Skip to content

පටුනට යන්න

“ලෝකයේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරය”

“ලෝකයේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරය”

“ලෝකයේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරය”

සෑම වසරකම පුද්ගලයන් මිලියන 600කට වඩා වැඩි පිරිසක් වෙනත් රටවලට සංචාරය කරනවා. තවත් සිය දහස් ගණනක් තම රටේම සංචාරයේ නියැලෙනවා. එසේ කරන්නේ තම රැකියා කටයුතු සඳහා නැතහොත් විනෝදය සඳහායි. මෙහි ප්‍රතිඵලයක් ලෙස හෝටල්, නිකේතන, ගුවන් සේවා, සංචාරක නියෝජිත කාර්යාල සහ සංචාරකයන්ගේ වෙනත් කටයුතු සපයා දෙන ව්‍යාපාර බිහි වී තිබෙනවා. මෙය හඳුන්වන්නේ සංචාරක ව්‍යාපාරය ලෙසයි. දැන් මෙය “ලෝකයේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරය” බවට පත් වී තිබෙනවා.

ලොව වටා සංචාරක ව්‍යාපාරය මගින් වසරකට ඩොලර් බිලියන 4,000ක් උපයන බවට ගණන් බලා තිබෙනවා. මෙම ව්‍යාපාරය ලෝක සාම ව්‍යාපාරයට රුකුලක් වන බව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය කියා සිටිනවා. නමුත් තමන් පුද්ගලිකව ඊට දායක වන බව සංචාරකයෙක් තේරුම් නොගන්න ඉඩ තිබෙනවා. වර්ෂ 2004දී ඊශ්‍රායලයේ අගමැතිගේ මූලිකත්වයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයකදී එම සංවිධානයේ මහා ලේකම් ෆ්‍රාන්සෙස්කෝ ෆ්‍රාන්ජාලි පැවසුවේ මෙයයි. “සංචාරක ව්‍යාපාරය සහ සාමය වෙන් කළ නොහැකි ලෙස බැඳී තියෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් ඇති වන බලපෑම කොතරම් බලවත්ද කියනවා නම් විසඳාගත නොහැකි සේ පෙනෙන තත්වයන් පවා විසඳාගැනීමට ඉන් හැකි වී තිබෙනවා.”

මෙම පලදායක ව්‍යාපාරය ආරම්භ වූයේ කෙසේද? ඇත්තෙන්ම මෙම ව්‍යාපාරය ප්‍රයෝජනදායකද? මෙම “ව්‍යාපාරය මගින් ඇති වන බලපෑම” සාමයට රුකුලක් වේවිද?

සංචාරක ව්‍යාපාරයේ ආරම්භය

විශේෂයෙන්ම බටහිර ලෝකය තුළ මෙම ව්‍යාපාරය නව මඟකට යොමු වුණේ 19වන සියවසේදීයි. කාර්මික යුගයේ ආරම්භයත් සමඟම යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මධ්‍යම පංතියේ අයට වැඩි වැඩියෙන් සංචාරයේ නියැලෙන්න තරම් මිල මුදල් සහ කාලය සොයාගන්න පුළුවන් වුණා.

ඊට අමතරව ප්‍රධාන ප්‍රවාහණ සේවාවන්වලද විශාල දියුණුවක් ඇති වුණා. ප්‍රවාහණ සේවයට දුම්රිය සහ නැව් එක්වීමත් සමඟම නගරාන්තර හා දේශ දේශාන්තරවල ගමනාගමනය පහසු වුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සංචාරකයන්ගේ අවශ්‍යතා පිරිමසාලීමට දුම්රිය පොළවල් අසල හා වරායන් අසල විශාල හෝටල් ඉදි වෙන්න පටන්ගත්තා.

වර්ෂ 1841දී, සංචාරකයෙකුගේ අවශ්‍යතා සියල්ල එකවර සපුරාලීමට හැකි බව ඉංග්‍රීසි ජාතික ව්‍යාපාරිකයෙක් වන තෝමස් කුක්ට පෙනී ගියා. ප්‍රවාහණය, නවාතැන් පහසුකම් සහ තමන් ආස කරන ස්ථානවලට ගොස් විනෝද වීම වැනි සියලු දේ එක ආයතනයක් විසින් සංවිධානය කිරීමේ කාර්යය ආරම්භ කළේ ඔහු විසින්. මෙම ක්‍රමය පිළිබඳව බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලකයෙක් වන විලියම් ග්ලැඩ්ස්ටොන් 1860 ගණන්වලදී මෙසේ පැවසුවා. “කුක් මහතා විසින් ඇති කළ මෙම සැලසුම නිසා සමාජයේ සිටින බොහෝදෙනෙකුට වෙනත් රටකට කරදරයක් නැතුව සංචාරයේ යෙදෙන්නත් වෙනත් රටවල් ගැන දැනගන්නත් අවස්ථාව උදා වුණා.”

විසිවන සියවස තුළ ඇති වූ දියුණුව

විදේශිකයන්ට වෙනත් රටවල සංචාරය කිරීමට ලැබීමෙන් යහපත් සබඳතා ඇති වුණත් කනගාටුදායක දෙයක් වන්නේ, විසිවන සියවසේ මුල් කාලයේ ඇති වූ ලෝක මහා යුද්ධ දෙක නවතාලන්න ඵයට නොහැකි වීමයි. කෙසේවෙතත් එම යුද්ධ නිසා ඇති වුණ සමාජීය වෙනස්කම් සහ තාක්ෂණික දියුණුව සංචාරක ව්‍යාපාරයේ දියුණුවට දායක වුණා.

ගුවන් ගමන් ඉක්මනින්ම සහ අඩු වියදමකින් කරගැනීමටද හැකියාවක් ලැබුණා. මහාද්වීප තුළ මහාමාර්ග දියුණු වූ අතර රථ වාහනද වැඩි වුණා. විසිවන සියවස මැද භාගයේදී නිවාඩු ගත කිරීම සහ සංචාරයේ නියැලීම බටහිර සංස්කෘතියේ සාමාන්‍ය දෙයක් වුණා. එවිට ඕනෑම සමාජ මට්ටමක සිටින අයට සංචාරයේ නියැලෙන්න හැකියාව ලැබුණා. ඊට අමතරව මිලියන ගණන් වැසියන්ගේ නිවෙස්වල තිබෙන රූපවාහිනි යන්ත්‍ර නිසා දර්ශනීය ස්ථාන දැක බලාගැනීමට හැකි වූ අතර සංචාරයේ යෙදීමට ඔවුන් තුළ පෙලඹීමක්ද ඇති වුණා.

එක්දහස් නවසිය හැට ගණන්වල මුල් භාගයේදී සෑම වසරකම දේශ දේශාන්තරවල සංචාරය කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 70යි. එක්දහස් නවසිය අනූ ගණන්වල මැද භාගයේදී එම සංඛ්‍යාව මිලියන 500ට වඩා ඉහළ ගියා! විදේශීය හා දේශීය සංචාරකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ලොව වටා සංචාරක නිකේතන ඉදි වුණා. කෙළින්ම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ නොවූ ව්‍යාපාරයන් පවා ප්‍රයෝජන ලැබුවා. එයට හේතුව සංචාරකයන්ට ආහාරපානාදිය හා නොයෙක් භාණ්ඩ මෙන්ම නොයෙක් සේවාවන් සැපයීමෙන් මුදල් උපයාගන්න එම ව්‍යාපාරකයන්ට හැකිවීමයි.

අද දින සංචාරක ව්‍යාපාරය රටවල් 125ට වඩා වැඩි සංඛ්‍යාවක ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපාරයක් බවට පත් වෙලා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ප්‍රයෝජන ගැන 2004 එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයෙන් නිකුත් කළ පුවත් වාර්තාවකින් පැහැදිලි කළේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සංචාරක ව්‍යාපාර බිහි කිරීමෙන් දුප්පත්කම පලවාහැරිය හැකි බවයි. එම ව්‍යාපාරයන් තුළින් නව රැකියා සහ “පාරිසරික, සංස්කෘතික හා සමාජීය පසුබිම් ගැන දැනුවත් කිරීමක්ද සිදු වෙයි.”

‘සංචාරක ව්‍යාපාරය තුළින් එවන් දෙයක් සිදු වන්නේ කෙසේද කියාත් පරිසරයට එමගින් ප්‍රයෝජන ලැබෙන්නේ කෙසේද කියාත්’ ඔබ ඇසිය හැකියි.

පරිසරයෙන්ම පරිසරය රැකීම

එක්දහස් නවසිය අසූ ගණන්වල මුල් භාගයේදී විද්‍යාඥයන් සහ චිත්‍රපට නිෂ්පාදකවරු වැසි වනාන්තර, කොරල් පර සහ ඒවාවලින් යැපෙන ජීවීන් රැකගැනීමට වැඩි උනන්දුවක් දැක්වුවා. ඔවුන් සකස් කළ ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය පිළිබඳ වාර්තාමය වැඩසටහන් සහ තොරතුරු මගින් සුන්දර තැන් නැරඹීමට මහජනයා තුළ තිබෙන ආශාව වැඩි වුණා. මුලදී විද්‍යාඥයන්ට සහ චිත්‍රපට නිෂ්පාදකයන්ට සේවාවන් සැපයීමට බිහි වුණ කුඩා ව්‍යාපාරයන් පසු කලකදී පරිසරය නැරඹීමට එන බොහෝ සංචාරකයන්ගේ අවශ්‍යතා ඉටු කරන්නත් පටන්ගත්තා.

මෑත කාලයේදී සංචාරක ව්‍යාපාරයේ එක් කොටසක් විශාල වශයෙන් දියුණු වී තිබෙනවා. එම කොටස පාරිසරික සංචාරය ලෙස නම් කර තිබෙනවා. සොබා සෞන්දර්යය නැරඹීමට දිරිගැන්වීම ඉතා වාසිදායක දෙයක් බව ඔප්පු වී තිබෙනවා. ලේඛිකාවක් වන මාර්තා එස්. හනී මෙසේ පැහැදිලි කරනවා. “රටවල් කිහිපයක පාරිසරික සංචාරය නිසා වැඩි විදේශ විනිමයක් උපයනවා. කොස්ටාරිකාවේ කෙසෙල්, ටැන්සානියාවේ සහ කෙන්යාවේ කෝපි සහ ඉන්දියාවේ රෙදි පිළි හා රන් ආභරණවලින් උපයන විදේශ විනිමයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් දැන් මෙම ව්‍යාපාරයෙන් උපයනවා.”

සංචාරක ව්‍යාපාරය, සතුන් සහ ගස්වැල් සුරැකීමට වටිනා මූල්‍යමය ආධාරකයක් වී තිබෙනවා. එම ලේඛිකාව පෙන්වන ආකාරයට “කෙන්යාවේ සංචාරක ව්‍යාපාරය වසරකට එක සිංහයෙකුගෙන් ඩොලර් 7,000ක්ද, අලි රංචුවකින් ඩොලර් 6,10,000ක්ද උපයන බවට ගණන් බලා තිබෙනවා.” ඒ වගේම මෙම පාරිසරික සංචාරය නිසා හවායිවල කොරල් පරවලින් සෑම වසරකම ඩොලර් මිලියන 360ක් උපයන බවටද ගණන් බලා තිබෙනවා!

පාරිසරික සංචාරයක් යනු . . .

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් පාරිසරික සංචාරය ගැන එක් වාර්තාවක මෙසේ සඳහන් කළා. “බොහෝ සංචාරක නියෝජිතයන් සහ සංචාරක ව්‍යාපාරයන් ‘පාරිසරික සංචාරක ව්‍යාපාරය’ යන යෙදුම ඔවුන්ගේ පොත් පත්වල යොදා තිබෙනවා. ඒ වගේම රජයන් විසින් තම රටට සංචාරකයන්ව ගෙන්වාගැනීම සඳහා එම යෙදුම පුළුල් ලෙස භාවිත කර තිබෙනවා. එසේවුවත් ව්‍යාපාරයට අදාළ ප්‍රතිපත්ති ඔවුන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ නැහැ.” ඔබ යෑමට බලාපොරොත්තු වන සංචාරය ඇත්තටම පාරිසරික සංචාරයක් කියා තීරණය කරන්නේ කොහොමද?

ඉහත වාර්තාව සැකසූ කර්තෘවරිය වන මෙගන් එප්ලර් වුඩ් සාර්ථක පාරිසරික සංචාරයකට ඇතුළත් වෙන දේවල් කීපයක් ගැන මෙසේ පවසනවා. සංචාරයට පෙර නැරඹීමට බලාපොරොත්තු වන ප්‍රදේශයේ සංස්කෘතිය හා පරිසරය ගැන මෙන්ම සුදුසු ඇඳුම් පැළඳුම් හා හැසිරෙන ආකාරය ගැනත් උපදෙස් සැපයීම; සංචාරය කිරීමට බලාපොරොත්තු වන රටේ සහ ස්ථානවල භූගෝලීය, සමාජීය හා දේශපාලනික පසුබිම පිළිබඳව සංචාරකයන්ට කෙටි හැඳින්වීමක් දීම; සාප්පු සංචාරයේ යෙදෙනවාට අමතරව ප්‍රදේශ වාසීන් සමඟ අන්‍යෝන්‍ය සබඳතා ඇති කරගැනීමට අවස්ථාව සලසා දීම; උද්‍යාන නැරඹීමට ඇතුල් වීමේ ගාස්තු සම්පූර්ණයෙන් ගෙවා තිබෙන බවට සහතික වීම; පරිසරයට හානි නොවන අයුරින් නවාතැන් පහසුකම් ලබා දීම.

පාරිසරික සංචාරයේ සාර්ථකත්වය

මෙවැනි සංචාරයන් සංවිධානය කිරීමේ අරමුණ සොබා සිරි නැරඹීම පමණක්ම නොවෙයි. එහි අරමුණ වන්නේ “එම පළාතේ වැසියන්ගේ සංස්කෘතිය තේරුම්ගැනීම හා පරිසරයේ තුරුලතා පිළිබඳව දැනුමක් ලබාගැනීම, පරිසරයට හානි නොකර එම ප්‍රදේශයේ වැසියන්ට ප්‍රයෝජනවත් වන අයුරින් ස්වාභාවික සම්පත්වලින් ආර්ථිකමය වාසි ලබාගැනීමයි.”

ඉහත සඳහන් උසස් පරමාර්ථ මෙම සංචාරයන් තුළින් අත් කරගෙන තිබෙනවාද? අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මාර්ටින් විකල්ස්කි මෙසේ පවසනවා. “මෙම පාරිසරික සංචාරයන් ගලපාගෝස් දූපත් ආරක්ෂා වී තිබීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.” එමෙන්ම අප්‍රිකානු රටක් වන රුවන්ඩාවේ කඳුවල වෙසෙන ගෝරිල්ලන්ව රැකගැනීමටත් මෙය දායක වී තිබෙනවා. ඊට හේතුව දඩයම් කරනවා වෙනුවට උන්ගෙන් ආදායමක් උපයන්න ප්‍රදේශයේ වැසියන්ට හැකි වී තිබීමයි. වෙනත් අප්‍රිකානු රටවල් තම සංරක්ෂිත වනාන්තර නඩත්තු කරන්නේ මෙම සංචාරයන් තුළින් ලැබෙන මුදලිනුයි.

ලොව පුරාම මෙම පාරිසරික සංචාරය පරිසරයේ හා සමාජයේ දියුණුවට දායක වී තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් බොහෝ මූල්‍යමය වාසිත් ලැබී තිබෙනවා. ඒත් මෙම ව්‍යාපාරය සැමවිටම හොඳ බලපෑමක් වේවිද? ලෝක සංචාරක ව්‍යාපාරයේ අනාගතය කුමනාකාරයේ එකක් වෙයිද?

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පිටරටවල සංචාරයේ යෙදෙන්නන්ට අත් වැලක් *

පිටත් වීමට පෙර

1. ගුවන් බලපත්‍රයේ තොරතුරු, ක්‍රෙඩිට් කාඩ් පත් අංක, ගුවන් ටිකට් පත් අංක සහ සංචාරක චෙක් පත් වැනි අත්‍යවශ්‍ය ලියකියවිලිවල තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් සකසාගන්න; ඉන් පිටපතක් නිවසේ තබන්න. තවත් පිටපතක් ඔබ ළඟ තබාගන්න.

2. වලංගු විදේශ ගමන් බලපත්‍රයක් සහ වීසා බලපත්‍රයක් තිබෙන බවට සහතික වන්න. රෝගවලින් වැළකීම සඳහා යම් එන්නත් ගැනීමට අවශ්‍ය නම් එය ලබාගන්න.

3. විදේශ රටකදී හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ප්‍රවාහණය සඳහා විශාල මුදලක් වැය විය හැකි නිසා වෛද්‍ය රක්ෂණයක් ලබාගැනීමට වගබලාගන්න. ඔබ යම් අසනීපයක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටිනවා නම් ඔබේ වෛද්‍යවරයාගෙන් ඔබේ රෝග තත්වය පිළිබඳ විස්තර ඇතුළත් ලිපියක් ලබාගන්න. (සැ. යු. සමහර රටවල් තුළට ඖෂධ ගෙන යෑම තහනම් කර තිබෙනවා. වැඩි විස්තර සඳහා ඔබ යෑමට බලාපොරොත්තු වන රටේ තානාපති කාර්යාලයෙන් ඒ ගැන විමසන්න.)

සංචාරයේ යෙදෙන විට

1. හුඟක් වටිනා නැවත ලබාගත නොහැකි දේවල් ගෙන යන්න එපා.

2. ගුවන් බල පත්‍රය වැනි වෙනත් වටිනා දේ ඔබ ළඟම තබාගන්න. ඒවා බඩු ගෙන යන බෑගයේ හෝ පිටතට පෙනෙන සාක්කුවල නොදමන්න. සියලුම ලියකියවිලි පවුලේ එක සාමාජිකයෙක් ළඟම තබන්න එපා.

3. ඔබේ පසුම්බිය සාක්කුවේ දමනවා නම් සොරෙකුට එය ගැනීමට නොහැකි වන සේ වගබලා ගන්න. පසුම්බිය රබර් පටියකින් එතීමෙන් ගැටකපන්නන්ට එය පහසුවෙන් ගැනීමට නොහැකි වෙයි.

4. ක්‍රෙඩිට් කාඩ් පතෙන් බඩු මිල දී ගන්නා විට ඒ ගැන කල්පනාකාරි වන්න. ඔබේ කාඩ් පතේ තිබෙන මුදල් සීමාවට වඩා වැඩියෙන් ඔබ වියදම් කළොත් සමහර රටවල ඔබව අත් අඩංගුවට ගැනීමට ඉඩ තිබෙනවා.

5. හමුදා බලඇණි හෝ ගොඩනැඟිලි, වරාය, දුම්රිය ස්ථාන හෝ ගුවන් තොටුපොළ වැනි ස්ථාන ඡායා රූපගත කරද්දී කල්පනාකාරි වන්න. සමහර රටවල ආරක්ෂාවට එය තර්ජනයක් ලෙස සලකයි.

6. නාඳුනන කෙනෙකුගේ බඩු ගෙන යෑමට භාර නොගන්න.

සිහිවටන මිල දී ගැනීමේදී

1. බොහෝ රටවල් ඇත් දළ, ඉබි කටු, විවිධ පැළ වර්ග, සතුන්ගේ සම් වර්ග සහ වෙනත් සමහර දේවලින් තැනූ කුඩා සිහිවටනයක් පවා රට තුළට ගෙන ඒම තහනම් කර තිබෙන බව මතක තබාගන්න.

2. දිලිසෙන පිඟන් මැටිවලින් සෑදූ බඩු මිල දී ගැනීමේදී කල්පනාකාරි වන්න. ඒවා නිසි ලෙස නොසාදා තිබේ නම් ඒවාවල ආලේප කර තිබෙන ඊයම් විෂවීමට ඉඩ තිබෙනවා.

[පාදසටහන]

^ 27 ඡේ. තොරතුරු රැගෙන තිබෙන්නේ 10542 රජයේ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකින්.

[5වන පිටුවේ පින්තූරය]

පාරිසරික සංචාරයන් ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා