Skip to content

පටුනට යන්න

බීමත්කමෙන් මිදීම

බීමත්කමෙන් මිදීම

බීමත්කමෙන් මිදීම

“මම තාත්තාගේ අඩි පාරේ ගියා. තාත්තා බොන්න පුරුදු වෙලා හිටියා. අවුරුදු 12 වෙද්දිත් මම බොන්න පුරුදු වෙලා හිටියා. විවාහ වෙද්දිත් හැම දවසකම වෙරි වෙන තරමටම අඩි ගැහැව්වා. මම දරුණු විදිහට කටයුතු කළ නිසා මගේ පවුලේ අයට නිතරම පිහිට වුණේ පොලිසිය. මගේ සෞඛ්‍ය තත්වය දුර්වල වුණා. මත්පැන්වල සැරට බඩවැල් තුවාල වෙලා ලේ ගැලුවා. බේරුණේ අනූනවයෙන්. අක්මා රෝගයක් වන සිරෝසිස් හැදිලා හොඳටම දුර්වල වුණා. බොන එක නවත්වගන්න වෑයම් කරන කණ්ඩායම් එක්ක එකතු වෙලා බොන එක නවත්වන්න උත්සාහ කළත් බැරි වුණා. මට තේරුණේ මම ගිනිජාලයක් මැද ඉන්නවා වගෙයි.”—ආජෙන්ටිනාවේ වික්ටර්. *

මෙවැනි කතන්දර නිතර අහන්න ලැබෙනවා. මත්පැන් උගුලෙන් ගැලවෙන්න බැරුව ඉන්න අයට හැඟෙන්නෙත් වික්ටර්ට හැඟෙන ආකාරයටමයි. බීමත්කම නිසා ඇති වන ගැටලුවලින් ජයගැනීමට හෝ එයින් වැළකීමට හැකිද? හැකි නම් ඒ කෙසේද?

ගැටලුව වටහාගැනීම

මුලින්ම, ඇබ්බැහි වූ තැනැත්තාත්, ඔහුට හෝ ඇයට ලැදි අයත් ගැටලුවක් තිබෙන බව පිළිගැනීම අත්‍යවශ්‍යයි. මත්පැන් නැතුවම බැරිවීම ගැටලුවේ එක පැත්තක් පමණයි. බොන පුරුද්ද ඇති වෙන්න බොහෝ කාලයක් ගත වෙන්න ඇති. සමහරවිට මුලින් බොන්න ඇත්තේ ටිකක් වෙන්නත් පුළුවන්. ඒත් පුදුමයට කරුණක් වන්නේ මත්පැන් නිසා සිදු වූ අනතුරු, ප්‍රචණ්ඩ දේවල් සහ සමාජයට බලපා තිබෙන ගැටලු වැඩිහරියක් මත්පැනට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් අතින් සිදු නොවීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන මේ දේ සලකා බලන්න. “මත්පැන් නිසා සමාජයේ ඇති වන ගැටලු ප්‍රමාණය අඩු කිරීමට හොඳම ක්‍රමය වන්නේ අධික ලෙස මත්පැන් බොන අයට වඩා ටිකක් බොන අයගේ සංඛ්‍යාව අඩු කිරීමට වෑයම් කිරීමයි.” (ඇල අකුරු අපගේය). සෞඛ්‍ය නිලධාරීන් විසින් නිර්දේශ කර තිබෙන සීමාවන් ඉක්මවා ඔබ මත්පැන් ගන්නවාද? හොඳ අවධානයකින් සිටිය යුතු සහ ඉක්මන් පියවර ගත යුතු අවස්ථාවලදී ඔබ බොනවාද? ඔබේ බීමේ පුරුද්ද ඔබේ පවුලට හා රැකියා ස්ථානයට වදයක් වී ඇද්ද? පසු කලෙක ඇති වන ගැටලු වළක්වාගැනීමට “හොඳම දෙය” වන්නේ ඔබ වැඩියෙන් බොන බව පිළිගෙන බීම අඩු කිරීමයි. කෙනෙක් ඇබ්බැහි වුණාට පස්සේ එයින් මිදීම ඊටත් වඩා අපහසු වෙයි.

මත්පැන් අනිසි ලෙස භාවිත කරන්නන් අතර දක්නට තිබෙන ලක්ෂණයක් වන්නේ තමන්ගේ තත්වය පිළි නොගැනීමයි. “අනිත් අය වගේ තමයි මමත් බොන්නේ” නැතහොත් “ඕන වෙලාවක මට නතර කරන්න පුළුවන්” කියා ඔවුන් පවසනවා. “මත්පැන් නිසා මම මැරෙන්න ගියත් මම ඒකට ඇබ්බැහි වෙලා කියලා හිතුවේ නැහැ. ඒ නිසා ඒකෙන් ඈත් වෙන්න පියවර ගත්තේ නැහැ” කියා රුසියාවේ කොන්ස්ටන්ටින් පවසනවා. “මම පුරුද්ද අත්හරින්න හුඟක් උත්සාහ කළත් බීමට ඇබ්බැහි වෙලා ඉන්න බව පිළිගත්තේ නැහැ. ඒකෙන් මට හානියක් වෙයි කියලා හිතුවෙත් නැහැයි” කියා පෝලන්තයේ මාරෙක් පවසනවා.

තමාගේ ගැටලුව පිළිගෙන ඒ අනුව නිසි පියවර ගැනීමට යම් කෙනෙකුට උපකාර කළ හැක්කේ කෙසේද? මත්පැන් අනිසි භාවිතය නිසයි තමන්ගේ ගැටලු ඇති වන්නේ යන කාරණයත්, එයින් වැළකුණොත් තමන්ගේ ජීවිතය සාර්ථක කරගත හැකි බවත් ඔහු මුලින්ම පිළිගත යුතු වෙනවා. සඟරාවක පෙන්වා ඇති පරිදි ඔහු තම ආකල්පය වෙනස් කළ යුතුයි. “මම බොන්නේ මගේ බිරිඳ මාව දාලා ගිය හින්දත්, මගේ රස්සාව නැති වුණ හින්දත්” කියනවා වෙනුවට “මගේ බීම නිසයි මගේ බිරිඳ මාව දාලා ගියෙත් මගේ රස්සාව නැති වුණෙත්” කියා ඔහු පැවසිය යුතුයි.

මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙකුගේ ආකල්පය වෙනස් කරගන්න උපකාර කරන්න ඔබට වුවමනා නම් මෙම යෝජනා අත්හදා බැලිය හැකියි. හොඳින් සවන් දෙන්න; ඔබ ප්‍රශ්න අසද්දී ඔහුගේ හැඟීම් නිදහසේ පිට කිරීමට ඔහුට ඉඩ හරින්න; ඔහුව තේරුම්ගත් බව දැනෙන ලෙස කරුණාව දයාව පෙන්වන්න; ඔහු සුළුවෙන් හෝ පෙන්වන දියුණුව ගැන ප්‍රශංසා කරන්න; දිගින් දිගටම දොස් කීමෙන් හෝ ඔහු ගැන වැරදි ආකල්පයක් ඇති කරගැනීමෙන් වළකින්න. ‘මම දිගටම බිව්වොත් මොනවා වෙයිද? එමෙන්ම නතර කළොත් මොනවා වෙයිද?’ යන ප්‍රශ්න දෙක අනුව ඔහුට හැඟෙන දේ ලියන්න සැලැස්වීමත් ඔහුට උපකාරයක් විය හැකියි.

උපකාර පැතීම

කෙනෙක් බීමත්කමට පුරුදු වන විට ඔහු හෝ ඇය ගැන තිබෙන බලාපොරොත්තු අත්හැරීමත්, කිසිකමකට නැති පුද්ගලයෙක් කියා සිතීමත් සුදුසු නැහැ. තමන්ගේම අධිෂ්ඨානයෙන් පුරුද්ද අත්හැරීමට සමහරෙකුට හැකි වුණත් තවත් සමහරුන්ට විශේෂඥ උපකාර අවශ්‍ය විය හැකියි. * සමහරුන්ට මෙවැනි බාහිර ප්‍රතිකාර වැඩදායක වෙනවා. එසේ නොවන අයට මත්පැන් නිසා ඇති වන ඇඟ පතේ රුදාව වැනි විරමන ලක්ෂණ දරුණු වුණොත් රෝහල්ගත වීම අත්‍යවශ්‍ය විය හැකියි. මෙවැනි විරමන ලක්ෂණ නැතිවීමට දවස් දෙකත් පහත් අතර කාලයක් යනවා. ඉන්පසු ඊට දැක්වූ ලොල්බව අඩු කරගැනීමට බෙහෙත් ගන්න පටන්ගත හැකියි. දිගටම වැළකී සිටීමට මෙය උපකාර වෙයි.

ඉහත සඳහන් කළ වැඩසටහන්වලින් සහ බෙහෙත්වලින් ලැබෙන්නේ තාවකාලික විසඳුමක්. එය සම්පූර්ණ සුවයක් නොවෙයි. ප්‍රංශයේ ඇලන් ප්‍රතිකාර ක්‍රම කීපයකටම යොමු වුණා. “රෝහලෙන් ගිය ගමන්ම වගේ මම ආපහු බොන්න පටන්ගත්තා. එහෙම වුණේ කලින් ආශ්‍රය කළ බොන මිතුරන්වම ආපහු ආශ්‍රය කළ නිසයි. ඇත්තම කියනවා නම් නතර කරන්න ඒ තරම් උනන්දුවක් මට තිබුණේ නැහැ” කියා ඔහු කිව්වා.

පාළුව මකාගැනීම

බොහෝදෙනෙකුට මත්පැන්වලින් මිදෙන්න බැරි වන්නේ එය නතර කළ විට අමුතු පාළුවක් දැනෙන නිසයි. මත්පැන් නැති විට කුලුපග මිතුරෙක් නැති වුණා වගෙයි ඔවුන්ට දැනෙන්නේ. “මම නිතරම හිතුවේ බොන එක ගැනයි. දවසක් හරි බොන්න බැරි වුණොත් එදාට කිසිම ගතියක් නැහැ” කියා රුසියාවේ වසයිලි පැවසුවා. ඇබ්බැහි වූ කෙනෙකුට වෙනත් ඕනෑම වැඩකට වඩා වැදගත් වන්නේ බෝතලයයි. “මගේ පරමාර්ථය වුණේ බොන එක සහ බීමට මුදල් සොයාගන්න එක විතරයි” කියා පෝලන්තයේ ජර්සි යටගියාව සිහි කරනවා. එසේනම් මත්පැන්වලින් මිදෙන්න වෑයම් කරන කෙනෙක් ඉන් දිගටම වැළකී සිටින්න නම් තම ජීවිතයේ නව පරමාර්ථයක් ඇති කරගත යුතු බව පැහැදිලියි.

තම පුරුද්ද අත්හරින්න වෑයම් කරන අයට WHO මගින් පළ කළ අත්පොතක සඳහන් වන්නේ යළි බීමට නොවැටෙන්න නම් අර්ථවත් ක්‍රියාකාරකම්වල යෙදීම වැදගත් බවයි. එහි දී තිබෙන එක් උදාහරණයක් වන්නේ ආගමික ක්‍රියාකාරකම්වල යෙදීමයි.

ආගමික කටයුතුවල නිරත වීමෙන් කෙනෙකුට හැකියි මත්පැන්වලින් මිදෙන්න. නිදසුනක් ලෙස ඇලන් වෙරි මතින් ඇති කරගත් ප්‍රශ්න නිසා තුන්වෙනි වතාවටත් හිරේ ගියායින් පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඔහු මෙසේ පවසනවා. “බයිබලය පාඩම් කිරීමෙන් මගේ ජීවිතයට නව එළියක් උදා වුණා. මගේ අධිෂ්ඨානය වුණේ බීම නතර කිරීම පමණක් නොවෙයි යෙහෝවාව සතුටු කරන්නත් මට ඕන වුණා.”

ගැටලුව යළි යළිත් මතු වෙයි නම් . . .

මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙක් බීම අත්හරින්න උත්සාහ කරන විට ඔවුන්ට උපකාරය හා දිරිගැන්වීම අවශ්‍ය බව උපදේශකයන්ගේ අදහසයි. බීමත්කම හේතුවෙන් මෙවැනි අයට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හා මිතුරන් අහිමි වී ඇති නිසා තනි වන ඔවුන් කලකිරීමට පත්ව සිය දිවි නසාගැනීමට පවා ඉඩ තිබෙනවා. බීමේ ගැටලුවට හසු වී සිටින කෙනෙකුට, උපකාර කරන අයට කලින් සඳහන් කළ අත් පොතේ මෙවැනි උපදෙසක් දෙනවා. “ඔබ උපකාර සපයන පුද්ගලයාගේ ක්‍රියාකලාපය නිසා ඔබ කලබල නොවන්න. ඔහුව හෝ ඇයව විවේචනය නොකරන්න. පුරුදු අත්හරින එක කිසි සේත් පහසු කාර්යයක් නොවන බව මතක තබාගන්න. ගැටලුව යළි මතු වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මෙවැනි කෙනෙකු බීම අත්හැරීමට දරන සෑම වෑයමකට ඔබේ දිරිගැන්වීම, උපකාරය සහ ප්‍රායෝගික අදහස් අත්‍යවශ්‍යයි.”

වසර 30කට ආසන්න කාලයක් බීමත්කමට වැටී සිටි හිලාරියෝ පවසන්නේ “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ හිටිය මිත්‍රයන්ගේ ප්‍රේමය හා සැලකිල්ල මට ලොකු උපකාරයක් වුණා” කියලයි. “ආපහු බොන්න පෙලඹුණ හුඟක් අවස්ථාවල් තිබුණත් ඔවුන් ඒ හැම වෙලාවේම මාව දිරිගන්වමින් කාලෝචිත බයිබල් උපදෙස් දුන්නා.”

මත්පැන්වලින් මිදීමට වෑයම් කරමින් සිටියත් ගැටලුව යළි මතු වන අවස්ථා තිබිය හැකි බවත් මතක තබාගන්න. එය සාමාන්‍ය දෙයක් වන නිසා වෑයම අත් නොහරින්න. බීමට පෙලඹෙන තත්වයන් හෝ අවස්ථාවන් අවබෝධ කරගන්න. එසේ වන්නේ උදාසීනබව, කලකිරීම, පාළුව, වාද විවාද හෝ මානසික පීඩනය නිසාද? නැතහොත් මත්පැන් ගැනීමට අන් අය එකතු වන අවස්ථාවල හෝ ස්ථානවල ඔබ ගැවසෙන නිසාද? එවැනි තත්වයන් හෝ අවස්ථාවලින් වළකින්න. “බීමට මඟ පෑදිය හැකි හැඟීම් තේරුම්ගන්න මම ඉගෙනගත්තා. බොන්න ආශාවක් ඇති කරන අවස්ථාවලින් දැන් මම වැළකෙනවා. මත්පැන් ගන්නා අය ගැවසෙන ස්ථානවලට යන්නෙත් නැහැ. මත්පැන් අඩංගු කිසි ආහාරයක් කන්නෙත් නැහැ. මත්පැන් යොදා ඇති ආලේපන හෝ බෙහෙත් වර්ග වුණත් ළඟට ගන්නේ නැහැ. මත්පැන් ගැන පෙන්වන වෙළඳ දැන්වීම් බලන්නෙත් නැහැ” කියා පැවසුවේ වසර දෙකක් පුරා වෙර දරා මත්පැනින් සම්පූර්ණයෙන්ම වැළකුණ ජර්සියි. දෙවිට යාච්ඤා කර “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබාගැනීමෙන් බීමට ඇති වන ආශාව යටපත් කරගත හැකි බව බොහෝදෙනා දැනගෙන තිබෙනවා.—2 කොරින්ති 4:7; ෆිලිප්පි 4:6, 7.

නිදහස්!

මත්පැන් නැතුවම බැරි තත්වයෙන් මිදීම අභියෝගයක් වුණාට එය කළ හැකි දෙයක්. මෙම ලිපියේ සඳහන් සෑම කෙනෙක්ම සාර්ථකව ගැටලුවෙන් ජයගෙන තිබෙනවා. ඔවුන්ගේ සෞඛ්‍යය, පවුල් ජීවිතය රැකියාව යළි යහපත් අතට හැරී තිබෙනවා. ඇලන් පවසන්නේ “මම දැන් මත්පැන්වලින් නිදහස් වෙලයි ඉන්නේ” කියායි. කොන්ස්ටන්ටින්ද මෙවැන්නක් පවසනවා. “යෙහෝවාව දැනගන්න ලැබුණ නිසා මගේ පවුල් ජීවිතය රැකුණා. මම දැන් අරමුණක් ඇතුව ජීවත් වෙනවා. මගේ සතුට රැඳිලා තියෙන්නේ මත්පැන් නිසා නෙවෙයි.” එමෙන්ම වික්ටර් පවසන්නේ “මට දැන් හරි නිදහසක් දැනෙනවා. මගේ ගෞරවය රැකගෙන ඉන්නත් දැන් මට පුළුවන්” කියායි.

කෙනෙක් මත්පැන් අනිසි ලෙස භාවිත කළත්, දැනටමත් එයින් හානි සිදු වී තිබුණත් නැතහොත් ඔහු එය නැතුවම බැරි තත්වයකට පත් වෙලා සිටියත් තත්වය කුමක් වුවත් ඔහුට වෙනස්කම් කිරීමට හැකියි. ඔබේ බීමත්කම ඔබේ සෞඛ්‍යයට හා සන්තෝෂයට තර්ජනයක් වී ඇත්නම් අත්‍යවශ්‍ය වෙනස්කම් කිරීමට වහාම පියවර ගන්න. එය ඔබගේ හා ඔබට ලැදි අයගේ යහපතට හේතු විය හැකියි.

[පාදසටහන්වල]

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 10 ඡේ. ප්‍රතිකාර මධ්‍යස්ථාන, රෝහල් සහ සුව සෙත සලසන වැඩසටහන් බොහොමයක් තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ. ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්ති කඩ නොකරන දේවල නියැලෙන්න වගබලාගත යුතුයි. කෙසේවෙතත්, ලබාගන්නේ මොන වගේ ප්‍රතිකාරයක්ද කියා තීරණය කළ යුත්තේ තමන්මයි.

[10වන පිටුවේ පින්තූරය]

ගැටලුවක් තිබෙන බව පිළිගැනීම පළමු පියවරයි

[11වන පිටුවේ පින්තූරය]

බොහෝදෙනාට ඉන් මිදීමට විශේෂඥ උපකාර අවශ්‍යයි

[12වන පිටුවේ පින්තූරය]

යාච්ඤාව උපකාරයක් වෙයි

[12වන පිටුවේ පින්තූරය]

ඔබට හැකියි වැළකීමට ශක්තිය උපදවාගන්න