‘අමතක කරන්නම බැරි සුදුලූනු’
‘අමතක කරන්නම බැරි සුදුලූනු’
ඩොමිනිකන් ජනරජයේ පිබිදෙව්! ලේඛක විසින්
නිවසෙන් දුර බැහැරව සිටිද්දී බඩගින්නක් දැනුණොත් ඔබට මතක් වෙන්නේ මොන වගේ කෑමක්ද? වත්තේ පිටියේ තියෙන පලතුරක්ද? එහෙමත් නැත්නම් අම්මාගෙම අතින් සෑදුව කෑමක්ද? ඒත් බඩගින්නේ ඉන්න වෙලාවක සුදුලූනු ගෙඩියක් මතක් වෙලා ඔබේ කටට කෙළ උනයිද?
වසර 3,500කට පමණ පෙර ඊශ්‍රායෙල් සෙනඟ සීනයි පාළුකරය හරහා දුෂ්කර ගමනක යෙදෙමින් සිටියදී මෙවැන්නක් පැවසුවා. “ඊජිප්තුවෙහිදී නොමිලයේ කෑවාවූ මාළුද පිපිඤ්ඤද කොමඩුද කුඩා ලූනුද ලූනුද සුදුලූනුද සිහි කරමු.” (ගණන් කථාව 11:4, 5) යුදෙව්වන් සුදුලූනුවලට දැක්වුවේ මොන තරම් පුදුම ආශාවක්ද කියනවා නම් ඔවුන් තමන්වම සුදුලූනු කන්නන් හැටියට හඳුන්වා ගත්තා.
ඊශ්‍රායෙල්වරුන්ට සුදුලූනුවලට ආශාවක් ඇති වුණේ කොහොමද? වසර 215වක කාලයක් ඔවුන් ඊජිප්තුවේ සිටියදී සුදුලූනු ආහාරයට ගෙන තිබුණා. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙන්වන්නේ යාකොබ් සහ ඔහුගේ පවුල ඊජිප්තුවට එන්නත් කලින් සිටම එහි සුදුලූනු වගා කර තිබූ බවයි. පිරමිඩ සාදන වහලුන් සඳහා ඊජිප්තු අධිකාරීන් ලූනු, රාබු සහ සුදුලූනු තොග ගණන් මිල දී ගෙන තිබූ බව ග්‍රීක් ඉතිහාසඥ හෙරොඩටස් වාර්තා කර තිබෙනවා. සුදුලූනු සෑහෙන ප්‍රමාණයක් දමා සාදන ලද ආහාර නිසා සේවකයන්ගේ ශක්තිය වැඩි වූ බවයි පෙනෙන්න තිබෙන්නේ. ඊජිප්තුවරුන් ඔවුන්ගේ පාරාවෝ වන ටූටන්කාමන්ව වැළලූ අවස්ථාවේදී ඔහුගේ සොහොන තුළට ඉතා වටිනා දේවල් දැමූ අතර සුදුලූනුත් දැමුවා. මළ මිනියට සුදුලූනුවලින් පලක් නැති බව ඇත්තයි. නමුත් ජීවත් වන අපිට එය ඉතා ප්‍රයෝජනදායකයි.
ප්‍රබල ඖෂධයක්
ඈත අතීතයේ සිට වෛද්‍යවරුන් බෙහෙතක් හැටියට සුදුලූනු යොදාගෙන තිබෙනවා. සියවස් ගණනාවකට පෙර ග්‍රීක් වෛද්‍යවරුන් වන හිපොක්‍රටිස් සහ ඩයස්කෝරඩිස් ආහාර දිරවීමේ අපහසුතා, ලාදුරු, පිළිකාව, තුවාල, ආසාදනයන් හා හෘදයාබාධ වැනි රෝගවලට පිළියමක් වශයෙන් සුදුලූනු නිර්දේශ කර තිබෙනවා. දහනවවන සියවසේදී ප්‍රංශ රසායනඥයෙකු වන ලුවී පාස්චර් සුදුලූනු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර සොයාගත්තේ එහි විෂ බීජ මර්දකයන් තිබෙන බවයි. විසිවන සියවසේදී, අප්‍රිකාවේ මිෂනාරි වෛද්‍යවරයෙකු වන ආල්බර්ට් ෂ්වයිට්සර් අතීසාරය හා වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සුදුලූනු යොදාගත්තා. රුසියානු හමුදා වෛද්‍යවරුන්ට දෙවන ලෝක මහා යුධ සමයේදී නවීන ඖෂධවල හිඟයක් ඇති වූ විට තුවාල ලැබූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සුදුලූනු භාවිත කළා. එමනිසා සුදුලූනු රුසියාවෙත් ඉතා ප්‍රසිද්ධයි. රුධිර සංසරණ පද්ධතියට සුදුලූනුවලින් ප්‍රයෝජන ලැබෙන බව විද්‍යාඥයන් මෑතකදී සොයාගත්තා.
පෝෂ්‍යපදාර්ථ හා ඖෂධීය ගුණයෙන් අනූන සුදුලූනුවල ඊටම ආවේණික වූ ගන්ධයක් සහ රසයක් තිබෙනවා. මුලින්ම සුදුලූනු වගා කළේ කොයි ස්ථානයේද? ඇතැම් උද්භිද විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එහි ආරම්භය මධ්‍යම ආසියාවේදී සිදු වී පසුව ලොව වටා පැතිරගිය බවයි. සුදුලූනු ප්‍රසිද්ධ වී තිබෙන එක් ස්ථානයක් ගැන අපි දැන් සලකා බලමු.
කොන්ස්ටන්සාහි සුදුලූනු වගා කිරීම
ඩොමිනිකන් ජනරජයේ කොන්ස්ටන්සා තැනිතලාව කඳුවලින් වට වූ සුන්දර ප්‍රදේශයක්. එහි සෞම්‍ය දේශගුණයක් හා සරු පසක් තිබෙන අතර බහුල වර්ෂාපතනයක් ලැබෙන නිසා එය සුදුලූනු වවන්න ඉතා කදිම ස්ථානයක්.
සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවලදී කොන්ස්ටන්සාහි ගොවීන් සුදුලූනු වගා කිරීමට සූදානම් වෙනවා. ඔවුන්ගේ කෙත සකස් කරන්නේ මෙයාකාරයටයි. මුලින්ම අඩි තුනෙන් තුනට දිග ගැඹුරු අගල් කපනවා. එවිට ඒ අගල් අතර අඩි තුනක් පළල පාත්ති සෑදෙනවා. දැන් මේ පාත්තිවල සුදුලූනු පැළ කිරීම සඳහා සෑම පාත්තියකින්ම දිග අතට පස් තීරු තුනක් හෝ හතරක් අයින් කරනවා. මේ අතර
වෙනත් සේවකයන් සුදුලූනු ගෙඩිවලින් බික් ගලවා විනාඩි 30ක් පෙඟෙන්න හරිනවා. ඉන්පසු එම තීරුවල සුදුලූනු බික් සිටුවනවා. මෙහි අධික ශීත සමයක් නැති නිසා සුදුලූනු හොඳින් වැඩෙනවා.අස්වැන්න නෙළීමට පටන්ගන්නේ මාර්තු හෝ අප්‍රියෙල් මාසවලදියි. හොඳින් වැඩුණු පසු සුදුලූනු පැළ උගුල්ලා දවස් පහක් හෝ හයක් කෙතේම තිබෙන්න හරිනවා. පසුව ඔවුන් ඒවාවල කොළ සහ මුල් ඉවත් කර, නොවැසූ භාජනවල සුදුලූනු ගෙඩි අසුරනවා. එම භාජන දවසක් පුරා අව්වේ තබනවා. දැන් ඒවා වෙළඳ පොළට යවන්න සූදානම්.
පුංචි බිකකින් විශාල ගන්ධයක්
ඔබ ඕනෑම කෑමක් කන්න සැරසෙන විට සුදුලූනු තිබෙනවා නම් විගස එහි ගන්ධය නාසයට දැනේවි. එයට හේතුව සුදුලූනු බිකක් කපද්දී හෝ පොඩි කරද්දී එහි ඇති ඔලිනේස් එන්සයිමය සහ ඔලින් නම් ද්‍රව්‍යය එකතු වී ඔලිසින් නිපදවීමයි. මේ ඔලිසින් නිසයි සුදුලූනු ගෙඩියට ආවේණික ගන්ධය සහ රසය ලැබෙන්නේ. සුදුලූනු ගෙඩිය පොත්තෙන් ඇහිරී තිබෙන විට මෙම රසායනික ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් තිබෙන නිසා එයින් ගන්ධයක් වහනය වන්නේ නැහැ.
අමු සුදුලූනු කෑල්ලක් හැපුවොත් සමහරවිට මිරිස් කරලකටත් වඩා සැරක් දැනෙන්න පුළුවන්. සමහර අය මේ රසට අකමැතියි නමුත් සමහරු හුඟක් කැමතියි. කොහොමවුණත් ඔබ සුදුලූනු කෑවොත් සුදුලූනු ගඳ ලේසියෙන් යන්නේ නැහැ. ගඳ ඇරගන්න ඕන නම් පාස්ලි කොළ ටිකක් හෝ කරාබු නැටි කීපයක් හපන්න. එවිට සුදුලූනුවල ගඳ අඩු වෙලායයි.
ඔබේ කටේ තිබෙන සුදුලූනු ගන්ධය පැමිණෙන්නේ ඔබේ පෙණහලුවලින් බව මතක තබාගන්න. ඔබ සුදුලූනු කෑ විට එය ජීරණය වී රුධිරයට එක් වෙලා එමගින් පෙණහලු කරා යයි. ඔබ හුස්ම පිට කරන විට සුදුලූනුවල ගඳ පිට වෙයි. එමනිසා මුඛ සෝදක ද්‍රාවණයකින් හෝ පාස්ලිවලින් සුදුලූනු ගන්ධය සම්පූර්ණයෙන්ම නැති වන්නේ නැහැ. වෙන යම් පිළියමක් තිබෙනවාද? ඇත්තෙන්ම නැහැ. කොහොමවුණත් ඔබ අවට සිටින හැමදෙනාම සුදුලූනු කනවා නම් ඒක එතරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
බොහෝ රටවල හුඟක් ආහාර පිළියෙල කරන්නේ සුදුලූනු දමලයි. සුදුලූනු වැඩිය පාවිච්චි නොකරන තැන්වල සිටින සුදුලූනු ආහාරයට ගන්නා බොහෝදෙනෙක් පවා විශ්වාස කරන්නේ එයින් යම් අපහසුතා විඳින්න සිදු වුණත් ලැබෙන ප්‍රයෝජන අධික බවයි.
[29වන පිටුවේ පින්තූරය]
උගුල්ලාගත් සුදුලූනු වියළෙන්න හැර
[29වන පිටුවේ පින්තූරය]
කොන්ස්ටන්සා තැනිතලාව
[29වන පිටුවේ පින්තූරය]
සුදුලූනු පොඩි කළ විට ගඳ දැනෙන්නේ මන්ද?