Skip to content

පටුනට යන්න

නිවාස අර්බුදයට හේතුව කුමක්ද?

නිවාස අර්බුදයට හේතුව කුමක්ද?

නිවාස අර්බුදයට හේතුව කුමක්ද?

තිස් හය හැවිරිදි ජොසෆින් ජීවත් වෙන්නේ අප්‍රිකානු නගරයකයි. ඇගේ පිරිමි දරුවෝ තුන්දෙනාගෙන් වැඩිමල් දරුවාට අවුරුදු 11යි. බාල දරුවාට අවුරුදු 6යි. ඇය ජීවිතය ගැට ගසාගන්නේ හිස් ප්ලාස්ටික් බෝතල් එකතු කර ළඟපාත කර්මාන්ත ශාලාවට විකුණා ලැබෙන මුදලින්. ඇය කොතරම් වෙහෙසුණත් දිනකට ඩොලර් දෙකක මුදලක්වත් උපයන්න ඇයට හැකියාවක් නැහැ. ඒ ප්‍රදේශයේ තත්වය අනුව එම මුදල කුසගින්න නිවාගන්නවත් ප්‍රමාණවත් නැහැ.

ඇයත් ඇගේ දරුවනුත් ජීවත් වන කටු මැටි පැල්පත ඇත්තෙන්ම නිවසක් කියා කිව නොහැකියි. එහි වහල සෙවිලි කර තිබුණේ මලකඩ කෑ තහඩු කෑලි හා ඉටි කොළවලින්. ඒවා හුළඟට ගසාගෙන නොයෑම සඳහා ගල් සහ යකඩ කෑලි දමා තිබුණා. ‘දොරටත් ජනේලයටත්’ දමා තිබුණු ඉරුණු ගෝනිවලින් වැස්සට ආවරණයක් සලසා දෙන්නේ නැතිකොට සොර සතුරන්ගෙන් ආරක්ෂාවක් ලබා දෙයිද?

ජොසෆින්ගේ මෙම කුඩා කටු මැටි පැල අටවා තිබෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක. ඒ නිසා ඇයත් දරුවනුත් ඉන්නේ කොයි මොහොතේ ගෙයින් පන්නා දමයිද යන බියෙන්. කනගාටුවට කරුණ නම් මෙවන් තත්වයක් අප්‍රිකාවට පමණක් සීමා නොවීමයි.

සෞඛ්‍යයට අහිතකර නිවෙස්

මුඩුක්කු නිවෙස්වල වෙසෙන වැසියන් ගැන රොබින් ශෙල් මෙසේ පැවසුවා. “එම නිවෙස්වල ඉන්න දරුවෝ තම මිතුරන්ව නිවසට රැගෙන එන්න ලැජ්ජයි, . . . පවුලේ අය නිතරම ලෙඩ වෙනවා. ඒ වගේම . . . කොයි මොහොතේ හෝ අයිතිකරුවන් නිවසෙන් පන්නා දමයි කියා බියෙන් සිටිනවා.”

මෙවැනි බාල තත්වයේ නිවෙස්වල වෙසෙන විට දෙමාපියන්ට නිතරම තම දරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව ගැන සිතීමට සිදු වෙනවා. මේ නිසා ඔවුන්ගේ දුගීකම හා නිවාස ප්‍රශ්නය විසඳාගැනීමට කටයුතු කරනවා වෙනුවට තම කාලයෙන් හා ශක්තියෙන් වැඩිහරියක් ගත කරන්නේ දරුවන්ගේ කෑම බීම, ඉඳුම් හිටුම් වැනි මූලික අවශ්‍යතා සපුරාලීමටයි.

දුප්පත් අය ටිකක් වෙහෙස මහන්සි වෙනවා නම් තම තත්වය දියුණු කරගැනීමට ඔවුන්ට පුළුවන් කියා එම තත්වයට මුහුණ නොදෙන කෙනෙකුට සිතිය හැකියි. තමන් වැටුණ වළෙන් ගොඩ එන්න කියා කීම ගැටලුවට විසඳුම නෙවෙයි. නිවාස අර්බුදයට ප්‍රබල හේතු තිබෙනවා. එය තනි පුද්ගලයෙකුට විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. පර්යේෂකයන් කියා සිටින්නේ ජනගහන වර්ධනය, නාගරීකරණය, ස්වාභාවික විපත්, දේශපාලනික විප්ලව සහ දුප්පත්කම වැනි දේ ගැටලුවට ප්‍රධාන වශයෙන් හේතු වන බවයි. මෙම කාරණා පහෙන් මිරිකී සිටින දුප්පතුන්ට කවදාවත් තමන් වැටී ඉන්න වළෙන් ගොඩ එන්න බැහැ.

ජනගහනය

සෑම වසරකම හිසට සෙවණක් අවශ්‍ය වන අයගේ සංඛ්‍යාව මිලියන 68ත් 80ත් අතර සංඛ්‍යාවකින් ඉහළ යනවා කියා තක්සේරු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව ලෝක ජනගහනය 2001දී බිලියන 6.1ක් ඉක්මවා තිබෙන අතර 2050 වන විට එම සංඛ්‍යාව බිලියන 7.9ත් 10.9ත් අතර සංඛ්‍යාවක් වනු ඇතැයි කියා බලාපොරොත්තු වෙනවා. ඒත් ඊටත් වඩා සැලකිය යුතු දෙයක් වන්නේ ඊළඟ දශක දෙක තුළ සිදු වන වර්ධනයෙන් සියයට 98ක් සංවර්ධනය වෙමින් පවතින රටවල සිදු වෙයි කියා අනාවැකි පළ කර තිබීමයි. මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙනෙන්නේ සැමට නිවහනක් සැපයීම විශාල අභියෝගයක් බවයි. මෙම අභියෝගය තවත් උග්‍රවීමට හේතුව බොහෝ රටවල නගර දැනටමත් ජනයාගෙන් පිරී තිබීමයි.

නාගරීකරණය

රටක ආර්ථික සංවර්ධනය මනින්නේ එහි තිබෙන විශාල නගරවලින්. නිව් යෝර්ක්, ලන්ඩන් සහ ටෝකියෝ වැනි විශාල නගර ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි. මේ හේතුව නිසා අවුරුදු පතා ගම්වල වැසියන් අධ්‍යාපන හා රැකියා කටයුතු සඳහා එවැනි නගර කරා ඇදී යනවා.

උදාහරණයකට චීනයේ ආර්ථිකය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. මේ හේතුවෙන් ඊළඟ දශක කිහිපය තුළ එහි ප්‍රධාන නගරවලට පමණක් නව නිවාස මිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියා එක් වාර්තාවක් ගණන් බලා තිබෙනවා. එම සංඛ්‍යාව දැනට එක්සත් ජනපදයේ තිබෙන මුළු නිවාස සංඛ්‍යාව මෙන් දෙගුණයක්. නිවාස සඳහා තිබෙන මෙවන් ඉල්ලුමක් සපුරාලීමට හැක්කේ කාටද?

ලෝක බැංකුවට අනුව “සංවර්ධනය වෙමින් පවතින රටවල සෑම වසරකම පවුල් මිලියන 12ත් 15ත් අතර සංඛ්‍යාවක් නගර කරා ඇදී යනවා. එම ඇදී යන සංඛ්‍යාව හා සමාන ප්‍රමාණයට නිවාසද අවශ්‍යයි.” මෙම පුද්ගලයන්ට ජීවත් වෙන්න නිවසක් සොයාගැනීමට නොහැකි නිසා මනුස්සයෙක් කිසිදා ජීවත් වීමට තෝරා නොගන්න ස්ථානයක පවා ජීවත් වීමට ඔවුන් පෙලඹෙනවා.

ස්වාභාවික විපත් හා දේශපාලනික ගැටුම්

දුප්පත්කම නිසා බොහෝදෙනෙකු ගං වතුර, නාය යෑම්, භූමිකම්පා වැනි අනතුරු සිදුවීමට ඉඩ කඩ තිබෙන ප්‍රදේශවල ජීවත් වීමට තෝරගන්නවා. උදාහරණයක් පෙන්වනවා නම් වෙනිසුවේලා කරාකාස් නගරයේ මිලියන අඩකට වඩා වැඩි ජනකායක් “ජීවත් වන්නේ නිතර නාය යෑම් සිදු වන කඳු බෑවුම්වල පිහිටි මුඩුක්කු නිවාසවලයි.” ඒ වගේම ඔබට මතක ඇති 1984දී ඉන්දියාවේ බෝපාල් නගරයේ ගෑස් කාන්දු වීමක් නිසා සිදු වූ අනතුර. එහිදී පුද්ගලයන් දහස් ගණන් මිය ගිය අතර හුඟදෙනෙකුට තුවාල සිදු වුණා. ඇයි මෙතරම් ජීවිත සංඛ්‍යාවක් ඊට බිලි වුණේ? මූලික හේතුව ළඟපාත තිබූ නගරයක මුඩුක්කු පැල්පත්වල සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී කර්මාන්ත ශාලාව ආසන්නයටම එනම් මීටර පහක දුරක් දක්වාම වර්ධනය වීමයි.

ඊට අමතරව සිවිල් යුද්ධ වැනි දේශපාලනික ගැටුම්ද නිවාස ගැටලුවට හේතුවක්. මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් 2002දී පළ කළ වාර්තාවක සඳහන් කළේ සිවිල් ගැටුම් නිසා දකුණු තුර්කියේ 1984 සිට 1999 දක්වා කාලය තුළ මිලියන 1.5ක පමණ සංඛ්‍යාවකට, උන් හිටි තැන් අහිමි වුණා කියායි. මොවුන්ගෙන් බොහෝදෙනෙකුට සිද්ධ වුණේ කෙසේ හෝ නිවහනක් සොයාගන්නයි. සමහරුන් තම නෑදෑයන් හා අසල්වාසීන් සමඟ තාවකාලික නිවෙස්වල පදිංචි වුණා. තවත් අය කුලී නිවාසවල, ගොවි පොළවල හෝ ඉදි කෙරෙමින් තිබෙන ගොඩනැඟිලිවල පදිංචි වුණා. පවුල් කිහිපයකට සිදු වුණා අශ්ව ගාල්වල ජීවත් වෙන්න. එම ස්ථානයේ එක් කාමරයක 13දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ජීවත් වූ අතර පොදු වැසිකිළියක් සහ එක වතුර පයිප්පයක් පමණයි පහසුකම් ලෙස තිබුණේ. “අපිට මේ ජීවිතයෙන් ගැලවෙන්න ඕනේ. සතුන්ට හදලා තියෙන තැනක තමයි අපි ජීවත් වෙන්නේ” කියා එක් අනාථ වැසියෙක් පැවසුවා.

දිලිඳුභාවය

මිනිසුන්ගේ දිලිඳුකමත් නිවාස අර්බුදයට විශාල හේතුවක් වෙයි. කලින් සඳහන් කළ ලෝක බැංකු වාර්තාවට අනුව 1988දී පමණක් සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරික වැසියන් මිලියන 330දෙනෙකු පමණ දුගීකමෙන් පෙළී තිබෙනවා. එවැනි තත්වයක් ඉක්මනින්ම වෙනස් වෙයි කියා ඔවුන් අපේක්ෂා කළේ නැහැ. දිලිඳුන්ට තමන්ගේ මූලික අවශ්‍යතාවන් වන කෑම බීම, ඇඳුම් පැළඳුම් ආදිය සපයාගැනීමට වත්කමක් නැතිකොට ඔවුන් සුදුසු නිවහනක් කුලියට ගන්නේ හෝ ගොඩනඟන්නේ කොහොමද?

තවද පොලී අනුපාතය සහ බඩු මිල ඉහළ යන නිසා, බැංකු ණයක් ගත් විට ආපසු ගෙවීම දිලිඳුන්ට ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. එමෙන්ම විදුලි, ගෑස් සහ ජල පහසුකම් වැනි පොදු සේවාවන් සඳහා ඉහළ මිලක් ගෙවීමටද සිදු වෙන නිසා ඔවුන් තව තවත් දිලිඳුකමෙන් මිරිකෙනවා. සමහර රටවල රැකියාවක් නොමැති පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 20ක් තරම් ඉහළ ගොස් තිබෙන නිසා සමහරුන්ට මූලික අවශ්‍යතා ඉටු කරගැනීමට පවා නොහැකි වී තිබෙනවා.

මෙම කරුණු සහ අනෙකුත් හේතු කාරණා නිසා මෙම මහ පොළොවේ අස්සක් මුල්ලක් නෑර මිලියන ගණන් අයට මුඩුක්කු නිවාසවල හෝ අඩු පහසුකම් යටතේ ජීවත් වීමට සිදුව තිබෙනවා. මිනිසුන් පරණ බස්වල, කන්ටේනර්වල සහ විශාල කාඩ් බෝඩ් පෙට්ටිවල වාසය කරනවා. තවත් සමහරෙකු තරප්පු පෙළවල් යට හෝ ඉටි කොළ සහ පරණ ලීවලින් ගෙවල් අටවාගෙන ජීවත් වෙනවා. ඒ වගේම සමහරුන් නටබුන් වූ ගොඩනැඟිලි, නිවෙස් හැටියට භාවිත කරනවා.

රැගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?

දැනටමත් බොහෝ පුද්ගලයන්, සංවිධාන හා ආණ්ඩු මෙම අර්බුදය විසඳීමට පියවර ගෙන තිබෙනවා. ජපානයේ සාධාරණ මිලකට නිවාස තනා දීමට ආයතන කිහිපයක් පිහිටුවා තිබෙනවා. වර්ෂ 1994දී දකුණු අප්‍රිකාවේ ආරම්භ කළ ඉදි කිරීමේ ව්‍යාපෘතියකින් කෑලි හතරේ කුඩා නිවෙස් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් ඉදි කිරීමට කටයුතු සැලසුම් කළා. කෙන්යාවේ සෑම වසරකම නගරවල නිවාස 1,50,000ක් සහ ගම්බද පළාත්වල නිවාස 3,00,000ක් තනා දීමේ භාර දූර කර්තව්‍යයක් ආරම්භ කර තිබෙනවා. මැඩගස්කරය වැනි වෙනත් රටවල් අඩු වියදමින් නිවාස තැනීමේ ක්‍රම සොයමින් සිටිනවා.

“ශීඝ්‍ර ලෙස සිදු වන නාගරීකරණය සහ එයට අදාළ ගැටලු විසඳීම” ජාත්‍යන්තර ප්‍රජාවගේ වගකීමක් නිසා ජාත්‍යන්තර සංවිධාන පිහිටුවා තිබෙනවා. (ඉන් එක් සංවිධානයක් UN-HABITAT) ලාභ නොලබන සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) මගින් පවා උදව් උපකාර කිරීමට උත්සාහ දරනවා. එක් ලාභ නොලබන සංවිධානයක් මගින් සුදුසු නිවහනක් නැති පවුල් 1,50,000ට තම තත්වයෙන් ගොඩ ඒමට උපකාර කර තිබෙනවා. වසර 2005 අවසන් වන විට පුද්ගලයන් මිලියනයකට අඩු වියදමකින් සුදුසු නිවහනක් ලබාගැනීමට උපකාර කිරීමට හැකි වෙයි යන්න එම සංවිධානයේ බලාපොරොත්තුවයි.

මෙම සංවිධාන බොහොමයක් දැනටමත් මුඩුක්කු නිවෙස්වල වෙසෙන අයට එම තත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය සහයෝගය කඩිනමින් ලබා දීමට ප්‍රායෝගික ක්‍රම සපයා තිබෙනවා. ඔබට යම් උපකාරයක් අවශ්‍ය නම් එම වැඩ සටහන්වලින් උපරිම ප්‍රයෝජන නෙළාගන්න. ඒ වගේම ඔබේ තත්වය දියුණු කරගැනීමට ඔබටම ගත හැකි මූලික ක්‍රියාමාර්ග තිබෙනවා.—“ඔබේ නිවස සහ ඔබේ සෞඛ්‍යය” යන කොටුව 17වන පිටුවෙහි බලන්න.

ඔබේ තත්වය දියුණු කිරීමට යම් ක්‍රියාමාර්ග ගත හැකි වුණත් ලෝක ව්‍යාප්තව තිබෙන මෙම අර්බුදය විසඳීමට එක් පුද්ගලයෙකුට හෝ එක් සංවිධානයකට කළ හැකි දේ සීමිතයි. ආර්ථිකය සංවර්ධනය කිරීමේ හා සහනාධාර සැපයීමේ අවශ්‍යතාව සපුරාලීමට ජාත්‍යන්තර ප්‍රජාව දිනෙන් දින අසමත් වෙනවා. සෑම වසරකම දරුවන් මිලියන ගණනක් ඉපදෙන නිසා මෙම දුගී තත්වය තවත් උග්‍ර වෙනවා. මෙයට ස්ථිරසාර විසඳුමක් තිබෙනවාද?

[17වන පිටුවේ කොටුව]

ඔබේ නිවස සහ ඔබේ සෞඛ්‍යය

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව හොඳ සෞඛ්‍යයක් සඳහා නිවසක් තුළ මතු දැක්වෙන දෑ තිබිය යුතුයි:

▪ වැස්සට ඔරොත්තු දෙන වහලක්

▪ අයහපත් කාලගුණයෙන් හා සතුන්ගෙන් ආරක්ෂා වීමට සවිමත් බිත්ති සහ දොරවල්

▪ විශේෂයෙන් මදුරුවන් වැනි කෘමීන්ගෙන් ආරක්ෂා වීමට දැල් ගැසූ ජනේල සහ දොරවල්

▪ බිත්තිවලට කෙළින්ම හිරු රැස් නොවැදීම සඳහා ආවරණයක්

[18වන පිටුවේ කොටුව⁄පින්තූර]

අප්‍රිකානු ගම්බද නිවෙස්

අවුරුදු ගණනාවක් පුරා අප්‍රිකාවේ ගම්බද නිවාස දකින්න තිබුණා. ඒවා තනා තිබුණේ විවිධ ප්‍රමාණයෙන් හා හැඩවලින්. කෙන්යාවේ කිකූයු සහ ලුඕ වැනි ගෝත්‍රිකයන් රවුම් හැඩැති බිත්ති සහ කොළවලින් සෙවිලි කළ කේතුවක හැඩැති වහලවල් තිබෙන නිවාසවලට කැමැත්තක් දැක්වුවා. කෙන්යාවේ හා ටැන්සානියාවේ මාසායි ගෝත්‍රිකයන් හතරැස් හැඩයට නිවාස තැනුවා. නැඟෙනහිර අප්‍රිකාවේ මුහුදුබඩ වැසියන්ගේ සමහර නිවාසවල කොළවලින් සෙවිලි කළ වහල තනා තිබුණේ පොළොවටම ගෑවෙන්නයි. එවැනි නිවෙස් පෙනුණේ මීවදයක් වගෙයි.

මේ ආකාරයේ නිවාස තනාගැනීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පහසුවෙන් සොයාගත හැකි වූ නිසා නිවාස අර්බුදයක් තිබුණේ නැහැ. මැටි සඳහා අවශ්‍ය කළේ පස් සහ ජලය පමණයි. ළඟපාත තිබූ කැලෑවලින් ලී, කොළ අතු, බට හා උණ ගස්වල කොළ ආදිය ඉතා පහසුවෙන් ලබාගැනීමට හැකි වුණා. මේ හේතුව නිසා පවුලක ආර්ථිකය කුමක් වුණත් තමන්ගේම කියා නිවසක් තනාගැනීමට හැකියාව තිබුණා.

නමුත් වහල සෙවිලි කර තිබුණේ ගිනිගන්නාසුලු ද්‍රව්‍යවලින් නිසා අවාසිත් තිබුණා. ඒ වගේම සොරෙකුට මැටි බිත්තිය සිදුරු කර පහසුවෙන් නිවසට ඇතුල් වීමටත් හැකි වුණා. මේ හේතූන් නිසා පාරම්පරිකව අප්‍රිකාවේ තිබූ ගම්බද නිවාස ක්‍රම ක්‍රමයෙන් අඩු වී කල් පවතින නිවෙස් ඉදි වෙන්න පටන්ගත්තා.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: African Traditional Architecture

පැල්පත්: Courtesy Bomas of Kenya Ltd - A Cultural, Conference, and Entertainment Center

[15වන පිටුවේ පින්තූරය]

යුරෝපය

[හිමිකම් විස්තර]

© Tim Dirven/Panos Pictures

[16වන පිටුවේ පින්තූරය]

අප්‍රිකාව

[16වන පිටුවේ පින්තූරය]

දකුණු අමෙරිකාව

[17වන පිටුවේ පින්තූරය]

දකුණු අමෙරිකාව

[17වන පිටුවේ පින්තූරය]

ආසියාව

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Teun Voeten/Panos Pictures; J.R. Ripper/BrazilPhotos

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

JORGE UZON/AFP/Getty Images; © Frits Meyst/Panos Pictures