිටෑනිකා විශ්වකෝෂය ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ගැන මෙසේ පවසයි. “එය ශාස්ත්‍ර කීමක්. තාරකා, ඉර, සඳ හා ග්‍රහයන්ගේ පිහිටීම නිරීක්ෂණය කර පෘථිවියටත් මිනිසාටත් ඒවා බලපාන්නේ කෙසේද කියා කලින් පවසන ක්‍රමයක්.” දෙවි දී තිබෙන මඟ පෙන්වීමට අනුව කොයි ආකාරයකින් හෝ ශාස්ත්‍ර කීම වැරදියි. ඒ සඳහා ග්‍රහයන් හෝ වෙනත් දේවල් යොදාගත්තත් එය වැරදියි. එසේ පවසන්නේ මන්දැයි යන ප්‍රශ්නයට සාධාරණ හේතු තිබෙනවා.

අපේ ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රැඳී තිබෙන්නේ ග්‍රහයන් හෝ තාරකා මත නොවෙයි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ පැහැදිලි ලෙස පෙන්නුම් කරන්නේ “යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය” කියායි. (ගලාති 6:7) අපට හරි වැරැද්ද තීරණය කිරීමට නිදහස දී තිබෙන හෙයින් අපේ ක්‍රියා ගැන අපි එක් එක්කෙනා දෙවිට ගණන් දිය යුතුයි. (ද්විතීය කතාව 30:19, 20; රෝම 14:12) සමහරවිට නොසිතන මොහොතක අප අනතුරකට හෝ අසනීපයකට ලක් විය හැකියි. ශුද්ධ ලියවිලිවල පැහැදිලි කරන ආකාරයට එවැනි විපත්ති සිදු වන්නේ “බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු” වන නිසා මිසක හඳහනේ ලියැවී තිබෙන නිසා නොවෙයි.—දේශනාකාරයා [ධර්මදේශකයා] 9:12, නව අනුවාදය.

එකිනෙකා සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීම සඳහා ගැඹුරු සෙනෙහස, කරුණාවන්තකම, යටහත් පහත් මනසක්, මෘදුකම, බොහෝ ඉවසිලිවන්තකම ප්‍රේමය වැනි ගුණාංග වර්ධනය කරගන්න කියා බයිබලයේ අපට දිරිගන්වා තිබෙනවා. (කොලොස්සි 3:12-14) කල්පවතින මිත්‍රත්වයන් හා ශක්තිමත් විවාහ බන්ධනයන් සඳහා මෙවැනි ගුණාංග අත්‍යවශ්‍යයි. “හඳහන් ගැළපෙන” පමණින් හොඳ විවාහ සහකරුවෙකු ලැබෙයි කියා සිතිය නොහැකියි. මනෝවිද්‍යාඥ බර්නාඩ් සිල්වමන් විවාහක යුවළයන් 3,500ක පමණ සංඛ්‍යාවක් යොදාගෙන කළ පරීක්ෂණයකින් හෙළි වූයේ ඔවුන්ගෙන් සියයට 17ක් දික්කසාද වූ බවයි. ඔවුන්ගේ වේලපත්කඩ සෝදිසි කර බලද්දී ඒවා ගැළපෙන අය ඒ අතරේ සිටියා. ඔහු සොයාගත්තේ ‘හඳහන් ගැළපෙන’ අයගේ විවාහයන්වල පවා දික්කසාද වන සංඛ්‍යාවේ අඩුවක් නැති බවයි.

එසේනම් ජ්‍යෝතිඃ ශාස්ත්‍රය විශ්වාස කළ නොහැකි දෙයක් පමණක් නොව මිනිසාව නොමඟ යවන දෙයක්ද වෙයි. ජ්‍යෝතිඃ ශාස්ත්‍රය නිසා කෙනෙකු තමන් අතින් සිදු වන වරදක් වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්න පෙලඹෙනවා. තම වරද පිළිනොගෙන වරද පටවන්නේ තාරකා හෝ ග්‍රහයන් මතයි. මේ සෑම හේතුවකටම වඩා දෙවි මෙය හෙළාදකින බව බයිබලයේ පැහැදිලිව පෙන්වා තිබෙනවා.

[පාදසටහන]

^ 6 ඡේ. ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට උපයෝගී කරගන්නේ තාරකා මණ්ඩල 12යි. එය රාශි චක්‍රය කියා හැඳින්වෙනවා.