Skip to content

පටුනට යන්න

සංවාද කුටි ගැන මා දැනගත යුත්තේ මොනවාද?

සංවාද කුටි ගැන මා දැනගත යුත්තේ මොනවාද?

යෞවන අය අසති . . .

සංවාද කුටි ගැන මා දැනගත යුත්තේ මොනවාද?

“මම ලජ්ජාශීලී කෙනෙක්. ඒත් සාමාන්‍යයෙන් කතා නොකරන අය එක්ක පවා අන්තර්ජාලයේ සංවාද කුටියට ඇතුල් වෙලා කතා කරන්න මට පුළුවන්. ඒ අය දන්නේ නැහැනේ මම කවුද කියලා.”—පීටර්. *

“සංවාද කුටිවලින් මට කැමති දෙයක් කතා කරන්න පුළුවන් කියලායි මට හැඟෙන්නේ.”—ඇබිගේල්.

සංවාද කුටි හෙවත් චැට් රූම්ස් (chat rooms) කියන්නේ අන්තර්ජාලය හරහා එකම වෙලාවේ දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් අතර සිදු වන අදහස් හුවමාරුවක්. මෙසේ හුවමාරු කරගන්නා අදහස් පරිගණක තිරය මත දිස් වෙනවා.

සමහර සංවාද කුටිවලට විශේෂයෙන්ම තරුණ අය වැඩි කැමැත්තක් දක්වනවා. විවිධ රටවල සිටින යෞවනයන් හුඟදෙනෙක් දිනපතා සංවාද කුටි මගින් ඕනෑම විෂයක් සම්බන්ධයෙන් තම අදහස් උදහස් බෙදාගන්නවා. සමහර පාසැල් මෙම ක්‍රමයෙන් ලෝකයේ අනෙකුත් රටවල් හා සම්බන්ධ වී තොරතුරු ලබාගන්නවා. උදාහරණයක් පෙන්වනවා නම් එක්සත් ජනපදයේ පාසැල් ශිෂ්‍යයන් තම ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ ස්පාඤ්ඤයේ, එංගලන්තයේ හෝ වෙනත් රටක වෙසෙන ශිෂ්‍යයන් සමඟ සමාජයේ ගැටලු පිළිබඳව සාකච්ඡාවන් පවත්වනවා. ඒ වගේම ශිෂ්‍යයන් තමන්ගේ පංතියේ පැවරුම් සඳහා විශේෂඥයන්ගෙන් හෝ වෙනත් කෙනෙකුගෙන් හෝ යම් තොරතුරු ලබාගැනීම සඳහාත් සමහරවිට මෙම සංවාද කුටි යොදාගන්නවා.

ඒත් බොහෝදෙනෙක් සංවාද කුටිවලට යන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නම් නෙවෙයි. ඔබත් අන්තර්ජාලයට පිවිසෙනවා නම් එයින් සිදු විය හැකි අනතුරු ගැනත් දැනුවත්ව සිටිය යුතුයි.

කාමාතුරයන්ට තෝතැන්නක්

“මම සංවාද කුටිවලින් කතා කරද්දී එක මනුස්සයෙක් මගෙන් ඇහැව්වා අවුරුදු 14ක විතර ළමයින්ව එහෙම මම හඳුනනවාද කියලා. ඒ මනුස්සයාට ළමයින් එක්ක ලිංගිකව හැසිරෙන්න ඕන වුණා. ඒ වෙනුවෙන් සල්ලි දෙන්න කැමතියි කියලත් කිව්වා.” මෙය ඇබිගේල් නමැති යෞවනියගේ අද්දැකීමක්.

ඇබිගේල්ගේ අද්දැකීම අසාමාන්‍ය එකක් නෙමෙයි. මෙවැනි කාමාතුරයන් අන්තර්ජාලයෙන් කොතරම් අනිසි ප්‍රයෝජන ගන්නවාද කිවහොත් සමහර රජයන් මගින් තරුණයන්ව ආරක්ෂා කරගැනීමට යම් මඟ පෙන්වීම්ද සපයා තිබෙනවා. අමෙරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය (FBI) විසින් නිකුත් කළ ප්‍රකාශනයක අනතුරු අඟවන්නේ සංවාද කුටි තුළින් අදහස් හුවමාරුව ආරම්භ කළ විගසම ලිංගික කාරණා කතා කරන පුද්ගලයන් සිටින බවයි. තවත් සමහරු තමන් ගොදුරු කරගැනීමට මාන බලන පුද්ගලයන්ට “උනන්දුව, ආදරය, කරුණාව සහ තෑගි බෝග දෙමින් ටිකෙන් ටික රවටාගැනීමට තැත් කරන ආකාරය ගැනද” එහි අනතුරු අඟවා තිබුණා.

මෙම කාමාතුරයන්ගෙන් සමහරෙක් යොදාගන්නා වූ විශේෂ ක්‍රම ගැන FBI ප්‍රකාශනයෙහි මෙසේ සඳහන් වුණා. “ඔවුන් දරුවන්ගේ ප්‍රශ්නවලට ඉතාමත් සානුකම්පාවෙන් ඇහුම්කන් දෙනවා. ඒ වගේම දරුවන්ගේ සිත්ගත් සංගීතය, විනෝදාංශ සහ ඔවුන් වැඩි උනන්දුවක් දක්වන දේවල් ගැන හොඳට දැනුවත් වෙලා ඉන්නවා. මෙම පුද්ගලයන් ටිකෙන් ටික ලිංගික අදහස් හා වාක්‍යයන් පණිවිඩවලට ඇතුල් කරමින් දරුවන්ගේ ලජ්ජා බය දුරු කරනවා.”

තර්ජනයක් එල්ල වෙන්නේ වැඩිහිටියන්ගෙන් විතරක් නෙමෙයි. බයිබලයේ සඳහන් සදාචාරත්මක ප්‍රතිපත්තිවලට ගරු නොකරන තරුණයන්ගෙන් පවා ඔබ පරෙස්සම් විය යුතුයි. කෝඩි නමැති තරුණයාගේ අද්දැකීම සලකා බලන්න. ඔහු යෞවනයන් සමඟ අන්තර්ජාලයේ සංවාද කුටි තුළින් අදහස් හුවමාරු කරමින් සිටිය අවස්ථාවක, ගැහැනු ළමයෙකුගෙන් ඇරයුමක් ලැබුණා තනියෙම සංවාද කුටියකට පිවිසෙන්න කියලා. ඉන්පසු ඇය ඔහුට නුසුදුසු දේවල් යෝජනා කළා. වහාම එම සංවාදය නවතා දැමීමට කෝඩිට ආත්ම දමනය තිබුණා.

කෝඩි කටයුතු කළ විදිහට කටයුතු කිරීම ඉතාමත් අමාරු දෙයක් කියා ඔබට දැනෙන්න පුළුවන්. මන්ද සාමාන්‍යයෙන් යෞවන කාලයේ ලිංගික කාරණා සම්බන්ධයෙන් උනන්දුවක් තිබෙන නිසයි. කලින් සඳහන් කළ පීටර් මෙසේ පිළිගත්තා. “මම හිතුවේ අපේ සංවාදය වැරදි පැත්තට පෙරළුණොත් නවත්වන්න තරම් ආත්ම දමනයක් මට තියෙනවා කියලා. ඒ වුණාට ලිංගික විෂයන් මතු වෙද්දී මමත් දිගින් දිගටම ඒ ගැන කතා කළා. පස්සේ මටම ලජ්ජාවක් ඇති වුණා.” සමහරවිට ඔබ මෙසේ කල්පනා කරනවා ඇති. ‘මම කවුද කියලා දන්නේ නැති නිසා ලිංගික කාරණා ගැන කතා කිරීම වැරදිද?’

නුසුදුසු සංවාදවලින් අනතුරක් තිබෙනවාද?

ලිංගික කාරණා ගැන බයිබලයේ විවෘතව කතා කරනවා. (හිතෝපදේශ 5:18, 19) සාමාන්‍යයෙන් යොවුන් වියේදී ලිංගික ආශාවන් වැඩියි. මෙම විෂය සම්බන්ධයෙන් ඔබට තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. * ඒ නිසා ඒ ගැන කතා බහ කිරීම වරදක් නෙමෙයි. ඒත් ලිංගික කාරණා ගැන ඔබට තිබෙන කුතුහලය සන්සිඳවාගන්නා ආකාරය ඔබේ වර්තමාන හා අනාගත ජීවිතයේ සතුටට බලපානවා.

ඔබේ මිතුරන් යයි කියා සිටින අය සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීමට ඔබ අන්තර්ජාලය තෝරාගන්නවා නම් ඔබට අද්දකින්න වෙන්නේ බයිබලයේ විස්තර කර තිබෙන තරුණයා අද්දුටු දෙයයි. එම තරුණයා තමාට තිබූ කුතුහලය නිසා වේශ්‍යා ස්ත්‍රියකගේ නිවස අසළ ගැවසෙන්න පටන්ගත්තා. මුලින් ඇය ඔහු සමඟ කතා කළා. ඉන්පසු ඔහුගේ ආශාවන් උත්සන්න වූ පසු කතා කිරීම ප්‍රමාණවත් වුණේ නැහැ. “ඔහු මරන්ට ගෙන යන ගොනෙකු මෙන්ද,. . . මලපතට යන කුරුල්ලෙකු මෙන්ද වහාම ඇය කැටුව” යන්න පටන්ගත්තා.—හිතෝපදේශ 7:22, 23.

ඒ හා සමානව ඔබත් අන්තර්ජාලය හරහා ලිංගික කාරණා කතා කිරීමෙන් ඊට වඩා වැඩි යමක් කිරීමට පවා පෙලඹිය හැකියි. ෆිලිප් නමැති යෞවනයා මෙසේ තම අතීතය මතකයට නඟනවා. “මම සංවාදයක් කරමින් ඉන්නකොට මාත් එක්ක කතා කරමින් හිටිය පුද්ගලයා මට නරක පින්තූර වගයක් එව්වා. ඒවා එක පාරටම මගේ පරිගණකයේ තිරය මත දිස් වුණා.” මෙවැනි ලිංගික කාරණා සවිස්තරව පෙන්වන කාමුක දර්ශන බලන්න ඔබ තුළ ආශාවක් ඇති විය හැකියි. එවිට එම ආශාව සන්සිඳුවාගැනීමට වැඩිහිටියන් සඳහා තිබෙන සංවාද කුටි තුළට පිවිසීම වැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පවා ඔබ පෙලඹෙන්න පුළුවන්. * කාමුක දර්ශන බැලීමට පෙලඹෙන අය දුරාචාරයේ යෙදී එයින් ඇති වන අහිතකර ප්‍රතිඵල විඳවනවා.—ගලාති 6:7, 8.

ඔබත් සමඟ සංවාද කුටි මාර්ගයෙන් ලිංගික කාරණා ගැන කතා කරන පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ ඔබේ යහපත නොව ඔබව රවටා ඔවුන්ට වින්දනයක් ලබාගැනීමයි. * තම පුත්‍රයාව කාමුක පුද්ගලයන්ගෙන් රැකගැනීමට සාලමොන් රජ මෙවන් උපදෙසක් දෙනු ලැබුවා. “එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න. ඇගේ දොරකඩට වත් නොයන්න. එසේ යාමෙන්, ඔබේ ගෞරවය අනුන් ඉදිරියේ නැති කරගනු ඇත. . . . ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත.” (හිතෝපදේශ 5:8-10, නව අනුවාදය) මෙම උපදෙසේ තිබෙන ප්‍රතිපත්තිය මෙයයි. එනම් ඔබ ලවා තම ලිංගික ආශාවන් පිනවාගැනීමට තැත් කරන නන්නාඳුනන පුද්ගලයෙකුට ඔබේ ගරුත්වය කෙලෙසීමට ඉඩ නොදීම සඳහා ලිංගික කාරණා හුවමාරු කරගන්නා සංවාද කුටිවලට පිවිසෙන්න එපා යන්නයි.

“රැවටිලිකාරයන් සමඟද ප්‍රවිෂ්ට නොවන්නෙමි

ඔබ කියනවා ඇති ඔබ සංවාද කුටිවලට යන්නේ ලිංගික කාරණා කතා කරන්න නෙමෙයි කියලා. කලින් සඳහන් කළ පීටර් සහ ඇබිගේල් වගේ කිසිම බියක් සැකක් නැතුව ඔබේ හිතේ තියෙන දේ ප්‍රකාශ කරන්න ඔබ සංවාද කුටිවලට යනවා වෙන්න පුළුවන්. * එහෙම වුණත් ඔබ දැනගත යුතු තවත් අන්තරාවක් තිබෙනවා.

සංවාද කුටි තුළින් ඔබේ සැබෑ අනන්‍යතාව සැඟවිය හැකි නිසා ඔබ වංචනික ලෙස ක්‍රියා කිරීමට ඉඩ තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇබිගේල් මෙවන් දෙයක් පවසනවා. “මම අදහස් හුවමාරු කරන්න පටන්ගත්තට පස්සේ ඒ පුද්ගලයන්ට ගැළපෙන විදිහට මගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්නවා.” ඇබිගේල් වගේ සමහරවිට ඔබත් එක් එක් පුද්ගලයන්ට ගැළපෙන විදිහට ඔබේ පෞද්ගලිකත්වය වෙනස් කරන්න පුළුවන්. අලුත් මිතුරන් ඇති කරගැනීමේ අරමුණින් ඔබ ඔවුන් පිළිගන්නා දේවලුත්, භාෂා විලාසයත්, ඔවුන් ආශා කරන දේවලුත් අනුව හැඩගැහෙන්න ඉඩ තිබෙනවා. ඔබේ දෙමාපියන් හෝ මිතුරන් අසන්න අකමැති වෙයි කියා සිතන අදහස් හා හැඟීම් බය නැතුව ප්‍රකාශ කරන්න මෙය හොඳ ක්‍රමයක් කියලත් සමහරවිට ඔබ හිතනවා ඇති. මේ කොයි දෙයින් වුණත් ඔබ කරන්නේ වංචාවක්. අන්තර්ජාලය හරහා ඔබ අදහස් හුවමාරු කරගනිද්දී වෙනස් පෞද්ගලිකත්වයක් ආරූඪ කරගැනීම වංචාවක්. ඒ වගේම ඔබට ඇත්තටම හැඟෙන දේ සහ ඔබේ අදහස් ඔබේ පවුලේ අයට සහ මිතුරන්ට හෙළි නොකිරීම ඔබ කරන තවත් වංචාවක්.

අන්තර්ජාලයේ තිබෙන සංවාද කුටි අලුත්ම අංගයක් වුණාට බොරුකීම සහ වංචාව මිනිස් ඉතිහාසය තරම් පැරණි දෙයක්. පළමුවෙනි බොරුව කියූ සාතන් නමැති යක්ෂයාත් යොදාගෙන තිබෙන්නේ සංවාද කුටිවලට පිවිසෙන අය යොදාගන්න ක්‍රමයම බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු පළමු බොරුව කීමට පෙර ඔහුගේ සැබෑ ස්වරූපය සැඟෙව්වා. (උත්පත්ති 3:1-5; එළිදරව් 12:9, 10) ඔබට පුළුවන් දාවිත් රජුගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් වංචාකාරයන්ගෙන් ගැලවෙන්න. “බොරුකාර මිනිසුන් සමඟ හිඳනොගතිමි. රැවටිලිකාරයන් සමඟද ප්‍රවිෂ්ට නොවන්නෙමි.”—ගීතාවලිය 26:4.

කලින් සඳහන් කළ ආකාරයට සමහර සංවාද කුටි තුළින් ප්‍රයෝජන පවා ලබාගත හැකියි. කෙසේවෙතත් යෙහෝවා දෙවිව සතුටු කරන්න කැමති යෞවනයන් අදහස් හුවමාරු කරගන්නා මෙම අලුත් ක්‍රමය භාවිත කිරීමේදී ඉතාමත් සුපරීක්ෂාකාරී විය යුතුයි. ඔබේ පාසැල් වැඩ කටයුතු සඳහා සංවාද කුටියකට පිවිසීමේ අවශ්‍යතාවක් තිබේ නම් ඔබේ දෙමාපියන්ට හෝ වෙනත් මේරූ වැඩිහිටියෙකුට එම කාලය තුළ ඔබත් සමඟ සිටින්න කියා පවසන්න. ඔබ සංවාද කුටි තුළට පිවිසීමේදී සුපරීක්ෂාකාරී වීමට තවත් අමතර හේතු දෙකක් මතු ලිපියකින් දැනගැනීමට හැකි වෙයි. ඒවා භාවිතයේදී සුපරීක්ෂාකාරී වුවත් මතු විය හැකි විශේෂිත ගැටලු සමඟ සාර්ථකව කටයුතු කළ හැකි ආකාරය ගැනද එහි සාකච්ඡා කරයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

^ 15 ඡේ. යෞවනයන් අසන ප්‍රශ්නක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොතේ විවාහයට පෙර ලිංගික ඇසුර, ස්වයංවින්දනය හා වෙනත් මාතෘකාවන්ට අදාළ නැණවත් බයිබල් උපදෙස් අඩංගු වී තිබෙනවා.

^ 17 ඡේ. වැඩිහිටියන්ට කියා වෙන් කර තිබෙන සංවාද කුටි සමහර වයස් මට්ටම්වල අයට පමණක් සීමා කර තිබෙනවා. මෙසේ කර ඇත්තේ එහි හුවමාරු කරගන්නේ කාමුක අදහස් හා දර්ශන වීමයි. ඒත් සමීක්ෂණවලින් පෙන්වන්නේ අවුරුදු නවයක් වැනි බාල වයසේ සිටින යෞවනයන් පවා බොරු වයසක් දී වැඩිහිටියන්ගේ සංවාද කුටි තුළට පිවිසෙන බවයි.

^ 18 ඡේ. තමන් විරුද්ධ ලිංගයේ කෙනෙකු කියා මවා පෑවත් සමහරවිට එම පුද්ගලයා ඔබේම ලිංගයේ කෙනෙකු විය හැකියි. ඊට හේතුව සංවාද කුටි තුළින් ඔබ කා සමඟද කතා කරන්නේ කියා ඔබට දැනගත නොහැකි වීමයි.

^ 20 ඡේ. එක්තරා ප්‍රකාශනයක මෙවන් යෝජනාවක් දී තිබෙනවා. සංවාද කුටිවලින් පණිවිඩ හුවමාරු කරන විට අනෙක් පුද්ගලයාට ඔබේ නම, ලිපිනය හෝ දුරකථන අංකය වැනි තොරතුරු කිසිවක් ලබා නොදෙන්න! (ප්‍රකාශනය A Parent’s Guide to Internet Safety)

[24, 25වන පිටුවේ පින්තූරය]

සංවාද කුටිවල අන්තරායන් තිබිය හැකියි