Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

නින්ද ගැටලු විසඳීමට පිළියමක්

“කලින් දා විසඳාගත නොහැකි වූ ගැටලුවක් පසුව දා උදෑසන පහසුවෙන්ම විසඳාගැනීමට හැකි වන බව බොහෝදෙනෙක් තේරුම්ගෙන තිබෙනවා. එය හරියට පුද්ගලයා නිදාගත්තත් මොළේ විතරක් රෑ තිස්සේ වැඩ කරලා තියෙනවා වගෙයි” කියා ලන්ඩන්වල ද ටයිම්ස් වාර්තා කරයි. මෙය සැබෑවක් බවට තිබෙන සාක්ෂි ජර්මනියේ විද්‍යාඥයන් විසින් නේචර් සඟරාවේ පළ කර තිබෙනවා. ඔවුන් ඒ බව ඔප්පු කිරීමට පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 66දෙනෙකු තෝරාගෙන ගණිතමය ගැටලුවක් විසඳීමට නියමයන් දෙකක් කියා දුන්නා. නමුත් කෙටි ක්‍රමයකින් නිවැරදි උත්තරය ලබාගත හැකි තුන්වෙනි නියමයක් තිබුණත් එය කියා දුන්නේ නැහැ. ඉන්පසු ඔවුන්ගෙන් සමහරෙකුට නිදාගන්න ඉඩහැරිය අතර අනිත් අයට මුළු රාත්‍රියේම හෝ මුළු දවසෙම අවදිව ඉන්න සැලැස්සුවා. “නින්ද ප්‍රාතිහාර්යයන් කරයි” කියා එම අධ්‍යයනය ගැනම ලන්ඩනයේ තවත් පුවත්පතක සඳහන් වුණා. (එම පුවත්පත The Daily Telegraph) “අවදිව සිටි අය අතරේ තුන්වෙනි නියමය යොදාගෙන නිවැරදි උත්තරය ලබාගත් අය සිටියත්” නිදාගත් අය අතරේ එලෙස උත්තරය සොයාගත් දෙගුණයක් සිටියා. මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණේ නිදාගත් කණ්ඩායම විවේකයක් ලබා ප්‍රබෝධවත්ව සිටි නිසා කීමට නොහැකි වන සේ විද්‍යාඥයන් තවත් අත්හදා බැලීමක් සිදු කළා. සුව නින්දක් ලබාගත් සහ මුළු දවසෙම නොනිදා සිටි කණ්ඩායම් දෙකකට පසුවදා උදෑසන එම ගැටලුව විසඳන්න දුන්නා. මේ අවස්ථාවේදී කණ්ඩායම් දෙකේම එතරම් වෙනසක් සිදු වුණේ නැහැ. “නින්දේදී මොළයට විවේකය ලැබෙනවා පමණක් නොව බාධාවකින් තොරව ප්‍රකෘතිමත් වීමට හැකියාවක්ද ලැබෙනවා” කියා ද ටයිම්ස් පවසනවා. පර්යේෂණයෙහි යෙදෙන මනෝවිද්‍යාඥ උල්රික් වාග්නර් කියන්නේ “නිදාගත්තත් මොළය ඉගෙනගැනීමේ ක්‍රියාවලියේ යෙදෙමින් ඉන්නවා” කියායි.

ළමා පාරිභෝගිකයන්

බොස්ටන්හි සමාජවිද්‍යාඥයෙකු වන ජුලියට් ෂෝර් බඩු මිල දී ගැනීම දරුවන්ට බලපාන්නේ කෙසේද කියා සොයා බැලීමට අධ්‍යයනයක යෙදුණා. ඇය පවසන්නේ අමෙරිකාවේ බාලයන් සහ නහඹරයන් “වෙන කිසිදාකට වඩා දැන් බඩු ගන්නේ නම බලලයි. ඒත් ඔවුන් සෑහීමට පත්වන්නේ නැහැ” කියලයි. “පෙනුම, ඇඳුම් පැළඳුම්, ප්‍රසිද්ධිය සහ ධනය ගැන ඕනෑවට වඩා වැඩි සැලකිල්ලක් දක්වන අතර රූපවාහිනිය නැරඹීමට, අන්තර්ජාලයට සහ වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමට වැඩි කාලයක් ගත කිරීමත් ” මෙම ළමා පාරිභෝගිකයන් අතර දකින්න තිබෙන ලක්ෂණයක් බව කැනඩාවේ පුවත්පතක් සඳහන් කරයි. (එම පුවත්පත Globe and Mail) මහාචාර්ය ෂෝර් තවදුරටත් පෙන්වන්නේ මෙම ළමා පාරිභෝගිකයන් සිහින ලෝකයක ඉන්නා බවයි. ඔවුන් නිතරම හිත හිතා ඉන්නේ ධනවත් වෙන ආකාරය ගැනයි. “ඒ විතරක් නෙවෙයි ඔවුන් රූපවාහිනියේ චරිත සහ වෙළඳ දැන්වීම්වල දකින අය එක්ක තමන්ව සසඳන නිසා ඉන්නෙත් අසතුටෙන්.” අනෙක් අතට, තමන්ට ඇති දෙයින් සෑහීමට පත්ව සිටින දරුවන් දෙස බලද්දී මානසික පීඩනය හා කාන්සාව වෙනුවට ඔවුන්ට වැඩි ආත්ම විශ්වාසයක් තිබෙන අතර දෙමාපියන් සමඟත් හොඳ සබඳතාවක් තිබෙනවා කියා ග්ලෝබ් පුවත්පත වාර්තා කරයි.

මට සූදුව එපා

“ප්‍රංශයේ සූදුවට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව 3,00,000ත් 5,00,000ත් අතර සංඛ්‍යාවක්” බව ප්‍රංශ පුවත්පතක පවසයි. (එම පුවත්පත Le Figaro) එහෙත් ඔවුන්ගෙන් හුඟදෙනෙක් එම පුරුද්දෙන් මිදෙන්න කැමතියි. පුවත්පත තවදුරටත් පැවසුවේ, ඉන් මිදීම සඳහා ඉහත සඳහන් සංඛ්‍යාවෙන් 28,000දෙනෙක් අමුතු ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බවයි. ඔවුන් ඔවුන්ටම තහංචි දමාගෙන තිබෙනවා. ඔවුන් පොලිසියෙන් ඉල්ලා සිටින්නේ අඩුම තරමින් වසර පහක කාලයකටවත් සූදු පොළවල්වලට යෑම තමන්ට තහනම් කරන්න කියායි. ප්‍රංශයේ පොලිසිය වාර්තා කරන්නේ මෙවැනි ඉල්ලීම් 2,000ත්, 3,000ත් අතර ප්‍රමාණයක් ඔවුන්ට වාර්ෂිකව ලැබෙන අතර මෙම ඉල්ලීම් පසුගිය වසර දහය තුළ හය ගුණයකින් වැඩි වී තිබෙන බවයි. එම පුවත්පත තවදුරටත් පවසන පරිදි, ඇබ්බැහි වූ මොවුන්ගෙන් බොහෝදෙනෙක් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගැටලුවත්, “දුම්පානය, මත් පැන් පානය හා මත් කුඩු භාවිතය වැනි සමාජයට අහිතකර ගැටලුවක් ” හැටියට සලකන්න කියලයි.

ඔක්කාරයට ඉඟුරු

“ගැබිනියකට මුල් මාස කීපයේදී ඇති වන ඔක්කාරයට ඉඟුරුවලින් සහනයක් ලැබෙයි” කියා ඔස්ට්‍රේලියන් පුවත්පත පවසයි. දකුණු ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයේදී සිදු කරන ලද පරීක්ෂණවලින් පෙන්වා තිබෙන්නේ දිනකට ඉඟුරු ග්‍රෑම් එකක් පමණ ගැනීමෙන් ගැබිනි සමයේදී ඇති වන ඔක්කාරය අඩු කළ හැකි බවයි. බොහෝ තැන්වල මෙම ඉඟුරු ප්‍රතිකාරය යොදාගෙන තිබුණත් එහි සාර්ථකත්වය විද්‍යාත්මකව සොයාගෙන තිබුණේ නැහැ. එම පරීක්ෂණයකට අනුව ඉඟුරුවල ක්‍රියාකාරිත්වය ඔක්කාරය සඳහා දිනකට ගන්නාවූ විටමින් B6 මාත්‍රාවක ක්‍රියාකාරිත්වයට සමාන බව සොයාගෙන තිබෙනවා.

මියයෑමේ ඉඩ කඩ වැඩි කරන රුධිර ප්‍රවේශනය

හෘද රෝගීන් අතර සාමාන්‍ය ප්‍රතිකාරයක් වශයෙන් රුධිරය ලබා නොගත් අයට වඩා ලබාගත් රෝගීන් මියයෑමට තිබෙන ඉඩ කඩ වැඩි බව පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා කියා අමෙරිකාවේ වෛද්‍ය සඟරාවක පළ වුණා. “රෝගියාගේ සෞඛ්‍ය තත්වය හා රෝහලේ ලබාගත් ප්‍රතිකාර, සැත්කම්, සිදු වූ රුධිර ගැලීම් යන සියල්ල සලකා බැලුවත් රුධිරය නොදීමට වඩා රුධිරය දීමෙන් රෝගියාගේ ජීවිතය අවදානමෙහි තිබෙනවා.” මෙම අධ්‍යයනයේ නියැලුණු වෛද්‍යවරුන්ගේ අවසන් නිගමනය වන්නේ “රුධිර මට්ටම පවත්වාගැනීමට හෘද රෝගීන්ට සාමාන්‍ය ප්‍රතිකාරයක් වශයෙන් රුධිරය දීමෙන් වැළකිය යුතු” බවයි.

එංගලන්ත සභාවේ භේද

ඕස්ට්‍රේලියාවේ දි ඒජ් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, සිඩ්නි නුවර ප්‍රසිද්ධ ආගමික නායකයෙක් වන ෆිලිප් ජෙන්සන් මෑතකදී එංගලන්ත සභාවේ අග්‍ර බිෂොප්වරයාව හෙළාදැක්කේ මේ ආකාරයටයි. “අග්‍ර බිෂොප්වරයා සල්ලි හම්බ කරන්නේ බොරු කරලා. ඔහු ආගමික නායකයෙක් හැටියට නෙවෙයි හැසිරෙන්නේ.” ජෙන්සන් ඔහුගේ සභාවේ අග්‍ර බිෂොප්වරයාව හෙළාදැක්කේ ඔහු සමලිංගික සේවනය ගැන නිදහස් ආකල්පයක් දැරුව නිසයි. “එංගලන්ත සභාව තුළ මේ ප්‍රශ්නය නිසා භේද ඇති වී තිබෙනවා. කැනඩාවේ තිබෙන ශාඛාව සමලිංගික සේවනයට නිදහස දී තිබෙන නිසාත්, එක්සත් ජනපදයේ ශාඛාව සමලිංගික සේවනයේ යෙදෙන කෙනෙකුව බිෂොප්වරයෙකු ලෙස පත් කළ නිසාත් අප්‍රිකාවේ හා ආසියාවේ තිබෙන එංගලන්ත සභාවේ ශාඛා බොහොමයක් ඔවුන් සමඟ කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැහැ” කියා දි ඒජ් පවසයි.

දරුවන් බිලියනයක් දුක්විඳියි

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අනුව ලෝකයේ ළමුන්ගෙන් අඩකට වඩා එනම් බිලියනයකට වඩා සංඛ්‍යාවක් අන්ත අසරණ තත්වයකට පත් වී සිටිනවා කියා ද නිව් යෝක් ටයිම්ස් වාර්තා කරනවා. ඉකුත් වසර 15 පුරා දියුණුවක් ලබා තිබුණත්, යුද්ධ, ඒඩ්ස් සහ දිලිඳුකම දියුණුවට බාධාවක් වී තිබෙනවා. වර්ෂ 1990 සිට සිදු වූ සිවිල් යුද්ධ 55 ඇතුළු සියලුම යුද්ධ නිසා මිලියන 3.6කගේ ජීවිත නැති වී තිබෙන අතර ඉන් අඩක් පමණ දරුවන්. මෙවැනි ගැටුම් බොහොමයකදී විප්ලවවාදීන් දරුවන්ව පැහැරගන්නවා; දූෂණය කරනවා; එසේ නැතහොත් ළමා සොල්දාදුවන් බවට පත් කරනවා. මන්දපෝෂණය බහුලව දකින්න තිබෙන අතර සෞඛ්‍ය සේවාවන්ද එම දරුවන්ට ලැබෙන්නේ නැහැ. වර්ෂ 2003 වෙද්දී ඒඩ්ස් නිසා අනාථ වූ දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 15ක් වුණා. දරුවන් මිලියන දෙකකට වැඩි සංඛ්‍යාවක් ලිංගික අපචාරයෙහි යෙදෙව්වා. එමෙන්ම යුද්ධයට වාර්ෂිකව ඩොලර් බිලියන 956ක් වියදම් කර ඇතත් දිලිඳුකම පලවාහැරීමට වැය වන්නේ ඩොලර් බිලියන 40ක් සහ 70ක් අතර මුදලක් පමණයි කියා එම වාර්තාවේම පවසයි.