Skip to content

පටුනට යන්න

මඤ්ඤොක්කාවලින් ප්‍රණීත ආහාරයක්

මඤ්ඤොක්කාවලින් ප්‍රණීත ආහාරයක්

මඤ්ඤොක්කාවලින් ප්‍රණීත ආහාරයක්

බ්‍රසීලයේ පිබිදෙව්! ලේඛක විසින්

බ්‍රසීලයේ මඤ්ඤොක්කා අලවලින් නොයෙක් ආහාර නිපදවනවා. එක ආහාරයක් නම් තුනී රොටි වර්ගයක්. ඒවා සාදාගන්නේ මඤ්ඤොක්කා පිටිවලින්.

අල සුද්ද කර ග්‍රේටරයකින් ගාගෙන මිරිකාගන්න. එවිට සුදු පැහැති දියරයක් ලැබෙයි. එම දියරයේ ඝන කොටස පහතට බසින තුරු පැත්තකින් තබන්න. ඉන්පසු වතුර ටික ඉවත් කර ඝන කොටස අව්වේ තබා වියළාගන්න.

මෙයාකාරයට සාදාගන්නා මඤ්ඤොක්කා පිටි බ්‍රසීලයේ ආදි වාසීන්ගේ ප්‍රධාන ආහාරයක්. පසු කලෙක, එහි පදිංචියට පැමිණි පෘතුගීසීන් පාන් වෙනුවට මෙම පිටි වර්ගයෙන් කෑම වර්ග සාදාගත හැකි බව සොයාගත්තා. මඤ්ඤොක්කාවලින් තවත් නොයෙකුත් රසවත් දේ නිපදවිය හැකි බව බ්‍රසීලියානු සූපවේදීන් සොයාගත්තේ මීට අවුරුදු කිහිපයකට පෙරයි.

මහජනයාගේ රස නහර පිනායන ආකාරයකින් සූපවේදීන් අත්හදා බැලීම් කරමින් මෙම පැරණි ආහාර වර්ගය නව ක්‍රම අනුව සාදන්න පටන්ගත්තා. අද මඤ්ඤොක්කා රොටිවලට බ්‍රසීලයෙහි විශාල ඉල්ලුමක් තිබෙනවා. අද දින සමහර ආපන ශාලා පවා ප්‍රසිද්ධ වී තිබෙන්නේ මේ ආහාරය නිසයි.

ඔබත් මෙම රොටියක රස බලන්න ආස නැද්ද? එය ඔබේ පවුලෙත් මිතුරන්ගෙත් රස නහර පිනවන බවට නිසැකයි.

[30වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මඤ්ඤොක්කා රොටි සාදන ආකාරය

රොටි අටක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යය:

මඤ්ඤොක්කා පිටි කෝප්ප 3යි, වතුර කෝප්ප 11/2 සහ ලුණු ස්වල්පයක්.

සාදන ක්‍රමය: මධ්‍යම ප්‍රමාණයේ භාජනයක් ගෙන එයට පිටි, ලුණු සහ වතුර ස්වල්පයක්ද දමා අතින් හොඳට මිශ්‍ර කරන්න. ටිකෙන් ටික වතුර එක් කරමින් අතේ නොඇලෙන සේ පිටි ගොරෝසුවට අනාගන්න. ඉන්පසු අනාගත් පිටිවලින් ගුලියක් සාදා තරමක සිදුරු තිබෙන පෙනේරයක තබා තද කරන්න. ඉන් පෙරෙන මිශ්‍රණයෙන් රොටි සාදාගත හැකියි.

නොඇලෙන රොටි තැටියක් තරමකට රත් කරගන්න. පිටි මිශ්‍රණයෙන් අටෙන් එකක් තැටියට දමා හැන්දේ යටි පැත්තෙන් තුනී කරන්න. විනාඩි දෙකක් හෝ හතරක් අතර කාලයක් තිබෙන්න හරින්න. මිශ්‍රණය එක් වී රොටියක් ලෙස සෑදුණු පසු රොටි හැන්දකින් අනිත් පැත්ත හරවා විනාඩියක් තබන්න. ඉතිරි පිටි මිශ්‍රණයෙන්ද මේ ආකාරයටම රොටි සාදාගන්න.

ඔබ කැමති නම් විවිධ පිරවුම් දමා අලුත් අලුත් රසවල් එක් කරගත හැකියි. උදේ ආහාරය සඳහා මෙය අත්හදා බලන්න. උණු උණුවේම රොටියට බටර් ගා ඒ මත ගාගත් පොල් ස්වල්පයක් අතුරන්න. එසේ නැතහොත් රොටියේ ටින්කිරි ගා ඒ මත පොල් ස්වල්පයක් දමා රොටිය දෙකට නමා පිළිගන්වන්න.

[30වන පිටුවේ පින්තූරය]

මඤ්ඤොක්කා

[30වන පිටුවේ පින්තූරය]

ටින් කිරි හා පොල් දමා සෑදූ මඤ්ඤොක්කා රොටියක්