Skip to content

පටුනට යන්න

සත්ව ලෝකයේ සහයෝගිතාව

සත්ව ලෝකයේ සහයෝගිතාව

සත්ව ලෝකයේ සහයෝගිතාව

සත්ව ලොවේ පැවැත්මට “වර්ගයාව බිහි කිරීම විතරක් නෙමෙයි එකම වර්ගයේ සහ විවිධ වර්ග අතර සහයෝගයෙන් ජීවත් වීමද ඇතුළත් වෙනවා.”—“Liaisons of Life.” නමැති ප්‍රකාශනය.

සාගරය නිහඬයි. නිසලයි. එකම බාධාව මුහුදු ලිහිණියන්ගේ ඝෝෂාව පමණයි. උන්ගේ කලබලයෙන් පැහැදිලි වන්නේ ගැඹුරු මුහුදේ යමක් සිදු වෙන බවයි. එකපාරටම සුදු බුබුළු මතු වෙන්න පටන්ගනියි. ඒවා මතු වෙන්නේ විශාල වළල්ලක ආකාරයෙන්. ඊළඟ මොහොතේදී වළල්ල ඇතුළේ අමුතු දෙයක් දිස් වෙනවා. මේ දිස් වන්නේ මුහුදු පතුලේ සිට පැමිණෙන මොල්ලි තල්මසුන් දෙදෙනෙකුයි. උන් මතු වෙන්නේ මුඛය ඇරගෙනයි. මෙම වර්ගයේ තල්මසුන්ට දත් නැහැ. ඒ වෙනුවට උන්ට තිබෙන්නේ කෙඳියි. උන් මුහුද මතු පිටට ආ විගස උන්ගේ විශාල මුඛය වසා උන්ගේ හිස උඩ තිබෙන නාස් පුඩුවලින් හුස්ම පිට කරනවා. එම හුස්ම ඉතාමත් උණුසුම්. මේ ආකාරයෙන් උන් නැවත නැවතත් මුහුද මතු පිටට ඇවිත් යළිත් පතුලට යනවා.

මේ සද්දන්ත තල් මසුන් දෙදෙනා තම ආහාරය සඳහා කූනිස්සන් වැනි කුඩා ජීවීන්ව සොයාගැනීමට සහයෝගයෙන් වැඩ කරනවා. ටොන් 40ක් බරැති මෙම ක්ෂීරපායි සතුන් මුහුද යට අලංකාර රැඟුමක් රඟන්නා සේ කිමිදිලා මෙම කුඩා කූනිස්සන් රංචුවට යටින් ගොස් රවුමක හැඩයට පීනන ගමන් නාස් පුඩු තුළින් හුස්ම පිට කරනවා. මෙම හුස්ම නිසා කලින් සඳහන් කළ විදිහට වළල්ලක හැඩයට බුබුළු ඇති වෙනවා. ඒ නිසා කූනිස්සන්ව දැලකින් වට කරලා වගෙයි. දැන් තල්මසාගේ ආහාරය තිබෙන්නේ එම “දැල” ඇතුළෙයි. මෙම තල්මසුන් උන් සාදාගත් “දැල” මැදින් මතු වී කූනිස්සන්ව ඩැහැගන්නවා.

අප්‍රිකාවේ තැනිතලා භූමිවල බැබූන් සහ මුව වර්ගයක් වන ඉම්පාලාවන් සහයෝගයෙන් ජීවත් වෙනවා. එක් සඟරාවක පෙන්නුම් කරන්නේ “මෙම සත්ව වර්ග දෙක එකමුතුව තමන්ගේ ආරක්ෂාව සපයාගන්නා බවයි.” (එම සඟරාව Scientific American) මෙම මුව වර්ගය සතු විශිෂ්ට ගඳ සුවඳ දැනීමේ හැකියාව සමඟ බැබූන්ගේ තියුණු ඇස් පෙනීමේ හැකියාව එකතු වූ විට දඩයක්කරුවන්ට පහසුවෙන් උන් වෙතට ළඟා වෙන්න බැහැ. මේ හා සමාන සහයෝගයක් දක්නට ලැබෙන්නේ තියුණු ලෙස ඇස් පෙනෙන පැස්බරාවන් හා හොඳින් කන් ඇසෙන සීබ්‍රාවන් අතරයි.

අප අවට ලෝකයේ සතුන් බොහොමයක් සහයෝගයෙන් ජීවත් වෙනවා. ඉන් කිහිපයක් පමණයි අප සලකා බැලුවේ. ඇත්තෙන්ම අන්‍යෝන්‍ය සහයෝගිතාව සෑම ජීවී වර්ග අතරම දක්නට ලැබෙනවා. ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවියෙකු සිට මිනිසා දක්වාත්, සමාන හා අසමාන වර්ගයන් අතරත් එය දක්නට ලැබෙනවා. අවුරුදු දහස් ගණනකට පෙර සොබාදහම ගැන අධ්‍යයනයක නියැලුණ සලමොන් රජ කුඩා කුහුඹුවෙකු ගැන නිරීක්ෂණය කර මෙවන් දෙයක් පැවසුවා. “අලසය, කුහුඹුවා ළඟට ගොස් උගේ මාර්ග කල්පනා කරමින් නැණවත් වෙන්න. ඌ ප්‍රධානියෙක්වත් මුලාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැතුව නියඟ කාලයේ තමාගේ කෑම සපයාගනියි. ශරත් කාලයේ භෝජන රැස් කරගනියි.”—හිතෝපදේශ 6:6-8.

කුහුඹුවන් සහයෝගිතාව, කඩිසරකම හා පිළිවෙළ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. උන් සහයෝගයෙන් වැඩ කරන නිසා උන්ට වඩා විශාල ගොදුරු උන් වෙසෙන ගුලට ඇදගෙන යන්න හැකියාව තිබෙනවා. සමහර කුහුඹුවන් උන් අතර සිටින අනතුරට පත් හෝ වෙහෙසට පත් කුහුඹුවන්ට උපකාර කරනවා. උන්ගේ මෙම අපූර්ව ක්‍රියා බලන කල සාලමොන් ආදර්ශයක් හැටියට කුහුඹුවාව තෝරාගැනීම පුදුමයක් නොවෙයි.

මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපිවල මිනිස් ජීවිතය ඇතුළත්ව සියලුම ජීවීන්ගේ පැවැත්මට සහයෝගිතාව අත්‍යවශ්‍ය වන ආකාරය අප සලකා බලන්නෙමු. තවදුරටත් මිනිස් වර්ගයා සොබාදහමෙන් අයුතු ප්‍රයෝජන ගන්නා ආකාරය, එය දූෂණය කරන ආකාරය හා විවිධ සත්ව වර්ගයන් පැවැත්මෙන් තොර වීමට කටයුතු කරන ආකාරය ගැනද සලකා බලමු. මෙයින් පැන නඟින ප්‍රශ්නය නම් අපගේ මැවුම්කරු මෙවැනි තත්වයක් පැවතීමට සදාකාලයටම ඉඩ දෙයිද යන්නයි.

[13වන පිටුවේ පින්තූරය]

ඉහළ: බැබූන් සහ ඉම්පාලා මුවන් අන්‍යෝන්‍යව තම ආරක්ෂාව සපයාගනියි

[14වන පිටුවේ පින්තූරය]

කුහුඹුවන් සහයෝගිතාවට කදිම ආදර්ශයක්

[14වන පිටුවේ පින්තූරය]

තියුණු ලෙස ඇස් පෙනෙන පැස්බරාවන් හා හොඳින් කන් ඇසෙන සීබ්‍රාවන් අතර එකමුතුකමක් දක්නට ලැබෙනවා