Skip to content

පටුනට යන්න

බීමත්කම හා සෞඛ්‍යය

බීමත්කම හා සෞඛ්‍යය

බීමත්කම හා සෞඛ්‍යය

බොහෝ රටවල මිතුරන් එකතු වී විනෝදෙට බොනවා. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ සමඟියෙන් ප්‍රීතිවීමයි. ඒත් කනගාටුවට කරුණක් වන්නේ බොහෝදෙනෙකුගේ මත්පැන් පානයේ ප්‍රතිඵලය සතුටට වඩා දුකක් වීමයි.

මත්පැන් ගැන කතා කරද්දී සැර වැඩි අරක්කු වැනි පානයන් පමණක් නොව වයින්, බියර් වැනි සැර අඩු පානයන් ගැනත් සැලකිය යුතුයි. මත්පැන් අනිසි ලෙස ගැනීමේ අවදානම කාණ්ඩ තුනකට බෙදිය හැකියි. පළමු කාණ්ඩය නම් සෞඛ්‍ය නිලධාරීන් හෝ වෙනත් බලධාරීන් පනවා තිබෙන සීමාව ඉක්මවා මත්පැන් පානය කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එලෙස පානය කිරීමේ පුරුද්ද සමාජයට, ශරීරයට හෝ මනසට “අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකියි.” ඊට වඩා දෙවනි කාණ්ඩය බරපතළයි. එය ශාරීරිකව හෝ මානසිකව අහිතකර ප්‍රතිඵල ඇති වන ආකාරයෙන් මත්පැන් අනිසි භාවිතයයි. තුන්වෙනි කාණ්ඩය ඊටත් වඩා දරුණුයි. එම කාණ්ඩයේ සිටින කෙනෙක් මත්පැන්වලට ඇබ්බැහි වී සිටිනවා. මෙවැනි පුද්ගලයෙකුට “මත්පැන් නැතුවම බැහැ.” එවැනි කෙනෙකුට මත්පැන් නැති වුණොත් ඇඟේ පතේ අමාරුකම් ඇති වෙයි. ඒත් ඉන් ඇති වන ගැටලු දැන දැනත් ඔහු තම පුරුද්ද අත් හරින්නේ නැහැ.

ඔබේ වයස කුමක් වුවත්, ඔබ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වුවත්, ඔබේ ජාතිය කුමක් වුවත් මත්පැන් වැඩියෙන් භාවිත කිරීමේ අවදානමට ඔබත් ගොදුරු විය හැකියි. ශරීරයට මත්පැන් බලපායිද? වැඩියෙන් ගත්තොත් සෞඛ්‍යයට අහිතකරද? මත්පැන් පානය සඳහා සීමාව කුමක්ද?

මනසට විස

මත්පැන් බොහොමයක තිබෙන රසායනික ද්‍රව්‍යයක් වන්නේ එතනෝල් නැතහොත් ඊතයිල් මද්‍යසාරයයි. මෙයින් ස්නායුවලට බරපතළ හානි සිදු විය හැකියි. ඇත්තෙන්ම මත්වීම කියන්නේ යම් ආකාරයක විෂවීමක්. ඊතයිල් මද්‍යසාරය වැඩි ප්‍රමාණයක් ශරීරගත වුවහොත් සිහි මූර්ඡා වීමටත්, මරණයට පවා පත්වීමටත් ඉඩ තිබෙනවා. උදාහරණයකට ජපානයේ සිටින ශිෂ්‍යයන් විනෝදයට කරන්නේ මත්පැන් එක හුස්මට ගිල දැමීමයි. මෙම පුරුද්ද නිසා සෑම වසරකම ශිෂ්‍යයන් බොහෝදෙනෙක් මරණයට පත් වෙනවා. ඊතයිල් මද්‍යසාරය ශරීරගත වූ පසු එහි සැර ගතිය අඩු වන්නේ යම් කාලයක් ගත වුණායින් පසුවයි. එක විගස මත්පැන් පානය කළොත් ශරීරයට එය දරාගත නොහැකි වෙයි. එවිට ශරීරයේ ඇති ඊතයිල් මද්‍යසාරය ක්‍රම ක්‍රමයෙන් වැඩි වී මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා සිදු වෙන්න පටන්ගනියි. එසේ වන්නේ කෙලෙසද?

කතා කිරීම, පෙනීම, සිහි කල්පනාව ඇතුව දේවල් කිරීම, කල්පනා කිරීම සහ හැසිරීම යන සියල්ල සිදු වන්නේ මොළයේ ස්නායු නැතහොත් ප්‍රධාන සෛලවල සිදු වන පුදුමාකාර රසායනික ප්‍රතික්‍රියා දාමයක් නිසයි. මේ රසායනික ප්‍රතික්‍රියා මාර්ගයෙන් මොළයට අවශ්‍ය සංඥා ලැබෙනවා. ඊතයිල් මද්‍යසාරය ශරීරයේ තිබෙනවා නම් එම රසායනික ද්‍රව්‍යවල සංයුතිය වෙනස් වෙනවා. එවිට මොළයට නිවැරදි සංඥා ලැබෙන්නේ නැහැ. එමනිසා මෙම නොපෙනෙන ක්‍රියාවලිය කෙනෙකුගේ ක්‍රියාකලාපයෙන් දිස් වෙනවා. මත් වූ විට ඔහුගේ හෝ ඇගේ කතා විලාසය වෙනස් වෙනවා; පෙනීම දුර්වල වෙනවා. එවැනි කෙනෙක් ගමන් කරන්නෙත් වැනි වැනියි. එමෙන්ම නුසුදුසු ලෙස හැසිරෙන්නත් පටන්ගන්නවා.

දිගු කලක් පුරා මද්‍යසාරය ශරීරගත වීමේදී මොළයේ රසායනික ද්‍රව්‍යයන් එයට හුරුවීමට පටන්ගන්නවා. එවිට සිදු වන්නේ ඊතයිල් මද්‍යසාරයේ විෂ සහිත බලපෑමට විරුද්ධව ඒවා ප්‍රතික්‍රියා නොකිරීමයි. මෙසේ ඊතයිල් මද්‍යසාරයට මොළය හුරු වූ පසු මද්‍යසාරය ශරීරයේ තිබුණත් ස්නායු සාමාන්‍ය පරිදි ක්‍රියා කරනවා. එමනිසා මත් ගතියක් දැනෙන්න නම් කලින් ගත් ප්‍රමාණයට වැඩි මත්පැන් ප්‍රමාණයක් ගන්න සිදු වෙනවා. නොකඩවා එලෙස ගැනීමෙන් සිදු වන්නේ මද්‍යසාරයට ඇබ්බැහි වීමයි. දැන් මොළයට රසායනික ප්‍රතික්‍රියාවන් පවත්වාගැනීම සඳහා මත්පැන් නැතුවම බැහැ. මෙවැනි කෙනෙකු මත්පැන්වලින් වැළකුණොත් ඔහුගේ මොළයේ රසායනික ක්‍රියාවලිය මුළුමනින්ම අඩාළ වෙනවා. බිව්වේ නැත්නම් කාන්සාව, ඇඟ පත වෙවුලීම හෝ සිහි මූර්ඡා වීම වැනි ලක්ෂණ පහළ විය හැකියි.

මොළයේ රසායනික ප්‍රතික්‍රියාවන්වල වෙනසක් සිදු කරනවාට අමතරව මත්පැන් අනිසි ලෙස ගැනීම නිසා සෛලවල වර්ධනය අඩාළ වෙයි. සමහරවිට ඒවා විනාශ වී යයි. දිගටම බොන කෙනෙක් මත්පැන්වලින් වැළකුණොත් සම්පූර්ණ සුවයක් ලැබෙන්නේ නැහැ. ඔහුගේ මතක ශක්තිය හා කල්පනා ශක්තියට දායක වන පණිවිඩ ගෙන යන ස්නායු සෛල විනාශ වූ පසුව ඒවා වෙනුවට අලුත් සෛල වැඩෙන්නේ නැති වෙන්න ඉඩ කඩ තිබෙනවා. පර්යේෂණවලින් පෙන්වන්නේ මොළයට හානි වන්නේ දිගු කලක් තිස්සේ මත්පැන් ගැනීමෙන්ම නොවන බවයි. කෙටි කාලයක් තුළ වුවත් මත් පැන් අනිසි ලෙස ගත්තොත් මොළයට හානියක් විය හැකියි.

අක්මාවේ රෝග සහ පිළිකාව

ආහාර ජීරණය කිරීම, රෝග බෝවීමට එරෙහි වීම, රුධිර සංසරණය පාලනය කිරීම සහ ශරීරය තුළ තිබෙන මද්‍යසාරය වැනි විෂ ද්‍රව්‍යයන් ඉවත් කිරීම වැනි කාර්යයන් කිරීම සඳහා අක්මාව අමිල සේවයක් ඉටු කරයි. එහෙත් පුරුද්දකට බොනවා නම් ඊතයිල් මද්‍යසාරය ශරීරයෙන් ඉවත් කිරීමට සෑහෙන වෙහෙසක් දරන්න සිදු වන නිසා අක්මාවෙන් සිදු වන සාමාන්‍ය ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවෙයි. එවිට මේදය ජීරණය නොවී අක්මාවෙම රැඳෙයි. මෙලෙස දිගින් දිගටම මේදය තැන්පත් වුණොත් අක්මාව ඉදිමී හෙපටයිටිස් රෝගය සෑදීමට ඉඩ ඇති අතර හෙපටයිටිස් B සහ C වර්ගයේ රෝගය සෑදීමට ප්‍රවණතාවද වැඩි වෙයි. * නොසලකා හැරියොත් අක්මා සෛල පුපුරා ගොස් එම සෛල විනාශ වී යයි. සාමාන්‍යයෙන් යම් කාලයකට පසු ශරීරයේ ඇති සෛල මැරී යයි. මද්‍යසාරවලින් සිදු වන්නේ සෛල මැරී යෑම ඉක්මන් කිරීමයි.

එවිට අවසාන ප්‍රතිඵලය වන්නේ සිරෝසියාව සෑදීමයි. ඉදිමුම සහ සෛල විනාශ වී යෑම දිගටම පැවතුණොත් අක්මාවේ සුමට මෙළෙක් ගතිය නැති වී එහි තද ගැටිති ඇති වී ගොරෝසු වෙයි. මෙවන් තත්වයක් ඇති වූ පසු බොහෝදුරට එය වෙනස් කළ නොහැකියි. තද ගැටිති නිසා සාමාන්‍ය පරිදි රුධිරය ගමන් නොකරයි. ගෝවා මලක් මෙන් ඉදිමී තිබෙන අක්මාවේ ක්‍රියාකාරිත්වය ක්‍රම ක්‍රමයෙන් අඩාළ වී නතර වන්නේ මරණයෙන්.

අක්මාවට හැකියාවක් තිබෙනවා පිළිකා වර්ධක හේතුකාරකයන් මර්දනය කිරීමට. එහෙත් මත්පැන් එයට බාධා කර අක්මාවේ පිළිකා සෑදීමට දායක වෙනවා. එපමණක් නොව මුඛයේ, උගුරේ සහ ගලනාලයේ පිළිකා සෑදීමටද බෙහෙවින් එය දායක වෙනවා. ඊට අමතරව මුඛයේ ශ්ලේෂ්මල පටලයන්ටත් මත්පැන් හානි කරනවා. එමනිසා දුම්කොළ භාවිත කරන්නන්ට පිළිකා සෑදීමේ වැඩි අවදානමක් තිබෙනවා. දිනපතා මදුවිත තොලගාන ස්ත්‍රීන්ට පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව වැඩියි. එක් අධ්‍යයනයකට අනුව දිනකට ඊතයිල් මද්‍යසාරය ග්‍රෑම් 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගන්නා ස්ත්‍රීන් මත්පැන් නොගන්නා අයට වඩා සියයට 69කින් වැඩි අවදානමක සිටිනවා.

බිලිඳුන්ද අනතුරේ

ඉතා කනගාටුදායක දේ වන්නේ මවකගේ බීමත්කම නූපන් දරුවන්ටත් බලපෑමයි. “ඕනෑම මත් ද්‍රව්‍යයකට වඩා කලලයට හානි වන්නේ මත්පැන්වලින්” කියා එක් පුවත්පතක වාර්තා වෙනවා. (එම පුවත්පත International Herald Tribune.) ගැබිණි මවක් බොන විට ඇගේ දරුවාත් එය බොනවා හා සමානයි. එම මත්පැන්වල තිබෙන මද්‍යසාරය කුසේ වර්ධනය වන දරුවාට ඉතා විෂ සහිතයි. යළි යථා තත්වයට පත් කළ නොහැකි වන ලෙස නූපන් දරුවාගේ ස්නායු පද්ධතියට හානි වෙයි. මොළයේ ස්නායු නිසි ලෙස වර්ධනය නොවෙයි. ශරීරයේ සමහර සෛල මැරී යන අතර වෙනත් ඒවා වර්ධනය වන්නේ නිසි ස්ථානවල නොවෙයි.

නූපන් දරුවා මද්‍යසාරය උරාගෙන තිබීම හඳුන්වන්නේ භෲණ ඇල්කොහොල් සංධාවය ලෙසයි. මෙවන් තත්වයක් මන්දබුද්ධික දරුවන් බිහි කිරීමට ප්‍රධාන හේතුවයි. නූපන් දරුවාට මද්‍යසාරය බලපා ඇත්නම් දරුවා බිහි වූ පසුව ඇති විය හැකි තවත් ගැටලු තිබෙනවා. ඒවා නම් බුද්ධිය හීන වීම, අදහස් හුවමාරුවේ ගැටලු, වර්ධනය අඩාළ වීම, අසාමාන්‍ය හැසිරීම, අධි ක්‍රියාශීලිත්වය සහ ශ්‍රවණ හා දෘශ්‍ය ආබාධයන් ඇතිවීම යනාදියයි. එමෙන්ම භෲණ ඇල්කොහොල් සංධාවය සහිත ළදරුවන්ගේ මුහුණේද විකලතා තිබිය හැකියි.

ඊට අමතරව ගැබිණි මව්වරුන් සීමාව ඉක්මවා මත්පැන් නොගත්තත් ඔවුන්ගේ දරුවන්ද අසාමාන්‍ය හැසිරීම හා ඉගෙනීමට අදක්ෂ වීම වැනි යම් දුබලතා අද්දැකිය හැකියි. “ඔබේ දරුවාට අනතුරු කිරීම සඳහා ඔබ බීමට ඇබ්බැහි වෙන්නම අවශ්‍ය නැහැ. ගැබිණි සමයේදී මත්පැන් ටිකක් බිව්වත් එසේ විය හැකියි” කියා වොෂිංටන් විශ්වවිද්‍යාලයේ මද්‍යසාරය හා මත් ද්‍රව්‍ය නූපන් දරුවාට බලපාන අන්දම පරීක්ෂා කරන අංශයේ මහාචාර්යවරියක වන ඈන් ස්ට්‍රයිස්ගූත් පවසනවා. ප්‍රංශයේ සෞඛ්‍ය සහ වෛද්‍ය පර්යේෂණ පිළිබඳ ජාතික ආයතනය මෙසේ වාර්තා කළා. “මුළු ගැබිණි සමයේදීම මද්‍යසාරය ශරීරගත වීමෙන් භයානක ප්‍රතිඵල ඇති වෙයි. කිසි අවදානමක් නොවන්න නම් ගත යුතු අඩුම ප්‍රමාණය මෙයයි කියා කිව හැකි සීමාවක් තවම සොයාගෙන නැහැ.” මේ අනුව බලන කල ගැබිණියකට හෝ ගැබිණියක් වීමට බලාපොරොත්තු වෙන කාන්තාවකට නැණවත්ම දේ වන්නේ සුරාපානයෙන් මුළුමනින්ම වැළකීමයි. *

බීමට සීමාවක්

මීටත් වඩා දේවල් කීමට තිබෙනවා. වර්ෂ 2004දී නේචර් සඟරාවේ ලිපියක පෙන්නුම් කළේ “මත්පැන් ටිකකින් වුවත් අනතුරු සිදු විය හැකි අතර විවිධ රෝග 60ක් පමණ වැලඳීමටද ඉඩ කඩ ඇති” බවයි. එසේනම් බියර්, වයින් ඇතුළු ඕනෑම මත්පැන් වර්ගයක් භාවිතයේදී ආරක්ෂාකාරී සීමාවක් තිබෙනවාද? අද හුඟදෙනෙක් ඉඳලා හිටලා මත්පැන් භාවිතයෙන් විනෝදයක් ලබනවා. ඇඟට අගුණ නොවෙන්න නම් සීමාව දැනගෙන පානය කළ යුතුයි. ඒත් සීමාව මොකක්ද? බොහෝ අය සිතන්නේ තමන් වෙරි වෙන්නේ නැත්නම් හෝ ඇබ්බැහි වී නැත්නම් තමන් තමන්ගේ සීමාව තුළ සිටින බවයි. ඒත් යුරෝපයේ හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් සෞඛ්‍යයට අවදානම් වන අයුරින් මත්පැන් පානය කරනවා.

සීමාවක් ඇතුව මත්පැන් පානය කිරීම පිළිබඳව විවිධ මූලාශ්‍රවල පැහැදිලි කර තිබෙන්නේ පුරුෂයන්ට දිනකට ඊතයිල් මද්‍යසාරය ග්‍රෑම් 20ක හෝ කාන්තාවකට දිනකට ග්‍රෑම් 10ක සීමාවක් සුදුසු බවයි. ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය නිලධාරීන් යෝජනා කරන “සාධාරණ සීමාව” වන්නේ පුරුෂයන්ට දිනකට ඊතයිල් මද්‍යසාරය ග්‍රෑම් 30යි සහ ස්ත්‍රීන්ට ග්‍රෑම් 20යි. එක්සත් ජනපදයේ මත්පැන් අනිසි භාවිතය හා බේබදුකම පිළිබඳ ජාතික ආයතනය තවදුරටත් නිර්දේශ කරන්නේ “ වයස අවුරුදු 65 හෝ ඉන් ඉහළ අය දිනකට ඊතයිල් මද්‍යසාරය ග්‍රෑම් 10කට සීමා කළ යුතු” බවයි. කෙසේවෙතත් අපි එක් එක්කෙනාට මත්පැන් බලපාන ආකාරය වෙනස් වෙනවා. සමහරු මේ සීමාව අනුව ගත්තත් මත් විය හැකියි. උදාහරණයකට “මානසික ස්වභාවයේ අක්‍රමිකතා සහ මානසික අවපීඩනය තිබෙන අයට සීමාව දැන මත්පැන් භාවිත කෙරුවත් හානි සිදු විය හැකියි” කියා මත්පැන් හා සෞඛ්‍යය පිළිබඳව එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවට දුන් 10වෙනි විශේෂ වාර්තාව පවසයි. කෙනෙකුගේ වයස, රෝග හා ප්‍රතිකාර සම්බන්ධ තොරතුරු සහ දේහ ලක්ෂණ යන කාරණාද සැලකිල්ලට ගත යුතුයි.—“හානි අවම කරගැනීම” යන කොටුව බලන්න.

වැඩියෙන් බොන අයට උපකාර ලබාගත හැකිද? ඊළඟ ලිපියෙන් මේ ප්‍රශ්නයට පිළිතුර ලැබෙයි.

[පාදසටහන්වල]

^ 11 ඡේ. ප්‍රංශයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, හෙපටයිටිස් C වයිරසය වැලඳී තිබෙන රෝගීන්ගෙන් මත්පැන් ප්‍රමාණවත් ලෙස ගන්නා රෝගීන්ට වඩා අධික ලෙස ගන්නා රෝගීන්ට අක්මා රෝගයක් වන සිරෝසියාව සෑදීමේ ප්‍රවණතාව වැඩියි. එමනිසා මෙම රෝගීන්ට වඩාත්ම සුදුසු දේ වන්නේ බියර්, වයින් ඇතුළු ඕනෑම මත්පැන් වර්ගයකින් මුළුමනින්ම වැළකී සිටීමයි. එසේ නොහැකි නම් ඉතා ස්වල්පයක් පමණක් ගැනීමයි.

^ 17 ඡේ. කිරි දෙන මව්වරුන් මත්පැන් ගත් විට මද්‍යසාරය ඔවුන්ගේ රුධිරයට උරාගන්නා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කිරිවලට උරාගන්නවා. ඊට හේතුව රුධිරයට වඩා කිරිවල වැඩි ජල ප්‍රමාණයක් තිබීමයි.

[5වන පිටුවේ කොටුව⁄පින්තූර]

මත්පැන් ගෙන රිය පැදවීම!

වාහන පාරට දැම්ම කාලේ ඉඳන්ම මත්පැන් ගෙන රිය පැදවීම ගැටලුවක් වී තිබෙන නිසා එයට තහංචි දැමීමට සිදු වුණා. ප්‍රථම වරට මෙලෙස තහංචි දැමුවේ 1903දී ඩෙන්මාර්ක්වලයි.

හිස් බඩින් සිටින වෙලාවකදී සැර බීම ගත්තොත් පැය භාගයකින් පමණ එහි අඩංගු මද්‍යසාරය කෙනෙකුගේ රුධිරයට එක් වෙයි. බොහෝදෙනෙකුගේ අදහස වන්නේ එයින් ඇති වන මත් ගතිය පහවී යෑමට කෝපි පානය කිරීම, සිසිල් වාතාශ්‍රය ලැබෙන තැනක සිටීම හෝ ව්‍යායාම් කිරීම හොඳ බවයි. නමුත් එය සැබෑවක් නොවෙයි. මත් ගතිය අඩු වන්නේ යම් කාලයක් ගතවීමෙන් අනතුරුවයි. සමහරුන් සිතන්නේ බියර් වැනි සැර අඩු පානයක් බීලා රිය පැදෙව්වාට ප්‍රශ්නයක් නැහැ කියලයි. නමුත් බියර් වීදුරුවක තිබෙන මද්‍යසාර ප්‍රමාණයම අරක්කු අඩියක තිබෙනවා. *

මත්පැන් සුළු ප්‍රමාණයක් වුවත් රිය පැදවීමේ හැකියාවට බාධාවක් විය හැකියි. පෙනීමේ හැකියාව දුර්වල කරන නිසා මාර්ග සලකුණු ඉතා කුඩා වෙලා පෙනෙයි. වටපිටාවේ සිදු වන දේ පිළිබඳ අවබෝධය හීන වෙයි. ඈත තිබෙන දේ හඳුනාගෙන ඒ අනුව නිසි ප්‍රතිචාරයක් දැක්වීමේ හැකියාව අඩාළ වෙයි.

නොබී රිය පදවනවාට වඩා බීමත්ව රිය පදවා අනතුරකට ලක් වුවහොත් සිදු වන අනතුර දරුණු විය හැකියි. එපමණක්ද නොව හදිසි සැත්කමකට භාජන වීමට සිදු වුණොත් හදවතට හා රුධිර සංසරණයට මත්පැන් බලපා ඇති නිසා ඔබේ ජීවිතය බේරාගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. “මේ නිසා සැබෑවක් වන්නේ සාමාන්‍යයෙන් පිළිගත් මතයට වෙනස් දෙයක්. මත්පැන් නිසා වැඩිපුර මියයන්නේ බීමත් රියැදුරන්මයි” කියා ප්‍රංශයේ සෞඛ්‍යය හා වෛද්‍ය පර්යේෂණ පිළිබඳ ජාතික ආයතනය මගින් නිකුත් කළ වාර්තාවක පැවසෙනවා. අනතුරු ගැන සලකා බලන කල වාර්තාව මතු සඳහන් දේ නිර්දේශ කරනවා.

▪ බීමත්ව රිය පදවන්න එපා.

▪ බීමත් රියැදුරෙකු පදවන රථයක යන්න එපා.

▪ මත්පැන් පානය කළ මිතුරන්ට හෝ දෙමාපියන්ට රිය පදවන්න ඉඩ දෙන්න එපා.

[පාදසටහන]

^ 28 ඡේ. ශරීරගතව ඇති ඊතයිල් මද්‍යසාරය ග්‍රෑම් හතක් පමණ ඉවත් කිරීමට පැයක් ගත වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මත්පැන් වීදුරුවක ඊතයිල් මද්‍යසාරය සාමාන්‍යයෙන් ග්‍රෑම් දහයක් පමණ තිබෙන බවයි. එම ප්‍රමාණය බියර් මිලිලීටර් 250ක, වයින් මිලිලීටර් 100ක හෝ අරක්කු වැනි සැර බීම මිලිලීටර් 30ක අඩංගු වෙයි.

[පින්තූර]

මෙම පානයන්වල දළ වශයෙන් මද්‍යසාරය එකම ප්‍රමාණයක් අඩංගුයි

බියර් වීදුරුවක (මි.ලී. 330ක මද්‍යසාරය සීයට 5යි)

සැර මත්පැන් අඩියක (අරක්කු, විස්කි, ජින්) (මි.ලී. 40ක මද්‍යසාරය සීයට 40යි)

වයින් වීදුරුවක (මි.ලී. 140ක මද්‍යසාරය සීයට 12යි)

සැර මිහිරි මත්පැන් කුඩා වීදුරුවක (මි.ලී. 70ක මද්‍යසාරය සීයට 25යි)

[6වන පිටුවේ කොටුව]

මත්පැන් නැතුවම බැරි වීමට හේතුව ජානද?

ප්‍රතිකාරයක් සෙවීමේදී බේබදුකම හා ජානවල සම්බන්ධයක් තිබෙනවාද කියා සොයා බැලීමට විද්‍යාඥයන් පරීක්ෂණ පැවැත්තුවා. එම පරීක්ෂණවලින් හෙළි වුණේ කෙනෙක් මත්පැන්වලට ඇල්මක් දක්වනවාද නැද්ද යන්නට ඇතැම් ජාන බලපෑ හැකි බවයි. එහෙත් බේබදුකමට වැටෙන්නේ ජානවල බලපෑම නිසාම නොවෙයි. වෙනත් බාහිර බලපෑම්ද තිබෙනවා. දෙමාපියන් නිසි පුහුණුවක් නොදීම, බීමට ලොල් වූ අය ගෙදර සිටීම හෝ එවැනි අය සමඟ ඇසුරු කිරීම, අනිත් අය එක්ක රණ්ඩු දබර කිරීම, සිත්තැවුල්, මානසික අවපීඩනය, කලහකාරිබව, සතුට සෙවීම, මත්පැන්වලට හුරුවීම, වෙනත් ද්‍රව්‍යයකටත් ඇබ්බැහි වී සිටීම වැනි සියලුම දේ හානිදායක වන අතර මත්පැන්වලට ඇබ්බැහි වීමටද හේතු විය හැකියි.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ප්‍රංශය:

සීමාව ඉක්මවා බොන මිලියන පහක පමණ සංඛ්‍යාවෙන් මිලියන දෙකක් හා තුනක් මත්පැන් නැතුවම බැරි තත්වයකට වැටී සිටින බව අධ්‍යයනයන්වලින් පෙන්වනවා

නයිජීරියාව:

ලාගෝස්හි ඩේලි චැම්පියන් පුවත්පතට අනුව “නයිජීරියානුවන්ගෙන් මිලියන 15කට වඩා වැඩි සංඛ්‍යාවක් බීමට ඇබ්බැහි වී සිටිනවා.” එය මුළු ජනගහනයෙන් සියයට 12කට ආසන්න සංඛ්‍යාවක්

පෘතුගාලය:

කලවම් නොකරන මද්‍යසාරය වැඩියෙන් පානය කරන්නේ පෘතුගාල වැසියනුයි. ජනගහනයෙන් සියයට 10ක් “මත්පැන් නිසා ඇති වන බරපතළ ආබාධවලින්” පීඩා විඳිනවා කියා ලිස්බන්හි පූබ්ලිකෝ නමැති පුවත්පත සඳහන් කරනවා.

එක්සත් ජනපදය:

මත්පැන් හා සෞඛ්‍යය පිළිබඳව එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවට දුන් 10වෙනි විශේෂ වාර්තාවට අනුව, “අමෙරිකානුවන් මිලියන 14කට ආසන්න සංඛ්‍යාවක්, එනම් මුළු ජනගහනයෙන් සියයට 7.4ක් සීමාව ඉක්මවා මත්පැන් ගන්නන්ගේ හෝ බේබද්දන්ගේ ගණයට වැටී තිබෙනවා”

[8වන පිටුවේ කොටුව]

හානි අවම කරගැනීම

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇබ්බැහිවීම් හා මානසික සුවය පිළිබඳ අංශය මගින් මත්පැන් නිසා ඇති වන හානි අවම කරගැනීම සඳහා මතු දැක්වෙන සීමාවල් ඉදිරිපත් කළා. හානි අවම කිරීම කියන්නේ හානියක් නොවී තිබෙනවා කියලා නෙවෙයි. මන්ද එක් එක් පුද්ගලයාට මත්පැන් බලපාන ආකාරය වෙනස්.

▪ මද්‍යසාරය දිනකට ග්‍රෑම් 20කට සීමා කරන්න *

▪ සතියකට දවස් දෙකක්වත් නොබී ඉන්න

මතු දැක්වෙන තත්වයන්වලදී ස්වල්පයක්වත් ගැනීම හානිදායකයි.

▪ රිය පදවන හෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවන විට

▪ ගැබිණිව සිටින හෝ මව් කිරි දෙන විට

▪ සමහර ඖෂධ ගන්නා විට

▪ ඇතැම් රෝගී අවස්ථාවලදී

▪ ඔබට බීම පාලනය කරගත නොහැකි නම්

[පාදසටහන]

^ 57 ඡේ. සාමාන්‍යයෙන් මත්පැන් වීදුරුවක මද්‍යසාරය ග්‍රෑම් 10ක් අඩංගුයි.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: Brief Intervention for Hazardous and Harmful Drinking,

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මත්පැන් හදවතට හොඳයිද?

රතු වයින්වල තිබෙන සමහර රසායනික ද්‍රව්‍යයන් රුධිරවාහිනි සිහින් වීම නතර කරයි කියා ඇතැම් විද්‍යාඥයන් සිතනවා.

එපමණක් නොව මද්‍යසාරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමටද, රුධිර කැටි ඇති කරන ද්‍රව්‍යයන් අඩු කිරීමටද හැකියි කියා ඔවුන් විශ්වාස කරනවා.

මත්පැන්වලින් යම් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් එය ලැබෙන්නේ ස්වල්ප ප්‍රමාණයක් සතිය පුරාම ගත්තොත් පමණයි. එක රැයකදී කටගොන්නක් බිව්වොත් නම් සිදු වන්නේ ඒකෙ අනිත් පැත්තයි. දවසකට මද්‍යසාර ග්‍රෑම් 20 ඉක්මවා ගියොත් රුධිර පීඩනය වැඩි වෙයි. අධික මත්පැන් පානය නිසා අංශභාග රෝගයට හේතුවන ආඝාතයක් ඇතිවීමටත්, හෘදය ඉදිමීමට හා හෘද ස්පන්දන අක්‍රමිකතාවක් ඇතිවීමටත් ඉඩ කඩ තිබෙනවා. ප්‍රතිඵල දෙස බලන කල මත්පැන්වලින් යම් යහපතක් සිදු වුණත්, ඊට වඩා අයහපතක් එයින් සිදු වෙනවා. මී පැණි වුණත් වැඩියෙන් කෑවොත් අගුණයි.

[7වන පිටුවේ රූප සටහන/පින්තූරය]

මත්පැන් ඔබට හානි කරන අයුරු

මොළය

සෛල මැරෙයි; මතකය අඩු වෙයි; මානසික අවපීඩනය ඇති වෙයි; කලහකාරීව හැසිරෙයි

පෙනීමට, කතාවට, සිහි කල්පනාවට බාධාවන්

මුඛයේ, උගුරේ, පියයුරුවල සහ අක්මාවේ පිළිකා

හෘදය

පේශිවල ශක්තිය අඩු වෙයි; හෘදයේ ක්‍රියාකාරිත්වය අඩාළ වෙයි

අක්මාව

මේදය තැන්පත් වෙයි, ඉදිමෙයි, සිරෝසියාව සෑදෙයි

වෙනත් හානි

නිසි ප්‍රතිශක්තිකරණය නොලැබෙයි; තුවාල සෑදෙයි, අග්න්‍යාශය ඉදිමෙයි

ගැබිණි කාන්තාවන්ට

ආබාධිත හෝ මන්ද බුද්ධික දරුවන් බිහි වෙයි

[8වන පිටුවේ පින්තූරය]

“ඕනෑම මත් ද්‍රව්‍යයකට වඩා කලලයට හානි වන්නේ මත්පැන්වලින්”