Skip to content

පටුනට යන්න

ඔබ කන්‍ය මරියාට යාච්ඤා කළ යුතුද?

ඔබ කන්‍ය මරියාට යාච්ඤා කළ යුතුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ඔබ කන්‍ය මරියාට යාච්ඤා කළ යුතුද?

කිතු දහම ගැන යමක් දන්න ඕනෑම කෙනෙක් මරියතුමී ගැන අසා තිබෙනවා. යේසුස්ගේ මව වීමට මෙම තරුණ කාන්තාවව තෝරාගැනීමෙන් සර්ව බලධාරී දෙවියන් ඇයට ආශීර්වාද කර තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා. යේසුස්ව පිළිසිඳගත් අවස්ථාවේදී මරියා කන්‍යාවක්ව සිටි නිසා යේසුස්ගේ උපත අද්විතීය එකක් වුණා. ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් සභාවන් මගින් බොහෝ කලක සිට මරියතුමීට විශේෂ ගෞරවයක් දී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 431දී එෆීසයේ මන්ත්‍රණ සභාව විසින් ඇයව “දේවමෑණියන්” ලෙස නම් කළ අතර අද දින බොහෝදෙනාට උගන්වා තිබෙන්නේ ඇයට යාච්ඤා කරන්න කියායි. *

අවංකව නමස්කාරයෙහි යෙදෙන්නන් තම යාච්ඤාවන් සුදුසු තැනැත්තාට ඔප්පු කළ යුතු බව දැනගෙන සිටිනවා. මේ සම්බන්ධයෙන් බයිබලයේ අපට උගන්වන්නේ කුමක්ද? ක්‍රිස්තියානීන් කන්‍ය මරියාට යාච්ඤා කළ යුතුද?

‘යාච්ඤා කරන්නේ කෙසේද කියා අපට උගන්වන්න’

“යාච්ඤා කරන්නේ කෙසේද කියා අපටත් උගන්වන්න” කියමින් යේසුස්ගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් ඔහුගෙන් ඉල්ලා සිටි බව ලූක්ගේ සුවිශේෂයේ වාර්තා වෙනවා. යේසුස් ඊට ප්‍රතිචාරය දක්වමින් “ඔබ යාච්ඤා කරන විට මෙසේ කියන්න: ‘පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.’ ” කන්ද උඩ දේශනාවේදීත් යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ යාච්ඤා කරන්න කියා උපදෙස් දුන්නා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.”—ලූක් 11:1, 2; මතෙව් 6:9.

අප මෙහිදී මුලින්ම ඉගෙනගන්නේ, යාච්ඤාව හෝ නමස්කාරය සඳහා යොදාගන්න වදන් යේසුස්ගේ පියා වන යෙහෝවාට ඔප්පු කළ යුතු බවයි. වෙනත් කෙනෙකුට යාච්ඤා කරන්න අවසර දී තිබෙන බවක් බයිබලයේ කොතැනකවත් සඳහන් වී නැහැ. මෙසේ යාච්ඤා කිරීම ඇත්තෙන්ම සුදුසු දෙයක්. මන්ද මෝසෙස්ට යෙහෝවා දසපනත දුන් අවස්ථාවේදී ඔහු කියා සිටියේ “මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ” දෙවි කෙනෙක් කියායි.—නික්මයාම 20:5, පරණ අනුවාදය.

කොන්තය ගැන කුමක් කිව හැකිද?

කන්‍ය මරියාට යාච්ඤා කරන බොහෝදෙනාට උගන්වා තිබෙන්නේ, නමෝ මරිය, ස්වාමීන්ගේ යාච්ඤාව සහ එවැනි වෙනත් යාච්ඤා නැවත නැවත කීමෙන් ආශීර්වාද ලබාගත හැකියි කියායි. කතෝලික බැතිමතුන් “මරියාට භක්තිය පුදන්න වැඩිපුරම යොදාගන්නේ කොන්තය බවට සැකයක් නැහැයි” කියා එක්තරා පොතක පවසයි. (එම පොත Symbols of Catholicism) කොන්තය කන්‍ය මරියාට ගෞරවය දැක්වීම සඳහා භාවිත කරන දෙයක්. එය සාදා තිබෙන්නේ නූලකට ඇට අමුණලායි. යාච්ඤාවන් කරන්නේ එම කොන්ත ඇට ගණන් කරමිනුයි. “කොන්ත ඇට දහයකට පසුව තනි කොන්ත ඇටයක් යොදා ඇති අතර එවැනි කොටස් පහක් එහි තිබෙනවා. ‘නමෝ මරිය’ යාච්ඤා පනහක්ද, ‘ස්වාමීන්ගේ යාච්ඤා’ පහක්ද, ‘ත්‍රිත්ව ස්ත්‍රෝත්‍රය’ යාච්ඤා පහක්ද කටපාඩමින් පැවසීමට ආරාධනාවක් ලෙසයි ඒවා එසේ යොදා තිබෙන්නේ” කියා එම පොතේම පැහැදිලි කරයි. කොන්තය යොදාගෙන භක්තිවන්ත ලෙස කටපාඩමින් යාච්ඤා කරන විට දෙවි සවන් දෙනවාද?

යේසුස් තම ගෝලයන්ට දුන් උපදෙස් මගින් අපට විශ්වාස කළ හැකි උත්තරයක් ලැබෙනවා. ඔහු මෙසේ පැවසුවා. “යාච්ඤා කරන විට, අන්‍යජාතීන් මෙන් එකම දේ නැවත නැවතත් නොකියන්න. තමන් පවසන වචන රාශිය නිසා ඔවුන්ට සවන් දෙනු ඇතැයි ඔවුහු සිතති.” (මතෙව් 6:7) යේසුස් තම අනුගාමිකයන්ට පැහැදිලිව පැවසුවේ යාච්ඤා කරද්දී කටපාඩම් කරගත් යාච්ඤා නැවත නැවත කියන්න එපා කියායි.

‘කොන්තය කියද්දී පවසන යාච්ඤාවක් වන ස්වාමීන්ගේ යාච්ඤාව, නැවත නැවත කියන්න කියා යේසුස් තම ගෝලයන්ට ඉගැන්නුවා නේද’ යනුවෙන් කෙනෙක් ඇසිය හැකියි. ස්වාමීන්ගේ යාච්ඤාව හෝ පියාණන්ගේ යාච්ඤාව ලෙස හඳුන්වන එම යාච්ඤාව යේසුස් දුන්නේ ආදර්ශ යාච්ඤාවක් ලෙසයි. කෙසේවෙතත් අප මතක තබාගත යුතු දෙයක් තිබෙනවා. ඔහු එම යාච්ඤාව දුන්නේ “එකම දේ නැවත නැවතත් නොකියන්න” කියා අවවාද කළ විගසමයි. අවස්ථා දෙකකදී යේසුස් තම ගෝලයන්ට යාච්ඤා කරන ආකාරය උගන්වද්දී පැවසූ යාච්ඤාවල වෙනසක් තිබීමෙන් පැහැදිලි වන්නේ කටපාඩමෙන් එම ආදර්ශ යාච්ඤාව කිරීම යේසුස් අදහස් කළේ නැති බවයි. (මතෙව් 6:9-15; ලූක් 11:2-4) එම අවස්ථා දෙකේදී යේසුස් පැවසූ අදහස් වෙනස් නොවුණත් ඔහු එකම වචන මාලාවක් භාවිත කළේ නැහැ. එසේනම් යේසුස් තම අනුගාමිකයන්ට යාච්ඤා කළ හැකි අන්දම හා කුමන දේවල් ගැන යාච්ඤා කළ හැකිද කියා පෙන්වීමට ආකෘතියක් හෝ නිදසුනක් පමණක් දුන් බව නිගමනය කළ හැකියි. එමෙන්ම වඩාත්ම වැදගත් දේ වන්නේ යාච්ඤාව ඔප්පු කළ යුත්තේ කාටද යන්න ඔහුගේ වදන්වලින් පැහැදිලි වීමයි.

මරියාට ගෞරව කිරීම

මරියාට යාච්ඤා කරන්නයයි ලියවිලිවල පවසා නොතිබීමෙන් දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී ඇය කළ කාර්ය භාරයට අගෞරව කළ බවක් අදහස් වන්නේ නැහැ. ඇගේ පුත්‍රයා මගින් කීකරු මිනිස් වර්ගයා සඳහා ඉදිරියේදී සදාකාලික ආශීර්වාද ලැබෙනවා. “පරම්පරා සියල්ල මා සන්තෝෂවත්යයි ප්‍රකාශ කරන්නෝය” කියා සඳහන් කළේ මරියා විසින්මයි. එමෙන්ම ඇගේ ඥාති සහෝදරිය වූ එලිසබෙත් පැවසුවේ “ඔබ ස්ත්‍රීන් අතරින් ආශීර්වාද ලද්දීය” කියායි. ඇත්තෙන්ම ඇය ආශීර්වාදලත් ස්ත්‍රියක්. මෙසියස්ගේ මව වීමට මරියාව තෝරාගැනීම අගනා වරප්‍රසාදයක්.—ලූක් 1:42, 48, 49.

ආශීර්වාදලත් ස්ත්‍රිය ලෙස බයිබලයේ හඳුන්වා තිබෙන්නේ මරියාව විතරක් නොවෙයි. පුරාණ ජාතියක් වූ ඊශ්‍රායෙල් ජාතියේ යහපත උදෙසා යායෙල් නමැති ස්ත්‍රිය ගත් ක්‍රියාමාර්ගය නිසා ඇයවත් “අන්‍ය ස්ත්‍රීන්ට වඩා ආශීර්වාද ලද්දියක්” කියා හඳුන්වා තිබෙනවා. (විනිශ්චයකාරයා 5:24) යායෙල්, මරියා සහ බයිබලයේ සඳහන් වෙනත් දේවභක්තික ස්ත්‍රීන්ගේ ආදර්ශය අප අනුකරණය කළ යුතුයි. නමුත් අපි ඔවුන්ට නමස්කාර නොකළ යුතුයි.

මරියා යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයෙක් වුණා. ඔහුගේ භූමික දේවසේවයේදී නොයෙක් අවස්ථාවල ඔහු සමඟ සිටි ඇය ඔහුගේ මරණය අවස්ථාවේදීත් ඔහු ළඟ සිටියා. යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසු ඇය යේසුස්ගේ සහෝදරයන් සමඟ ‘නොකඩවා යාච්ඤා කළා.’ පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේ ඔවුන් සමඟ ඇයත් ශුද්ධාත්මයෙන් අභිෂේක ලැබූ බව විශ්වාස කිරීමට එය හොඳ සාක්ෂියක්. එනිසා ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනය කරන මනාලියගේ පංතියේ සාමාජිකාවක් වීමේ බලාපොරොත්තුවත් ඇයට තිබූ බව නිසැකයි.—මතෙව් 19:28; ක්‍රියා 1:14; 2:1-4; එළිදරව් 21:2, 9.

මෙම කරුණු එකක්වත් මරියාට යාච්ඤා කිරීම සඳහා අපට පදනමක් සපයන්නේ නැහැ. හෘදයාංගම යාච්ඤාව නමස්කාරයේ අතිවැදගත් අංගයක් වන අතර ක්‍රිස්තියානීන්ට දිරිගන්වා තිබෙන්නේ “අත් නෑර නොකඩවා යාච්ඤා කරන්න” කියායි. (රෝම 12:12) කෙසේවෙතත් නමස්කාරයේ වැදගත් අංගයක් වන යාච්ඤාව ඉදිරිපත් කළ යුත්තේ යේසුස් ක්‍රිස්තුස් මගින් යෙහෝවා දෙවිට පමණයි.—මතෙව් 4:10; 1 තිමෝති 2:5.

[පාදසටහන]

^ 3 ඡේ. මරියා දේවමෑණියන්ය යන අදහසට පදනම වූයේ යේසුස් දෙවිය යන ශුද්ධ ලියවිල්ලට පටහැනි ත්‍රිත්ව ඉගැන්වීමයි.