Skip to content

පටුනට යන්න

සංචාරක ව්‍යාපාරයේ අනාගතය

සංචාරක ව්‍යාපාරයේ අනාගතය

සංචාරක ව්‍යාපාරයේ අනාගතය

“හැම රටකම පාහේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව පරිසරයේ පරිහානියට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවට සාක්ෂි දකින්න තිබෙනවා.”—ලෙනාඩ් ජේ. ලිකෝරිෂ් සහ කාසන් එල්. ජෙන්කන්ස්ගේ “An Introduction to Tourism” නමැති ප්‍රකාශනය.

සංචාරක ව්‍යාපාරයේ දියුණුව පාරිසරික ගැටලු ඇතිවීමට පමණක් නොව වෙනත් ගැටලුවලටද දායක විය හැකියි. මේවායින් කීපයක් අපි දැන් කෙටියෙන් සලකා බලමු. ඉන්පසු, අනාගතයේදී මවිතාකාර මේ ලොව වටා සංචාරයේ යෙදෙන ආකාරයගැනත්, එහි තිබෙන නෙත් සිත් ආකර්ෂණය කරන ස්ථාන ගැනත් විශේෂයෙන්ම එහි සිටින ප්‍රියකරු ජනයා ගැනත් අපි සාකච්ඡා කරන්නෙමු.

පාරිසරික ගැටලු

සංචාරයේ යෙදෙන්නන්ගේ විශාල සංඛ්‍යාව අද දින ගැටලු ඇතිවීමට හේතුවක් වී තිබෙනවා. “සංචාරකයන් නිසා ඉන්දියාවේ ටජ් මහලට හානි සිදු වී ඇති බවත්, ඊජිප්තුවේ පිරමිඩවලටත් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණීම නිසා හානි සිදු වන බවත්” පර්යේෂකයන් දෙදෙනෙක් වන ලිකෝරිෂ් සහ ජෙන්කන්ස් ලියා තිබෙනවා.

මීට අමතරව, පාලනයකින් තොරව සංචාරකයන්ගේ පැමිණීම සංරක්ෂිත ප්‍රදේශවල තිබෙන පැළ විනාශ වීමට හෝ වර්ධනය බාල වීමට හේතු විය හැකියි. එපමණක්ද නොව සංචාරකයන්, දුර්ලභ ගනයේ මුහුදු බෙල්ලන් හා කොරල් වැනි දේවල් එකතු කරගැනීම හෝ සංචාරකයන්ට විකිණීම සඳහා ස්වදේශිකයන් එවැනි දේවල් එකතු කරගැනීම නිසා සත්වයන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ල විය හැකියි.

සංචාරකයන් නිසා පරිසරය දූෂණය වෙයි. එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනට අනුව එක් සංචාරකයෙකු දිනකට කිලෝග්‍රෑම් එකක කැළි කසළ ප්‍රමාණයක් ඉවත දමනවා. පිටිසර පළාත් පවා ඉතා දරුණු ලෙස දූෂණය වන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. වැසි වනාන්තර රැකගැනීම සඳහා කටයුතු කරන එක් සංවිධානයක් විසින් මෑතක පළ කළ වාර්තාවක මෙසේ සඳහන් වුණා. “සංචාරකයන් හිමාල කඳු තරණය කරද්දී එහි මාර්ගවල කැළි කසළ දමනවා. ඒ විතරක් නෙවෙයි ආහාර පිසගැනීමට සහ නෑමට ජලය උණු කරගැනීම සඳහා ගස් කොළන් කැපීම නිසාත් ඇල්පයින් වනාන්තර විනාශ වී යෑමේ තර්ජනයට ලක් වී තිබෙනවා.”

ඊට අමතරව ඔවුන් ස්වදේශිකයන්ගේ සම්පත් සෑහෙන ප්‍රමාණයක් පරිභෝජනයට ගනු ලබනවා. මීට උදාහරණයක් පෙන්වනවා නම් ජේම්ස් මැක් විසින් රචිත පොතක මෙසේ සඳහන් වෙනවා. “ග්‍රනාඩා දූපතේ සංචාරයේ යෙදෙන්නන් ස්වදේශිකයන්ට වඩා හත් ගුණයක ජල ප්‍රමාණයක් භාවිත කරනවා. හවායිවල සංචාරකයන් කෙළින්ම හෝ වක්‍රව එහි මුළු බල ශක්තියෙන් සියයට 40ක් භාවිතයට ගන්නා අතර එහි වැසියන්ගෙන් අටදෙනෙකුගෙන් එක් කෙනෙක් පමණයි සංචාරකයෙක් වන්නේ.”—Tourism and the Economy.

සංචාරකයන් සංවර්ධනය වෙමින් පවතින රටකට පැමිණීම සඳහා විශාල මුදලක් වැය කරන බව සත්‍යයක්. නමුත් ඒ මුදලින් එහි රට වැසියන්ට වැඩි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ලෝක බැංකුව පෙන්වන ආකාරයට සංචාරකයන් වැය කරන මුළු මුදලින් සත්කාර රටට ලැබෙන්නේ සියයට 45ක් පමණයි. ඉතුරු මුදල සංවර්ධිත රටවල් තුළට ගලා යයි. එයට හේතුව සංචාරය සැලසුම් කරන ආයතන තිබෙන්නෙත් හෝටල් හිමිකරුවන් සිටින්නෙත් එම සංවර්ධිත රටවල වීමයි.

සමාජයට එල්ලවන අහිතකර බලපෑම

බටහිර රටවලින් පැමිණෙන ධනවත් සංචාරකයන් සංවර්ධනය වෙමින් පවතින රටවලට පැමිණීමේදී ස්වදේශීය සංස්කෘතීන්වලට විවිධාකාර අහිතකර බලපෑම් ඇති කරයි. උදාහරණයකට සංචාරකයන් පැමිණෙන විට තම සැප පහසුව සඳහා නොයෙකුත් භාණ්ඩ රැගෙන එනවා. ස්වදේශිකයන් එවැනි දේ දකිද්දී ඒවා ඔවුන්ට සිහිනයක් වගෙයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් එම මිල අධික භාණ්ඩවලට ආශාවක් දක්වන නමුත් ඒවාවලට ගෙවීමට ඔවුන් ළඟ මුදල් නැහැ. ඔවුන්ට ඒවා ගත හැකි වන්නේ තම ජීවන රටාවේ විශාල වෙනසක් සිදු කළොත් පමණයි. එම වෙනස්කම් කිරීමට යෑමෙන් ඔවුන්ට අහිතකර බලපෑම්වලට මූණ දෙන්න සිදු වෙනවා.

සංචාරකයන් වැඩි වන විට ඇති විය හැකි ගැටලු කීපයක් ගැන මැක් සඳහන් කරනවා. එයින් “සංස්කෘතියේ සහ සමාජයේ අනන්‍යතාව නැති වෙනවා පමණක් නොව කලින් පොදුවේ පාවිච්චි කළ ස්වාභාවික සම්පත් ගැනද භේද ඇති විය හැකියි. එමෙන්ම අපරාධ සහ ගණිකා වෘත්තියේ යෙදෙන අයගේ සංඛ්‍යාවද වැඩි වෙන්න පුළුවන්.”

වෙනත් රටක සිටිද්දී සංචාරකයන් තමන්ගේ රටේදී නොකරන දේවල් පවා කිරීමට ඉඩ තිබෙනවා. මේ නිසා සංචාරකයන් දුරාචාරමය හැසිරීම්වල යෙදෙනවා. මෙවැනි ක්‍රියා හේතුවෙන් දරුණු ප්‍රතිඵල ඇති වන ගැටලුවක් පැන නැඟී තිබෙනවා. එම ගැටලුව ගැන මැක් පැවසුවේ “ගණිකා වෘත්තියට ළමයින් යොදාගැනීමට සංචාරක ව්‍යාපාරයෙන් විශාල බලපෑමක් සිදු වෙනවා; එය කොයි කාගෙත් සැලකිල්ලට යොමු වෙමින් පවතිනවා” කියායි. ඒ වගේම 2004දී CNN පුවත් වාර්තාවක මෙසේද හෙළි කළා. “ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙක්සිකෝවේ ලිංගික අපචාරවලට ගොදුරු වන ළමුන්ගේ සංඛ්‍යාව 16,000-20,000ක් අතර සංඛ්‍යාවක්. මෙම අපරාධය බොහෝදුරට සිදු වන්නේ මෙක්සිකෝවේ දේශ සීමාවේ තිබෙන නගරවල සහ සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවලයි.”

සංචාරයේ හිතකර පැති

අපේ පෘථිවි ග්‍රහයා ඇත්තටම මවිතාකාර නිවහනක්. නිතරම අලංකාර දේවල් දකින්න ලැබෙනවා. ඒවායින් කීපයක් නම් මනහර හිරු බැස යෑම; දිදුලන තරු; විවිධත්වයකින් යුත් තුරුලතාදිය සහ සතුන් යනාදියයි. අපි කොතැනක ජීවත් වුවත් අපිට මේවායින් හෝ වෙනත් මවිතාකාර දේවලින් සමහරක් භුක්ති විඳින්න පුළුවන්. එහෙත් සංචාරයේ යෙදී වෙනත් ප්‍රදේශවල තිබෙන අලංකාර දේවල් දකින්න ලැබෙනවා නම් මොන තරම් කදිම දෙයක්ද!

මෙවැනි අලංකාර භෞතික දේවල් රාශියක් තිබුණත් ඒවා භුක්ති විඳින්න කැමති වුණත්, බොහෝ සංචාරකයන් පවසන්නේ වෙනස් සංස්කෘතීන්වල වෙසෙන ජනයාව දැනගන්න ලැබීමෙන් ඊටත් වඩා ප්‍රීතියක් ලබන බවයි. වෙනත් අය ගැන අහන්න ලැබෙන නිෂේධාත්මක අදහස් අසත්‍ය බව බොහෝවිට සංචාරකයන් වටහාගෙන තිබෙනවා. ඔවුන්ගේ සංචාරය නිසා වෙනත් ජාතීන්වල හා සංස්කෘතීන්වල සිටින ජනයාව තේරුම්ගන්නත්, මිත්‍රත්වයන් ඇති කරගන්නත් ඔවුන්ට හැකි වී තිබෙනවා.

සංචාරය කරන බොහෝදෙනෙකු තේරුම්ගෙන තිබෙන්නේ තමන් සතු දේ නොව අන්‍යයන් සමඟ තමන් ඇති කරගෙන තිබෙන සබඳතා කෙනෙකුගේ සතුටට බලපාන බවයි. එයින් අදහස් වන්නේ තිබෙන මිත්‍රත්වයන් ශක්තිමත් කරගැනීම සහ අලුත් මිත්‍රත්වයන් ඇති කරගැනීමයි. පළමුවන සියවසේ විසූ සංචාරකයන්ගේ නැව ගිලුණු විට “විදේශීය භාෂාවක් කතා කළ [මෝල්ටාවේ] ජනයා” ඔවුන්ට “මානව දයාව” පෙන්වූ විට ඔවුන් මොන තරම් සැනසිල්ලක් ලැබුවාද කියා බයිබලයේ තිබෙන වාර්තාවක පෙන්වයි. (ක්‍රියා 28:1, 2) වෙනත් රටවලට යද්දී සහ අන් මනුෂ්‍යයන්ව මුණගැසෙද්දී අද දින බොහෝදෙනෙක් වටහාගෙන තිබෙන්නේ අපි ඇත්තෙන්ම එකම මිනිස් පවුලක් බවයි. එමනිසා අපිට සාමකාමීව මෙලොවේ විසීමට හැකියාවක් තිබෙනවා.

අද දින ලොව වටා සංචාරයේ යෙදෙන්න හැකි වී තිබෙන්නේ සුළු පිරිසකට පමණයි. ඒත් අනාගතය ගැන කුමක් කිව හැකිද? වැඩිදෙනෙකුට එසේ නැතහොත් සැමදෙනාටම එවැනි සංචාරයක යෙදෙන්න ප්‍රස්තාව ලැබෙයිද?

අනාගතය සඳහා අපේක්ෂාවන්

අපි හැමෝම එකම පවුලේ සාමාජිකයන් බව ස්ථිරයි. සැබෑ තත්වය නම් මෙයයි. පළමු මිනිස් යුවළට දෙවි අනතුරු අඟවා තිබුණේ ඔවුන් අකීකරු වුණොත් මිය යන බවයි. ඔවුන්ට සිදු වුණේ එයයි. (උත්පත්ති 1:28; 2:17; 3:19) ඔවුන්ගෙන් පැවත එන සියල්ලන් ඇතුළු අද දින වෙසෙන අපත් ඔවුන් මහලු වී මිය ගිය ලෙසම මහලු වී මිය යනවා. (රෝම 5:12) නමුත් දෙවිගේ මුල් අරමුණ වුණේ මුළු පොළොවම ඔහුට ප්‍රේම කරන සෙනඟකින් ජනාවාස කිරීමයි. මෙම අරමුණ ඉටු කරන බවට දෙවි පොරොන්දු වෙනවා. ඔහුගේ වචනය වන බයිබලයේ පවසන්නේ “මම කතා කළෙමි මම ඒක ඉෂ්ට කරන්නෙමි” කියායි.—යෙසායා 45:18; 46:11; 55:11.

මෙය මොන තරම් විශිෂ්ට පොරොන්දුවක්ද! දේවරාජ්‍යයේ පාලනය යටතේ “ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය” කියා බයිබලයේ පොරොන්දු වෙනවා. (ගීතාවලිය 37:29; මතෙව් 6:9, 10) අනාගතයේදී පොළොවේ වෙසෙන ජනයා ගැන බයිබලයේ මෙසේ පැහැදිලි කරනවා. “දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4.

ඒ කාලයේදී ලොව වටා සංචාරයේ යෙදීමටත්, එහි තිබෙන නෙත් සිත් ආකර්ෂණය කරන ස්ථාන දැක බලාගැනීමටත්, විශේෂයෙන්ම එහි සිටින ප්‍රියකරු ජනයාව හඳුනාගැනීමට ලැබෙන ප්‍රස්තාව ගැනත් සිතා බලන්න. එදාට ආරක්ෂාව ගැන බිය වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුළු පොළොවේම සිටිනු ඇත්තේ අපේ මිතුරන් නිසා ‘ලෝකයේම සිටින්නේ මුළු සහෝදර සංගමයක්’ කියා බයිබලයේ පවසන දේ එදාට සැබෑවක් වෙනවා.—1පේතෘස් 5:9.

[8, 9වන පිටුවේ පින්තූරය]

සංචාරයේදී වඩාත් සිත්ගන්නේ වෙනත් සංස්කෘතීන්වල ජනයා සමඟ මිතුදම් ඇති කරගැනීමයි

අනාගතයේදී ජනයාව හා නොයෙක් ස්ථාන හිතේ හැටියට දැක බලාගත හැකියි