Skip to content

පටුනට යන්න

ඇති නැති පරතරය

ඇති නැති පරතරය

ඇති නැති පරතරය

කුමන යෙදුමක් භාවිත කලද සංවර්ධිත, කාර්මික හා ආර්ථික වශයෙන් ඉතා දියුණු රටවල වැසියන් හොඳ ජීවන තත්වයක් භුක්ති විඳිනවා. නමුත් එතරම් කාර්මික හා ආර්ථික දියුණුවක් නැති රටවල තිබෙන්නේ අඩු ජීවන තත්වයක්. මෙම ජීවන තත්වයන් දෙකේ වෙසෙන වැසියන් ලෝක දෙකක ජීවත් වෙනවා හා සමානයි.

සමහරවිට එකම රටක පවා මෙම ජීවන තත්ව දෙක දැකිය හැකියි. කලින් ලිපියේ සඳහන් කළ ධනවත් රටවල් ගැන මොහොතකට සිතා බලන්න. එම රටවල පවා ඇති නැති පරතරය තිබෙනවා. උදාහරණයක් පෙන්වනවා නම් එක්සත් ජනපදයේ ජනගහනයෙන් ධනවත් පංතියට වැටෙන්නේ සියයට 10යි. එම රටේ ජාතික ආදායමෙන් සියයට 30ක් ඔවුන්ගේ අතට යනවා. ජනගහනයෙන් සියයට 20ක් දිලිඳුකමෙන් පෙළෙනවා. ඔවුන්ට ජාතික ආදායමෙන් ලැබෙන්නේ සියයට 5ක් පමණයි. ඔබ ජීවත් වන රටේ විශේෂයෙන්ම මධ්‍යම පංතියේ සිටින අයගේ සංඛ්‍යාව අඩු නම් මේ හා සමාන තත්වයක් පවතිනවා ඇති. නමුත් මධ්‍යම පංතියේ විශාල පිරිසක් සිටින රටවල පවා ඇති හැකි හා නැති බැරි අය අතර පවතින පරතරය තුරන් කිරීමට නොහැකි වී තිබෙනවා.

වඩා හොඳ කොයි එකද?

දිලිඳුකමේ වගේම ධනවත්කමෙත් අවාසි තිබෙනවා. දුප්පත් රටවල වෙසෙන ජනයාගේ අවාසි පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. නිදසුනකට ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් සීමිතයි. මෙම පිටුවේ පෙන්වා ඇති ආකාරයට ධනවත්ම රටවල් නවයේ වෙසෙන පුද්ගලයන් 242ත් 539ත් අතර සංඛ්‍යාවකට එක් වෛද්‍යවරයෙක් සිටිනවා. නමුත් එහි සඳහන් දිලිඳුම රටවල් 18 ගැන බලද්දී එක් වෛද්‍යවරයෙකුට සිදු වී තිබෙනවා පුද්ගලයන් 3,707ත් 49,118ත් අතර සංඛ්‍යාවකට වෙදකම් කරන්න. එමනිසා ධනවත් රටවල අපේක්ෂිත ආයු කාලය අවුරුදු 73ක් හෝ ඊට වැඩි වුවත් දිලිඳු රටවල් බොහොමයක අපේක්ෂිත ආයු කාලය අවුරුදු 50කටත් වඩා අඩුයි.

දිලිඳු රටවල අධ්‍යාපන පහසුකම් ඉතා අඩු නිසා අනාගත පරම්පරාවලට තම ජීවන තත්වය දියුණු කරගැනීමට නොහැකි වෙයි. මෙම අවාසිදායක තත්වය ලිවීමේ හා කියවීමේ හැකියාව, එනම් සාක්ෂරතාව පිළිබඳ සංඛ්‍යා ලේඛනවලින් දැකගත හැකියි. ධනවත් රටවල් 9න් 7ක සාක්ෂරතාව සියයට සියයයි. (අනෙක් රටවල් දෙකේ සියයට 96යි සහ 97යි) දිලිඳු රටවල් 18හි සාක්ෂරතා උපරිමය සියයට 81යි. අවමය සියයට 16යි. එම රටවල් අතුරින් රටවල් දහයක සාක්ෂරතාව සියයට 50කටත් වඩා අඩුයි.

නමුත් ධනවත් රටවල සිටින ජාතීන්ට පවා අවාසි තිබෙනවා. දිලිඳු රටවල ජාතීන් කුසට හරිහැටි ආහාරයක් නැතිව දුක් විඳින විට ධනවත් රටවල වැසියන් අධික කෑම නිසා රෝගාතුර වී මිය යනවා. එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “ලෝකයේ ලොකුම ආහාර ගැටලුව මන්දපෝෂණය නොව අධික ලෙස ආහාර ගැනීමයි.” (එම පොත Food Fight) තවත් සඟරාවක සඳහන් වුණේ මෙසේයි. “අමෙරිකානුවන් මිලියන නවයක් පමණ ‘රෝගාතුර වන තරමටම තරබාරුකමෙන් පෙළෙනවා.’ ඉන් අදහස් වන්නේ ඔවුන්ගේ සාමාන්‍ය බරට වඩා රාත්තල් 100ක් වැඩි බව හෝ ඊටත් වඩා වැඩි බවයි. තරබාරුකම නිසා වැලඳෙන රෝගවලින් අමෙරිකාවේ වසරකට පුද්ගලයන් 3,00,000ක් පමණ අකාලයේ මිය යනවා.” එම සඟරාවේම තවදුරටත් කියා සිටියේ, “කුසගින්න සහ බෝවෙන රෝගවලට වඩා ලෝකයේ විශාලතම සෞඛ්‍ය ගැටලුව වී තිබෙන්නේ තරබාරුකම බවයි.” *—එම සඟරාව The Atlantic Monthly.

ධනවත් රටවල ඉහළ ජීවන තත්වයක් තිබෙන බව සත්‍යයක්. නමුත් ඔවුන් ජීවිතයට වඩා වැඩි තැනක් දෙන්නේ වස්තුවටයි. ඔවුන් කෙනෙකුගේ වටිනාකම මනින්නේ ඔහුගේ රැකියාව, වැටුප හෝ ඔහුගේ දේපළ අනුව මිස ඔහුගේ දැනුම, හැකියාව හෝ හොඳ ගුණාංග අනුව නෙමෙයි.

සරල ජීවිතය සතුට ගෙන දෙන බවට පෙන්වමින් ජර්මනියේ සතිපතා පළවන සඟරාවක “ටිකක් තිබුණොත් මදිද?” යන මැයෙන් ලිපියක් පළ වී තිබුණා. එම ලිපියේ මෙවැන්නක් පැවසුවා. “බටහිර රටවල වැසියන් විශාල දියුණුවක් අත් කරගෙන සිටියත් පෙරට වඩා දැන් වැඩි සතුටක් අද්දකින්නේ නැහැ. . . . යම් කෙනෙක් තම මුළු ජීවිතයම මුදල් හදල් රැස් කිරීමට කැප කිරීමෙන් සිදු වන්නේ ඔහුගේ ජීවිතය තුළින් සතුට ගිලිහී යෑමයි.”—එම සඟරාව Focus.

ඇති නැති පරතරය නැති කිරීම

අප බැලූ ආකාරයට දුගීකමේ සහ ධනවත්කමේ හොඳ පැති වගේම නරක පැතිත් තිබෙනවා. දිලිඳුන්ගේ ජීවිත ඕනෑවට වඩා සරලයි. අනෙක් අතට ධනවතුන්ගේ ජීවිත ඕනෑවට වඩා සංකීර්ණයි. මෙම අන්ත දෙකේ සිටින අය එකිනෙකාගෙන් ඉගෙනගන්නවා නම් මොනතරම් ප්‍රයෝජනයක් ලැබේවිද! නමුත් ඇති නැති පරතරය කවදා හෝ නැති වී හැමෝම එක සමානව ජීවත් වෙයි කියා සිතීම සාධාරණද?

මෙම ඉලක්කය කොතරම් හොඳ වුණත් එය අත්කර ගැනීම මිනිසාට නම් සිහිනයක් ලෙස පෙනෙන්න පුළුවන්. ඉතිහාසය ඒ බව සනාථ කරයි. ඒත් බලාපොරොත්තුවක් තබාගැනීමට නොහැකි ලෙස අප අසරණ වී නැහැ. සමහරවිට ගැටලුව නිරාකරණය කිරීමට තිබෙන විසඳුම ගැන ඔබ එතරම් තැකීමක් කර නැතුව ඇති. ඔබ කැමතිද විසඳුම කුමක්ද කියා සොයා බලන්න?

[පාදසටහන]

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“කුසගින්න සහ බෝවෙන රෝගවලට වඩා ලෝකයේ විශාලතම සෞඛ්‍ය ගැටලුව වී තිබෙන්නේ තරබාරුකමයි.”—The Atlantic Monthly

[5වන පිටුවේ වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

රටවල්, අකුරු අනුපිළිවෙළටයි

ධනවත්ම රටවල් නවය

පුරුෂයන්ගේ ආයු කාලය (අවුරුදු) සාක්ෂරතාව (%)

අයිස්ලන්තය

78.4 100

එක්සත් ජනපදය

74.4 95.5

කැනඩාව

76.4 96.6

ජපානය

78.4 100

ඩෙන්මාර්කය

74.9 100

නෝර්වේ

76.5 100

බෙල්ජියම

75.1 100

ලක්සම්බර්ග්

74.9 100

ස්විට්සර්ලන්තය

77.7 100

දිලිඳුම රටවල් දහඅට

පුරුෂයන්ගේ ආයු කාලය (අවුරුදු) සාක්ෂරතාව (%)

ඉතියෝපියාව

47.3 38.7

කොංගෝ ජනරජය

49 80.7

ගිනි බිසව්

45.1 36.8

චැඩ්

47 53.6

ටැන්සානියාව

43.3 75.2

නයිජර්

42.3 15.7

නයිජීරියාව

50.9 64.1

බර්කිනා ෆාසො

43 23

බුරුන්ඩි

42.5 48.1

බෙනින්

50.4 37.5

මලාවි

37.6 60.3

මාලි

44.7 40.3

මැඩගස්කරය

53.8 80.2

මොසැම්බික්

38.9 43.8

යෙමනය

59.2 46.4

රුවන්ඩාව

45.3 67

සැම්බියාව

35.3 78

සියරා ලියෝන්

40.3 36.3

[හිමිකම් විස්තර]

Source: 2005 Britannica Book of the Year.

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Mark Henley/Panos Pictures