Skip to content

පටුනට යන්න

බීමත්කම—සමාජයට හානියක්

බීමත්කම—සමාජයට හානියක්

බීමත්කම—සමාජයට හානියක්

මත්පැන් භාවිතය ගැන අප සලකා බලන කල එහි හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තිබෙනවා. එය නිසි ප්‍රමාණයට ගත්තොත් සිතට සතුටක් ලැබෙන බව බයිබලයෙත් පවසනවා. (ගීතාවලිය 104:15) එහෙත් එය අනිසි ලෙස පානය කිරීම ගැන බයිබලයේ අනතුරු ඇඟවීමකුත් කර තිබෙනවා. මත්පැන් සමහරවිට විෂකුරු සර්පයෙකු මෙන් හපාකනවා. එමගින් මරණයට පවා පත් වෙන්න පුළුවන්. (හිතෝපදේශ 23:31, 32) මත්පැන් අනිසි ලෙස ගැනීමෙන් සිදු විය හැකි අහිතකර ප්‍රතිඵල ගැන අපි දැන් සලකා බලමු.

උදාහරණයකට මත්වීම නිසා සිදු වන රිය අනතුරුවලින් සෑම වසරකම දස දහස්ගණනක් මරණයට හෝ අනතුරුවලට ලක් වෙනවා. මෙවැනි සිද්ධීන් දිනපතාම සිදු වෙනවා. ල මොන්ඩ් පුවත්පතේ වාර්තා කර තිබෙන්නේ මෙවැන්නක්. “මත් වූ රියැදුරෙක් 25-හැවිරිදි මවක සහ ඇගේ දෙහැවිරිදි පුතාව යට කරගෙන ගියා. . . . මාස හයක ගැබිණියක්ව සිටි ඇය පසු දින මිය ගියා. හිසට දරුණු හානි සිදු වුණ ඇගේ පුතාගේ තත්වය බරපතළයි.” සමහරවිට මෙවැනි දේකට ගොදුරු වූ කෙනෙකුව ඔබත් දන්නවා ඇති.

බීමත්කම නිසා මිය යන සංඛ්‍යාව

බීමත්කම නිසා ලොව පුරා අසීමිත සංඛ්‍යාවක් මිය යනවා. ප්‍රංශයේ පිළිකාව හා හෘද රෝගවලට පසු තුන්වන මරු කැඳවන්නා බවට එය පත් වී තිබෙනවා. සෑම වසරකම බීමත්කම හෝ එහි අතුරු ප්‍රතිඵල නිසා 50,000ක් පමණ මිය යනවා. “මෙය හරියට මගීන් ගෙන යන විශාල ගුවන් යානා දෙකක් හෝ තුනක් සතිපතා අනතුරට ලක් වෙනවා හා සමානයි” කියා ප්‍රංශ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ වාර්තාවක පැවසෙනවා.

මත්පැන් නිසා වැඩියෙන්ම මිය යන්නේ යෞවනයන්. යුරෝපයේ සිටින වයස අවුරුදු 15ත් 29ත් අතර යෞවනයන් සම්බන්ධයෙන් එය සැබෑවක් වී ඇති බව 2001දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පළ කළ වාර්තාවක පෙන්වනවා. නැඟෙනහිර යුරෝපයේ රටවල් කීපයක් කියා සිටින්නේ මේ විදිහට ගියොත් සීමාව ඉක්මවා මත්පැන් පානය නිසා වැඩි කල් නොගොස් තම රටවල සිටින සෑම යෞවනයන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් මිය යන්න ඉඩ තිබෙනවා කියායි.

ප්‍රචණ්ඩත්වය සහ ලිංගික අතවර

මත්වීම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට තුඩු දෙයි. මත් වී සිටින කෙනෙක් සිහි විකල්ව සිටියි. එමෙන්ම අන් අයගේ ක්‍රියා වැරදි ලෙස තේරුම්ගන්නා නිසා ඔහු ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නත් ඉඩ කඩ තිබෙනවා.

එය ගෘහස්ත සැහැසියාව හා ලිංගික අතවරවලටත් ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ප්‍රංශයේ සිරකරුවන් සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකට අනුව ස්ත්‍රී දූෂණය හා ලිංගික අතවර සිදු කළ අයගෙන් තුනෙන් දෙකක් බීමත්ව ඉඳලා තියෙනවා. පෝලන්තයේ සමීක්ෂණයකට අනුව බේබද්දන්ගෙන් සියයට 75ක් තම භාර්යාවන්ට දරුණු ලෙස හිරිහැර කර තිබෙනවා කියා එක් සඟරාවක පළ කර තිබුණා. (එම සඟරාව Polityka) එක් අධ්‍යයනයකින් මෙසේ හෙළි කරනවා. “ඕනෑම වයසක සිටින කෙනෙක් මත් වී සිටිද්දී මිනීමැරුම් සිදු කිරීමට තිබෙන පෙලඹීම දෙගුණයකින් වැඩි වෙයි. ඒ වගේම මත්පැන් ගන්න අය එක්ක එක නිවසේ වෙසෙන මත්පැන් නොගන්නා අයගේ ජීවිත [පවා] තිබුණේ අවදානමේ.”—අමෙරිකානු වෛද්‍ය සංගමයේ විද්‍යා අංශය.

සමාජයටම පාඩුවක්

අනතුරු, අසනීප හෝ අකාලයේ මිය යෑම හේතුවෙන් විඳින්න වන පාඩු අපමණයි. වෛද්‍ය සේවාව, රක්ෂණ ගාස්තු සහ සේවකයන්ගේ කාර්යක්ෂමතාව අඩාළ වීම වැනි දේවල්වලට විශාල මුදලක් යට කරන්න සිදු වෙනවා. බීමත්කම නිසා අයර්ලන්තයේ මිලියන හතරක ජනතාවකට වසරකට ඩොලර් බිලියනයක්වත් පාඩු විඳින්න සිදු වෙනවා. මෙම මුදල “සෑම වසරකම අලුත් රෝහලක් හා ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට මෙන්ම සෑම මන්ත්‍රීවරයෙකුටම ගුවන් යානයක් ලබා දීමට හැකි” මුදලක් බව අයර්ලන්තයේ පුවත්පතක සඳහන් වෙනවා. (එම පුවත්පත The Irish Times) ජපානයේ අධික මත්පැන් පානය නිසා “වසරකට යෙන් ට්‍රිලියන 6කට [ඩොලර් බිලියන 55කට] වඩා මුදලක්” පාඩු වුණ බව 1998දී පුවත්පතක පළ වුණා. (එම පුවත්පත Mainichi Daily News) එක්සත් ජනපදයේ සම්මේලනයකට ඉදිරිපත් කළ වාර්තාවක මෙවැන්නක් පළ කෙරුණා. “වර්ෂ 1998දී එක්සත් ජනපදයේ බීමත්කම නිසා සමාජයට විඳින්න සිදු වූ පාඩුව ඩොලර් බිලියන 184.6ක්. වෙනත් ආකාරයකට පවසනවා නම් එය එහි සිටින සෑම පුද්ගලයෙකුටම ඩොලර් 638ක පාඩුවක්.” ඊට අමතරව පවුල් කැඩී බිඳී යෑම හෝ පවුලේ සාමාජිකයන් මිය යෑම හේතුවෙන් ඇති වන මානසික බිඳවැටීම මෙන්ම අධ්‍යාපනය කඩාකප්පල් වීම හා රැකියා අහිමි වීමද සමාජයට සිදු වන පාඩුවක්.

මේ අනුව බලන කල බීමත්කම සමාජයට විණ කරන රකුසෙක් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔබ මත්පැන් ගන්නේ ඔබේ සෞඛ්‍යයටත්, අන් අයගේ සෞඛ්‍යයටත් හානි වන ආකාරයෙන්ද? මේ ප්‍රශ්නයට ඊළඟ ලිපියෙන් පිළිතුරු ලැබෙයි.