Skip to content

පටුනට යන්න

නුසුදුසු අය සමඟ බැඳීමක් ඇති කරගැනීමෙන් මම වළකින්නේ කොහොමද?

නුසුදුසු අය සමඟ බැඳීමක් ඇති කරගැනීමෙන් මම වළකින්නේ කොහොමද?

යෞවන අය අසති . . .

නුසුදුසු අය සමඟ බැඳීමක් ඇති කරගැනීමෙන් මම වළකින්නේ කොහොමද?

“පාසැලේ ගෑනු ළමයෙක් එක්ක මම නිතරම ඇසුරු කරන්න පටන්ගත්තා. . . . ඇය මත් ද්‍රව්‍ය ගත්තේවත්, සාදයන්වලට ගියේවත්, අසංවර ලෙස හැසුරුණේවත් නැහැ. නරක වචන කිව්වෙත් නැහැ. හරි දක්ෂ ළමයෙක්. හැම විෂයටම වැඩියෙන් ලකුණු ගත්තා. ඒත් එයා ආශ්‍රය කරන්න නම් හොඳ කෙනෙක් නෙමෙයි.”—බෙවලි. *

බෙවලි එවැනි නිගමනයකට එළඹුණේ ඇයි? එම ගෑනු ළමයා හානිදායක දේවල් කරන්න තමාව පෙලඹෙවූ බව ඇයට දැන් වැටහෙන නිසයි. “එයාව ආශ්‍රය කරද්දී, අද්භූත දේවල් ගැන ලියලා තිබුණ පොත් කියවන්නත්, භූතාත්ම සම්බන්ධ කරලා කතන්දරයක් පවා ලියන්නත් මම පෙලඹුණා” කියා බෙවලි පැවසුවා.

මෙලනි නමැති යෞවනියත් නරක හැසිරීමට වැටුණා. ඇයට එසේ වුණේ තවත් ක්‍රිස්තියානියෙකුගේ ඇසුර නිසයි! එසේනම් ආශ්‍රයට සුදුසු වන්නේ කුමනාකාරයේ පුද්ගලයෙක්ද කියා දැනගන්නේ කෙසේද? වෙනත් ආගම්වල සිටින්නන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීම සැමවිටම අනතුරුදායකද? තමන්ගේම ආගමේ සිටින්නන් සමඟ මිත්‍රත්වයන් ඇති කරගැනීම සැමවිටම ආරක්ෂාවක්ද?

විශේෂයෙන්ම විරුද්ධ ලිංගයේ සාමාජිකයෙකු සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම ගැන කුමක්ද කියන්න පුළුවන්? අනාගතයේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් කෙනෙකුව ආශ්‍රය කිරීමට පටන්ගතහොත් ඔහු හෝ ඇය සුදුසු ආශ්‍රිතයෙක් වේවිදැයි දැනගැනීමට ඔබට හැකි වන්නේ කෙසේද? බයිබල් ප්‍රතිපත්ති හරහා එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකි අන්දම දැන් අපි බලමු.

යහපත් මිත්‍රයන් මොන වගේ අයද?

බෙවලිගේ පාසැල් මිතුරිය සැබෑ දෙවිට නමස්කාර නොකළ නිසා බෙවලි ඇය සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට අදිමදි කළ යුතුද? සැබෑ ක්‍රිස්තියානීන් වෙනත් ආගමික විශ්වාසයන් තිබෙන අයව නොහොබිනා හෝ යහපත් ගුණධර්ම නැති අය හැටියට හංවඩු ගසන්නේ නැහැ. හැබැයි ඔවුන් සමඟ කිට්ටු මිත්‍රත්වයන් ඇති කරගැනීම සම්බන්ධයෙන් කල්පනාකාරි වීමට හොඳ හේතුවක් තිබෙනවා. පළමු සියවසේදී කොරින්ති සභාවේ සිටි අයට ප්‍රේරිත පාවුල් මෙවැනි අවවාදයක් දුන්නා. “නරක ආශ්‍රයෙන් හොඳ චරිත වැනසේ.” (1 කොරින්ති 15:33, නව අනුවාදය) ඔහු අදහස් කළේ මොකක්ද?

කොරින්තියේ ඇතැම් ක්‍රිස්තියානීන් ග්‍රීක් දාර්ශනිකයෙකු වූ එපිකියුරස්ගේ අනුගාමිකයන් වන එපිකියුරියානුවන් සමඟ ඇසුරු කරමින් සිටියා විය යුතුයි. එපිකියුරස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවේ නුවණැතිව, ධෛර්යයෙන් යුතුව, ආත්මදමනය ඇතුව, යුක්තිසහගතව ජීවත් වෙන්න කියායි. එපමණක් නොව රහසින් පවා වැරදි කිරීමෙන් වළකින්නයයි ඔහු ඔවුන්ට පැවසුවා. එසේනම් එපිකියුරියානුවන්ව මෙන්ම ඔවුන්ගේ අදහස් දරමින් සභාව තුළ සිටි අයව ‘නරක ආශ්‍රිතයන්’ ලෙස පාවුල් සැලකුවේ මන්ද?

එපිකියුරියානුවන් නමස්කාර කළේ සැබෑ දෙවිට නොවෙයි. මළවුන් නැවත නැඟිටින බව ඔවුන් විශ්වාස නොකළ නිසා ඔවුන්ගේ අභිප්‍රාය වූයේ ජීවිතය උපරිම අන්දමින් භුක්ති විඳීමයි. (ක්‍රියා 17:18, 19, 32) මෙවැනි අදහස් දැරූ අය සමඟ කොරින්ති සභාවේ සිටි සමහරු ආශ්‍රය කළ නිසා නැවත නැඟිටීම ගැන ඔවුන්ට තිබූ විශ්වාසය හීනවීමට පටන්ගෙන තිබීම පුදුමයක් නොවෙයි. නැවත නැඟිටීම සැබෑවක් බව මුල් ක්‍රිස්තියානීන්ට යළි ඒත්තුගැන්වීම සඳහා පාවුල් තර්ක විතර්ක රැසක් 1 කොරින්ති 15වන පරිච්ඡේදයේ අඩංගු කළේත්, නරක ආශ්‍රයෙන් වළකින්න කියා අවවාද කළේත් ඒ නිසයි.

මෙයින් අපට කිනම් පාඩමක් ඉගෙනගත හැකිද? දෙවි කෙනෙකු විශ්වාස නොකරන අය පවා හොඳ ගුණාංග විදහා පෑ හැකි වුණත් ඔවුන්ව ඔබේ කිට්ටු මිත්‍රයන් ලෙස තෝරාගතහොත් ඔබේ සිතුවිලිවලට, ඇදහිල්ලට හා හැසිරීමට බලපෑමක් සිදු වන බවයි. ඒ නිසා කොරින්තිවරුන්ට පාවුල් ලියූ දෙවන ලිපියේදී “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න” කියා සඳහන් කළා.—2 කොරින්ති 6:14-18.

පාවුල්ගේ අවවාදය කෙතරම් නැණවත්ද කියා 16-හැවිරිදි ෆ්‍රෙඩ් තේරුම්ගත්තා. ඔහු පාසැලේ බාහිර ක්‍රියාකාරකමකට සහභාගි වෙන්න කැමැත්ත පළ කළා. එය සංවර්ධනය වෙමින් පවතින රටකට ගොස් එහි සිටින දරුවන්ට ඉගැන්වීමේ සේවාවක්. ඔහු සහ ඔහුගේ සෙසු ශිෂ්‍යයන් එකතු වී එම ගමනට සූදානම් වූ කාලයේදී ෆ්‍රෙඩ්ගේ හැඟීම් වෙනස් වෙන්න පටන්ගත්තා. ඔහු මෙලෙස පැවසුවා. “ඒගොල්ලෝ එක්ක වැඩි කාලයක් ගත කළොත් මගේ ආගමික විශ්වාසයන් අනුව ගොඩනඟාගෙන තිබුණ අදහස් වෙනස් වෙන්න පුළුවන් කියලා මට තේරුණා.” මේ හේතුව නිසා ෆ්‍රෙඩ් එම ව්‍යාපෘතියෙන් අයින් වෙන්නත්, අසරණයන්ට වෙන විදිහකින් පිහිට වෙන්නත් තීරණය කළා.

සෙසු ක්‍රිස්තියානීන් සමඟ මිත්‍රත්වය

ක්‍රිස්තියානි සභාව තුළ සිටින්නන් සමඟ ඇති කරගන්නාවූ මිත්‍රත්වයන් ගැන කුමක් කිව හැකිද? පාවුල් යෞවන තිමෝතිට ලියමින් මෙවැනි අවවාදයක් දුන්නා. “විශාල නිවසක, රනින් සහ රිදීවලින් සෑදූ භාජන පමණක් නොව, ලීවලින් සහ මැටිවලින් සෑදූ ඒවාද තිබේ. සමහරක් ගෞරවනීය අරමුණක් සඳහා තිබෙන නමුත්, සමහරක් ගෞරවයක් නොමැති අරමුණක් සඳහා තිබේ. එබැවින්, යමෙක් දෙවනුව සඳහන් කළ ඒවායින් අහක්ව සිටින්නේ නම්, ඔහු විශුද්ධ කරන ලද, තමාගේ අයිතිකරුට ප්‍රයෝජනවත් වූ, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම් කරන ලද්දාවූ, ගෞරවනීය අරමුණක් සඳහා වූ භාජනයක් වන්නේය.” (2 තිමෝති 2:20, 21) පාවුල් මෙහිදී පිළිගන්නේ ක්‍රිස්තියානීන් අතරේ පවා ගෞරවනීය ලෙස නොහැසිරෙන අය සිටිය හැකි බවයි. එවැනි අයගෙන් අහක්ව සිටින්න කියා ඔහු අවංකවම තිමෝතිට අවවාද කළා.

ඔබ ඇසුරු කරන ක්‍රිස්තියානීන් දෙස සැකයෙන් බැලිය යුතු බවක් මින් අදහස් කරනවාද? නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබේ මිතුරු මිතුරියන් කිසි වරදක් නොකරන අය විය යුතුයි කියා අපේක්ෂා කිරීමද සුදුසු නැහැ. (දේශනාකාරයා 7:16-18) කොහොමවුණත් යෞවනයෙකු ක්‍රිස්තියානි රැස්වීම්වලට යන නිසා හෝ ඔහුගේ දෙමාපියන් උද්‍යෝගයෙන් සභාවේ දේවලට සහභාගි වන නිසා ඔහුව කිට්ටු මිත්‍රයෙක් ලෙස තෝරාගත යුතු බව අදහස් වෙන්නේ නැහැ.

හිතෝපදේශ 20:11හි පවසා තිබෙන්නේ “ළමයෙකුගේ ක්‍රියාව පිරිසිදු වුවත් යුතු වුවත් ඔහුගේ හැසිරීමෙන් ඔහු ඇඳිනගනු ලැබේ” කියායි. ඒ නිසා ඔබ මේ දෙය සලකා බැලීම සුදුසුයි. මේ තැනැත්තා හෝ තැනැත්තිය තම ජීවිතයේ වැදගත්ම දෙය ලෙස සලකන්නේ යෙහෝවා සමඟ තිබෙන සබඳතාවද? නැතහොත් ඔහුගේ හෝ ඇගේ අදහස්වලින් හා ආකල්පවලින් “ලෝකයේ ආත්මය” පිළිබිඹු වෙනවාද? (1 කොරින්ති 2:12; එෆීස 2:2) ඔබ ඔහු හෝ ඇය සමඟ ආශ්‍රය කිරීමෙන් යෙහෝවාට නමස්කාර කිරීමට ඔබට දිරිගැන්වීමක් ලැබෙයිද?

යෙහෝවාට සහ ඔහුගේ නමස්කාරයට ඇතුළත් දේවලට හුඟක් ඇලුම් කරන මිත්‍රයන්ව ඔබ ආශ්‍රය කරනවා නම් ඔබ ගැටලුවලින් වළකිනවා පමණක් නොව දෙවිට සේවය කරන්න වැඩි ශක්තියකුත් ඔබට ලැබේවි. පාවුල් තිමෝතිට මෙවැන්නක් පැවසුවා. “පිරිසිදු හදවතකින් ස්වාමීන්ට අයැදින අය සමඟ ධර්මිෂ්ඨකම, ඇදහිල්ල, ප්‍රේමය හා සමාදානය ලුහුබඳින්න.”—2 තිමෝති 2:22.

විරුද්ධ ලිංගයේ අය සමඟ මිත්‍රත්වය

ඔබ විවාහ වීමට කැමති නම්, වයසත් හරි නම් විවාහ සහකරුවෙකු තෝරාගැනීමේදී ඉහත සඳහන් කළ ප්‍රතිපත්තිම බලපායිද? ඔබ විවාහ සහකරුවෙකු හෝ සහකාරියක ලෙස තෝරාගන්න තැනැත්තා හෝ තැනැත්තිය වෙත සිත ඇදී යෑමට බොහෝ හේතු තිබිය හැකියි. ඒත් ඒ එකක්වත් ඔහුගේ හෝ ඇගේ ඇදහිලිවන්තකම තරම් වැදගත් වෙන්නේ නැහැ.

බයිබලයෙහි නිතර නිතර අවවාද කර තිබෙන්නේ “ස්වාමීන් තුළ” නොසිටින කෙනෙක් සමඟ විවාහ නොවන ලෙසයි. (1 කොරින්ති 7:39; ද්විතීය කතාව 7:3, 4; නෙහෙමියා 13:25) තමන්ගේ ආගමික විශ්වාසයන් නොදරන පුද්ගලයන් පවා විශ්වාසදායක, චරිතවත් සහ සැලකිලිමත් පුද්ගලයන් විය හැකි බව ඇත්තයි. කොහොමවුණත් ප්‍රීතිමත් විවාහයක් පවත්වාගෙන යෑමට කෙනෙක් එම දේවල් වර්ධනය කරගෙන ඒවා විදහා පාමින් සිටිය යුතුයි යන අදහස ඔවුන් දරන්නේ නැහැ.

නමුත් යෙහෝවාට කැපවී පක්ෂපාතව සිටින කෙනෙක් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමටත් මොනයම් තත්වයකදී වුවත් ඒවා රැකගෙන සිටීමටත් වෙහෙසක් දරනවා. කෙනෙක් තම විවාහ සහකරු හෝ සහකාරියට ප්‍රේම කිරීමත්, කෙනෙක් යෙහෝවා සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීමත් අතර සම්බන්ධයක් තිබෙන බව ක්‍රිස්තියානියෙකු වටහාගෙන සිටිනවා. (එෆීස 5:28, 33; 1 පේතෘස් 3:7) මේ නිසා විවාහ සහකරු සහ සහකාරිය යන දෙදෙනාම යෙහෝවාට ප්‍රේම කරන විට ඔවුන් දෙදෙනා අතරේ තිබෙන විශ්වාසය රැකගැනීමටත් එය ඔවුන්ට විශාල පෙලඹීමක් වෙනවා.

මින් අදහස් වන්නේ එකම ආගමික විශ්වාසයන් දරන දෙදෙනෙකු විවාහ වුවහොත් විවාහය සියයට සියයක් සාර්ථක වෙයි කියා සහතික කළ හැකි බවද? නැහැ. එතරම් උද්‍යෝගයකින් දෙවිට නමස්කාර නොකරන කෙනෙකු සමඟ ඔබ විවාහ වුවොත් කුමක් සිදු විය හැකිද? ශක්තිමත් ඇදහිල්ලක් නොමැති කෙනෙකුට පවතින සමාජ ක්‍රමයෙන් එල්ල වන පීඩනවලට ඔරොත්තු දීම අසීරු කාර්යයක් වන නිසා ඔහු හෝ ඇය ක්‍රිස්තියානි සභාවෙන් ඉවත්ව යෑමට තිබෙන ඉඩ කඩ වැඩියි. (ෆිලිප්පි 3:18; 1 යොහන් 2:19) ඔබේ විවාහ සහකරු ‘ලෝකයේ දූෂ්‍යකම්වලට’ ඇදී ගියහොත් ඇති වන සිත්තැවුල සහ භේද බින්න වීම ගැන මොහොතකට සිතන්න.—2 පේතෘස් 2:20.

විවාහ වීමට තරම් දුරදිග යන මිත්‍රත්වයක් ඇති කරගැනීමට පෙර මෙය සලකා බලන්න. මේ තැනැත්තා හෝ තැනැත්තිය ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන පුද්ගලයෙකු බවට සාක්ෂි තිබෙනවාද? ඔහු හෝ ඇය තම ක්‍රිස්තියානි ප්‍රතිපත්ති රැකගෙන ජීවත් වෙන්නාවූ කෙනෙකු බවට කදිම ආදර්ශයක් තබා තිබෙනවාද? මෙම තැනැත්තා බයිබලයේ ඉගැන්වීම් හොඳින් වටහාගෙන තිබෙනවාද නැතහොත් ඔහුට හෝ ඇයට ඒ සඳහා තව කාලයක් ගත වෙයිද? තම ජීවිතයේ ප්‍රධානතම දෙය යෙහෝවාට ප්‍රේම කිරීම බව ඔහු හෝ ඇය පෙන්වමින් සිටිනවාද? එමෙන්ම එම තැනැත්තා හෝ තැනැත්තිය තමාගේ නම කැත කරගෙන නැති බව දැනගෙන සිටීමත් උපකාරයක්. කෙසේනමුත් අවසාන තීරණය ගත යුත්තේ ඔබයි. ඔබේ විවාහ සහකරු හෝ සහකාරිය කරගැනීමට බලාපොරොත්තු වන කෙනා යෙහෝවාට දැඩි භක්තියක් තිබෙන, යහපත් සැමියෙකු හෝ බිරිඳක වන බව ඔබම ඒත්තුගත යුතුයි.

සමහරුන්ගේ සිත “නුසුදුසු අය” වෙත ඇදී යන්නේ ඔවුන් නුසුදුසු දේවලට ආශාවක් දක්වන නිසා බව මතක තබාගන්න. එය යෝග්‍ය නොවන විනෝදාස්වාදයක් හෝ යම් දේවල නිරත වීම විය හැකියි. ක්‍රිස්තියානි සභාවේ ආදර්ශවත් ජීවිතයක් ගත කරන යෞවනයෝ නම් එවැනි දේවලට ඔබ සමඟ හවුල් නොවේවි. එමනිසා ඔබේ සිත පරීක්ෂා කර බලන්න.

ඔබේ සිත හික්මවාගැනීම අවශ්‍ය බව හැඟෙනවා නම් පිළිසරණක් නැහැයි කියා නොසිතන්න. සිත හික්මවාගත හැකියි. (හිතෝපදේශ 23:12) වඩාත්ම වැදගත් දේ වන්නේ මෙයයි. ඇත්තෙන්ම ඔබට ඕන කරන්නේ මොනවද? ඔබට වුවමනා වන්නේ හොඳ දේට සහ හොඳ දේවල් කරන අයට ඔබේ සිත ඇදී යෑමටද? යෙහෝවාගේ උපකාරයෙන් ඔබට හැකියි එවැනි සිතක් ඇති කරගන්න. (ගීතාවලිය 97:10) හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමට ඔබේ වටහාගැනීමේ හැකියාව පුහුණු කිරීමෙන් යහපත්, ගොඩනංවනසුලු මිත්‍රයන් කවුද කියා තීරණය කිරීමට පහසුවෙන්ම ඔබට හැකි වෙයි.—හෙබ්‍රෙව් 5:14.

[පාදසටහන්වල]

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

[24වන පිටුවේ පින්තූරය]

යහපත් ඇසුර ඔබේ ඇදහිල්ලටත් රුකුලක්