Skip to content

පටුනට යන්න

කාන්තාවන්ට බයිබලයෙහි පහත් ලෙස සලකනවාද?

කාන්තාවන්ට බයිබලයෙහි පහත් ලෙස සලකනවාද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

කාන්තාවන්ට බයිබලයෙහි පහත් ලෙස සලකනවාද?

තුන්වන සියවසෙහි ධර්මාචාර්යවරයෙක් වූ ටර්ටූලියන් වරෙක කාන්තාවන්ව හැඳින්වූයේ “භූතයන්ගේ මාධ්‍යයක්” ලෙසයි. පිරිමින්ට වඩා කාන්තාවන් පහත් බව පෙන්වීමට තවත් සමහරු බයිබලය භාවිත කර තිබෙනවා. මේ නිසා බොහෝ අයට හැඟෙන්නේ කාන්තාවන්ට බයිබලයෙහි පහත් ලෙස සලකනවා කියායි.

එක්සත් ජනපදයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙරමුණ ගත් 19වන සියවසේ විසූ එළිසබෙත් කේඩි ස්ටැන්ටන්ට හැඟුණේ “බයිබලය හා පල්ලිය කාන්තාවන්ගේ නිදහසට වැටකඩොලු බඳින විශාලම බාධකයන්” බවයි. බයිබලයේ මුල් පොත් පහ සම්බන්ධයෙන් ඇය වතාවක මෙසේ පැවසුවා. “මම දන්න තරමින් කාන්තාවන්ව මෙතරම් පහතට දමන, ඔවුන්ගේ වටිනාකම අවතක්සේරු කරන වෙන කිසිම ලියවිල්ලක් නැහැ.”

වත්මන් දින එවැනි අන්තවාදී අදහස් දරන අය සිටියත් බොහෝදෙනෙක්ගේ අදහස වන්නේ බයිබලයේ ඇතැම් කොටස්වල කාන්තාවන්ව දෙවනි තැනට දමා ඇති බවයි. එවන් නිගමනයකට එළඹීම සාධාරණද?

හෙබ්‍රෙව් ලියවිලිවල කාන්තාවන්ට සලකන අයුරු

“ඔබේ ආශාව ඔබේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු ඔබ කෙරෙහි අධිපතිකම් කරන්නේය.” (උත්පත්ති 3:16) විවේචකයන් මෙම බයිබල් පදය උපුටාගෙන පවසන්නේ එය දෙවි විසින් ඒවට දුන් විනිශ්චයක් සහ කාන්තාවන්ව පාලනය කිරීමට පුරුෂයන්ට අනුමැතිය දීමක් බවයි. කෙසේවුවද මෙය දෙවිගේ අරමුණ නොවෙයි. එය පාපයේ හා දෙවිගේ පරමාධිපත්‍ය ප්‍රතික්ෂේප කිරීමේ විපාක දැක්වීමට කළ ප්‍රකාශයක් පමණයි. කාන්තාවන්ට අනිසි ලෙස සැලකීම දේවකැමැත්ත නොව මිනිසා දෙවිගේ ප්‍රමිතිවලින් පහතට වැටීමේ ප්‍රතිඵලයක්. ඇත්තෙන්ම බොහෝ සංස්කෘතීන්වල ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ව පාලනය කර තිබෙන්නේ කුරිරු ලෙසයි. නමුත් මෙය දෙවි නියම කළ දෙයක් නොවෙයි.

ආදම් සහ ඒවව මවා තිබුණේ දෙවිගේ ස්වරූපයෙන්. එපමණක්ද නොව, සඵලව බෝ වෙමින් පොළොව පුරා පැතිර ඒක යටත් කරන්න කියා දෙවි අණ කළේ දෙදෙනාටමයි. එසේ කිරීමට නම් ඔවුන් දෙදෙනාම සහයෝගයෙන් වැඩ කළ යුතු වුණා. (උත්පත්ති 1:27, 28) ඒ කාල වකවාණුවේදී ඔවුන් එකිනෙකාව කුරිරු ලෙස පාලනය නොකළ බව පැහැදිලියි. උත්පත්ති 1:31 පවසන්නේ මෙයයි. “දෙවි තමන් සෑදූ සියල්ල දුටුවේය. බලව, එය ඉතා යහපත් විය.”

සමහර බයිබල් වාර්තාවල සඳහන් යම් කාරණයක් ගැන දෙවිගේ අදහස සඳහන් නොකරන්න හේතුව එය ඓතිහාසික වාර්තාවක් පමණක් වන නිසයි. සොදොම්හි වැසියන්ට ලොත් තම දියණියන්ව ඉදිරිපත් කළ බව සඳහන් වුවත් ඔහු කළේ හොඳ ක්‍රියාවක්ද නැද්ද යන්න හෝ එම ක්‍රියාව දෙවි විසින් හෙළා දැක්කාද නැද්ද යන්න එහි සඳහන් වන්නේ නැහැ. *උත්පත්ති 19:6-8.

පෞද්ගලික වාසි තකා කෙනෙකුව අනිසි ලෙස යොදාගැනීම දෙවි හෙළා දකින දෙයක්. (නික්මයාම 22:22; ද්විතීය කතාව 27:19; යෙසායා 10:1, 2) මෝසෙස්ට දුන් නීතියෙහි ස්ත්‍රී දූෂණය හා වේශ්‍යාකම හෙළා දැක තිබෙනවා. (ලෙවී කතාව 19:29; ද්විතීය කතාව 22:23-29) පරදාර සේවනය තහනම් කර තිබූ අතර එයට දඬුවම වූයේ දෙදෙනාවම මරා දැමීමයි. (ලෙවී කතාව 20:10) අවට ජාතීන් ස්ත්‍රීන්ට පහත් ලෙස සලකමින් ඔවුන්ව අයුතු ලෙස යොදාගත්තත්, දෙවිගේ නීතියෙන් ඔවුන්ව උසස් කර ඔවුන්ව රැකගෙන තිබුණා. ගුණවත් යුදෙව් භාර්යාවකට ඉමහත් ගෞරවයක් ලැබුණ අතර ඇයට වැදගත් තැනක් හිමි වුණා. (හිතෝපදේශ 31:10, 28-30) කාන්තාවන්ට ගරු කිරීම සඳහා දුන් නීති පිළිපැදීමට අසමත් වීම ඊශ්‍රායෙල්වරුන්ගේ වරදක් මිසක එය දේවකැමැත්ත නොවෙයි. (ද්විතීය කතාව 32:5) මුළු ජාතියම හිතා මතා අකීකරු වූ නිසා අවසානයේදී දෙවි ඔවුන්ව විනිශ්චය කොට ඔවුන්ට දඬුවම් දුන්නා.

යටත්ව සිටින්නැයි කීම පහත් ලෙස සැලකීමක්ද?

ඕනෑම සමාජයක් හොඳින් පවතින්නේ සංවිධානාත්මක ලෙස සියල්ල සිදු වන විට පමණයි. ඒ සඳහා අධිකාරිත්වය නිසි ලෙස හෙබවිය යුතුයි. එසේ නැත්නම් සියල්ල අවුල් ජාලයක් වෙයි. “දෙවි, අවුල්සහගත දෙවි කෙනෙකු නොව, සමාදානයේ දෙවි කෙනෙක්ය.”—1 කොරින්ති 14:33.

පවුලේ මූලිකත්වය පිළිබඳ විධිවිධානය ගැන පාවුල් විස්තර කරන්නේ “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්, ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත්ය” කියායි. (1 කොරින්ති 11:3) දෙවි හැර අන් හැම කෙනෙකුම තමාට වඩා උසස් අධිකාරිත්වයකට යටත් වෙනවා. තව කෙනෙකුට යටත් වීමට යේසුස්ට සිදු වෙනවා කීමෙන් ඔහුට පහත් සැලකිල්ලක් ලැබුණු බව අදහස් වෙනවාද? කොහෙත්ම නැහැ. ශුද්ධ ලියවිල්ලට අනුව සභාවේ හා පවුලේ මූලිකත්වයට පුරුෂයන්ව පත් කිරීමෙන් කාන්තාවන්ට අඩු සැලකිල්ලක් කර ඇති බව හඟවන්නේ නැහැ. පවුලේ හා සභාවේ වැඩිදියුණුව තකා පුරුෂයන් මෙන්ම කාන්තාවන් ප්‍රේමයෙන් හා ගෞරවයෙන් තමාට නියමිත කාර්ය භාරය ඉටු කළ යුතුයි.—එෆීස 5:21-25, 28, 29, 33.

පරිසිවරුන් කාන්තාවන්ට අසාධාරණයක් වන ආකාරයෙන් ඉගැන්වූ සම්ප්‍රදායන් හා නීති රීති යේසුස් අනුගමනය කළේ නැහැ. ඔහු කාන්තාවන්ට සැමවිටම සැලකුවේ ගෞරවනීය ලෙසයි. යුදෙව් නොවන කාන්තාවන් සමඟ පවා ඔහු කතා කළා. (මතෙව් 15:22-28; යොහන් 4:7-9) ඔහු කාන්තාවන්ට ඉගැන්නුවා. (ලූක් 10:38-42) කාන්තාවන්ව අත්හැර දැමීම වැළැක්වීමට ඔහු පියවර ගත්තා. (මාක් 10:11, 12) යේසුස් කාන්තාවන්ව තමාගේ කිට්ටු මිතුරියන් ලෙස පිළිගත්තා. ඒ කාලයේදී එය සාමාන්‍ය දෙයක් නොවෙයි. (ලූක් 8:1-3) දෙවිගේ ගුණාංග සියල්ල විදහා පෑ පරිපූර්ණ තැනැත්තා වශයෙන් යේසුස් පෙන්වූයේ දෙවිගේ නෙත් හමුවේ පුරුෂයන් වගේම කාන්තාවන්ද එක සමාන වටිනාකමකින් යුතු බවයි. ඇත්තෙන්ම මුල් ක්‍රිස්තියානීන් අතරේ සිටි පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද ශුද්ධාත්මයේ දීමනාව ලැබුණා. (ක්‍රියා 2:1-4, 17, 18) ස්වර්ගික ජීවනයට නැවත නැඟිටෙවූ විට ක්‍රිස්තුස් සමඟ රජවරුන් හා පූජකයන් ලෙස සේවය කිරීමට අභිෂේක ලබන්නේ පුරුෂයන් පමණක් නොවෙයි. ස්ත්‍රීන්ටද ඒ වරප්‍රසාදය ලැබෙනවා. (ගලාති 3:28) බයිබලයේ කර්තෘ වන යෙහෝවා කාන්තාවන්ට අඩු සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

[පාදසටහන]

[14වන පිටුවේ පින්තූරය]

යේසුස් කාන්තාවන්ට සැලකුවේ එදා විසූ බහුතරයක් මෙන් නොව ගෞරවනීය ලෙසයි