Skip to content

පටුනට යන්න

හුඟදෙනෙක් බියෙන් ජීවත් වෙන්නේ ඇයි?

හුඟදෙනෙක් බියෙන් ජීවත් වෙන්නේ ඇයි?

හුඟදෙනෙක් බියෙන් ජීවත් වෙන්නේ ඇයි?

මිනිසා බියෙන් තැතිගෙන සිටිනවා. බිය හැඟීමක් පමණයි. එම හැඟීම හැමෝම පාහේ අද්දකිනවා. ඊට හේතුව බියෙන් වෙළුණු වාතාවරණයක් පැවතීමයි. සමහරු නිවසෙන් පිටව යන්න බයයි. රැකියා ස්ථානයේදී බොහෝදෙනෙකුට අනාරක්ෂිත බවක් හැඟෙනවා. තම දරුවන්ගේ ආරක්ෂාව ගැන බොහෝදෙනෙක් බයෙන් සිටිනවා. ඔවුන්ට එසේ හැඟෙන්නේ මන්ද? මෙවැනි තත්වයකට හේතු වී තිබෙන්නේ කුමක්ද? එමෙන්ම තවත් සමහරෙකුට තම නිවසේ සිටියදීම බියක් දැනෙන්නේ කුමන අනතුරුදායක දේවල් නිසාද?

බිය ඇතිවීමට හේතු රාශියක් තිබෙන බව ඇත්තයි. ඒත් අපි දැන් සලකා බලන්න යන්නේ නිරතුරුවම මිනිසාට බලපාන අනතුරු හතරක් ගැනයි. ඒවා නම් නාගරික සැහැසියාව, ලිංගික හිරිහැර, ලිංගික දූෂණය හා ගෘහස්ථ සැහැසියාවයි. මුලින්ම නාගරික සැහැසියාව ගැන සලකා බලමු. දැන් මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් නාගරික පෙදෙස්වල ජීවත් වන නිසා එය සාකච්ඡා කිරීමට කාලෝචිත මාතෘකාවක්.

නාගරික ජීවිතය අවදානම්

ඉතිහාසයේදී නගර පිහිටෙව්වේ මිනිසාගේ ආරක්ෂාව සඳහායි. ඒත් දැන් තත්වය වෙනස්. ඒවා දැන් බිය පැතිර තිබෙන අනතුරුදායක කලාප බවට පත් වෙලා. ජනාකීර්ණ නගර මංකොල්ලකරුවන්ට තෝතැන්නක්. තවත් සමහර නගරවල විදුලි ආලෝකය නිසි ලෙස නැති නිසාත්, නීතිය රැකීම සඳහා පොලිස් නිලධාරීන්ගේ හිඟයක් තිබෙන නිසාත් එවැනි නගරවලට යෑම පවා භයානකයි.

මෙය කෙන්ද කන්ද කර කීමක් නොවෙයි. බොහෝ ජනයා මිය යන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසයි. එසේනම් බියවීම සධාරණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව සෑම වසරකම ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ලොව පුරා මිලියන 1.6ක ජනතාවක් මිය යනවා. අප්‍රිකාවේ වෙසෙන සෑම පුද්ගලයන් 1,00,000කින් 60.9දෙනෙක් සෑම වසරකම මිය යන්නේ සැහැසික ක්‍රියා නිසයි.

විශ්වාසවන්තයි කියා සිතූ බොහෝදෙනා, ආරක්ෂිතයි කියා සිතූ බොහෝ ස්ථාන හා සංවිධාන දැන් විශ්වාස කළ නොහැකි වී තිබෙන අතර අනාරක්ෂිතද වී තිබෙනවා. උදාහරණයකට ක්‍රීඩාංගණ, පාසැල් හා කඩසාප්පු බොහොමයක් දැන් අධික ලෙස අපරාධ සිදු වන ස්ථාන බවට පත් වෙලා. සමාජයේ ඉහළ තලයක සිටින සමහර අය එනම් ආගමික නායකයන්, සමාජ සේවකයන් හා ගුරුවරුන් වැනි අය ආරක්ෂාව සලසන පුද්ගලයන් විය යුතු වුණත්, ඔවුන් මිනිසුන්ගේ විශ්වාසය කඩ කර තිබෙනවා. මෙවැනි අයගෙන් සමහරු ළමුන්ට අතවර කර තිබෙන නිසා බොහෝ දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව ගැන බිය වෙනවා. සාමාන්‍යයෙන් පොලිසියෙන් අපේක්ෂා කරන්නේ මහජනතාවට ආරක්ෂාව සැලසීමයි. නමුත් ඔවුන් විසින් සමහර නගරවල සිදු කරන දූෂණ සහ බලය අනිසි ලෙස යොදාගැනීම දැන් සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. සමහර රටවල සිවිල් යුද්ධ තිබෙන කාලයේදී “ආරක්ෂක” හමුදා විසින් මිනිසුන්ව පැහැරගෙන යනවා. ඔවුන්ට සිදු වන්නේ කුමක්ද කියා කිසිවෙකුත් දන්නේ නැහැ. ලෝකයේ බොහෝ රටවල පොලිසිය හා හමුදාව බිය දුරු කරනවා වෙනුවට බිය ඇති කර තිබෙනවා.

“ලතින් අමෙරිකාව, එනම් මෙක්සිකෝව ඇතුළු දකුණු අමෙරිකාවේ බොහෝ අගනුවරවල වැසියෝ ජීවත් වන්නේ බියෙන්. ලෝකයේ දරුණුතම වාතාවරණයන් පවතින ස්ථානවලට මේවාද අයත් වෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මෙම රටවල් තුළ වසරකට පුද්ගලයන් 1,40,000දෙනෙක් පමණ මිය යනවා. එමෙන්ම එහි රටවැසියන්ගෙන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් යම් ආකාරයකින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණ දී තිබෙනවා” කියා එක් පොතක සඳහන් වෙනවා. (එම පොත Citizens of Fear—Urban Violence in Latin America) ලෝකයේ වෙනත් ප්‍රධාන නගරවල පවා දේශපාලනික විරෝධතා නිතර ඇති වෙනවා. එවැනි විරෝධතා දරුණු අතට හැරෙන විට බොහෝ පුද්ගලයන් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලනවා. කලබලකාරි වාතාවරණයක් පවතින අතරතුරේ කඩසාප්පුවලින් සොරකම් කිරීම වැනි දේවලට ඔවුන් නැඹුරු වෙනවා. ඒ නිසා නාගරික ප්‍රදේශවල ව්‍යාපාරයන් පවත්වාගෙන යන්නන් කුපිත වී සිටින සෙනඟගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පහසුවෙන්ම අසු විය හැකියි.

බොහෝ රටවල ධනවතුන්ගේ හා දුප්පතුන්ගේ ජීවන රටාව අතර විශාල පරතරයක් පවතින නිසා මේ දෙපාර්ශ්වය අතර නුරුස්නා ගතියක් පවතියි. තමන්ගේ දෛනික අවශ්‍යතාවන් නොලැබෙනවාය යන හැඟීම ඇති විශාල පිරිසක් සමාජයේ ඉහළ තලයක සිටින්නන්ගෙන් කොල්ල කා තිබෙනවා. ඇතැම් රටවල තවමත් එවැනි තත්වයක් ඇති වී නැතත් කොයි මොහොතේ එම තත්වය උදා වේදැයි කිව නොහැකියි.

සොර සතුරන් හා කැරලි කෝලාහල නිසා ඇති වන බියට අමතරව බියක් දැනීමට තවත් හේතු තිබෙනවා.

භයානක ලිංගික හිරිහැර

උරුවම්බෑම, නොහොබිනා අයුරින් ඉඟි කිරීම හා සරාගී බැලුම් හෙළීම වැනි ක්‍රියා නිසා ස්ත්‍රීන් මිලියන ගණනක් පීඩා විඳිනවා. ඒෂියා වීක් සඟරාවේ මෙලෙස සඳහන් වෙනවා. “ජපන් කාන්තාවන් සියයට 25ක් පොදු ප්‍රවාහණයේ ගමන් කරද්දී ලිංගික හිරිහැරවලට ලක් වී තිබෙනවා. මෙයින් සියයට 90ක්ම සිදු වන්නේ දුම්රියෙන් ගමන් ගන්නා විටයි. . . . එහෙත් මෙවැනි හිරිහැරයන්ට ලක් වන කාන්තාවන්ගෙන් සියයට 2ක් පමණයි ඊට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ. අනිත් බොහෝදෙනා එවැනි ක්‍රියා කරන අයට භයෙන් නිහඬව සිටිනවා.”

ඉන්දියාවෙත් කාන්තාවන්ට වනචර කතා අහන්න ලැබීමත්, අත පත ගෑම වැනි ලිංගික හිරිහැරවලට කාන්තාවන් ලක්වීමත් බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. “කාන්තාවක් නිවසෙන් පිට වෙන මොහොතේ සිට සිටින්නේ බියෙන්. ඇය තබන පියවරක් පියවරක් පාසා අපහාසයට ලක් වෙන්නත්, ලජ්ජාවට පත් වන කතා අහන්නත් ඇයට සිදු වෙනවා” කියා ඉන්දියාවේ වාර්තාකරුවෙක් පවසනවා. ඉන්දියාවේ එක් නගරයක බියක් සැකක් නැතුව ඕන තැනක ගමන් කරන්න පුළුවන් කියා නගරවැසියන් පුරසාරම් දෙඩුවත් එක් වාර්තාවක් පවසන්නේ “[මේ නගරයේ] පාරවල බය නැතුව ගමන් කරන්න පුළුවන් වුණත් ගැටලුව තිබෙන්නේ එහි කාර්යාලවලයි. . . . එම කාර්යාලවල සේවයේ නියතු කාන්තාවන්ගෙන් සියයට 35ක් පැවසුවේ තමන් ලිංගික හිරිහැරවලට ලක් වී තිබෙන බවයි. . . . එමෙන්ම සියයට 52ක්ම කියා සිටියේ කාර්යලයේදී විඳින ලිංගික හිරිහැර ගැන තමන් බිය වන නිසා වැටුප අඩු වුණත් . .  කාන්තාවන් එක්ක [පමණක්] සේවයේ නිරත වෙන්න පුළුවන් රැකියා කරන්න තමන් කැමති බවයි.”

ලිංගික දූෂණයකට ලක්වීමේ බිය

ලිංගික හිරිහැරයෙන් තමන්ගේ ගරුත්වය නැති වෙයි යන බියට වඩා ලොකු බියක් කාන්තාවන්ට තිබෙනවා. එය ලිංගික දූෂණයකට ලක් වෙයි යන බියයි. බොහෝ කාන්තාවන් සිතන්නේ ලිංගික දූෂණයකට ලක් වෙනවාට වඩා මැරුම්කන එක හොඳයි කියායි. කාන්තාවක් සමහර ස්ථානවලදී තනි වන විට ඇයට මෙවන් බියක් ඇති වෙන්න පුළුවන්. තමන් නොදන්නා හෝ විශ්වාස කළ නොහැකි පිරිමියෙකුව දුටු විට ඇගේ හදවත බියෙන් ගැහෙන්න ඉඩ තිබෙනවා. කලබල වෙලා ඇය සිතන්න පටන්ගන්නේ ‘ඔහු මට මොනවා හරි කරයිද? කොහෙටද මම දුවන්නේ? කෑගැසුවොත් හොඳයිද’ කියායි. නිතර නිතර මෙවැනි දේවල් අද්දකින්න සිදු වන විට ඇගේ සෞඛ්‍යය තත්වය දුර්වල වෙනවා. මෙවැනි දේවල් ගැන තිබෙන බිය නිසා බොහෝදෙනෙක් දැන් නගරවල ජීවත් වීමට අකමැත්තක් දක්වනවා. එහෙමත් නැත්නම් නගරවලට පැමිණීමෙන් වැළකී සිටිනවා.

“නගරවල ජීවත් වෙන කාන්තාවන් බොහෝදෙනෙක්ට හැමදාම මානසික පීඩනය සහ බිය වැනි හැඟීම් එක්ක පොරබදන්න සිදු වෙනවා. ඕනෑම වෙලාවක තමන්ව දූෂණයට ලක්වීමට ඉඩ තිබෙයි යන කාරණය ගැන කාන්තාවන් බිය වන නිසා කොයි වෙලේත් කල්පනාවෙන් ඉන්න ඕන කියායි ඔවුන්ට හැඟෙන්නේ. විශේෂයෙන්ම රාත්‍රියේදී කෙනෙක් ඕනෑවට වඩා තමන් ළඟින් ඇවිදිනවා නම් ඇයට තිගැස්මක් ඇති විය හැකියි. . . . මුළු ජීවිත කාලයේදීම ඔවුන් මෙවැනි බියකින් වෙලී සිටිනවා” කියා එක් පොතක සඳහන් වෙනවා.—The Female Fear.

දරුණු අපරාධවලටත් කාන්තාවත් ගොදුරු වෙනවා. කෙසේවෙතත් සැහැසියාව නැතහොත් අපරාධවලට ගොදුරු වෙයි යන බිය කාන්තාවන් හැමෝටම පාහේ බලපාන දෙයක්. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයක මෙවන් අදහසක් සඳහන් වුණා. “ලොව පුරා සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පහරකෑමට ලක් වී, බලහත්කාරයෙන් සිදු කරන ලිංගික ක්‍රියාවන්ට හෝ වෙනත් අපචාරවලට ගොදුරු වී තිබෙනවා. බොහෝදුරට ඇයට මෙවැනි දේ සිදු කරන්නේ ඇයව දන්නා හඳුනන කෙනෙක්මයි.” (එම ප්‍රකාශනය The State of World Population 2000) මෙවැනි බියෙන් වෙළුණු වාතාවරණයක් කොපමණ දුරකට පැතිර ගොස් තිබෙනවාද? තමන්ගේ නිවසේ පවා බියෙන් ජීවත් වීම අද සාමාන්‍ය දෙයක්ද?

භයානක ගෘහස්ථ සැහැසියාව

නිවෙස් තුළ රහසින් භාර්යාවන්ට ගුටි බැට දීම ලොව පුරා සිදු වෙන ලොකු අසාධාරණයක්. බොහෝ රටවල එය අපරාධයක් ලෙස සැලකීමට පටන්ගත්තේ මෑතකදීයි. ඉන්දියාවේ එක් වාර්තාවකට අනුව “ඉන්දියානු කාන්තාවන්ගෙන් අඩුම වශයෙන් සියයට 45ක්වත් ස්වාමි පුරුෂයන්ගෙන් කම්මුල් පහරවල්, පා පහරවල් හෝ ගුටි බැට කනවා.” භාර්යාවන්ට පහර දීම ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය ගැටලුවක් වී තිබෙනවා. එක්සත් ජනපදයේ අවුරුදු 15ත් 44ත් අතර වයස් සීමාවේ සිටින කාන්තාවන් ගැන අමෙරිකාවේ මධ්‍යම පර්යේෂණ කාර්යාංශය විසින් නිකුත් කළ වාර්තාවක මෙවැනි අදහසක් පළ කෙරුණා. වාහන අනතුරුවලට, මංකොල්ලකෑමට සහ ලිංගික දූෂණයට ලක් වන මුළු සංඛ්‍යාවට වඩා ගෘහස්ථ සැහැසියාවෙන් සිදු වන අනතුරුවලට ලක් වන ප්‍රමාණය වැඩියි. එයින් පෙනී යන්නේ නිවස තුළ ඉඳ හිට සිදු වන සුළු අඬ දබරවලට වඩා මෙය දරුණු බවයි. බොහෝ කාන්තාවන් තමන්ගේ නිවස තුළ සිටින්නේ මරණ බියෙන්. කැනඩාවේ ජාතික මට්ටමකින් සිදු කළ පර්යේෂණයකින් හෙළි වුණේ ගෘහස්ථ සැහැසියාවට ගොදුරු වූ කාන්තාවන්ගෙන් තුනෙන් එකක් සමහර අවස්ථාවලදී තමන්ට අනතුරක් වෙයි යන බියෙන් ජීවත් වී තිබෙන බවයි. එක්සත් ජනපදයේ පර්යේෂකයන් දෙදෙනෙක් මෙවැනි නිගමනයකට එළඹුණා. “බොහෝදුරට කාන්තාවන්ට අනතුරු හා කෲර වධ හිංසා විඳින්න සිදු වන ස්ථානය වන්නේ තමන්ගේම නිවසයි.”

බොහෝ කාන්තාවන් මෙවැනි තත්වයක සිර වී සිටින්නේ මන්ද? ‘ඔවුන් උපකාරයක් ලබා නොගන්නේත් ඉන් මිදී නොයන්නේත් මන්ද කියා අන් අය සිතිය හැකියි. බොහෝදුරට එසේ වන්නේ බිය නිසයි. ගෘහස්ථ සැහැසියාව නිසා විශේෂයෙන් දකින්න තිබෙන දෙයක් වන්නේ කාන්තාවන් බියෙන් වෙළී සිටීමයි. අඩන්තේට්ටම් කරන පුරුෂයන් තම භාර්යාවන්ට පහර දුන් පසු මරණ තර්ජන එල්ල කරමින් ඔවුන්ව බය කරගෙන ඔවුන්ව නිහඬ කරනවා. යම් අවස්ථාවලදී බැට කන භාර්යාවක් උපකාර පැතුවත් සමහරවිට ඔවුන්ට එය ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩත්වය හෙළාදකින සමහරුන් පවා නිවසේ සිදු වන ගුටි බැට දීම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස සලකන්නේ නැහැ. තවත් සමහරුන් නිදහසට කරුණු පවා ඉදිරිපත් කළ හැකියි. තවත් කරුණක් වන්නේ අඩන්තේට්ටම් කරන පුරුෂයන් නිවසෙන් පිට දී ශාන්ත දාන්ත අය මෙන් හැසිරීමයි. මිතුරන් පවා ඔහු තම භාර්යාවට ගුටි බැට දෙන කෙනෙකු කියා විශ්වාස නොකිරීම නිසා භාර්යාව අසරණ වෙනවා. වෙන කිරීමට දෙයක් නොමැති නිසා ඇයට සිදු වී තිබෙන්නේ බියෙන් වෙළී සිටීමටයි.

ගුටි බැට කන කාන්තාවන් නිවස හැරදා ගිය විට ඔවුන්ට සිදු වන්නේ තවත් හිරිහැරයකට මුහුණ දීමටයි. හිරිහැරයක් වෙන තරමටම තවත් අය ඇගේ පස්සෙන් එන්න පටන්ගනියි. අමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් දහසකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව මෑතක සිදු කළ අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ඔවුන්ගෙන් සියයට 15ක් එවැනි අද්දැකීමකට මුහුණ දී ඇති බවයි. ඔවුන් මොන වගේ බියකින් සිටිනවාද කියා සිතා බලන්න. ඔබට තර්ජනයක් එල්ල කරන කෙනෙකු ඔබ යන හැම තැනකටම එන්න පටන්ගනියි. ඔහු ඔබට දූරකතනයෙන් අමතයි. ඔබ යන එන හැම තැනක් හා ඔබ කරන හැම දෙයක් ගැන ඔහු විපරමින් සිටියි. ඔහු ඔබේ සුරතල් සතාව පවා මරා දමන්න ඉඩ තිබෙනවා. මෙය නොනැවති පසුපස හඹා එන බියක්!

සමහරවිට ඔබට මෙවන් බියක් ඇති නොවෙන්න පුළුවන්. ඒත් ඔබේ එදිනෙදා ජීවිතයේදී බිය ඔබව වෙළාගෙන තිබෙනවාද?

එදිනෙදා කටයුතුවලදී බිය බාධාවක් වී තිබෙනවාද?

අප බියෙන් වෙළුණු වාතාවරණයක ජීවත් වන නිසා අපගේ එදිනෙදා කටයුතුවලට බිය බලපාන බවවත් අපට නොදැනෙන්න පුළුවන්. ඔබටත් බිය මෙලෙස බලපා තිබෙනවාද?

ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඔබත් ඔබේ පවුලේ අයත් රාත්‍රියේදී තනියේම නිවසට පැමිණෙන්න බියෙන් සිටිනවාද? ඔබ බස් රථයෙන් හෝ දුම්රියෙන් ගමන් කරන්න බයද? මෙය ඔබේ රැකියාවටත් බලපා තිබෙනවාද? සෙසු සේවකයන්ට හෝ ගනු දෙනු කරන්න සිදු වෙන පුද්ගලයන්ට ඔබ බයද? ඔබ කැමති ආකාරයේ රැකියාවක් තෝරාගැනීමට බිය බාධාවක් වී තිබෙනවාද? බිය නිසා විනෝදාංශවල නියැලීම, සුහද හමුවලට යෑම, සංගීත සන්දර්ශනවලට යෑම වැනි දේවලින් ඔබ වැළකී සිටිනවාද? බිය ඔබේ පාසැල් ජීවිතයට බාධාවක් වී තිබෙනවාද? බොහෝ දෙමාපියන් තම දරුවන් නොමඟ යයි යන බිය නිසා දරුවන්ට පාසැලක් තෝරාගැනීමේදී හුඟාක් කල්පනාකාරී වෙනවා. එපමණක්ද නොව දරුවන්ට තනියම එන්න නොදී ඔවුන්ම ගොස් දරුවන්ව නිවසට රැගෙන එනවා.

ඇත්තෙන්ම මිනිසුන් ජීවත් වන්නේ බියෙන් වෙළුණු වාතාවරණයකයි. නමුත් බිය අප පසුපස හඹා ආවේ අද ඊයේ සිට නොවෙයි. මෙම වාතාවරණය වෙනස් වෙයිද? බියෙන් තොර ජීවිතයක් නිකම්ම සිහිනයක්ද? කිසිවෙක් කිසිවකට බිය නොවන කාලයක් පැමිණෙයි කියා බලාපොරොත්තු වීමට හොඳ හේතු තිබෙනවාද?