Skip to content

පටුනට යන්න

ස්වාභාවික විපත්! මිනිසාගේ දායකත්වය

ස්වාභාවික විපත්! මිනිසාගේ දායකත්වය

ස්වාභාවික විපත්! මිනිසාගේ දායකත්වය

වාහනයක් හොඳින් නඩත්තු කරන විට ආරක්ෂාකාරී ලෙස ගමන් බිමන් යා හැකියි. නමුත් වාහනය නිසි ලෙස නඩත්තු නොකරනවා නම් එයින් භයානක ප්‍රතිඵල ඇති වෙයි. යම් ආකාරයකට මිහිතලය සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වෙයි.

බොහෝ විද්‍යාඥයන් කියා සිටින්නේ මිනිසා වායුගෝලයට හා සාගරවලට කර තිබෙන දේවල් නිසා ස්වාභාවික විපත් සිදු වන වාර ගණන වැඩි වී තිබෙන අතර ඒවා තව තවත් දරුණු වී තිබෙන බවයි. මේ නිසා අපගේ පෘථිවි ග්‍රහයා ජීවත් වීමට භයානක ස්ථානයක් වී තිබෙනවා. අනාගතය යහපත් අතට හැරෙයි කියා සිතන්න බැහැ. “අපගේම ක්‍රියාකලාපය නිසා අපගේ එකම නිවහනට මොන වගේ ප්‍රතිඵල ඇති වෙයිද කියන ප්‍රශ්නයට තවම පිළිතුරක් ලැබී නැහැ.” එසේ සඳහන් වුණේ කාලගුණික වෙනස්කම් පිළිබඳව අදහස් දැක්වෙන සඟරාවකයි.—Science සඟරාව.

ස්වාභාවික විපත්ති දරුණු ලෙස නිතර ඇතිවීමට මිනිසාගේ ක්‍රියාකලාපය දායක වෙන්නේ කෙසේදැයි තේරුම්ගැනීමට ස්වාභාවික විපතක් සිදු වන්නේ කොහොමද කියා අප වටහාගත යුතුයි. නිදසුනකට සැඩ සුළං වැනි දරුණු කුණාටුවක් ඇති වෙන්නේ කොහොමද?

පෘථිවියේ උෂ්ණත්වය සමබර කිරීම

සූර්ය තාපය ලබාගෙන එය ශක්තිය බවට පරිවර්තනය කර බෙදාහරින යන්ත්‍රයකට පෘථිවියේ දේශගුණය සමාන කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩියෙන්ම සූර්ය තාපය ලැබෙන්නේ නිවර්තන කලාපයටයි. ඒ නිසා වායු ගෝලයේ විශාල කැලඹීමක් ඇති වෙයි. * එමෙන්ම පෘථිවිය භ්‍රමණය වන නිසාද එම කැලඹීම තවත් වැඩි වෙයි. ප්‍රතිඵලයක් ලෙස වායු ගෝලයේ ඇතැම් ප්‍රදේශවල අඩු පීඩන කලාප එනම් අවපීඩන ඇති විය හැකියි. මෙම අවපීඩන නිසා කුණාටු හටගනියි.

සාමාන්‍යයෙන් මේ ආකාරයට ඇති වන කුණාටු සමකයෙන් උතුරු හෝ දකුණු දිශාවට ඒ කියන්නේ ශීත කලාපයන්ට ගමන් කරයි. මෙලෙස කුණාටු මගින් තාපය වැඩි තැනින් අඩු තැනට ගොස් දේශගුණය සමබර වෙයි. නමුත් සාගරයේ මතු පිට ජල තට්ටුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් පමණ ඉක්මවා යද්දී ඇති වන කුණාටු දරුණු සුළි සුළං බවට පත්වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා.

එක්සත් ජනපදයේ සිදු වුණ දරුණුතම ස්වාභාවික විපත්තිය ලෙස 1900යේ සැප්තැම්බර් 8වෙනිදා ටෙක්සස් ගැල්වෙස්ටන් ප්‍රදේශයේ ඇති වූ සුළි සුළඟ හැඳින්විය හැකියි. සුළි සුළඟ නිසා ඉහළ ගිය මුහුදේ යෝධ රැළිවලට හසු වී එම නගරයේ ජීවිත 6,000ත් 8,000ත් අතර සංඛ්‍යාවක් මිය ගිය අතර ඒ අවට ප්‍රදේශවල සිටි පුද්ගලයන් 4,000ක් පමණද ජීවිතක්ෂයට පත් වුණා. නිවාස 3,600ක් පමණ කැඩී බිඳී ගියා. ගැල්වෙස්ටන් ප්‍රදේශයේ එක ගොඩනැඟිල්ලක්වත් උපද්‍රවයට ලක් නොවී තිබුණේ නැහැ.

කලින් ලිපියේ සඳහන් කළ ආකාරයට මෑත වසරවලදී ප්‍රචණ්ඩ කුණාටු ගණනාවක් ඇති වී තිබෙනවා. කුණාටු ඇතිවීම හා පොළොව උණුසුම් වීම අතර යම් සම්බන්ධයක් තිබෙනවාද කියා බැලීමට විද්‍යාඥයන් අධ්‍යයනය කරමින් සිටිනවා. ඒත් කාලගුණයේ වෙනස්කම් හටගැනීම පොළොව උණුසුම් වීමේ එක් ප්‍රතිඵලයක් පමණක් විය හැකියි. වෙනත් විනාශකාරී ප්‍රතිඵලද දැනටමත් පෙනෙන්න තිබෙනවා.

මුහුදු මට්ටම ඉහළ යෑම හා කැලෑ එළි කිරීම

එක් සඟරාවක කතු වැකියට අනුව “පසුගිය සියවසේ මුහුදු මට්ටම සෙන්ටිමීටර් 10 සිට 20 දක්වා ඉහළ ගොස් තිබෙන අතර මෙය ඉදිරියේදී තවත් වැඩි විය හැකියි.” (Science සඟරාව) පොළොව උණුසුම් වීම මෙයට බලපාන්නේ කෙසේද? ක්‍රම දෙකකින් එසේ සිදු විය හැකි බව පර්යේෂකයන් පෙන්නුම් කරනවා. උත්තර ධෘවයේ හා දක්ෂිණ ධෘවයේ මිදී තිබෙන අයිස් දියවීම සාගර ජල පරිමාව වැඩි වෙන්නට එක් හේතුවක් විය හැකියි. උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් සාගරයේ ජල පරිමාව ඉහළ නැඟීම තවත් හේතුවක්.

පැසිෆික් සාගරයේ ඇති කුඩා ටුවාලූ දූපත් මුහුදු මට්ටම ඉහළ යෑමේ ප්‍රතිඵල දැනටමත් අද්දකිනවා විය හැකියි. එක් සඟරාවක පෙන්වූයේ එම දූපත් මධ්‍යයෙහි පිහිටා තිබෙන ෆූනාෆූටි දූපතෙන් ලබාගත් තොරතුරු අනුව එහි මුහුදු මට්ටම “පසුගිය දශකයේ සෑම වසරකදීම මි.මී. 5.6ක” සාමාන්‍යයයක් ඉහළ ගොස් තිබෙන බවයි.—Smithsonian සඟරාව.

ලෝකයේ බොහෝ පැතිවල ජනගහන වර්ධනය නිසා නාගරික ප්‍රදේශ හා මුඩුක්කු නිවාස සහිත නගර වැඩි වී තිබෙන අතර පරිසර දූෂණයද වැඩි වෙමින් පවතිනවා. මේ දේවල් ස්වාභාවික විපත් දරුණු වීමට හේතු විය හැකියි. උදාහරණ කිහිපයක් සලකා බලන්න.

අධික ජනගහනයක් සිටින කැරිබියානු දූපතක් වන හයිටිවල කැලෑ එළි කිරීම, කලක් තිස්සේ තිබෙන ගැටලුවක්. මෑතක පළ කළ ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වන්නේ හයිටි රටේ ආර්ථික, දේශපාලන හා සමාජීය ගැටලු තිබුණත් ඒ එක ගැටලුවක්වත් කැලෑ එළි කිරීමේ ගැටලුව තරම් දරුණු නැති බවයි. කැලෑ එළි කිරීම රටේ පැවැත්මට තර්ජනයක්. ඒ බව ඔප්පු වුණේ 2004දී ඇද වැටුණු ධාරානිපාත වැසි නිසා ඇති වූ නායයෑම්වලින් ජීවිත දහස් ගණනක් මිය ගිය විටයි.

දකුණු ආසියාතික රටවල් තුළ ස්වාභාවික ආපදා වැඩි වශයෙන් සිදුවීමට හේතු වී තිබෙන්නේ “පොළොව උණුසුම් වීම, වේළි බැඳීම, කැලෑ එළි පෙහෙළි කිරීම සහ හේන් ගොවිතැන” වැනි දේ කියා ආසියාවේ ටයිම් සඟරාවේ සඳහන් වී තිබෙනවා. කැලෑ එළි කිරීමෙන් ඇති වන තවත් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ පස වියළී යෑම හා ඒ හේතුවෙන් දැඩි නියඟයන් ඇතිවීමයි. මෑත කාලයේදී ඉන්දුනීසියාවේ හා බ්‍රසීලයේ ඇති වූ නියඟයන් නිසා වැසි වනාන්තරවල පවා කවදාවත් නොවූ ආකාරයේ ලැව් ගිනි ඇති වී තිබෙනවා. කෙසේවෙතත් ස්වාභාවික විපත් ඇති වන්නේ අසාමාන්‍ය කාලගුණික තත්වය නිසාම නෙවෙයි. බොහෝ රටවල විපත් ඇති වන්නේ පොළෝ අභ්‍යන්තරයේ සිදු වන විපර්යාසයන් හේතුවෙනුයි.

පොළොව දෙදරන විට. . .

පෘථිවි පෘෂ්ඨය සෑදී තිබෙන්නේ විවිධ ප්‍රමාණයෙන් යුත් භූමි තල හෙවත් භූමි කොටස්වලින්. මෙම කොටස්වල පිහිටීම නිතර වෙනස් වන නිසා සෑම වසරකම භූමිකම්පා මිලියන ගණනාවක් ඇති විය හැකියි. මෙම භූමිකම්පා වැඩි ප්‍රමාණයක් සිදු වන බව දැනෙන්නෙවත් නැහැ.

භූමිකම්පා සියල්ලෙන් සියයට 90ක් පමණ සිදු වන්නේ භූ තල යාවෙන මායිම්වලයි. කෙසේවෙතත් එම භූ තල මැද කොටසෙහිත් භූමිකම්පා සිදු වන නමුත් එසේ වන්නේ කලාතුරකින්. ඒවා බොහෝ සෙයින් දරුණු විය හැකියි. තිබෙන වාර්තාවලට අනුව මෙතෙක් සිදු වී තිබෙන භයානකම භූමිකම්පාව 1556දී චීනයේ පළාත් තුනකට බලපෑවා. එවිට ජීවිත 8,30,000ක තරම් විශාල සංඛ්‍යාවක් මියයන්න ඇති.

භූමිකම්පා භයානක වගේම ඒවායින් මාරාන්තික අතුරු ප්‍රතිඵලත් ඇති වෙයි. පෘතුගාලයේ 1755 නොවැම්බර් 1වනදා ඇති වූ භූමිකම්පාවකින් ජනගහනය 2,75,000ක් විසූ ලිස්බන් නගරය සුන්බුන් ගොඩක් බවට පත් වුණා. ප්‍රතිඵල එතැනින් අවසන් වුණේ නැහැ. අතුරු ප්‍රතිඵල හැටියට විශාල ගිනි ගැනීම් හටගත් අතර පෘතුගාලය අසල තිබෙන අත්ලාන්තික් සාගරයේ මීටර් 15ක උසකට සුනාමි රැළිද නැඟුණා. මේ සියල්ල අවසානයේදී ලිස්බන් නගරයේ මිය ගිය සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබුණා.

පෙනෙනාකාරයට මෙවැනි විපත්තිවලින් වැඩි හානියක් සිදු වන්නේ මිනිසාගේ පැත්තෙන්ද යම්දුරකට දායකත්වයක් තිබෙන නිසයි. එක් හේතුවක් නම් අවදානම් සහිත තැන්වල තිබෙන ජනගහන තදබදයයි. “ලෝකයේ තිබෙන ප්‍රධාන නගරවලින් අඩක්ම පාහේ පිහිටා තිබෙන්නේ නිතර භූ චලන සිදු වන ස්ථානවලයි” කියා එක් කර්තෘවරයෙකු වන ඇන්ඩෲ රොබින්සන් පවසයි. තව හේතුවක් නම් තිබෙන ගොඩනැඟිලියි. ඉන් අදහස් වන්නේ ඒවාවලට භාවිත කර තිබෙන අමුද්‍රව්‍යය සහ ඒවා සාදා තිබෙන ආකාරය වැඩි හානියක් සිදුවීමට දායක වන බවයි. “මිනිස්සු මැරෙන්නේ භූමිකම්පාවලින් නොව ගොඩනැඟිලි කඩා වැටීමෙන්ය” යන කියමන සැබෑවක් වී තිබෙනවා. ඒත් භූමිකම්පාවලට ඔරොත්තු දෙන ක්‍රම අනුව ගොඩනැඟිලි සෑදීමට වත්කමක් නැත්නම් කුමක් කිව හැකිද?

ගිනි කඳු හතුරෙක් මෙන්ම මිතුරෙක්

“ඔබ මෙම වදන් කියවන අතරතුරේ අඩුම තරමින් ගිනි කඳු 20ක්වත් පුපුරා යන්න ඇතැයි” කියා එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනය විසින් වාර්තා කරනවා. සමස්තයක් වශයෙන් ගත් කල, භූමිකම්පා සහ ගිනි කඳු පුපුරා යෑමට හේතු වන ස්වාභාවික දේවල් බොහෝදුරට එක සමානයි. පොළොව යට තිබෙන ලාවා මතු වන්නේ මුහුදු පත්ලේ තිබෙන විවරයන් තුළින් හෝ භූ තල හෙවත් පෘථිවි පෘෂ්ඨයේ කොටස් යාවී ඇති ස්ථානවල පිහිටීම වෙනස් වීම හේතුවෙන්.

භූ තල එකිනෙක ගැටීමෙන් හෝ තෙරපීමෙන් ගිනි කඳු නිතරම පිපිරී යන නිසාත්, එවැනි පිපිරීම් ජනාකීර්ණ ප්‍රදේශවල නිතරම සිදු වන නිසාත් එයින් මහජනයාට ප්‍රබල තර්ජනයක් එල්ල වන බව පවසන්න පුළුවන්. පැසිෆික් සාගරය ආසන්නයේ තිබෙන ප්‍රදේශ සියල්ල පොදුවේ හඳුන්වන්නේ ගිනි වළල්ල ලෙසයි. ඊට හේතුව එම ප්‍රදේශවල මෙවැනි ගිනි කඳු සිය ගණනක් තිබීමයි. සමහරවිට භූ තලවල මැද ප්‍රදේශයේ පවා ගිනි කඳු ස්වල්පයක් දක්නට තිබෙනවා. හවායි දූපත්, අත්ලාන්තික් සාගරයේ පිහිටි අශෝර්ස් දූපත් සහ පැසිෆික් සාගරයේ පිහිටි ගලපගෝස් දූපත් මෙන්ම සොසයටී දූපත් බිහි වී තිබෙන්නේ මෙවැනි ගිනි කඳු පුපුරා යෑම නිසයි.

ඇත්තෙන්ම ගිනි කඳු විනාශකාරී දෙයක් කියාම හැඳින්විය නොහැකියි. එයින් පෘථිවියට බොහෝ ප්‍රයෝජනද තිබෙනවා. එක් විශ්ව විද්‍යාලයකට අයත් වෙබ් අඩවියක් පෙන්නුම් කරන්නේ ‘මහාද්වීපවලින් සියයට 90ක් බිහි වී තිබෙන්නෙත් මුහුදු පතුලේ ගිලා බැස ගිය තැන් ඇති වෙන්නෙත් ගිනි කඳු පුපුරා යෑම හේතුවෙන්’ කියායි. ඒත් සමහර පුපුරා යෑම් ව්‍යසනකාරී වන්නේ මන්ද?

පුපුරා යෑමක් පටන්ගන්නේ පෘථිවි පෘෂ්ඨයෙන් බොහෝ යට පිහිටි අභ්‍යන්තර භූ තට්ටුවේ උණුසුම් ස්ථානවල තිබෙන ලාවා උඩට මතු වන විටයි. සමහර ගිනි කඳුවලින් ලාවා පිට වෙන්නේ ඉතා සෙමින් නිසා ජීවිතවලට හානියක් සිදු වන්නේ නැහැ. ඒත් වෙනත් ඒවා පුපුරන්නේ න්‍යෂ්ටික බෝම්බයක් පුපුරනවාටත් වඩා අධික බලයකින්! මෙසේ පුපුරා යෑමට හේතු වන්නේ ලාවා සෑදී තිබෙන ආකාරය හා එහි ඝනත්වයයි. එමෙන්ම ලාවාවල මිශ්‍ර වී තිබෙන වායු වර්ග, ජලය හා එහි තිබෙන අධික උණුසුමත් ඊට බලපානවා. අභ්‍යන්තරයේ ඇති ලාවා ඉහළට එන විට ඊට එකතු වන ජලය හා වෙනත් වායු වර්ග නිසා එහි පීඩනය තවත් වැඩි වෙයි. මෙම ලාවා ගිනි කන්දෙන් උඩට මතු වන විට ගිනි කන්ද පුපුරා යන්නේ සෝඩා බෝතලයක් අරින්නාක් මෙනි.

පුපුරා යෑමකට පෙර බොහෝවිට ගිනි කන්දකින් අනතුරු ඇඟවීමේ ලක්ෂණ පහළ කරයි. වර්ෂ 1902දී කැරිබියන් දූපතක් වන මාර්ටිනීක්හි පිහිටා තිබූ පලේ ගිනි කන්ද පුපුරා යෑමට පෙරද සිදු වුණේ එයයි. පලේ කන්දට නුදුරින් පිහිටා තිබුණ ශාන්ත පියෙර්හි ඡන්දයක් පැවැත්වීමට ආසන්නව තිබූ නිසා දේශපාලනඥයන් ජනයාට දිරිගැන්වූයේ නගරය අත්හැර නොයන ලෙසයි. එසේ පැවසුවේ අළු වැටෙමින්, ලෙඩ රෝග පැතිර යමින් සහ සිත්වල බියක්ද හටගෙන තිබියදීයි. බොහෝ කඩ සාප්පු පවා දවස් ගණනාවක් වසා තිබුණා.

මැයි 8වෙනිදා උදෑසන 8:00ට පමණ පලේ කන්ද පුපුරා යද්දී යේසුස්ගේ ස්වර්ගාරෝහණය සැමරීමට බොහෝදෙනෙක් කතෝලික දේවස්ථානයට ගොස් සිටියා. ඔවුන් එවිට යාච්ඤා කරමින් සිටියේ ගිනි කන්ද පුපුරා යෑමේදී තමන්ව ගලවාගන්න කියායි. එම පිපිරීමෙන් සෙල්සියස් අංශක 200ත් 500ත් අතර උෂ්ණත්වයකින් යුත් අළු, ගිනි පුපුරු, නොයෙක් ගල් කැට සහ විවිධ වායු වර්ග නිකුත් වුණා. මෙම විෂ මිශ්‍රණය මරණය ගෙන දෙන වලාකුළක් වගේ මුළු නගරයම වෙලාගත්තේ 30,000දෙනෙකුට මරු කැඳවමින්. උෂ්ණත්වය නිසා පල්ලියේ සීනුව උණු වී ගියා; වරායේ නැව් ගිනි ගත්තා. විසිවන සියවසේ සිදු වූ මාරාන්තිකම පුපුරා යෑම මෙයයි. එහෙත් අනතුරු ඇඟවීමේ ලක්ෂණ අනුව කටයුතු කළා නම් මෙතරම් මාරාන්තික ප්‍රතිඵල ඇති නොවන්නට ඉඩ තිබුණා.

ස්වාභාවික විපත්ති තව තවත් වැඩි වෙයිද?

එක් වාර්තාවක පෙන්වන්නේ පසුගිය දශකයේ පොළොවේ පාරිසරික හා කාලගුණ තත්වයන් නිසා සිදු වන විපත් සියයට 60කට වඩා වැඩි වී තිබෙන බවයි. “මෙයින් දකින්න තියෙන්නේ දිගු කාලයකට බලපාන ප්‍රතිඵල ඇති වන බවයි” කියා එම වාර්තාවේ පැවසෙයි. (World Disasters Report 2004 වාර්තාව) මේ වාර්තාව පළ කරනු ලැබුවේ දෙසැම්බර් 26වනදා ඉන්දියන් සාගරයේ සිදු වූ සුනාමි ව්‍යසනයට පෙරයි. විපත්ති සිදුවීමේ අවදානම වැඩියෙන් තිබෙන ප්‍රදේශවල ජනගහනය එන්න එන්නම වැඩි වෙන අතර වනාන්තර ප්‍රදේශ දිගටම අඩු වෙනවා නම් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකියි.

ඊට අමතරව කාර්මික රටවල් බොහොමයක් වායුගෝලයට විෂ වායු එක් කරමින් සිටිනවා. එක් සඟරාවකට අනුව මෙම විෂ වායු සීමා කිරීමට පියවර නොගැනීම “බෝවෙන රෝගයකට බෙහෙත් නොගෙන සිටිනවා වගේයි. කවදාහරි දරුණු ප්‍රතිඵල විඳින්න සිදු වෙනවා.” (Science සඟරාව) එම දරුණු ප්‍රතිඵල ගැන සඳහන් කරද්දී විපත්ති වළක්වාගැනීම සඳහා පළ වූ කැනේඩියානු වාර්තාවක පැවසුවේ මෙවැන්නක්. “දේශගුණික වෙනස් වීම් නිසා පරිසරයට සිදු වන හානිකර තත්වයන් තමයි ලොව පුරා සිටින ජනයා වැඩියෙන්ම මුහුණ දෙන ගැටලුව.”

පොළොව උණුසුම් වීමට මිනිසා දායක වෙනවා යන අදහසට ජාත්‍යන්තර එකඟත්වයක් ලැබී නැති නිසා ප්‍රශ්නය විසඳී නැහැ. මෙම අවස්ථාවේදී බයිබලයේ තිබෙන වදන් මතකයට නැඟෙනවා. “මිනිසාට තම ගමන ගැන තීරණ ගැනීමට අයිතියක් නැත. . . . තම පය තබන තැනවත් තීරණය කිරීමට අයිතියක් නැත.” (යෙරෙමියා 10:23NW) ඒත් ඊළඟ ලිපියෙහි සඳහන් වන ආකාරයට අප සිටින්නේ පිළිසරණක් නැතිව නෙමෙයි. ඇත්තෙන්ම වර්තමානයේ සිදු වන විපත්ති සහ මිනිස් සමාජයේ තිබෙන කැලඹිලි සහිත තත්වයන් ළඟදීම සහනයක් ලැබෙන බවට ස්ථිර සාක්ෂියක්.

[පාදසටහන]

^ 6 ඡේ. හිරු තාපය අසමබර ලෙස පැතිර යෑමේ තවත් ප්‍රතිඵලයක් නම් සාගර තුළ දිය ප්‍රවාහ ඇතිවීමයි. මේ හේතුව නිසා හිරු ශක්තිය වඩාත් ශීත ප්‍රදේශ තුළට ගමන් කරයි.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඉරිඟු යායක අරුමයක්!

වර්ෂ 1943දී මෙක්සිකෝවේ ඉරිඟු වවන්නෙක් තම යායේ ඉරිඟු වැඩෙනවාට අමතරව තවත් දෙයක් වැඩෙන ආකාරය දැක්කා. මුල් දිනයේදී ඔහු දුටුවේ වගා බිමේ විවරයක් සෑදී තිබෙන ආකාරයයි. පසු දින එම ස්ථානයේ කේතුවක හැඩයේ කුඩා ගිනිකන්දක් මතු වී තිබුණා. සතියකින් එය මීටර් 150ක් දක්වා ඉහළ නැඟුණු අතර වසරක් ගෙවී යද්දී මීටර් 360ක විශාල කන්දක් බවට එය පත් වී තිබුණා. ඉහළට යෑම එතනින් නතර වුණේ නැහැ. මුහුදු මට්ටමේ සිට මීටර් 2,772ක ඉහළින් පිහිටි මෙම ගිනිකන්ද පොළෝ මට්ටමේ සිට මීටර් 430ක් දක්වා ඉහළ ගියා. පාරෙකුටෙන් ලෙස හැඳින්වූ මෙම ගිනිකන්ද කලින් කලට පුපුරා ගියත් 1952දී පුපුරා යෑම නතර වුණා.

[හිමිකම් විස්තර]

U. S. Geological Survey/Photo by R. E. Wilcox

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙවි විසින් ජාතීන්ව විපතකින් ගලවාගත් අවස්ථාවක්

සාගතයද ස්වාභාවික විපත්තියක්. මෙතෙක් වාර්තා වී ඇති ලොව පැරණිතම සාගතය ඇති වුණේ පුරාණ ඊජිප්තුවේ යාකොබ්ගේ පුත් යෝසෙප් විසූ සමයේදීයි. වසර හතක් පුරා පැවති සාගතය ඊජිප්තුව, කානාන් හා වෙනත් දේශයන්ටද බලපෑවා. නමුත් බොහෝදෙනෙක් සාගින්නෙන් නොපෙළුණේ ඊට වසර හතකට පෙර එම සාගතය ගැන යෙහෝවා පුරෝකථනය කර තිබූ නිසයි. සාගතයට පෙර වසර හතේදී ඊජිප්තුවේ බහුල ලෙස ආහාර තිබේවි කියාත් ඔහු හෙළි කර තිබුණා. දෙවිට සේවය කළ යෝසෙප්, අගමැති සහ ආහාර පරිපාලක ලෙස පත්ව සිටි නිසා තම අධීක්ෂණය යටතේ ඊජිප්තුවේ සෑහෙන ධාන්‍ය ප්‍රමාණයක් ගබඩා කිරීමට සැලසුම් කළා. ‘ගණන් කළ නොහැකි තරමට ඔවුන්’ ධාන්‍ය රැස් කළා. මේ නිසා ඊජිප්තු වැසියන්ට පමණක් නොව යෝසෙප්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ‘පොළොවේ සියලු රටවැසියන්ටද’ ප්‍රමාණවත් ආහාර සැපයීමට හැකි වුණා.—උත්පත්ති 41:49, 57; 47:11, 12.

[7වන පිටුවේ පින්තූරය]

හයිටි 2004: ගං වතුරට යට වූ වීථිවල පානීය ජලය රැගෙන යන පිරිමි ළමුන්. විශාල වශයෙන් සිදු වන කැලෑ එළි කිරීම දරුණු නායයෑම්වලට දායක වුණා

[හිමිකම් විස්තර]

පසුබිම: Sophia Pris/EPA/Sipa Press; කුඩා පින්තූරය: Carl Juste/Miami Herald/Sipa Press

[9වන පිටුවේ පින්තූරය]

බොහෝ රටවල් වායු ගෝලයට විෂ වායු මුදාහරියි

[හිමිකම් විස්තර]

© Mark Henley/Panos Pictures