මැවුම්කරුට ළං වුණේ අනර්ඝ සත්‍යයන් නිසයි
මැවුම්කරුට ළං වුණේ අනර්ඝ සත්‍යයන් නිසයි
පැවසුවේ සූයෝෂී ෆුජී
වසර කීපයකට පෙර මට කදිම අවස්ථාවක් උදා වුණා. මල් සැරසිලි පාඨමාලා පවත්වන ඉකෙනොබො පාසැලේ අයිතිකරු වන සෙනේයිගේ සහයකයා හැටියට මට ආරාධනාවක් ලැබුණා ජපානයේ ටෝකියෝවල රජමාලිගාවේ ප්‍රධාන කාමරයක් මල්වලින් සරසන්න. හැම තැනම මුර දාලා තිබුණා. මට ලොකු බයක් දැනුණා. වතුර බිංදුවක්වත් හලන්නේ නැති වෙන්න වගබලාගත්තා. විවිධ ස්ථානවලදී මල් සැරසිලි කෙරුවත් මේක මතකයෙන් නොමැකෙන සිද්ධියක්. මම මේ ක්ෂේත්‍රයට ඇතුල් වුණ විදිහ ගැන දැන් මම කියන්නම්.
මම ඉපදුණේ 1948දී ජපානයේ කෝබේ නගරයේ වයඹ දිශාවේ පිහිටි නිෂිවාකිවලයි. පුංචි කාලේ ඉඳලාම එක එක ඍතුවලදී විවිධ මල් වර්ග පිපෙන විදිහ දැකලා මම පුදුම වුණා. ඒත් මේවා හදන්න මැවුම්කරුවෙක් හිටියාද කියලා මම හිතුවේ නැහැ. මොකද මම හැදී වැඩුණේ ආච්චි ළඟයි. ඇය බෞද්ධ ධර්මයට ලැදිව සිටි කෙනෙක්.
මගේ මව තවමත් අපේ ගමේ මල් සැරසිලි පාඨමාලා පවත්වනවා. මේවා හඳුන්වන්නේ ඉකෙබානා හෝ කාඩෝ කියායි. ජපානයේ මේක ඉතා ජනප්‍රිය ක්ෂේත්‍රයක්. මගේ මව මට මේ කලාව ඉගැන්නුවේ නැතත් ඈ කරන දේවල් දිහා බලද්දී මට ලොකු ආශාවක් ඇති වුණා. මගේ ගුරුවරයා සහ මව මට විශ්වවිද්‍යාලයට යන්න කියලා නිතර උනන්දු කළත් මං කැමති වුණේ ඉකෙනොබො පාසැලට ඇතුල් වෙලා ඉකෙබානා කලාව ඉගෙනගන්නයි. ජපානයේ ඉකෙබානා මල් සැරසිලි කලාව උගන්වන පැරණිතම පාසැල ඉකෙනොබො පාසැලයි. පාසැලට ඇතුල් වුණාට පස්සේ හුඟක් ආශාවෙන් මම ඒ කලාව ඉගෙනගත්තා.
ඉකෙබානා කලාව
මෙය ජපානයේ සාම්ප්‍රදායික කලාවක්. ඉකෙබානා කලාවේ අර්ථය වන්නේ ස්වාභාවික පරිසරයේ දිස් වෙන ආකාරයට මල් සැරසිලි කිරීමයි. මං ඒ ගැන විස්තර කරන්නම්. මල් ශාලාවක ඛඳුනක දාලා තියෙන මල් ලස්සන වුණත් කෙතක හෝ කඳුයායක පිපෙන මල්වලට තරම් ඒවාට අපේ හිත ඇදිලා යන්නේ නැහැ. ඒවා ස්වාභාවික පරිසරයක තිබෙද්දී හරිම සුන්දරයි. ඉකෙබානා කලාව තුළින් උත්සාහ කරන්නෙත් විවිධ මල් සහ පැළ පාවිච්චි කරලා ඔබව එවැනි පරිසරයකට හෝ ඍතුවකට ගෙන යන්නයි. කෙනෙකුගේ සිත ඒ දෙසට ඇදී යන්නේ එතකොටයි. ඉකෙබානා කියන්නේ මල් සහ පැළ යොදාගෙන සොබාදහමේ අලංකාරය මවන ක්‍රමයක්. එම සැරසිල්ල ඔබේ සිත ආකර්ෂණය කිරීමට සමත් වෙනවා.
හිතන්න ඔබට දැන් සරත් ඍතුවේ තිබෙන සුන්දරත්වය මවාපාන්න අවශ්‍යයි කියලා. ඒ කාලේට වැඩෙන කොළ සහ මල් යොදාගෙන ඒක කරන්න පුළුවන්. මද නල ඒ දෙසට හමා එන ආකාරය මුසු කරන්න ඔබ ආසද? එහෙමනම් එහාට මෙහාට යන්තම් සෙලවෙන ජපානයේ තිබෙන තණකොළ වර්ගයක් ඊට එක් කරන්න. එතකොට ශරත් ඍතුවේ මද නල හමා එන බවක් ඒ දෙස බලන්නන්ට දැනේවි.
නිකම්ම මල් බඳුනක සැරසිල්ලක් කරනවාට වඩා මල් සහ පැළවලින් සුන්දර සැරසිල්ලක් කළ හැකි නිසයි මම ඉකෙබානා කලාවට ඇදිලා ගියේ.
“විශාල” පවුලක්
ඉකෙබානා වසර 500ක් ඉපැරණි සැරසිලි කලාවක්. එම කලාව පිළිබඳ පාඨමාලා උගන්වන පාසැල් පවත්වාගෙන යන්නේ අධිපතියාගේ අනසක යටතෙයි. එම තනතුර පරම්පරාවෙන් ලැබෙන උරුමයක්. ඔහුගේ වගකීම වන්නේ මෙම උරුමය හා කලාව ඊළඟ පරම්පරාවට දායක කිරීමයි. ඒ විතරක් නෙවෙයි ඔහු සොයාගන්නාවූ අලුත් සැරසිලි ක්‍රම පවා ඔවුන්ට දායාද කළ යුතුයි. මෙලෙස බලන කල ඔහු විශාල “පවුලක” පියෙක් වගෙයි.
ඉකෙනොබො පාසැලේ පාඨමාලාව අවසන් කළාට පස්සේ මම වැඩි දුරට තවත් වසර දෙකක් ඒ සම්බන්ධයෙන් හැදෑරුවා. වර්ෂ 1971 ජනවාරිවලදී මම ඉකෙනොබො ආයතනයේ සේවය කරන්න පටන්ගත්තා. එම ආයතනයෙන් පැවැත්වීමට අදහස් කළ “ඉකෙබානා ප්‍රදර්ශන” සැලසුම් කිරීමේ හා සංවිධානය කිරීමේ කටයුත්ත මට පැවරුණා. ඒ වගේම පාසැලේ අධිපතියා එක්ක මම රට පුරාම සංචාරය කළා ඔහුගේ සැරසිලිවලට අත් උදව්කාරයෙක් හැටියටත්.
ඔහුගේ මල්දැක්ම ප්‍රදර්ශනය කරද්දී ඔහුගේ සහයකයා හැටියට පළමු වතාවට මම ෆුකුඕකා ක්‍රීඩාංගණයේ වේදිකාවට නැග්ගා. ඒ අවස්ථාවේදී දහස් ගණන් ජනකායක් ඉදිරියේ මම ගල්ගැහිලා හිටියා. ඊට පස්සේ කරන හැම දෙයක්ම කළේ කරන්න ඕන විදිහට නෙවෙයි. ඉති නැව්වෙත් අතු කැපුවෙත් වැරදියටයි. ඒත් අධිපතියා ඒක ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඔහු සැරසිල්ල ගැන විස්තර කරද්දී පොඩි විහිළුවක් කරා. ඒකෙන් මගේ හිතත් සැහැල්ලු වුණා.
රජයෙන් පවත්වන උත්සවවලදී, විශේෂයෙන්ම ප්‍රසිද්ධ විදේශිකයන් පවා ඒවාට සහභාගි වන විට එම ස්ථානවල මල් සැරසිලි කරන්න අධිපති එක්ක මමත් ගියා. මගේ කතාවේ මුලදී කිව්ව විදිහට රජමාලිගාවට යන්න අවස්ථාව උදා වුණෙත් මේ වගේ වෙලාවකයි.
පසු කාලෙකදී ඉකෙනොබො පාසැල විශාල පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් වුණා. එම මධ්‍යස්ථානයේ අරමුණ වුණේ ජාතික මට්ටමකින් උපදේශකයන්ට නැවත පුහුණුවක් ලබා දීමයි. මටත් වගකීම් රැසක් පැවරුණා. ඊට අයිති වුණේ ඉගැන්වීම හා පාඨ මාලා සැකසීමයි. ජපානය පුරා ඉකෙනොබො ශාඛා 300ක ආධුනිකයන් 2,00,000ක් පමණ පුහුණු වෙමින් හිටියා. ඔවුන්ගේ පාඨමාලාවලට අවශ්‍ය කරන පොත් පත් සකස් කරන්නත්, තිරගත කළ හැකි ආකාරයට චිත්‍ර සහ වාර්තා සකස් කිරීම අධීක්ෂණය කිරීමේ වගකීමත් මටයි පැවරුණේ. ඉකෙනොබො ශාඛා පිටරටවලත් තියෙන නිසා අවුරුද්දකට කිහිපවතාවක්ම මම තායිවානයට ගියා. මේ විදිහට මට අධිපතියාගේ විශ්වාසය දිනාගන්නත් වගකිව යුතු තනතුරක් දරන්නත් හැකි වුණා.
මගේ රැකියාවෙන් මට සතුටක් ලැබුණත් මගේ ජීවිතයේ නියම තෘප්තිය මට ලැබුණේ නැහැ. සමහර දේවල් නිසා මා තුළ කලකිරීමක් ඇති වුණා. ආධුණිකයන්ගේ ඊර්ෂ්‍යාව නිසා ඇති වුණ ගැටලු විසඳන්න බොහෝ පුහුණුකරුවන් මා වෙතට ආවා උපදෙස් ලබාගන්න. ඒත් හුඟක් දේවල් හරිගස්සන්න මට බැරි වුණා. මොකද මේ වගේ සංවිධානයක් පවත්වාගෙන යන්නේ සංස්කෘතීන් හා චාරිත්‍රවාරිත්‍ර අනුව නිසයි. හුඟදෙනෙක් ඉකෙබානා කාලාවට ආස කළ නිසා පාඨමාලාව හොඳින් හැදෑරුවා. ඔවුන්ගේ අධ්‍යාපනය සතුටෙන් කරගෙන යන්න මට පුළුවන් උපරිමයෙන් උපකාර කරන්න මම වෑයම් කළා.
සත්‍යය මුලින්ම දැනගත් අවස්ථාව
මම ආගමට කැමැත්තක් දැක්වුවේ නැහැ. මොකද මම හිතුවේ ඒකෙන් මගේ ඔළුව අවුල් වෙයි කියලයි. ඒ විතරක් නෙවෙයි සාමය සහ සතුට ගැන කතා කරන අයගේ කුහකකමත් මම දැකලා තියෙනවා. ඒත් මගේ බිරිඳ පුංචි කාලේ ඉඳලාම සත්‍ය හොයමින් ඉඳලා තිබුණා. ඇගේ නම කීකෝ. ඇය විවිධ ආගම් ගැන උනන්දුවක් දැක්වුවත් ඒවායේ ඉගැන්වීම්වලින් ඈ සැහීමකට පත් වුණේ නැහැ.
දවසක් යෙහෝවාගේ සාක්ෂිකාරියක් අපේ නිවසට ආවහම කීකෝ බයිබලය ඉගෙනගන්න කැමති වුණා. ඇය ඉගෙනගත් හුඟක් දේවල් ඇගේ හිතට කාවැදුණා. ඒවා ගැන මටත් කිව්වා. කියාපු දේවල් නරක නූණාට මම ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ.
කීකෝ දැඩි උනන්දුවකින් බයිබලය ඉගෙනගත්තා. ඒ ගැන මට කියන එක නැවැත්තුවෙත් නැහැ. ගොඩක් වෙලාවලදී මම ගමන් යද්දීත් ඇය මගේ ගමන් මල්ලට බයිබලය ගැන විස්තර කරලා තියෙන සඟරා එකක් හෝ දෙකක් දානවා. ඒත් මම ඒවා කොහොමටවත් කියෙව්වේ නැහැ. අවුරුදු ගානක් තිස්සේ වැඩ කරලා ලබාගත්ත සාර්ථකත්වය ගැන මම ආඩම්බර වුණා. මට අලුත් ආගමක් අවශ්‍ය වුණේ නැහැ. බයිබලයේ තියෙන ඉගැන්වීම් පිළිගත්තොත් මහන්සි වෙලා හම්බ කරලා ගත්ත ගේ පවා අපිට නැති වෙයි කියලා මට හිතුණා. ඒත් කීකෝ බයිබලය ගැන ඉගෙනගත්තා විතරක් නෙවෙයි ඒවා පිළිපදින්නත් පටන්ගත්තා. ඇය මාව කොන් කරනවා කියලා මට හැඟුණා. මට තනිකමකුත් දැනුණා. ඇය කිව්ව දේවල් හරියි කියලා මම දැනගෙන හිටියත් ඇයට විරුද්ධ වුණා.
විරුද්ධ වුණත් සිත ඇදී ගියා
හුඟක් වෙලාවට මම වැඩ ඇරිලා ගෙදර එන්නේ රෑ වෙලා. ඒත් කීකෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන දවස්වලට මම වුවමනාවෙන්ම ඊටත් වඩා රෑ වෙනවා. සමහරදාට පාන්දර දෙක තුනත් වෙනවා මම ගෙදර එද්දී. ඒ වෙනකනුත් කීකෝ මම එනකම් බලාගෙන ඉන්නවා දවසේ වෙච්ච දේවල් කියන්න. මගේ පවුලේ අය පැය කීපයකට හරි ක්‍රිස්තියානි රැස්වීම්වලට ගෙදරින් පිටට යනවාට මං කොහෙත්ම කැමති වුණේ නැහැ. මට හොඳටම කේන්ති ගියා. දික්කසාද වෙන්න ඕන කියලා මම කීකෝට කිව්වා. ඒත් එයා වෙනස් වුණේ නැහැ.
කීකෝගේ හැසිරීම මට ප්‍රහේලිකාවක් වුණා. පවුල් ජීවිතය කඩාකප්පල් වෙන ලකුණු තිබුණත්, ඇය ඇදුම රෝගයෙන් පෙළුණත් ඈ හැම දෙයක්ම කළේ සතුටෙන්. කීකෝව බඳින්න කලින් මම ඇයට කැමති වුණේ ඈ ගොඩක් අවංක සහ අහිංසක කෙනෙක් නිසයි. ඇගේ අහිංසකකම හින්දමයි මම බය වුණේ බයිබලය ඉගෙනගන්න ගිහින් ඇය රැවටෙයි කියලා.
කීකෝ නම් එයා ඉගෙනගත්ත දේවල් අදාළ කරගෙන හොඳ බිරිඳක් සහ මවක් වෙන්න උත්සාහ කළා. මම විරුද්ධකම් පෑවත් එයා නිතරම මට ඇවිටිලි කළා එයත් එක්ක ක්‍රිස්තියානි රැස්වීම්වලට සහ සමුළුවලට එන්න කියලා. ඇය කරන්නේ හරි දේ කියලා මගේ හිත කිව්ව නිසා විටින් විට මම එයත් එක්ක ඒවාවලට ගියා.
යෙහෝවා ගැන මට ඊර්ෂ්‍යාවකුත් ඇති වුණා. කීකෝගේ ජීවිතයේ මේ වගේ වෙනස් වෙනවා දකිද්දී මගේ හිතේ ප්‍රශ්නයක් ඇති වුණා. මිනිස්සුන්ට මෙච්චර බලපෑමක් කරන්න බයිබලයට පුළුවන්ද කියලා මම කල්පනා කළා. ‘මගේ බිරිඳ යෙහෝවා වෙනුවෙන් මෙච්චර කැප වෙලා මහන්සි වෙන්නේ ඇයි’ කියලත් මම හිතුවා.
වැඩි කල් නොගොස් කීකෝ රැස්වීම්වලට ගිය සභාවේ සහෝදරයන් මාව බලන්න එන්න පටන්ගත්තා. ඔවුන්ව මුණගැසෙන්න කිසිම උවමනාවක් මට තිබුණේ නැති වුණත් කීකෝ මෙච්චර සන්තෝෂයෙන් ඉන්නේ කොහොමද කියලා මට දැනගන්න ඕනේ වුණා. මේක ප්‍රහේලිකාවක් වූ නිසා අන්තිමේදී මමත් බයිබලය ඉගෙනගන්න එකඟ වුණා. මේ අමුත්තන් එක්ක ආශ්‍රය කරද්දී මට ප්‍රබෝධයක් ලැබුණා. සතිපතා කරන පාඩමෙන් බයිබලයේ තිබෙන සත්‍ය අදහස් ටිකෙන් ටික මගේ හදවතට ඇතුල් වුණා. මගේ ආකල්ප වෙනස් වුණා.
වැඩි අලංකාරයක් තිබෙන්නේ සොබාදහමටද සත්‍යයටද?
ඉකෙබානා සැරසිලි තුළින් සොබාදහමේ සුන්දරත්වය පිළිබිඹු කරන එක ලේසි පහසු දෙයක් වුණේ නැහැ. මම ඒ ගැන හුඟාක් මහන්සි වුණා. නමුත් අපේ මැවුම්කරු වන යෙහෝවා ගැන ඉගෙනගත්තාට පස්සේ මට ගොඩාක් දේවල් වැටහුණා. ඇත්තටම යෙහෝවා තමයි ශ්‍රේෂ්ඨතම කලාකරු. මිනිසුන්ට මැවුම්කරුගේ කලාත්මක හැකියාවන් ඒ විදිහටම අනුකරණය කරන්න බැහැ. කොහොමවුණත් ඔහු ගැන දැනගෙන ඔහුව අනුකරණය කරන්න උත්සාහ කිරීමෙන් මගේ කලාත්මක හැකියාවන් පවා දියුණු කරගන්න මට පුළුවන් වුණා. බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ මගේ මල් සැරසිලිවල පවා වෙනසක් තියෙනවා කියලා බොහෝදෙනෙක් පැවසුවා. දැන් ඉස්සරට වඩා අමුතු ලාලිත්වයක් මගේ සැරසිලිවල තියෙනවා.
මුල් වතාවට බොහෝ දේවල් තේරුම්ගන්න මට පුළුවන් වුණේ බයිබලයේ තියෙන සත්‍යයන් ඉගෙනගත්තට පස්සෙයි. මේ ලෝකයේ දේවල් මේ විදිහට සිදු වන්නේ ඇයි කියලා මට වැටහුණා. මේ හැම දුෂ්ට දේකටම මුල සාතන් නමැති යක්ෂයා. ඒ විතරක් නෙමෙයි ආදම්ගෙන් උරුම වෙච්ච පාපය නිසාත් අපේම සිතුවිලි අපව නොමඟ යවන්න ඉඩ තිබෙනවා. (යෙරෙමියා 17:9; 1 යොහන් 5:19) යෙහෝවා බෙහෙවින් ප්‍රේමණීය, යුක්තිසහගත, බලවත් හා ප්‍රඥාවන්ත දෙවි කෙනෙක් වෙනවා වගේම ඔහු සාමයටත් ඉතා ලැදි බව මම දැනගත්තා. (ද්විතීය කතාව 32:4; රෝම 11:33; 1 යොහන් 4:8; එළිදරව් 11:17) අප වෙනුවෙන් මිය යන්න යේසුස්ව මේ පොළොවට එව්වේ දෙවිගේ ප්‍රේමය නිසයි. (යොහන් 3:16; 2 කොරින්ති 5:14) සියලුම දුක් වේදනා සහ මරණය නොමැති කාලයක් ළඟදීම එනවා. (එළිදරව් 21:4) මෙවැනි අලංකාර සත්‍යයන්වලට මගේ සිත ඇදී ගියා. මීට අමතරව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න’ යන යේසුස්ගේ ඉගැන්වීමට එකඟව ජීවත් වෙනවා. ඔවුන්ගේ ප්‍රේමය මමම අද්දැක්ක නිසා මේක තමයි සැබෑ ආගම කියලා මට වැටහුණා.—මතෙව් 22:39.
බාධකයක් ජයගැනීම
බයිබල් සත්‍යයන් මගේ සිතට කාවදිද්දී අභියෝගයකට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. පාසැල් අධිපතියාට යන්න බැරි වුණ බොහෝ අවස්ථාවලදී බෞද්ධ වත් පිළිවෙත් පැවැත්වූ අවමංල්‍යයන්වලට ඔහු වෙනුවෙන් යන්න සිද්ධ වුණේ මටයි. මට ඒක ලොකු අභියෝගයක් වුණා. මොකද මට ඕන වුණේ යෙහෝවාගේ සේවයට මගේ ජීවිතය කැප කරන්නයි. බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගි වෙන්නේ නැහැ කියලා මම තීරණය කළා. (1 කොරින්ති 10:21) මම ළඟදීම බව්තීස්ම වෙන්න බලාපොරොත්තු වෙන නිසා වෙනත් ආගම්වල වත් පිළිවෙත්වලට හවුල් නොවන්න මං තීරණය කරලා තියනවා කියලා අධිපතියාට කිව්වා. ක්‍රිස්තියානියෙක් වීම ගැනත්, මට ඕන විදිහට මගේ ආගමේ දේවල් කරනවාටත් ඔහුගේ කිසි විරුද්ධත්වයක් නැහැ කියලා ඔහු මට කිව්වා. මම හිතුවේ ඔහු මට බැනලා මාව රස්සාවෙන් අයින් කරයි කියලයි. ඒත් මේ වගේ දෙයක් අහන්න ලැබුණහම මට පුදුම හිතුණා.
එම බාධකයෙන් දැන් මම නිදහස් නිසා මට පුළුවන්
වුණා බව්තීස්මය තුළින් යෙහෝවාට කැප වෙලා ඉන්න බව සංකේතවත් කරන්න. මම 1983 ජූනි මාසයේදී ක්‍රිස්තියානි එක්රැස්වීමකදී බව්තීස්ම වුණා. ඒ බයිබලය පාඩම් කරන්න අරන් අවුරුද්දක් ගත වුණායින් පස්සෙයි. බව්තීස්ම වුණ අවස්ථාවේදී කීකෝ හරි සතුටකින් ඇවිත් මාව පිළිගත්තා. ඇගේ දෙනෙත්වල සතුටු කඳුළු පිරිලා තිබුණා වගේම මගේ ඇස්වලටත් කඳුළු ආවා. අපි දෙන්නාම එකතු වෙලා යෙහෝවාට ස්තුති කළා.රැකියාවෙන් සමුගැනීමට තීරණයක්
ක්‍රිස්තියානියෙකු හැටියට මට තිබෙන වගකීම් මගේ අධිපතියා තේරුම්ගත්තා. කලින් කළාට වඩා මගේ රාජකාරියේ වගකීම් හොඳින් ඉටු කරන්නත් මම වෑයම් කළා. කොහොමවුණත් මගේ රැකියාවත්, ක්‍රිස්තියානියෙකු හැටියට මගේ වගකීමුත් සමබරව තියාගන්න මම උත්සාහ කළා. අවුරුදු හතක් තිස්සේ හැම වසරකම මාස කීපයක් වෙන් කළා ක්‍රිස්තියානි දේවසේවයේ වැඩියෙන් හවුල් වෙන්න.
මට හිටියේ එකම පුතයි. ඔහුටත් යෙහෝවා ගැන ඉගැන්වීම මගේ වගකීමක් වුණා. ඒ විතරක් නෙවෙයි කීකෝගේ සෞඛ්‍ය තත්වයත් දුර්වල වේගන ගියා. මගේ පවුලේ අය එක්ක මම වැඩියෙන් කාලය ගත කරන්න ඕන කියලා මට හිතුණා. ක්‍රිස්තියානියෙක් හැටියට දේවරාජ්‍යයේ වැඩ කටයුතුවලට මුල් තැන දෙන්නත් මට ඕන වුණා. මං කරන්න ඕනෙ මොකක්ද කියන එක හිතට ගත්තා. මට ඉකෙබානා මල් සැරසිලි කිරීමේ රැකියාවෙන් සමුගන්නයි ඕන වුණේ. යෙහෝවාට යාච්ඤා කරලා ඒකට උපකාර ඉල්ලුවා. මම තීරණයක් අරගෙන තියෙන බව අධිපතියාට වැටහුණ නිසා කිසි කරදරයක් නැතුව 1990 ජූලි මාසයේදී රැකියාවෙන් අයින් වෙන්න මට පුළුවන් වුණා. එතකොට මට වයස අවුරුදු 42යි.
සත්‍යයේ අලංකාරය අන් අයට පහදා දීම
රැකියාවෙන් අයින් වුණ ගමන්ම අන් අයට සත්‍ය කියා දෙන්න පූර්ණ කාලීන දේවසේවයේ යෙදෙන්න මම පටන්ගත්තා. දැනටත් මම මල් සැරසිලි උගන්වන්න සතියකට දවසක් ගත කරනවා. හැබැයි ඉකෙනොබො සැරසිලි කරද්දී තිබුණ නීති රීතිවලට අනුව නම් නෙවෙයි. සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන්න මට වරප්‍රසාදය ලැබිලා තියෙනවා. කීකෝත් පුරෝගාමී සේවයේ යෙදෙනවා. දැන් කීකෝට ඉස්සර තරම් දරුණු විදිහට ඇදුම රෝගය හැදෙන්නේ නැහැ. අපේ පුතා දැන් විවාහ වෙලා ළඟපාත තියෙන සභාවක සභා සේවකයෙක් හැටියට සේවය කරනවා. ඇත්තෙන්ම අපි හැමෝටම පවුලක් හැටියට එකතු වෙලා යෙහෝවාට සේවය කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය මොන තරම් වටිනවාද!
යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍ය පාලනය පවතින කාලයේදී, මගේ වත්තේ වවලා තියෙන මල් ගස්වලින් ලස්සනට මල් සැරසිලි කරන්න ලැබෙන දවස එන තුරු මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා සියලු දේවල මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ මහිමාන්විත නාමයට සදහටම ප්‍රශංසා කිරීමයි මගේ අවංක ආසාව.
[27වන පිටුවේ පින්තූරය]
ඉකෙබානා කලාවෙන් සොබාදහමේ අලංකාරය මවන්න පුළුවන්
[27වන පිටුවේ පින්තූර]
මමයි, මගේ බිරිඳයි, අපේ පුතා සහ ඔහුගේ පවුල එක්ක