බිලියනයකගේ කුසගින්න නිවාලන්න හැකි වේවිද?
බිලියනයකගේ කුසගින්න නිවාලන්න හැකි වේවිද?
සෑම දවසකම මිනිසුන් බිලියනයකට හරි හමන් ආහාරයක් ලැබෙන්නේ නැහැ. මෙම කටුක තත්වය ඇති වෙන්න සාධාරණ හේතුවක් නැති බවයි එක්සත් ජාතීන් පවසන්නේ.
“ඔබම කිවූ ආකාරයට මුලින්ම කළ යුතුව තිබෙන්නේ අන්ත දුගීභාවය සම්පූර්ණයෙන් නැති කර දැමීමයි.” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වන කොෆි අනන් 2000 සැප්තැම්බර් 8වෙනිදා එසේ පැවසුවේ ලෝක නායක නායිකාවන් සහභාගිව සිටි රැස්වීමකිදීයි. ඔවුන් පැමිණ සිටියේ එක්සත් ජාතීන්ගේ සහස්‍ර සම්මන්ත්‍රණය සඳහායි. එහිදී ලෝකයේ සිටින දිළිඳුන්ගේ ගැටලු සම්බන්ධයෙන් නායකයන් කීපදෙනෙක් අවංකව තම අදහස් ඉදිරිපත් කළා. “අන්ත දුගීභාවය මිනිසත්කමට නිග්‍රහයක්” කියා බ්‍රසීලයේ උප ජනාධිපති පැවසුවා. බ්‍රිතාන්‍යයේ අගමැති පැවසුවේ මෙවැන්නක්. “සංවර්ධිත රටවල් අප්‍රිකාවට උදව් කළත් බොහෝවිට සාර්ථක ප්‍රතිඵලයක් දකින්න නැහැ. මේක ඇත්තටම අපිට විශාල ලැජ්ජාවක්.”
එම නායකයන් දෙදෙනා දුන් කතාවලින් පැහැදිලිවම කියා සිටියේ කුසගින්නේ සිටින මිනිසුන්ව පෝෂණය කිරීම සඳහා තමන්ට කළ හැකි දේ කිරීමට අපොහොසත් වීම තමන් විසින්ම තම රටට කරගන්නා නිග්‍රහයක් බවයි. මුළු ලෝකය පුරා සිටන සියල්ලන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමට තමන් තුළ ආශාවක් තිබෙන බව ඔප්පු කිරීම සඳහා සම්මන්ත්‍රණයට සහභාගිව සිටි අය සම්මුතියකට එළඹීමට තීරණය කළා. කොටස් අටකින් යුත් එම සම්මුතියේ එක් කොටසකට ඇතුළත් වුණේ මෙයයි. “පුරුෂයන්, කාන්තාවන් සහ දරුවන් ඇතුළු අපේ සෙසු ජනතාවගෙන් බිලියනයකට වැඩි පිරිසක් සිටින්නේ අන්ත දුගීභාවයෙන්. ඒ නිසා ඔවුන් පීඩා සහ අමානුෂික තත්වයන් අද්දකිමින් සිටිනවා. මේ තත්වයෙන් ඔවුන්ව මුදවාගැනීමට කළ හැකි සෑම දෙයක්ම කරන්න අපි පොරොන්දු වෙනවා. . . . ඔවුන් මෙලෙසද පැවසුවා. දැන් ලෝකයේ සිටින සියලු ජනතාවෙන් අඩක් දවසකට ලබන්නේ ඩොලරයකටත් වඩා අඩු ආදායමක්. වර්ෂ 2015 වන විට ඒ සංඛ්‍යාව හරි අඩක් කරන බවටත්, කුසගින්නෙන් පෙළෙන්නන්ගෙන් හරි අඩකගේ කුසගින්න නැති කරන බවටත් අපි පොරොන්දු වෙනවා.”
වර්ෂ 2000 සැප්තැම්බර්වලදී එම අගනා ඉලක්කය තැබූ දා සිට මේ වන තෙක් එම ඉලක්කය කොපමණ දුරකට අත්කරගෙන තිබෙනවාද?
අවවාදයට වඩා ආදර්ශය උතුම්
එක්සත් ජාතීන්ගේ සහස්‍ර සම්මේලනයේදී දුන් පොරොන්දු කෙතරම් දුරකට ඉටු කර ඇද්ද කියා ලෝක ආර්ථික සංවිධානයේ පාලක කමිටුව 2003දී සොයා බැලුවා. වර්ෂ 2004 ජනවාරි 15වෙනිදා ඔවුන් නිකුත් කළ නිල වාර්තාවක මෙසේ පවසා තිබුණා. “ඔවුන්ගේ ඉලක්ක ඉතා අනර්ඝ ඒවා වුවත් ඒවා ඉටු කිරීමට කිසි වෑයමක් දරා නැහැ.” කුසගින්නෙන් පෙළීම සම්බන්ධයෙන් එම වාර්තාවේ මෙසේ පැවසුවා. “ප්‍රශ්නය වෙලා තියෙන්නේ ලොව පුරා ආහාරවල හිඟයක් තිබීම නම් නෙමෙයි. මොකද හැමෝටම ඇති වෙන්න ආහාර ප්‍රමාණයක්
තිබෙනවා. ප්‍රශ්නය වන්නේ එම ආහාර සහ නිසි පෝෂණය දිළිඳුන්ට නොලැබීමයි.”එම වාර්තාවේ පවසන ආකාරයට සමස්තයක් වශයෙන් දුගීභාවයේ ගැටලුව ඇති වෙන්න හේතුව “ධනවත් හෝ දිළිඳු හෝ වේවා ආණ්ඩු මගින් කිසි උනන්දුවක් නොදැක්වීමයි. එමෙන්ම ධනවත් රටවල් ජාත්‍යන්තර ආර්ථික ක්‍රමයක් සකස් කර තිබෙන්නේ තමන්ගේ වාසිය තකායි. එයින් පහර වැදී ඇත්තේ දුගී ජනතාවටයි. ධනවත් රටවල නායකයන් දෙන පොරොන්දු පිත්තලවලට හඬ තලනවා වගෙයි. මෙම ක්‍රමය වෙනස් කිරීමට වෑයමක් දරන්නෙත් නැහැ, අන්ත දුගී අයගේ සංවර්ධනය වෙනුවෙන් දෙන ආධාර වැඩි කරන්නෙත් නැහැ.” මෙලෙස විවේචනයට ලක් වුවත් දේශපාලනඥයන් පියවරක් ගන්නවා වෙනුවට දිගටම වාදවිවාද කරමින් තමන්ගේම වාසියට දේවල් හරවාගැනීමට වෑයම් කරමින් සිටිනවා. ඔවුන් තීරණයකට එන තෙක් දුගීජනයා සාගින්නෙන් පෙළෙනවා.
“ප්‍රාර්ථනා මල්පල ගැන්වෙයි” යන මැයෙන් ලෝක ආර්ථික සංවිධානයෙන් පළ කළ තොරතුරු පත්‍රයකට අනුව “ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති වෙනස් නූනොත්, ජාතික මට්ටමකින් කුසගින්න නැති කිරීමට අවධානය යොමු නොකළොත්, ජාතික හා සමාජීය මට්ටමෙන් සාර්ථක ව්‍යාපෘති වැඩිවර්ධනය නොකළොත් ලොව පුරා විශාල ජන සංඛ්‍යාවකගේ කුසගින්න වැඩි වෙනවා මිසක අඩු වෙන එකක් නැහැ.” වඩාත් හොඳ ප්‍රතිපත්ති හා සාර්ථක ව්‍යාපෘති ඇති කළ යුත්තේ කවුද? මෙය කළ යුත්තේ වර්ෂ 2000දී සියලු මිනිසුන්ගේ තත්වය වැඩි දියුණු කරන බවට ප්‍රසිද්ධියේ පොරොන්දු වූ රජයන් විසින්මයි.
පොරොන්දුවක් කඩ කිරීම කලකිරීමටත් පොරොන්දු කීපයක් කඩ කිරීම අවිශ්වාස කිරීමටත් හේතු විය හැකියි. දිළිඳුන්ව රැකබලා ගන්නා බවට දී තිබෙන පොරොන්දු ඉටු නොකිරීම නිසා ලෝක ආණ්ඩු විශ්වාසය තැබිය නොහැකි තත්වයට පත් වී තිබෙනවා. දිළිඳු කැරිබියානු රටක ජීවත් වන පස් දරු මවකට තම දරුවන්ට දිනකට දීමට හැකි වී තිබෙන්නේ එක ආහාර වේලක් පමණයි. ඇය මෙසේ පවසනවා. “අපේ කුසට ආහාරයක් ලැබෙනවා නම් ඒ ඇති. කවුරු බලයේ හිටියත් මට වැඩක් නැහැ. බලයට පත් වෙන කිසි කෙනෙක්ගෙන් අපිට යහපතක් වෙලා නැහැ.”
බයිබල් ලේඛක යෙරෙමියා මෙසේ පැවසුවා. “යෙහෝවා, තම ගමන ගැන තීරණ ගැනීම මිනිසාට අයිති නැති බව මම හොඳින් දනිමි. පයින් ගමන් කරන මිනිසෙකුට තම පය තබන තැනවත් තීරණය කිරීමට අයිතියක් නැත.” (යෙරෙමියා 10:23, NW) දිළිඳුන්ගේ ගැටලු විසඳීමට ආණ්ඩුවලට නොහැකි බව එම බයිබල් සත්‍යයෙන් සනාථ කරනවා.
කෙසේවෙතත් මිනිසාගේ ගැටලු විසඳීමට ආශාවත් බලයත් දෙකම තිබෙන පාලකයෙක් සිටිනවා. බයිබලයෙහි ඔහු කවුද කියා හඳුන්වා දී තිබෙනවා. ඔහු පාලනය අතට ගත් කල කිසිවෙකු කිසිදා කුසගින්නෙන් පෙළෙන්නේ නැහැ.
බලාපොරොත්තු තැබීමට පදනමක්
“සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙන්නේය.” (ගීතාවලිය 145:15) මිනිසාගේ කුස පුරවන මේ තැනැත්තා කවුද? අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවියි. මිනිස් සංහතිය වසර දහස් ගණනක් පුරා සාගතයෙන් හා වෙනත් ගැටලුවලින් පීඩා විඳ ඇතත් යෙහෝවා ඔවුන් ගැන නොකඩවාම උනන්දුව දක්වා තිබෙනවා. මිනිසාගේ ආණ්ඩු ක්‍රමවල අසාර්ථකත්වය ඔහුට පෙනෙන අතර ඔහුගේ නොවරදින වචනය වන බයිබලයේ පෙන්වන්නේ එම ආණ්ඩු ඉවත් කර ඔහුගේම ආණ්ඩුව ළඟදීම ස්ථාපිත කරන බවයි.
“සියොන් නම් මාගේ ශුද්ධ හෙල මතුයෙහි මාගේ රජ්ජුරුවන් සිටෙව්වෙමියි කියන්නේය” කියා යෙහෝවා පවසයි. (ගීතාවලිය 2:6) මෙම ප්‍රකාශය කළේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම අධිකාරිත්වය හොබවන තැනැත්තා නිසා බලාපොරොත්තු තබාගැනීමට එය හොඳ හේතුවක් වෙනවා. තම යටත්වැසියන්ට උපකාර කිරීමට මිනිස් පාලකයන් බොහෝවිට අසමත් වී ඇතත් දෙවි විසින් ස්වර්ගයේ පත් කරන ලද රජු වන යේසුස් ක්‍රිස්තුස් ඉදිරියේදී අන්ත දුගී ජනතාවට අදහාගත නොහැකි වන ලෙස ආශීර්වාද ලබා දෙනවා.
යෙහෝවා මෙම රජු මගින් සියලුදෙනාවම පෝෂණය කරනවා. “සේනාවන්ගේ යෙහෝවා මේ සැම වර්ගයන්ට [සියලු මිනිසුන්ට] මංගල්‍යයක් සාදන්නේය” කියා යෙසායා 25:6 පවසනවා. දෙවිගේ රාජ්‍යය ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ පවතින කාලයේදී ජනයා කොතැනක ජීවත් වුවත් ආහාර හිඟයකින් පෙලෙන්නේ නැහැ. යෙහෝවා ගැන බයිබලයේ පවසන්නේ ඔහු “ස්වකීය හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්නේය” කියායි.—ගීතාවලිය 145:16.
[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“සංවර්ධිත රටවල් අප්‍රිකාවට උදව් කළත් බොහෝවිට සාර්ථක ප්‍රතිඵලයක් දකින්න නැහැ. මේක ඇත්තටම අපිට විශාල ලැජ්ජාවක්.”—බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයා
[30වන පිටුවේ පින්තූරය]
ඉතියෝපියාව: මේ රටේ මිලියන 13ක පමණ ජනතාවක් කුස පුරවගන්නේ සහනාධාරවලින්. ඉහත දරුවා එවැනි කෙනෙක්
[30වන පිටුවේ පින්තූරය]
ඉන්දියාව: මෙම ශිෂ්‍යයන්ට පාසැලේදී ආහාර ලැබෙනවා
[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඉහළ: © Sven Torfinn/Panos Pictures; පහළ: © Sean Sprague/Panos Pictures