Skip to content

පටුනට යන්න

සහයෝගිතාව මෙතරම් වැදගත් මන්ද?

සහයෝගිතාව මෙතරම් වැදගත් මන්ද?

සහයෝගිතාව මෙතරම් වැදගත් මන්ද?

“කිසිම ජීවියෙකුට සම්පූර්ණයෙන්ම තනිවීමට බැහැ. කෙළින්ම හෝ වක්‍රව වෙනත් ජීවීන් සමඟ සම්බන්ධ වෙන්න සිදු වෙනවා.”—“Symbiosis—An Introduction to Biological Associations” යන ප්‍රකාශනය.

සියලුම ජීවීන් අතර සබඳතාවක් හා එකිනෙකා මත යැපෙන ආකාරයක් තිබෙන බව දක්නට ලැබෙන නිසා “ජෛව ජාලය“ යන යෙදුම ගැළපෙනවා. මිනිස් වර්ගයාත් මෙම ජාලයට අයිති වෙනවා. ඔබේම ශරීරය දෙස බලද්දී මෙය සැබෑවක් බව ඔප්පු වෙයි. ජීර්ණ පද්ධතිය තුළ සිටින හිතකර බැක්ටීරියාවන් හමුදාවක් මෙන් අපේ නිරෝගිකම රැකීමට දායක වෙනවා. මෙම බැක්ටීරියාවන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන අතර අපේ ජීර්ණ ක්‍රියාවලිය හරියාකාරව ඉටු කිරීම සඳහා මෙන්ම අත්‍යවශ්‍ය විටමින් නිපදවීමටද උපකාරවත් වෙනවා. අනික් අතට මෙම බැක්ටීරියාවන්ගේ පැවැත්මට අපෙනුත් දායකත්වයක් ලැබෙනවා. අප එම බැක්ටීරියාවන්ට ආහාරත් හිතකර වාතාවරණයකුත් සපයා දෙනවා.

මේ හා සමාන සිදුවීම් සත්ව ලෝකයේද දක්නට තිබෙනවා. විශේෂයෙන්ම වමාරා කන සතුන්, එනම් ගවයන්, මුවන් සහ බැටළුවන් අතර මෙය දක්නට ලැබෙනවා. උන්ගේ ආමාශය විවිධ කොටස්වලට බෙදී තිබෙන අතර එහි මුල් කොටස විවිධ බැක්ටීරියා, දිලීර, ඇමීබා වර්ගවලට නිවහනක් වෙයි. මෙම සතුන්ගේ ආහාරවල තිබෙන කාබෝහයිඩ්රේට වර්ග පහසුවෙන් ජීරණය වන්නේ නැහැ. ඒ නිසා ඒවා ජීරණය කිරීමට සහ අවශ්‍ය පෝෂණ කොටස් ලබා දීමට ක්ෂුද්‍ර ජීවීන් දායක වෙනවා. කාබෝහයිඩ්රේට වර්ග ආහාරයට ගන්නා කැරපොත්තෝ, කාවෝ, වේයෝ සහ දෙබරු වැනි සමහර කෘමීන්ද තම ජීරණ ක්‍රියාවලියට බැක්ටීරියාවන්ගෙන් ප්‍රයෝජන ගන්නවා.

එකිනෙකාට වෙනස් මෙවැනි ජීවීන් අතර තිබෙන සහයෝගිතාව හඳුන්වන්නේ “සහජීවනය ලෙසයි.” * “ජීව පද්ධති සියල්ලේම වර්ධනයට එවැනි සහජීවනයක් අත්‍යවශ්‍යයි” කියා ටොම් වේක්ෆර්ඩ් ඔහු විසින් ලියූ පොතක සඳහන් කරයි. (එම පොත Liaisons of Life) අප දැන් පස ගැන සලකා බලමු. ඊට හේතුව බොහෝ කුඩා ජීව පද්ධතීන් පසෙහි වර්ධනය වීමයි.

පසෙහි පණ තිබෙනවා වගෙයි!

පසට යම් බලයක් තිබෙනවා කියා බයිබලයේ සඳහන් කරයි. (උත්පත්ති 4:12) මෙහි සත්‍යයක් තිබෙන බව පැහැදිලියි. මන්ද සරු පස නිකම්ම නිකම් අජීවි වැලි ගොඩක් නොවෙයි. එය ජීවීන්ගේ වර්ධනයට හිතකර පරිසරයක්. ඒ විතරක් නොවෙයි. විවිධ ජීවීන්ගෙන්ද ගහනයි. පස් කිලෝග්‍රෑම් එකක් පමණ ප්‍රමාණයක බැක්ටීරියා බිලියන 500කට වඩාද, දිලීර බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක්ද, කෘමීන්, පණුවන් සහ විවිධ කුඩා ජීවීන් මිලියන 500ක් පමණද අඩංගු විය හැකියි. මෙම ජීවීන් බොහොමයක් සහයෝගයෙන් වැඩ කරන අතර කොළ සහ සත්ව අශුචි වැනි දේ දිරාපත් වීමට සලස්වනවා. එසේ දිරාපත් වීමේදී ශාකවලට ප්‍රයෝජනවත් වන නයිට්‍රජන් ලැබෙනවා. ඊට අමතරව මෙම ජීවීන් කාබන්, කාබන් ඩයොක්සයිඩ්වලට සහ වෙනත් සංයෝගවලට පරිවර්තනය කරනවා. ඒවා ශාකවල ප්‍රභාසංශ්ලේෂණය සඳහා අවශ්‍ය කරයි.

ඇල්ෆැල්ෆා, උඳුපියලි, ධාන්‍ය සහ සෝයා බෝංචි වැනි රනිල කුලයට අයත් ශාකවලට බැක්ටීරියා විශේෂ නෑකමක් දක්වනවා. එම ශාකවල මුල් පද්ධතියට මෙම බැක්ටීරියාවන් ‘ඇතුල් වෙනවා.’ ඒත් ඔවුන්ගෙන් ශාකවලට හානියක් සිදු නොවෙන අතර ඔවුන් ශාකවල මුල්වල කුඩා ගෙඩි සෑදීමට සලස්වා එම ගෙඩි තුළ ජීවත් වෙනවා. පසුව එම ගෙඩි තුළ සිටිද්දී ඔවුන් 40 ගුණයකින් පමණ විශාල වෙනවා. මෙම බැක්ටීරියාවන්ගේ රාජකාරිය වන්නේ ශාකයට ප්‍රයෝජනවත් වන ආකාරයකට නයිට්‍රජන් “සකස් කර” දීමයි. මෙම බැක්ටීරියාවන්ට ශාකවලින් ආහාර ලැබෙනවා.

දිලීරවලින්ද පැළ වර්ධනයට විශාල දායකත්වයක් ලැබෙනවා. ගස්, පඳුරු සහ තණ කොළ ආදිය පොළොව යට තිබෙන දිලීර සමඟ සම්බන්ධ වෙනවා. මෙම දිලීර මුල් පද්ධතියට ‘ඇතුල් වී’ ජලයද යකඩ, ෆොස්ෆරස්, පොටෑසියම් හා සින්ක් වැනි අත්‍යවශ්‍ය ඛනිජ ද්‍රව්‍යයද උරාගැනීම සඳහා ශාකවලට උපකාර කරනවා. ඊට ප්‍රති උපකාරයක් හැටියට ශාකය දිලීරවලට අවශ්‍ය කාබොහයිඩ්රේට් ලබා දෙනවා. එසේ කරන්නේ දිලීරවල හරිතප්‍රද නොමැති නිසා තමන්ගේ ආහාර නිපදවා ගැනීමට ඒවාට හැකියාවක් නැති නිසයි.

දිලීර මත වැඩි වශයෙන් රඳා පවතින ශාකයක් වන්නේ ඕර්කිඩ් ශාකයයි. ඉබේ වැවෙන ඕර්කිඩ්වලට මුල් අවදියේදී, එනම් බීජයකින් පැළය හටගන්න අවදියේදී ඊට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්නේ මෙම දිලීරයි. ඒ වගේම වැඩුණු ඕර්කිඩ් පැළවලටද පෝෂ්‍ය කොටස් උරාගැනීමට දිලීර උපකාර වෙනවා. එම පැළවල මුල් ටිකක් තිබීම ඊට හේතුවයි. දිලීර ඕර්කිඩ් පැළ තුළ ක්‍රියාකාරී වන ආකාරය පිළිබඳව ටොම් වේක්ෆර්ඩ් මෙසේ අදහස් දක්වනවා. “දිලීර ඕර්කිඩ් පැළයට අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ නිසි ලෙස ලබා දීම සඳහා ප්‍රබල ලෙස ක්‍රියාකාරී වෙනවා. ඊට ප්‍රති උපකාරයක් ලෙස ශාකයෙන් දිලීරවලට විටමින් සහ නයිට්‍රජන් සංයෝග කුඩා ප්‍රමාණයක් ලැබෙනවා. ඒත් ඕර්කිඩ් ශාකය දිලීරයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ සීමා සහිතවයි. හදිසියේවත් දිලීර තම වාසස්ථානය වන මුල්වලින් ඉහළට පැමිණීමට තැත් කළොත් ශාකය ඊට ඉඩ නොදී එම ශාකයෙන්ම නිපදවන දිලීර නාශකයක් පාවිච්චි කර තත්වය පාලනය කරනවා.”

මල් පිපෙන ශාක සහ පස අතර තිබෙන සහයෝගිතාව ඇසට නොපෙනේ. නමුත් ඇසට පෙනෙන සහයෝගිතාවන්ද තිබෙනවා.

බෝවීම සඳහා සහයෝගිතාව

මී මැස්සෙකු මලක් මත වසන විට එම මී මැස්සා සහ එම මල් ගස අතර සහජීවනයක් ඇති වෙයි. මී මැස්සාට මල් පැණි සහ පරාග ලැබෙන අතර මලටත් තම වර්ගයේ ගස්වල මල්වලින් පරාග ලැබෙයි. මෙම සහයෝගිතාව නිසා මල් පිපෙන ශාකවලට පැළ බෝ කිරීමට හැකියාවක් ලැබෙනවා. පරාගනය සිදු වූ පසු මල් ගස මල් පැණි නිෂ්පාදනය නවතා දමනවා. “මල් පැණි නැත” කියා ඇඟවීමට මල විසින් නොයෙකුත් ක්‍රම භාවිත කරනවා. එම ක්‍රමවලට මලෙහි සුවඳ අඩුවීමද, පෙති හැලීමද, වර්ණය අඩුවීමද ඇතුළත් වෙයි. මලක් මෙසේ පර වී යන විට අපට එය දුකක්. නමුත් මෙම මල මී මැස්සෙකුට අවශ්‍ය පණිවිඩය ලබා දී තිබෙන නිසා දැන් මී මැස්සාට වෙනත් මලකින් මල් පැණි ගැනීමට කාලය ඇවිත්.

මෑතක සිට පරාගනයට විශේෂයෙන්ම දායක වන මී මැස්සන් විශාල වශයෙන් වඳ වී යෑමේ තර්ජනයට ලක් වී තිබෙනවා. මෙය ශාකවලට විශාල පාඩුවක්. මල් පිපෙන ශාකවලින් සියයට 70ක් පමණ තම පරාගනය සඳහා කෘමීන්ගේ සහය පතනවා. ඊට අමතරව අපේ ආහාරවලින් සියයට 30ක් ලැබෙන්නේ මී මැස්සන්ගෙන් සිදු වන පරාගනය නිසයි.

කුහුඹුවන්ගේ දස්කම්

සමහර කුහුඹුවන්ද ශාක සමඟ සහජීවනයෙන් කටයුතු කරනවා. උන්ට ශාකයෙන් නිවහනක් සහ ආහාර ලැබෙන නිසා උන්ද ශාකයෙහි පරාගන ක්‍රියාවලියට උදව් කරනවා. අවශ්‍යතාවක් තිබේ නම් ශාකයේ බීජ පැතිරවීමට, පෝෂණය ලබා දීමට හෝ එම ශාකය සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීමට කුහුඹුවන් උපකාර කරයි. එක් කුහුඹු විශේෂයක් ඇකේෂියා ශාකයේ කටු ඇතුළේ ජීවත් වෙනවා. ඊට අමතරව කුහුඹුවා ශාකය අවට ගමන් කරද්දී හානිදායක වැල් පවා විනාශ කරනවා. කුහුඹුවන් කරන මෙම අනර්ඝ සේවයට ශාකය උන්ට තුති පුදන්නේ මල් සැපයීමෙනුයි.

තවත් සමහර කුහුඹු වර්ග “සත්ව ගොවිපොළක්” පවත්වාගෙන යනවා. උන් ඇති කරන්නේ චූටි කූඩිත්තන්ව. කුහුඹුවන් මෙම කූඩිත්තන්ව සෙමින් ස්පර්ශ කරන විට උන් පැණි රස දියරයක් පිට කරනවා කුහුඹුවන්ගේ ආහාර සඳහා. කූඩිත්තන් ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “කුහුඹුවන් මෙම කූඩිත්තන්ව රැක බලාගන්නේ ගව පට්ටියක් රැක බලාගන්නා ආකාරයටයි. උන්ගෙන් ආහාර ලබාගෙන උන්ව ආරක්ෂා කරගන්නවා.” (පොතේ නම Symbiosis) ගොවියෙක් කරන ආකාරයටම කුහුඹුවන් මෙම කූඩිත්තන්ව රෑට උන්ගේ ගුලට රැගෙන ගොස් උදේට නැවතත් උන්ව පෝෂණය කිරීම සඳහා කූඩිත්තන්ව ශාක දළු මත තබනවා. කුහුඹුවන් මෙසේ රැක බලාගන්නේ කූඩිත්තන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. එක කුහුඹු ගුලක කූඩිත්තන් දහස් ගණනක් සිටින්න පුළුවන්.

දළඹු අවස්ථාවේදී සමහර සමනලයන්ද කුහුඹුවන්ගෙන් ඇප උපස්ථාන ලබනවා. නිල් සමනලයා මින් එකෙකි. ඌ රතු කුහුඹුවන් සමඟ සහජීවනයෙන් සිටින නිසා පමණයි උන්ගේ ජීවන චක්‍රය සාර්ථක වන්නේ. දළඹු අවස්ථාවේදී කුහුඹුවන්ගෙන් උන් ලබන ආරක්ෂාවට උන්ද කුහුඹුවන්ට පැණි රස ආහාරයක් සපයා දෙයි. ඌ සමනලයෙකු වූ පසු කිසිම කරදරයකින් තොරව කුහුඹු ගුලෙන් ඉගිළ යයි.

හතුරා සමඟ විසීම

ඔබ කුරුල්ලෙක් නම් පණ තියෙන සර්පයෙක්ව කූඩුවට රැගෙන එනවාද? “කොහෙත්ම නැහැ” කියා ඔබ කියයි. ඒත් බස්සන්ගෙන් එක් විශේෂයක් උන්ගේ කූඩුවට සර්පයින් වර්ගයක් රැගෙන එනවා. මෙම සර්පයා බස්සාගේ පැටවුන්ට හානි නොකර කූඩුවේ ඉන්න කුහුඹුවන්, මැස්සන්, කෘමීන් සහ අනෙකුත් පණුවන් ආහාරයට ගෙන කූඩුව පවිත්‍රව තබාගැනීමට උපකාර කරනවා. මෙම කුරුලු පැටවුන් සහ සර්පයා අතර තිබෙන සම්බන්ධය ගැන එක් සඟරාවක මෙසේ පවසා තිබුණා. මෙම සර්පයාගේ සහාය නොමැතිව හැදෙන පැටවුන්ට වඩා මෙම “පැටවුන් හොඳින් වැඩෙන අතර උන්ගේ පැවැත්මත් ඉන් ආරක්ෂා වෙනවා.”—එම සඟරාවේ නම New Scientist.

තවත් කුරුල්ලෙක් සිටිනවා. (උගේ නම water thick-knee, or water dikkop) ඌ සර්පයින් එක්ක නෙමෙයි එක්තරා කිඹුලෝ විශේෂයක් එක්කයි ලගින්නේ. සාමාන්‍යයෙන් කිඹුලෝ සමහර කුරුල්ලන්ව ගොදුරු කරගන්නවා. නමුත් මේ කුරුල්ලා තම කූඩුව තනන්නේ කිඹුලා ලගින ස්ථානය අසල! ඒත් මේ කුරුල්ලා කිඹුලගේ ගොදුරක් නොවී මුර සේවයක යෙදෙනවා. කිඹුලා නැති අවස්ථාවක උන් ලගින ස්ථානයට හෝ කුරුල්ලගේ කූඩුවට යම් අනතුරක් සිදුවීමට යන බව දුටු විට මෙම කුරුල්ලා අනතුරු ඇඟවීමේ ශබ්දයක් නිකුත් කරනවා. එවිට කිඹුලා තම කූඩුව වෙතට ඉක්මනින්ම පැමිණෙනවා.

හොටෙන් හෝ කටෙන් සුද්ද කිරීම

මුවන්, එළදෙනුන්, ජිරාෆ් හෝ ගවයන් වැනි සතුන්ගේ පිට උඩ වහලා ඉන්න ගෙරි කොකා වැනි කුරුල්ලන්ව ඔබ දැක තිබෙනවාද? මේ කුරුල්ලන් සතුන්ගේ හමට කෙටුවත් එය එම සතුන්ට කරදරයක් නෙමෙයි. ඒක උන්ට කරන ලොකු උපකාරයක්. මන්ද මේ කුරුල්ලන් එම සතුන්ට ඉවත් කළ නොහැකි මැක්කෝ, ටික්කෝ වැනි පරපෝෂිතයන් කා දමනවා. ඒ වගේම උන් මෙම සතුන්ගේ තුවාල පවා සුද්ද පවිත්‍ර කරනවා. සමහර අවස්ථාවලදී මෙම කුරුල්ලන් ආරක්ෂක සේවයක් හැටියට අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනවා.

හිපපොටේමස් නිතරම වතුරේ බැස ඉන්න නිසා ඌට පවිත්‍ර වීමට කුරුල්ලෝ විතරක් නෙමෙයි මාළුත් උදව් කරනවා. උන් වතුරේ ඉන්න විට එක් කාප් විශේෂයක් උන්ගේ ශරීරයේ තිබෙන ඕනෑම අනවශ්‍ය දෙයක්, ඒ කියන්නේ මැරුණු සම, පරපෝෂිතයන් සහ ඇල්ගී වැනි දේ කා දමනවා. ඒ විතරක් නෙමෙයි හිපපොටේමස්ගේ දත් හා විදුරුමස් පවා පිරිසිදු කරනවා! මෙම පිරිසිදු කිරීමේ සේවයට වෙනත් මාළුවන්ද හවුල් වෙනවා. ඉන් සමහරුන් තුවාල පවිත්‍ර කරනවා. තවත් සමහර මාළුන් උන්ගේ දිග හොටෙන් හිපපොටේමස්ගේ ඇඟිලි පුරුක් පවා සුද්ද කරනවා.

මාළුන්ටත් මෙවැනි සේවයක් අවශ්‍යයි. උන්ගේ හමෙත් ඉවත් කළ යුතු නොයෙකුත් දෑ තිබෙනවා. බෙල්ලන්, බැක්ටීරියාවන්, දිලීර සහ උකුණන් මේවායින් සමහරක්. ඊට අමතරව තුවාලත් සුද්ද කරගන්න තිබෙනවා. මෙය කරවාගැනීම සඳහා මුහුදේ මාළුන් එක් තැනකට රොක් වෙනවා. මෙම පවිත්‍ර කිරීමේ කාර්යය සඳහා දිප්තීමත් වර්ණවලින් දිදුලන සමහර වැලිගොව්වන්, ගිරෙවාවන් සහ සමහර කූනිස්සන් ඉදිරිපත් වන අතර උන්ටද ආහාර වේලක් ඉන් ලැබෙයි. මෙවැනි කුඩා මාළුන් රාශියක් එකතු වී විශාල මත්ස්‍යයන්ව පවා පිරිසිදු කරනවා!

මත්ස්‍යයෙකුට පිරිසිදු වීමට අවශ්‍ය වූ විට ඒ බව නොයෙකුත් ක්‍රමවලින් කියාපානවා. සමහර මත්ස්‍යයන් තම හිස පහත දැමීම, වලිගය ඉහළ දැමීම වැනි ඉරියව් පෙන්වනවා. නැතහොත් “බය නැතුව එන්න” කියා සංඥාවක් දීමට මුඛය සහ කරමල හොඳින් විවෘත කරනවා. එවිට පිරිසිදු කිරීමේ කාර්යය කරන මත්ස්‍යයා දැනගන්නවා ඌ මෝර මාලුවෙක් වුණත් තමන්ට ඉන් කරදරයක් නොවන බව. මෙසේ පවිත්‍ර වන සමහර මත්ස්‍යයන් උන්ගේ වර්ණ පවා වෙනස් කරනවා. එසේ කරන්නේ පරපෝෂිතයන්ව හොඳින් දැකබලාගැනීමට විය හැකියි. ටැංකිවල මුහුදේ මාළු ඇති කරන විට එම ටැංකියට පිරිසිදු කිරීමේ කාර්යය ඉටු කරන මත්ස්‍යයන්ව දමන්නේ නැත්නම් ටැංකියේ සිටින අනෙක් මත්ස්‍යයන් “ඉක්මනින් පරපෝෂිතයන්ගෙන් ආසාදනය වී ලෙඩ වෙනවා. නමුත් පිරිසිදු කිරීමේ කාර්යය කරන මත්ස්‍යයන්ව ටැංකියට දැමූ විගස උන්ගේ රාජකාරිය පටන්ගන්නා අතර අනෙක් මත්ස්‍යයන්ද පිරිසිදු වීමට පෙළ ගැසෙනවා” කියා එක් පොතක සඳහන් වෙනවා.—එම පොතේ නම Animal Partnerships.

සහයෝගිතාව ගැන අප තව බොහෝ දේ ඉගෙනගන්නා විට අප තව තවත් මවිතයට පත් වෙනවා. හේතුව අප ජීවත් වන අවට ලෝකයේ සහයෝගිතාව සහ සහජීවනය දක්නට තිබෙන නිසයි. වාදක කණ්ඩායමක සිටින සෑම සංගීත ශිල්පියෙක්ම එකඟතාවකින් වැඩ කළොත් මිහිරි සංගීතයක් බිහි වෙයි. එලෙසම සෑම ජීවියෙකුම සහයෝගයකින් වැඩ කරනවා නම් ශක්තිමත් ජෛව ජාලයක් ඇති වෙයි. මේ තුළින් මිනිස් ජීවිතය පවත්වාගෙන යෑමටත් එයින් තෘප්තියක් ලබාගැනීමටත් හැකි වී තිබෙනවා. මේ හැම දෙයක්ම දක්ෂ සැලසුමක් හා බුද්ධිමත් සැලසුම්කරුවෙක් සිටින බවට සාක්ෂියක් නොවේද?—උත්පත්ති 1:31; එළිදරව් 4:11.

එකමුතුකමට එකම බාධාව

මිනිසුන් අවට ලෝකය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම ඇත්තටම කනගාටුවට කාරණයක්. සතුන් ඉවෙන් කටයුතු කළත් මිනිසාගේ හැඟීම් පාලනය වන්නේ ප්‍රේමය වැනි යහපත් ගුණාංග මෙන්ම වෛරය හා ගිජුකම වැනි ආත්මාර්ථකාමි ගුණාංගවලනුයි.

බොහෝදුරට මිනිසා ඔවුන්ගේ හැඟීම් පාලනය වීමට ඉඩ දෙන්නේ ආත්මාර්ථකාමී ගුණාංගවලට නිසා අපේ වාසස්ථානයට කුමක් සිදු වේද කියා බොහෝදෙනෙක් බිය වෙයි. (2 තිමෝති 3:1-5) නමුත් ඔවුන් මැවුම්කරුගේ අරමුණු ගැන කිසිම තැකීමක් කරන්නෙත් නැහැ. පොළොව සඳහා දෙවිගේ අරමුණ ඉටු වන විට පරිසරයේ සමතුලිතතාව ඇති වෙනවා පමණක් නොවෙයි මිනිසුන් ඇතුළු සියලු ජීවීන් අතර සැබෑ එකමුතුකමක්ද ඇති වෙයි.

[පාදසටහන]

^ 5 ඡේ. සහජීවනය මූලික කොටස් තුනකින් දක්වන්න පුළුවන්. එක කොටසක් නම් ජීවීන් දෙවර්ගයටම ප්‍රයෝජනයක් තිබීමයි. දෙවනි එක එක් වර්ගයකට පමණක් වාසියක් තිබීමයි. කෙසේවෙතත් අනෙක් වර්ගයට හානියක්ද සිදු නොවෙයි. තුන් වෙනි එකේදී එක වර්ගයකට වාසියක් ලැබෙන්න නම් අනික් වර්ගයට හානියක් සිදු විය යුතුමයි. මෙම ලිපියේ අපි විශේෂයෙන්ම සලකා බලන්නේ මුල් කොටස වන ජීවීන් වර්ග දෙකටම ප්‍රයෝජනයක් තිබෙන ආකාරය ගැනයි.

[17වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ද්විත්ව සංයෝගයක්

ලයිකන බොහෝදුරට දකින්න ලැබෙන්නේ ගහක හෝ ගල් පර්වතයක, අළු හෝ කොළ පැහැති වර්ණයෙන් යුත් පැල්ලමක් හෝ පොත්තක් ලෙසයි. සමහර වාර්තාවන්ට අනුව ලයිකන වර්ග 20,000ක් පමණ තිබිය හැකියි. ලයිකන ඇල්ගී හා දිලීරවල එකතුවක්.

මෙම දෙවර්ගය එකට එකතු වීමට හේතුව දිලීරවලට තනිවම තම ආහාර නිපදවීමට නොහැකි වීමයි. ඉතා සියුම් ඇසට නොපෙනෙන දිලීරවල කෙඳිවලින් ප්‍රභාසංශ්ලේෂණය සිදු කරන ඇල්ගී ශාකය වෙළාගන්නවා. ඇල්ගී ශාකය නිපදවන සීනි වර්ග ඇල්ගී ශාකයෙන් පිට වෙද්දී දිලීර තම ආහාරය සඳහා එය භාවිතයට ගනියි. අනෙක් අතට දිලීර ඇල්ගී ශාකයට ජලයද හිරු එළියෙන් මුවා වීමට සෙවනද සපයයි.

මද සිනාවක් පාමින් එක් විද්‍යාඥයෙක් ලයිකනය ගැන මෙසේ පැවසුවා. “උන් ඇත්තටම ගොවිතැන් කරන දිලීර වර්ගයක්.” මෙම සහජීවනය ගැන එක පොතක පවසන්නේ “ලයිකන කොපමණ සාර්ථකද කිවහොත් නිවර්තන වැසි වනාන්තරවලට වඩා දහ ගුණයකින් පැතිර ගොස් තිබෙන” බවයි. (එම ප්‍රකාශනය Liaisons of Life). ලයිකන ආක්ටික් ප්‍රදේශයේ සිට ඇන්ටාක්ටික් ප්‍රදේශ දක්වා පැතිර ගොස් තිබෙන අතර සමහරවිට කෘමීන්ගේ පිටේ පවා සිටිනවා!

[18වන පිටුවේ කොටුව⁄පින්තූර]

අපූර්ව සහජීවනයක් ඇති කොරල් පර

කොරල් පර ඇති වෙන්නේ බුහුබාවා නැතහොත් පොලිපස සහ ඇල්ගීවලින්. බුහුබාවා සෛලයේ සෑම හිඩසකම ඇල්ගී බෝ වෙනවා. කොරල් පරවලට දිදුලන වර්ණ ලැබෙන්නේ ඇල්ගීවලිනුයි. බොහෝවිට කොරල් පර සත්ව කාණ්ඩයට වැටුණත් එහි වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ඇල්ගී ශාකයි. ඇල්ගීවල මූලික කාර්යය වන්නේ ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය සිදු කිරීමයි. මෙයින් ලැබෙන ආහාරවලින් සියයට 98ක් බුහුබාවාට ලබා දෙයි. බුහුබාවාට මෙම පෝෂණය අවශ්‍ය වන්නේ තමන්ගේ පැවැත්මටත් කොරල් පර සෑදීම සඳහා හුණු ගල් නිපදවීමටත්.

ඇල්ගීවලටත් මෙම සහජීවනයෙන් වාසි දෙකක් ලැබෙනවා. එකක් නම් ඇල්ගී ශාකය බුහුබාවා ඉවත් කරන කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රජන් සංයෝග සහ ෆොස්පෙට් ආහාරයට ගැනීමයි. අනෙක් වාසිය නම් බුහුබාවාගේ ඝන කටුවෙන් ආරක්ෂාවක් ලැබීමයි. ඇල්ගී ශාකයට හිරු එළියත් අවශ්‍යයි. එමනිසා බොහෝවිට කොරල් පර වැඩෙන්නේ හිරු රැස් හොඳින් වැටෙන පැහැදිලි වතුරේ.

ජලයේ උෂ්ණත්වය වැඩිවීම වැනි දේවල් කොරල් පරයට පීඩනයක් වෙයි. මෙය සිදු වන විට බුහුබාවා ඇල්ගී ශාකය ඉවත් කරනවා. එවිට කොරල් පරයේ වර්ණය පමණක් නොව උන්ට ආහාරද නොලැබෙන නිසා මිය යයි. ලොව පුරා කොරල් පර විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටින බව මෑතකදී විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.

[18, 19වන පිටුවේ කොටුව⁄පින්තූර]

සහයෝගයෙන් පාඩමක්

අහස් යානා දෙකක් කුරුල්ලෝ රංචුවක් එකට අහසේ පියාසර කරන ආකාරයට පියාසර කරයි. නමුත් මෙය ගුවන් ගමනක් නොවෙයි අත්හදා බැලීමක් පමණයි. එය පැස්තුඩුවන් සම්බන්ධයෙන් කලින් සිදු කළ අධ්‍යයනකට අනුව කළ විද්‍යාත්මක අත්හදා බැලීමක්. පැස්තුඩුවන් රංචුවක් පියාසර කරන විට පිටු පසින් යන එවුන්ට පියාසර කිරීමේදී පහසුවක් දැනෙනවා. තනිව පියාසර කරනවාට වඩා රංචු පිටින් පියාසර කරන විට උන්ගේ හෘද ස්පන්දනය සියයට 15කින් අඩු වන බවද පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. මෙම ක්‍රමය යොදාගැනීමෙන් ගුවන් යානවලටත් යම් වාසියක් ලබාගත හැකිද?

මෙය සොයා බැලීමට ඉංජිනේරුවන් ගුවන් යානා දෙකෙන් එකකට නවීන උපකරණ සවි කරගත්තා. නවීන උපකරණ සවි කරගත් ගුවන් යානයේ නියමුවාට හැකියාව ලැබුණා ඔහුගේ ගුවන් යානය ඔහුට ඉදිරියෙන් පියාසර කරන යානයට මීටර 90ක දුරකින් තබාගැනීමට. එසේ පියාසර කරද්දී යාන දෙක අතර දුර ප්‍රමාණයේ වෙනසක් වුණා නම් එය සෙන්ටිමීටර 30ක වෙනසක් පමණයි. (පින්තූරය බලන්න.) එහි ප්‍රතිඵලය කුමක්ද? ඉදිරියෙන් පියාසර කරන යානයට වඩා සියයට 20ක අඩු වායු පීඩනයකින් පියාසර කිරීමටත් ඉන්ධන සියයට 18කින් අවම කරගැනීමටත් පිටු පසින් පියාසර කරන යානයට හැකි වුණා. පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම සොයාගැනීම් හමුදාවටත් සාමාන්‍ය ගුවන් ගමන්වලටත් යොදාගත හැකි බවයි.

[හිමිකම් විස්තර]

Jets: NASA Dryden Flight Research Center; birds: © Joyce Gross

[15වන පිටුවේ පින්තූර]

වමාරා කන එළදෙනුන්ගේ බඩ තුළ බැක්ටීරියා, දිලීර සහ ප්‍රොටොසොවා සහයෝගිතාවකින් ජීවත් වෙයි (අන්වීක්ෂයකින් පෙනෙන ආකාරය)

[හිමිකම් විස්තර]

Inset: Melvin Yokoyama and Mario Cobos, Michigan State University

[17වන පිටුවේ පින්තූරය]

මල් පිපෙන ශාකවල බෝවීමට මී මැස්සන් දායක වෙයි

[18, 19වන පිටුවේ පින්තූරය]

එළදෙනෙක් සමඟ ගෙරි කොකා

[20වන පිටුවේ පින්තූරය]

මුහුදු මලක් පවිත්‍ර කරන කුඩා කූනිස්සෙක්

[20වන පිටුවේ පින්තූරය]

පනාවා සමඟ සිටින කුඩා ගිරෙවාවෙක්