Skip to content

පටුනට යන්න

ප්‍රබල සාක්ෂියක් දරන යෞවනයෝ

ප්‍රබල සාක්ෂියක් දරන යෞවනයෝ

ප්‍රබල සාක්ෂියක් දරන යෞවනයෝ

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවනයන්ගෙන් බොහෝදෙනෙක් පාසැලේදීත්, වෙනත් අවස්ථාවලදීත් තමන්ගේ ආගමික විශ්වාසයන් ගැන නොබියව කතා කරනවා. එසේ කිරීමෙන් ඔවුන් අතිමහත් සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. මතු දැක්වෙන උදාහරණ සලකා බලන්න. *

ක්‍රිස්ටිනා පවසන්නේ මෙයයි. “මම තුන්වෙනි පංතියේ ඉගෙනගනිද්දී අපි එදිනෙදා කරන දේවල් දිනපොතක ලියන්න කියලා ගුරුතුමිය අපිට කිව්වා. අපේ දිනපොත් කියවලා ඇයත් යමක් ඒවාවල ලියලා ඒවා ආපහු අපිට දුන්නා. දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී මට කතාවක් දෙන්න තිබුණ නිසා මම හිතුවා ඒ ගැන ලියන එක හොඳයි කියලා. ඒක දැකලා ගුරුතුමියට ආශාවක් ඇති වුණා ඒ කතාව අහන්න. මගේ කතාව අහන්න රාජ්‍ය ශාලාවට එන්න කියලා මම ඇයට කිව්වා. ඇය විතරක් නෙවෙයි පළවෙනි පංතියේදී මට ඉගැන්නුව ගුරුතුමියත් ආවා. ඊට පස්සේ මගේ කතාවෙන් මොන තරම් සතුටක් ලැබුවාද කියලා ඇය මුළු පංතියටම කිව්වා. ඒ වෙලාවේ මට දැනුණේ ලොකු සතුටක්. සතුටට හේතු වුණ දේවල් එතනින් නතර වුණේ නැහැ. අවුරුද්දකට පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමකදී මගේ අද්දැකීම කියන්න මට පුළුවන් වුණා. මගේ ගුරුතුමිය ඒ එක්රැස්වීමටත් ආවා. පස්සේ දවසකදී මම තවත් පුරෝගාමි මිතුරියක් එක්ක ගියා ඇයව මුණගැහෙන්න. එතකොට සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත ඇයට දුන්නා. ඇය අපේ දිස්ත්‍රික් සමුළුවකටත් ඇවිත් තිබුණා.”

සිඩ්නිට වයස අවුරුදු හයේදී ඇය පංතියේ ළමුන්ට නිර්භීතව දෙවිගේ වචනයේ සත්‍යතාවන් ගැන කතා කළා. දෙවි සහ යේසුස් කියන්නේ කවුද, මළ අයගේ තත්වය මොකක්ද යන කාරණා ගැනත් කතා කළා. “ඇය පුංචි වුණත් උද්‍යෝගයෙන් සහ නිර්භීතයෙන් කතා කරන දේවසේවිකාවක්” කියා ඇගේ මව පවසනවා. පාසැලේ පළවෙනි වසර අවසානයේදී සිඩ්නි දුකෙන් මෙසේ පැවසුවා. “මගේ පංතියේ ළමයි ගැන මම දුක් වෙනවා. ඒගොල්ලෝ යෙහෝවා ගැන ඉගෙනගන්නේ කොහොමද?” සිඩ්නිට අදහසක් පහළ වුණා. අන්තිම දවසේදී ඇය හැම ළමයෙකුටම හොඳින් අසුරන ලද තෑග්ගක් දුන්නා. ඒකෙ තිබුණේ මගේ බයිබල් කතන්දර පොත යන ප්‍රකාශනයයි. සිඩ්නි එලෙස පොත් 26ක් අනිත් ළමයින්ට බෙදා දුන්නේ ගෙදර ගෙනිහිල්ලා අම්මලා එක්ක එකතු වෙලා ඒවා ඇරලා බලන්න කියායි. සිඩ්නි තම පංතියේ ළමයින්ව සැලකුවේ සාක්ෂි දරන්න තමාට පැවරී තිබුණ විශේෂ බලප්‍රදේශයක් හැටියටයි. ඔවුන් ආසාවෙන් පොත කියවනවාද කියලා බලන්න ඇය ඔවුන්ව දුරකථනයෙන් පවා ඇමතුවා. හැමදාම රෑට අම්මා එක්ක එකතු වෙලා පොත කියවනවා කියලා එක දැරියක් ඇයට පැවසුවා.

අවුරුදු 15දී එලන් ඉතිහාසය උගන්වන තම ගුරුතුමාට පිබිදෙව්! සඟරාවේ පිටපත් කිහිපයක් දුන්නා. “ඔහු ඒවාට හුඟාක් ආස වුණා. මේ වෙනකොට අවුරුදු දෙකක් තිස්සේ ඔහු සඟරා කියවලා තියෙනවා” කියා එලන් පවසනවා. “මෑතකදී මම ඔහුට මගේ බයිබල් කතන්දර පොත දුන්නා. ඔහුගේ දුවලා දෙන්නා ආසාවෙන් ඒක කියවනවා කියලා ඔහු මට කිව්වා. ඒ නිසා උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොතත් මම ඔහුට දුන්නා. ඊට පස්සේ ඔහු මට ස්තුතිය පළ කරන කාඩ් එකක් දුන්නා. ඒකේ සඳහන් වුණේ මෙයයි. ‘පොත්වලට බොහොම ස්තුතියි. දුවලා දෙන්නයි මමයි හුඟක් ආසාවෙන් ඒවා කියවනවා. ඔයා වැනි යෞවනියක් මේ වගේ දේකට යොමු වෙලා ඉන්නවා දකින්න ලැබීම සතුටක්. ඔයාගේ ආගමික විශ්වාසයන් තරම් වටිනා තෑග්ගක් තවත් නැහැ. ඔයාට උගන්වන්න මට පුළුවන් දේට වඩා වැඩි දෙයක් ඔයා මට උගන්වලා තියෙනවා!’ මේ අද්දැකීමෙන් අනිත් අයට බයිබල් සත්‍යයන් ගැන පවසන්න අපි වෑයමක් දරනකොට ඔවුන් මොන තරම් එය අගේ කරනවාද කියා මම දැනගත්තා.”

ඩැනියෙල් මුල්ම බයිබල් පාඩම ඇරඹුවේ ඔහුට වයස අවුරුදු හයේදීයි. “මම අම්මා එක්ක පාඩම්වලට ගියත් බයිබල් පාඩමක් පවත්වන්න මටත් ඕන වුණා” කියා ඔහු පවසනවා. ඒ සඳහා ඔහු රැට්ක්ලිෆ් මහත්මියව තෝරගත්තා. ඔහු ඊට කලින් එම වයසක තැනැත්තියට බයිබල් ප්‍රකාශනයක් දීලා තිබුණා. “මං ආසම කරන පොත ඔබට පෙන්වන්න කැමතියි. ඒක තමයි මගේ බයිබල් කතන්දර පොත” කියා ඔහු ඇයට පවසා “හැම සතියකම මම ඇවිත් ඔබට ඒකෙන් කියවන්නද” කියලත් ඇහැව්වා. රැට්ක්ලිෆ් මහත්මිය කැමැත්ත පළ කළා. “අපි එදාම හවස රැට්ක්ලිෆ් මහත්මිය එක්ක පාඩම පටන්ගත්තා” කියා ඩැනියෙල්ගේ මව වන ලෝරා පවසනවා. “ඩැනියෙලුයි රැට්ක්ලිෆ් මහත්මියයි මාරුවෙන් මාරුවට ඡේද කියෙව්වා. ඊට පස්සේ කතන්දරේ අන්තිමට සඳහන් කරලා තියෙන බයිබල් පදවලින් පද කීපයක් තෝරලා ඩැනියෙල් ඇයට ඒවා කියවන්න කිව්වා. මං ඩැනියෙල් එක්ක ගියත් රැට්ක්ලිෆ් මහත්මිය වැඩි කැමැත්තක් දැක්වුවේ ඔහු එක්ක විතරක් සාකච්ඡා කරන්නයි!” ටික කාලෙකට පස්සේ ඩැනියෙලුයි රැට්ක්ලිෆ් මහත්මියයි පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්න ඔබට හැක යන පොත අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඒ කාලේ වෙද්දී ඩැනියෙල්ගේ නංගි වන නැටලිටත් කියවන්න පුළුවන්කම තිබුණ නිසා ඔහු එක්ක ඇයත් ගියා. රැට්ක්ලිෆ් මහත්මිය හුඟක් ප්‍රශ්න ඇහැව්වා. ඒවායින් සමහරක් ඒවා සෑහෙන සංකීර්ණයි. ඒත් ඩැනියෙලුයි නැටලියි සාකච්ඡා කිරීමට බයිබල් මාතෘකා පොත් පිංචය සහ බයිබලයේ පිටුපස ඇති සූචිය යොදාගෙන බයිබලයෙන් පිළිතුරු දුන්නා. මුළු ජීවිත කාලයේදීම කතෝලික කෙනෙක්ව සිටි රැට්ක්ලිෆ් මහත්මිය, තමා ඉගෙනගන්න දෙයින් ඉමහත් ආස්වාදයක් ලැබුවා. “අපරාදේ මං මීට කලින් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා නම් කොච්චර හොඳද” කියලා පාඩමකින් පසුව ඇය පැවසුවා. ඒත් කනගාටුවට කාරණයක් වන්නේ වයස 91ක්ව සිටි රැට්ක්ලිෆ් මහත්මිය මෑතකදී මිය යෑමයි. කොහොමවුණත් බයිබලය පාඩම් කිරීමෙන් අගනා සත්‍යයන් දැනගන්නත්, පාරාදීස පොළොවක නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඇතුව සිටින්නත් ඇයට පුළුවන් වුණා. දැන් වයස අවුරුදු දහයක් වන ඩැනියෙල් බයිබල් පාඩම් දෙකක් පවත්වනවා. අවුරුදු අටක් වන නැටලි ඇගේම වයසේ සිටින දැරියක සමඟ බයිබලය පාඩම් කරනවා.

ක්‍රිස්ටිනා, සිඩ්නි, එලන්, ඩැනියෙල් සහ නැටලි තම ක්‍රිස්තියානි දෙමාපියන්ව සතුටට පත් කරන දරුවන්. වඩාත්ම අගය කළ යුතු දේ වන්නේ ඔවුන් යෙහෝවාගේ හදවත සතුටු කරමින් සිටීමයි. තම නාමය වෙනුවෙන් කුඩා දරුවන් දක්වන ප්‍රේමය ඔහු කවදාවත් අමතක කරන්නේ නැති බව ස්ථිරයි.—හිතෝපදේශ 27:11; හෙබ්‍රෙව් 6:10.

[පාදසටහන]

^ 2 ඡේ. මෙහි සඳහන් සෑම ප්‍රකාශනයක්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[10වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්ටිනා (ඉහළ) සහ සිඩ්නි

[11වන පිටුවේ පින්තූරය]

ඩැනියෙල් සහ නැටලි

[11වන පිටුවේ පින්තූරය]

එලන්