Skip to content

පටුනට යන්න

සියලු විපත්වලට ළඟදීම නිමාවක්

සියලු විපත්වලට ළඟදීම නිමාවක්

සියලු විපත්වලට ළඟදීම නිමාවක්

“දරුවන් සහ දරුවන්ගෙත් දරුවෙනි මේ අහන්න! . . . කවදාහරි මේ කන්ද ගිනිගනියි. එය සිදුවීමට පෙර ගිගුරුම් හඬවල් සහ භූ චලනයන් ඇති වෙයි. පොළොවෙන් දුම හා ගිනි දැල් පිට වෙයි. සුළඟ රළු වෙයි. හැකි තරම් ඉක්මනින් පලා යන්න. . . . දේපළ හා බඩුමූට්ටු රැකගැනීමට ඕන නිසා අනතුරු ඇඟවීම ගණන් ගන්නේ නැතුව ඔබ සිටියොත් ඔබේ ජීවිතය නැති වෙන්න ඉඩ තිබෙනවා. ඔබේ ගෙවල් දොරවල් ගැන කරදර නොවී හැකි තරම් ඉක්මනින් පිට වෙන්න.”

ඇන්ඩෲ රොබින්සන් විසින් රචිත පොතක තිබෙන එම අනතුරු ඇඟවීම ඉතාලියේ පොර්ටෙචි නගරයේ ස්මාරකයක ලියා තිබෙන්නක්. එම ස්මාරකය තනන ලද්දේ 1631දී වෙසුවියස් ගිනි කන්ද පුපුරා යෑමෙන් පසුවයි. එම ගිනි කන්ද පුපුරා යෑම නිසා 4,000දෙනෙකුට තම ජීවිත අහිමි වුණා. “අහම්බෙන් මෙන් 1631 සිදු වූ මෙම පිපිරීමෙන් වෙසුවියස් නමැති ගිනි කන්ද ප්‍රසිද්ධියට පත් වුණා.” ඊට හේතුව පොර්ටෙචි නගරය නැවත ගොඩනැඟීමේදී හර්කුලෙනියම් සහ පොම්පෙයි යන නගර දෙක සොයාගැනීමට හැකි වීමයි. ක්‍රිස්තු වර්ෂ 79දී වෙසුවියස් කන්ද පුපුරා ගිය විට එම නගර දෙක විනාශ වී ගොස් තිබෙනවා.

මෙම ව්‍යසනයෙන් බේරී පසුව ආණ්ඩුකාරයෙක් බවට පත් වුණු රෝම ජාතිකයෙක් වන කණිටු ප්ලිනි අසාමාන්‍ය භූ චලන ගැන ලියා තිබෙනවා. ඔහුත්, ඔහුගේ මවත් වෙනත් අයත් අනතුරු ඇඟවීම්වලට එකඟව කටයුතු කළ නිසා දිවි ගලවාගත්තා.

අපේ කාලය සඳහා අනතුරු ඇඟවීමේ ලකුණක්

දැන් තිබෙන ආර්ථික, සමාජ හා දේශපාලන ක්‍රමවල අවසානයට අප ළඟා වෙමින් සිටිනවා. අප එය දන්නේ කොහොමද? දෙවිගේ දවස ළඟ බව හඳුනාගැනීමේ ලකුණක් වශයෙන් සිදුවීමට නියමිත දේවල් කිහිපයක් ගැන යේසුස් ක්‍රිස්තුස් කලින්ම කියා තිබෙන නිසයි. ගිනි කන්දක් පිපිරීමට පෙර දුම් පිට කිරීමෙන්, ගිගුරුම් හඬ දීමෙන් හා ගිනි පුපුරු නැඟීමෙන් පුපුරා යෑමක් සිදුවීමට ආසන්න බව අඟවනවා. එලෙසම යේසුස් දුන් අනතුරු ඇඟවීමේ ලකුණද අංග කිහිපයකින් සමන්විතයි. ඒවාට විශාල යුද්ධ, භූමිකම්පා, සාගත, වසංගත වැනි දේවල් ඇතුළත්. මේ සියල්ල පෙර සිදු නොවූ විරූ ආකාරයකට සිදු වෙමින් පවතින්නේ 1914 සිටයි.—මතෙව් 24:3-8; ලූක් 21: 10, 11; එළිදරව් 6:1-8.

නමුත් යේසුස් දුන් අනතුරේ ඇඟවීමේ ලකුණට බලාපොරොත්තුවක්ද ඇතුළත් කර තිබෙනවා. ඔහු කීවේ “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය” යනුවෙනුයි. (මතෙව් 24:14) රාජ්‍ය පණිවිඩය “ශුභාරංචියක්” ලෙස හඳුන්වන ආකාරය සැලකිල්ලට ගන්න. යේසුස් විසින් පාලනය කරන දෙවිගේ රාජ්‍යය ස්වර්ගික ආණ්ඩුවක් වන අතර එමගින් මිනිසුන් ඇති කර තිබෙන හානිදායක සියල්ල නැති කර දමයි. ඊට අමතරව ස්වාභාවික විපත්ද ඇති නොවීමට සලස්වයි. ඇත්තෙන්ම මෙය ශුභාරංචියක් නොවේද?—ලූක් 4:43; එළිදරව් 21:3, 4.

යේසුස් මනුෂ්‍යයෙකු ලෙස පොළොව මත ජීවත් වූ කාලයේදී ප්‍රචණ්ඩ කුණාටුවක් නිශ්චල කරමින් කාලගුණික විපර්යාස පාලනය කිරීමට තමන්ට බලය තිබෙන බව විදහා පෙන්නුවා. බියෙන් සිටි ඔහුගේ ගෝලයන් පුදුමයෙන් මෙසේ පැවසුවා. “ඇත්තටම මොහු කවුද? මන්ද ඔහු සුළඟට හා ජලයට පවා අණ දෙයි. එවිට ඒවා ඔහුට කීකරු වන්නේය.” (ලූක් 8:22-25) අද දින යේසුස් මනුෂ්‍යයෙක් නොව බලවත් ආත්මයක්. එමනිසා තම යටත් වැසියන්ට කිසි අනතුරක් නොවන ලෙස ස්වාභාවික දේවල් පාලනය කිරීම ඔහුට දුෂ්කර කාර්යයක් නෙමෙයි.—ගීතාවලිය 2:6-9; එළිදරව් 11:15.

සමහරෙකු මෙය සිහිනයක් පමණයි කියා සිතිය හැකියි. නමුත් බයිබල් අනාවැකි මිනිසුන්ගේ පොරොන්දු සහ පුරෝකථනයන් මෙන් නොවෙයි. 1914 සිට ඉටු වූ අනාවැකි ඇතුළුව බයිබලයේ සඳහන් අනාවැකි සියල්ලම සියයට සියයක් නිවැරදියි. (යෙසායා 46:10; 55:10, 11) නිසැකවම අනාගතයේදී පොළොවේ සාමකාමී තත්වයක් ඇති වන බව ස්ථිරයි. ළඟදීම සිදුවීමට නියමිත භයානක සිද්ධීන් පිළිබඳව බයිබලයේ දී තිබෙන ප්‍රේමණීය අනතුරු ඇඟවීම් සිතට ගෙන ඊට අවනත වෙනවා නම් අපේ අනාගතයද සුරක්ෂිත වන බවට ස්ථිරයි.—මතෙව් 24:42, 44; යොහන් 17:3.

[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මියගිය අපේ ප්‍රේමණීයයන් සඳහා අපට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?

අප ආදරය කරන කෙනෙක් අපෙන් වෙන් වුණොත් එය අපට දරාගත නොහැකි දුකක්. තම හිතමිතුරා වන ලාසරුස් මිය ගිය බව දැනගත් විට යේසුස් ඇඬුවා කියා බයිබලයේ පවසා තිබෙනවා. එහෙත් ඊට විනාඩි කීපයකට පසු යේසුස් ප්‍රාතිහාර්යයක් කරමින් ලාසරුස්ව නැවත ජීවත් වීමට සැලැස්සුවා. (යොහන් 11:32-44) ඔහු ඊට පෙර දේවසේවයේදී දුන් මවිතාකාර පොරොන්දුව කෙරෙහි මුළු මිනිස්වර්ගයාටම විශ්වාසය තැබීමට තිර සාර පදනමක් සැපයුවේ එසේ කිරීමෙනුයි. එම පොරොන්දුව මෙයයි. “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය.” (යොහන් 5:28, 29) මෙය මොන තරම් අගනා බලාපොරොත්තුවක්ද! තම හිතමිතුරන් මිය ගොස් ඇති ඕනෑම කෙනෙකුට එම බලාපොරොත්තුව කෙතරම් සැනසිල්ලක්ද!—ක්‍රියා 24:15.

[10වන පිටුවේ පින්තූර]

වත්මන් ලෝකය අවසන් වන බවට දී තිබෙන අනතුරු ඇඟවීම ඔබ සැලකිල්ලට ගන්නවාද?

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

USGS, David A. Johnston, Cascades Volcano Observatory