Skip to content

පටුනට යන්න

බියෙන් තොර ලොවක්—සිහිනයක්ද?

බියෙන් තොර ලොවක්—සිහිනයක්ද?

බියෙන් තොර ලොවක්—සිහිනයක්ද?

මෙම දරුණු ලෝකයේ ජීවත් වන කෙනෙකුට බියෙන් තොර ජීවිතයක් ගත කළ හැකිද? ඇත්තෙන්ම බැහැ. දෙවි කෙරෙහි ඇදහිල්ලක් ඇති අය පවා සිත කම්පා කරවන අනතුරුවලට මූණ දෙනවා. මීට නිදසුනක් වශයෙන් ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ විසූ මිෂනාරිවරයෙක් වූ පාවුල් ගැන සලකා බලමු. ඔහු මිෂනාරි ගමන්වල යෙදෙන විට නැව මුහුදුබත් වීමේ උවදුරට, ගංගා උවදුරුවලට, මංකොල්ල කන්නන්ගේ උවදුරුවලට සහ නගරයේ උවදුරුවලට මුහුණ දුන් බව සඳහන් කර තිබෙනවා. (2 කොරින්ති 11:25-28) එලෙසම අපෙන් බොහෝදෙනෙකුත් භයානක තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා.

නමුත් අපි නැණවත් ලෙස ආරක්ෂාකාරී පියවර ගන්නවා නම් අපට අවදානම් තත්වයන් මඟහරවාගත හැකියි. එවිට අපට අද්දකින්න සිදු වන කනස්සලු තත්වයන්ද අඩු වේවි. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “බුද්ධිමත් අය නපුර දැක සැඟවෙයි; එහෙත් නුවණ නැත්තෝ ගොස් එයින් දුක් විඳිති.” (හිතෝපදේශ 22:3) අපට කුමන ප්‍රායෝගික පියවර ගත හැකිද?

ආරක්ෂිත පියවර ගැනීම

බයිබලය දිගු කලකට පෙර ලියා තිබුණත් එහි තිබෙන බොහෝ ප්‍රතිපත්ති අදටත් ප්‍රායෝගිකයි. එම ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමෙන් අනතුරු බොහොමයක් වළක්වාගත හැකියි. උදාහරණයක් හැටියට බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඥානවන්තයාගේ ඇස් ඔහුගේ හිසේය; අඥානයා අඳුරේ හැසිරෙයි.” (දේශනාකාරයා 2:14) ඥානවන්ත දෙය වන්නේ ඔබ අවට සිටින්නේ කවුරුන්ද කියා විපරම් කර බැලීම හා හැකි තරම් දුරට අඳුරු ස්ථානවලට යෑමෙන් වැළකී සිටීමයි. රාත්‍රි කාලයේ ඔබ ගමන් බිමන් යද්දී ටිකක් වැඩි දුර ඇවිදින්න සිදු වුණත් ආලෝකය හොඳින් තිබෙන වීථි ඒ සඳහා තෝරාගත හැකියි. ‘එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් යහපත; . . . යමෙක් තනිව සිටින කෙනෙකු පරාජය කළත් දෙදෙනෙකුට ඔහුගෙන් ජය ගන්ට පුළුවන’ කියාද බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 4:9, 12) ඔබ ජීවත් වන්නේ අවදානම් සහිත ප්‍රදේශයක නම් තනියෙන් ගමන් කරන්න එපා.

මංකොල්ලකරුවෙකුට ඔබ අසු වුණොත් ඕනෑම වස්තුවකට වඩා ජීවිතයයි වටින්නේ යන කාරණය අමතක නොකරන්න. (මතෙව් 16:26) ඒ වගේම වියරුවෙන් සිටින සෙනඟක් කොයි වගේ දරුණු දේවල් කරන්න පෙලඹෙයිද කියා කිව නොහැකි බවත් මතක තබාගන්න.—නික්මයාම 23:2.

අසභ්‍ය දේවල් කියමින්, නුසුදුසු විහිළු කරමින් හෝ ඔබව ස්පර්ශ කරමින් යම් කෙනෙක් ඔබට හිරිහැරයක් කරනවා නම් එවැන්නකට අකමැති බව කෙළින්ම ප්‍රකාශ කරන්න. අනාචාර ස්ත්‍රියක් යෝසෙප්ව ඇගේ ළඟට ඇදලා ගන්න තැත් කළ අවස්ථාවේ ඔහු “පිටතට පලා ගියා” හා සමානව එවැනි වාතාවරණයක් තිබෙන ස්ථානයකින් ඉවත්ව යන්න. (උත්පත්ති 39:12) ඉවත්ව යන්න හැකියාවක් නැත්නම් “ඕක නවත්වන්න” “ඇඟට එන්න එපා” “මං ඔය වගේ කතාවලට කැමති නැහැ” කියා පවසන්න ඔබට හැකියි. පුළුවන් නම් හිරිහැරයට ලක්වන ස්ථානවලට යෑමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.

නිවසෙහි බිය උපදවන තත්වයන්ට මුහුණ දීම

හිංසා පීඩා කරන සැමියෙකු නිසා ඔබ බියෙන් කල් ගෙවනවා නම් තත්වය කුමක්ද? යම් විටක ඔබේ සැමියා දරුණු ලෙස ක්‍රියා කළොත් ඔබේ හෝ ඔබේ දරුවන්ගේ සෞඛ්‍යයට හෝ ජීවිතයට අනතුරක් වීමට ඉඩ තිබෙනවා. ඉන් ගැලවීමට සැලසුමක් යෙදීම ඥානවන්ත දෙයක් විය හැකියි. * එසේ ඥානවන්ත ලෙස කටයුතු කළ කෙනෙකු තමයි බයිබලයේ සඳහන් යාකොබ්. තම සහෝදරයා වූ ඒසව් දරුණු ලෙස කටයුතු කළොත් ඔහුගෙන් ගැලවී යෑමට ඔහු කලින්ම සැලසුම් යෙදුවා. තත්වය හොඳ අතට හැරුණ නිසා එම සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුණේ නැහැ. කෙසේවෙතත් එය නැණවත් ආරක්ෂාකාරී පියවරක් වුණා. (උත්පත්ති 32:6-8) ගැලවී යෑමට නම් ඔබට ඉන්න හිටින්න තැනක් සපයන්න පුළුවන් කෙනෙකුව සොයාගන්න සිදු වේවි. හදිසියක් පැන නැඟුණොත් කළ යුත්තේ කුමක්ද කියා එම පුද්ගලයා සමඟ කලින්ම සාකච්ඡා කරගැනීමට ඔබට පුළුවන්. අත්‍යවශ්‍ය ලියකියවිලි වැනි දේවල් පහසුවෙන් අතට ගත හැකි ස්ථානයක තැබීම නුවණට හුරුයි.

සැමියා හිංසා පීඩා කරන විට නීතියේ උපකාර පැතීම ඔබට ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක්. * බයිබලයේ පවසන්නේ තමන් කරන දේවලට ඵලවිපාක විඳින්න සිදු වන බවයි. (ගලාති 6:7) එමෙන්ම රජයේ අධිකාරිය ගැනත් බයිබලයේ මෙලෙස පවසනවා. “අධිකාරිය තිබෙන්නේ ඔබේ යහපත පිණිසය. එය ඔබ වෙනුවෙන් කටයුතු කරන දෙවිගේ සේවකයා වේ. නමුත් ඔබ නපුර කරන්නේ නම්, බිය වන්න.” (රෝම 13:4) මඟ තොටේදී සිදු කෙරෙන පහර දීමක් දරුණු අපරාධයක් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම නිවසේදී බැට කෑමත් ඒ හා සමාන දරුණු අපරාධයක්. හිරිහැරයක් වන තරමටම කෙනෙක් තව කෙනෙකුගේ පස්සෙන් යෑමත් බොහෝ රටවල අපරාධයක් ලෙසයි සලකන්නේ.

අපි කලින් සාකච්ඡා කළ අන්දමට ක්‍රියාමාර්ග ගැනීමෙන් යම් දුරකට බිය දුරු කරගත හැකියි. නමුත් බයිබලය නිකම්ම උපදෙස් සපයන අත් පොතක් නෙමෙයි. එහි ඊට වඩා වැඩි යමක් තිබෙනවා. එය දෙවි දැන් කරමින් සිටින හා අනාගතයේදී කරන්නාවූ දේ ගැන නොවරදින අනාවැකි පළ කර තිබෙන පොතක්. බියෙන් ජීවත් වීමට සිදු වී තිබෙන මිනිසුන්ට බයිබලයේ දී තිබෙන්නේ කුමනාකාරයේ බලාපොරොත්තුවක්ද?

බියෙන් වෙළුණු වාතාවරණයක් යනු කුමක්ද?

බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙවැනි අදහසක් පැවසුවා. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, . . . ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන” අය බවට පත් වෙනවා. (2 තිමෝති 3:1-3) මෙම වදන් කියවද්දී අප ජීවත් වන්නේ බියකරු කාලයකයි කියා සිතෙන්නේ නැද්ද?

යේසුස් “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” ගැන කියූ අවස්ථාවේදී මෙවැනි විස්තරයක් දුන්නා. “ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිනු ඇත. මහත් භූමිකම්පාද එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වන්නේය. භයංකාර දර්ශනද ස්වර්ගයෙන් මහත් ලකුණුද වන්නේය.” (මතෙව් 24:3, 7, 8; ලූක් 21:10, 11) එමනිසා බියකරු වාතාවරණයක් ඇතිවීමට දායක වන මෙම “භයංකාර දර්ශන” ගැන අප පුදුම විය යුතු නැහැ. මේ සිද්ධීන් දකිද්දී අපට කුමක්ද වැටහෙන්නේ?

යේසුස් මෙසේද පැවසුවා. “ඔබත් මේ දේවල් සිදු වනවා දකින විට, දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.” (ලූක් 21:31) ඉතාමත් ළඟදීම ස්වර්ගයේ සිට සියලු මනුෂ්‍යවර්ගයාව පාලනය කරන ආණ්ඩුවක් පැමිණෙයි කියා අපට බලාපොරොත්තු විය හැකියි. (දානියෙල් 2:44) එදාට ජීවිතය මොන වගේ එකක් වෙයිද?

බිය තුරන් වන විට . . .

සාමය රජයන අනාගතයක් ගැන බයිබලයේ විස්තර කර තිබෙනවා. එවිට යුද්ධ අවසන් වෙයි; අපරාධ කරන්නන් නැති වෙයි; පොළොව පුරා සිටින්නේ දෙවිට ලැදි අය පමණයි. යේසුස්ගේ ප්‍රේරිතයෙක් වූ පේතෘස් අනාගතයේ පැමිණීමට නියමිත “විනිශ්චයේ හා අභක්තික මිනිසුන්ගේ විනාශයේ දවස” ගැන ලියා තිබෙනවා. ඉන්පසු තිබෙන “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ” පොළොවේ නපුරු අය නොසිටින නිසා බියවීමට කිසිම හේතුවක් නැහැ. (2 පේතෘස් 3:7, 9, 13) එවිට අප ජීවත් වෙන්නේ එකිනෙකාට ප්‍රේම කරන විශ්වාසවන්ත මිනිසුන් සමඟයි. මෙය මොනතරම් සහනයක්ද! මෙම බලාපොරොත්තුව අපට දී තිබෙන නිසා, අප දැන් අද්දකින අනතුරු සහිත කාලය සදහටම පවතින්නේ නැති බව පැහැදිලියි.—ගීතාවලිය 37:9-11.

කාන්සාවෙන් පෙළෙන අයට සහනයක් ලබා දීම සඳහා යෙහෝවා දෙවිගේ ප්‍රොපේතවරයෙක් මෙසේ පැවසුවා. “භය සිත් ඇත්තන්ට කතා කොට: භය නොවී සවි වන්න; බලව, ඔබගේ දෙවි දෙවිගේ ප්‍රතිඵල දීම ඇතිව පළිගැනීමට එන්නේය; ඔහු ඇවිත් ඔබ ගළවන්නේයයි කියන්න.” (යෙසායා 35:4) එමනිසා සැබෑ දෙවිගේ සේවකයන්ට අනාගතය ගැන විශ්වාසයක් තබාගත හැකියි. (ෆිලිප්පි 4:6, 7) පොළොව සඳහා යෙහෝවා දෙවි මුලින් අරමුණ කළ දේ ඔහු වෙනස් කර නැහැ. එම අරමුණ නම් ඔහු ගැන දන්න සහ ඔහුගේ ප්‍රේමණීය ගුණාංග විදහා පෙන්වන මිනිසුන්ගෙන් පොළොව ජනාවාස කිරීමයි. මෙය දැනගන්න ලැබීම නිතරම බියෙන් ජීවත් වීමට සිදු වන අයට මොනතරම් සැනසීමක්ද!—උත්පත්ති 1:26-28; යෙසායා 11:9.

මනුෂ්‍යයා සඳහා යෙහෝවාගේ අරමුණ ඉටු වෙයි. එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකියි. (යෙසායා 55:10, 11; රෝම 8:35-39) අප මෙම කාරණය තේරුම්ගත්තොත් අප හොඳින් දන්න ගීතිකාවක වදන් අපට විශේෂ අරුතක් ගෙන දෙයි. එහි අපට මෙසේ කියවීමට තිබෙනවා. “යෙහෝවා මාගේ එඬේරාය. . . . ඔහු මාගේ සිත ප්‍රාණවත් කරන්නේය. ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙන යන්නේය. එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත් කිසි නපුරකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය.” (ගීතාවලිය 23:1-4) දැනට බිය උපදවන තත්වයන් වඩ වඩා දරුණු වුවත් ළඟදීම මෙම ලෝකය බිය තුරන් වූ ලොවක් වන බවට නිසැකයි; නොඅනුමානයි.

[පාදසටහන්වල]

^ 9 ඡේ. විවාහ සහකරුවෙකුගෙන් වෙන්වීම සඳහා බයිබලයේ සඳහන් දේ දැනගැනීමට 2002 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ 10වන පිටුව බලන්න.

^ 10 ඡේ. ගෘහස්ථ සැහැසියාවට ගොදුරු වූවන් සම්බන්ධයෙන් 2001 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 17-26 දක්වා පිටු සහ 1993 අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපයේ 3-14 දක්වා පිටු බලන්න.

[18-20වන පිටුවේ පින්තූර]

ළඟදීම දෙවි බියෙන් තොර ලොවක් ගෙන එයි