Skip to content

පටුනට යන්න

කාන්තාවන් තම රූ සපුව සැඟවිය යුතුද?

කාන්තාවන් තම රූ සපුව සැඟවිය යුතුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

කාන්තාවන් තම රූ සපුව සැඟවිය යුතුද?

“කාන්තාවන් විලාසිතාවලට හුඟක් කැමතියි. ඒ වගේම තමන්ටම ආවේණික වූ පෞද්ගලිකත්වයක් තිබෙන බව පෙන්වීමට, ලස්සනට ඇඳ පැළඳ සිටීමට හා තම පෙනුම වැඩි කරගැනීමටද ඔවුන් කැමතියි . . . එවැනි කාන්තාවන් තමන්ටත් තමන් අවට සිටින අයටත් ගරු කරනවා කියලයි මම හිතන්නේ.” මෙසේ පැවසුවේ නිව් යෝර්ක් නගරයේ විලාසිතා පිළිබඳ පාඨමාලා පවත්වන ආයතනයක ප්‍රවීණ මෝස්තර නිර්මාණකරුවෙක් හා මහාචාර්යවරයෙක් වන ජෝර්ජ් සයිමන්ටන්. අලංකාර ලෙස හැඩ වැඩවීම කාන්තාවකට තමන් කාන්තාවක් කියා පෙන්වීමටත්, තම පෙනුම වැඩි කරගැනීමටත්, යම් ආත්ම විශ්වාසයකින් කටයුතු කිරීමටත් ක්‍රමයක් කියා කොයි කවුරුත් පිළිගන්නවා.

කෙසේවෙතත් ආගමික විශ්වාසයන් නිසා සමහරෙකු කාන්තාවන්ගේ විලාසිතා ගැන එතරම් ශුභවාදීව කතා කරන්නේ නැහැ. ‘ශුද්ධ ස්ත්‍රීන්ට උරුම වූ ලස්සනක් තිබෙනවා නම් එම ලස්සන වැඩි කිරීමට නොව පාලනය කිරීමට ඔවුන් උත්සාහ ගත යුතුයි’ කියා ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේදී ටර්ටියුලියන් විසින් ලියා තිබුණා. රූපලාවන්‍ය සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “කාන්තාවන් තමන්ගේ මුහුණටත්, කම්මුල්වලටත් ඇස්වලටත් විවිධ ආලේපන ගැල්වීම දෙවිට විරුද්ධව කරන පාපයක්.” ඒ වගේම ඔහු රන් හා රිදී ආභරණ විස්තර කර තිබෙන්නේ “වශී කිරීමට යොදාගන්න දේවල්” ලෙසයි.

මේ විෂය ගැන එදා මෙන්ම අදත් බොහෝ අදහස් උදහස් තිබෙනවා. සමහර ආගම්වල සාමාජිකයන්ට ආභරණ පැළඳීම, රූපලාවන්‍ය ද්‍රව්‍ය ගැල්වීම හෝ වර්ණවත් ඇඳුම් ඇඳීම පවා තහනම් කර තිබෙනවා. ක්‍රිස්තියානි කාන්තාවක් තම රූ සපුව සැඟවිය යුතුද? එසේ නැතහොත් ඇගේ පෙනුම වැඩි කරගැනීමට ඇයට අයිතියක් තිබෙනවාද?

දෙවි පවසන දේ

බයිබලයේ ආභරණ පැළඳීම ගැනවත් රූපලාවන්‍ය ගැල්වීම ගැනවත් වැඩි විස්තර සපයා නැහැ. ඒත් අලංකාරය සඳහා කරන මෙවැනි දේවල් සහ අනෙකුත් දේවල් දෙවි හෙළා දකින්නේ නැති බව පෙන්වීමට එහි සාක්ෂි තිබෙනවා.

උදාහරණයකට යෙරුසලමට ආශීර්වාද කිරීමේදී එම නගරය ස්ත්‍රියකට සමාන කරමින් දෙවි මෙසේ පැවසුවා. “ඔබට ආභරණ පැළඳවීමි. . . ., ඔබ ඉතා ලස්සන වූවෙහිය.” (එසකියෙල් 16:11-13) එම ආභරණ සංකේතාත්මක වුණත් ඊට වළලු, කර මාලයක් හා කරාබු ඇතුළත් කර තිබුණා. “ඥානවන්ත ලෙස තරවටු කරන්නා කීකරු කනට ස්වර්ණ කර්ණාභරණයක් සහ පවිත්‍ර ස්වර්ණාභරණයක් මෙන්ය” කියා බයිබලයේ තවදුරටත් පවසනවා. (හිතෝපදේශ 25:1, 12) එසේනම් බයිබලයේ ආභරණ ගැන ප්‍රසාදයක් පළ කර තිබීමෙන් පෙනී යන්නේ කාන්තාවන් තම පෙනුම වැඩි කරගැනීමට අලංකාර ආභරණ පැළඳීම දෙවි හෙළා දකින්නේ නැති බවයි.

ක්‍රිස්තියානි කාන්තාවන් අලංකාර ලෙස සැරසෙයි

සමහර බයිබල් පදවල කාන්තාවන් සැරසිය යුතු ආකාරය ගැන කෙළින්ම සඳහන් කර තිබෙනවා. පාවුල්ද මෙසේ ලිව්වා. ‘එසේම ස්ත්‍රීන් මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිනවාට මම කැමැත්තෙමි.’ මෙසේ කාන්තාවන් “විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව” සැරසෙන විට ඔවුන් විසින් දෙවිට දක්වන ගෞරවයද ඉන් පිළිබිඹු වෙනවා. (1 තිමෝති 2:9, 10) ක්‍රිස්තියානි කාන්තාවන් විනීත අයුරින් සැරසෙන විට දෙවිගේ ඉගැන්වීම් සාධාරණ බව පෙනී යන අතර සභාවටත් නිසි ගෞරවය ලැබෙයි.

ඒත් සමහරෙකු ඊට විරුද්ධත්වය පළ කරන්නේ එම බයිබල් පදවලම මෙසේ සඳහන් කර තිබෙන නිසයි. “කොණ්ඩ මෝස්තරවලින්වත් රනින්වත් මුතුවලින්වත් ඉතා මිල අධික වස්ත්‍රවලින්වත් නොව, දෙවිට භක්තිවන්තව සිටින බව ප්‍රකාශ කරන ස්ත්‍රීන්ට ඔබින ආකාරයට යහපත් ක්‍රියා තුළින් සැරසී සිටිනවාට කැමැත්තෙමි.” කාන්තාවන් කොණ්ඩ මෝස්තර දැමීම හෝ ආභරණ පැළඳීම සුදුසු නැති බවක් මින් අදහස් කරනවාද?

ඇත්තෙන්ම එවන් දෙයක් අදහස් නොවෙයි. අලංකාර වීම සම්බන්ධයෙන් බයිබලයේ ශුභවාදී ලෙස කතා කර තිබෙන බව අප දැනටමත් දැක තිබෙනවා. යම් ආභරණ පැළඳීම තහනම් කරනවා වෙනුවට ප්‍රේරිත පාවුල් කාන්තාවන්ට අවවාද කරන්නේ ක්‍රිස්තියානි ගුණාංගවලින් සැරසී යහපත් ක්‍රියාවල නිරත වන ලෙසයි.

චේතනාව කුමක්ද?

ප්‍රේරිත පාවුල් මෙසේ ලියා තිබෙනවා. “අපි මෙතැන් පටන් එකිනෙකාව විනිශ්චය නොකර සිටිමු. ඒ වෙනුවට, සහෝදරයෙකු ඉදිරියෙහි බාධාවට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකිරීමට තීරණය කරගන්න.” (රෝම 14:13) මෙම අවවාදය අපගේ අලංකාරය සඳහා යම් දේවල් තෝරාගැනීමේදී අදාළ වන්නේ කොහොමද?

“එකිනෙකාව විනිශ්චය” නොකරන්න කියාත්, ‘සහෝදරයෙකුව බාධා වන කිසිවක්’ නොකිරීමට වගබලා ගන්න කියාත් පාවුල් පවසනවා. සුදුසුයි කියා පිළිගෙන තිබෙන දේවල් රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට හා කාලෙන් කාලෙට වෙනස් විය හැකියි. අපගේ සංස්කෘතියට අනුව නුසුදුසුයි කියා තීරණය වන දෙයක් ඇඳීමෙන් අන් අයව බාධාවට හෝ කෝපයට පත් කිරීමෙන් වැළකී සිටිමු. දේවභක්තික ස්ත්‍රීන් තමන්ගෙන් මෙසේ අසාගැනීම සුදුසුයි. ‘මගේ ඇඳුම් ගැන අන් අය සිතන්නේ කුමක්ද? මම අඳින දේවල් නිසා මගේ සභාවේ ඉන්න අය පැකිළෙයිද? නැත්නම් මා දිහා වපර ඇහෙන් බලයිද?’ ක්‍රිස්තියානි ස්ත්‍රියකට තමන් කැමති ලෙස අඳින්න පළඳින්න යම් ප්‍රමාණයක අයිතියක් තිබෙනවා වුවත් තමන් අඳින පළඳින ආකරයෙන් කෙනෙකු කෝපයට පත් වේ නම් එවැනි විලාසිතාවලින් ඇය වැළකෙනවා.—1 කොරින්ති 10:23, 24.

ඒ වගේම කෙනෙකු වුවමනාවට වඩා තමන්ගේ පෙනුමට අවධානයක් දෙනවා නම් එයින් අන් අය තුළ වැරදි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. අද බොහෝ රටවල කාන්තාවන් අන් අයගේ හැඟීම් අවුස්සා තමන් වෙත ඔවුන්ගේ අවධානය යොමු කරගැනීමට නොයෙකුත් නුසුදුසු විලාසිතාවන් කරනවා. නමුත් ක්‍රිස්තියානි කාන්තාවන් එවැනි නුසුදුසු විලාසිතාවලින් වැළකී ‘දෙවිගේ වචනය ගැන නිග්‍රහාත්මක ලෙස කතා කිරීමට නොහැකි වන සේ’ සිහි කල්පනාවෙන් සිටීමටත් පවිත්‍රව සිටීමටත් වෑයමක් දරනවා.—තීතස් 2:4, 5.

දේවභයැති කාන්තාවන් පිටාතර පෙනුම වැඩි කරගැනීමට කුමන දෙයක් තෝරාගත්තත් තම සැබෑ සුන්දරත්වය රඳා පවතින්නේ “සිතේ අභ්‍යන්තර පුද්ගලයා” තුළ බව ඔවුන් තේරුම්ගන්නවා. ඔවුන් දරන ආකල්පවලින් හා හැසිරීමෙන් ඔවුන්ගේ අලංකාරය පිළිබිඹු වෙයි. (1 පේතෘස් 3:3, 4) කාන්තාවක් තමන්ගේ ඇඳුම් පැළඳුම්, රූපලාවන්‍ය සහ ආභරණ ආදිය නැණවත් ලෙස තෝරාගන්නවා නම් ඇය අන් අයගේ ගෞරවය දිනාගන්නා අතර මැවුම්කරුටද ගෞරවය ගෙන දෙයි.