Skip to content

පටුනට යන්න

තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිඳුවීම

තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිඳුවීම

තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිඳුවීම

“ඇතන්ස්හි සියලු වැසියන් හා එහි තාවකාලිකව නැවතී සිටි විදේශිකයන් නිතරම තම විවේක කාලය ගත කළේ යම් අලුත් දෙයක් කතා බහ කරමින් හෝ ඒවාට සවන් දෙමින් පමණි” කියා බයිබල් ලේඛක ලූක් විසින් වසර 2,000කට පෙර වාර්තා කළා. (ක්‍රියා 17:21) ඊට සියවසකට පෙර තොරතුරු දැනගැනීමට මහජනයා තුළ තිබූ පිපාසය රෝම ආණ්ඩුව විසින් තේරුම්ගත් නිසා ඔවුන් ප්‍රසිද්ධ ස්ථානවල දිනපතා ප්‍රවෘත්ති දිස් වෙන්න සැලැස්සුවා.

ලෝකයේ ප්‍රථම මුද්‍රිත පුවත්පත නිකුත් කරනු ලැබුවේ චීනය විසින් හත්වන සියවසේදීයි. එවකට යුරෝපයේ බොහෝදෙනෙකුට කියවීමේ හා ලිවීමේ හැකියාව තිබුණේ නැහැ. යුද්ධ, ආපදාවන්, අපරාධ හා වෙනත් කාරණා ගැන වාර්තා කළේ පුවත් පළ කරන්නෙකු තැනින් තැනට යමිනුයි. පසු කාලයකදී එම තොරතුරු අතින් ලියූ හා ලී අච්චුවලින් මුද්‍රණය කළ දැන්වීම් ලෙස වෙළඳ පොළවල්වල විකුණනු ලැබුවා.

කාලයාගේ ඇවෑමෙන්, වෙළඳ සමාගම් තම ව්‍යාපාරික ලිපිවල වැදගත් පුවත් ඇතුළත් කළා. අතින් අත යැවීමට පහසු වන ලෙස පසුව මෙම පුවත් වෙනම කොළයක මුද්‍රණය කළා.

පුවත්පතේ ආරම්භය

දාහත්වන සියවසේ මුල් කාලයේදී ජර්මනියේ පුවත්පත් දෙකක් නොකඩවා නිකුත් වුණා. එක් පුවත්පතක් ස්ට්‍රැස්බර්ග්හි මුලින්ම පළ වුණේ 1605දීයි. එය හැඳින්වූයේ රිලේෂන් යන නමින්. වුල්ෆන්බූටල්හි 1609දී පළ වෙන්න පටන්ගත් පුවත්පත හැඳින්වූයේ ඒවිසා රිලේෂන් ඕඩර් සයිටුං යන නමින්. යුරෝපයේ දිනපතා පළ වූ පළමු පුවත්පත වූයේ 1650දී ජර්මනියේ ලයිප්සිග්හි නිකුත් කළ අයින්කොමෙන්ඩේ සයිටුන්ජන් නමැති පුවත්පතයි.

එය ලයිප්සිග්හි පළ වූ පිටු හතරකින් යුත් සාක්කු ප්‍රමාණයේ මුල්ම පත්තරයයි. මෙය පිරී තිබුණේ තැනින් තැනින් ගත් තොරතුරුවලිනුයි. තනි පිටපතක මිල එතරම් අධික නොවුණත් වාර්ෂික දායකයක මිල උසස් රැකියාවක් කරන සේවකයෙකුගේ මාසික වැටුප හා සමාන වුණා. වර්ෂ 1700 වන විට ජර්මනියේ පමණක් පුවත්පත් වර්ග 50ත් 60ත් අතර ප්‍රමාණයක් නිතිපතා පළ වූ අතර පාඨකයන් දසදහස් ගණනක් අතරට ඒවා ගියා.

මුල් පුවත්පත්වල ප්‍රවෘත්ති ලෙස පළ වුණේ පෞද්ගලික ලිපිවලින්, වෙනත් පුවත්පත්වලින්, තැපැල් ස්ථානාධිපතිට තැපෑලෙන් ලැබුණු පුවත්වලින් හෝ පොදු ස්ථානවල පැතිරෙන කට කතාවලින් ගත් තොරතුරුයි. එහෙත් අලුත් පුවත්පත් බිහි වෙද්දී පුවත්වල ප්‍රමාණය සහ ගුණය වැඩි කිරීමට ප්‍රකාශකයන් අතර තරඟයක් හටගත්තා. ඔවුන් සංස්කාරකයන්ව වැටුපක් දී සේවයට බඳවාගත්තා. ඒ වුණත් තොරතුරුවලටත්, වාර්තාකරුවන්ටත් මුදල් ගෙවීමට බොහෝදෙනෙකුට නොහැකි වුණා. එමනිසා තොරතුරු රැස් කර නිතිපතා තොරතුරු ලබාගන්න ප්‍රකාශකයන්ට තොරතුරු සැපයීමේ පුවත් ඒජන්සි බිහි වුණා.

තාක්ෂණය දියුණු වෙද්දී . . .

ජොහැන්නස් ගුටන්බර්ග්ගේ අකුරු අමුණන මුද්‍රණ ශිල්පය වැනි නවතම ශිල්ප ක්‍රම නොතිබුණා නම් පුවත්පත් ව්‍යාපාරය කියන දේ නැති වෙන්න ඉඩ තිබුණා. තාක්ෂණය තව තවත් දියුණු වෙද්දී පහසුවෙන් හා අඩු වියදමින් පුවත්පත් නිෂ්පාදනය කිරීමට හැකි වුණා. මීට උදාහරණයක් හැටියට, 1860 ගණන්වලදී රෝටරි මුද්‍රණ යන්ත්‍රය නිසා තනි කොළවල මුද්‍රණය කරනවා වෙනුවට කොළ රෝලවල මුද්‍රණය කිරීමට හැකි වුණා. ඉන් ටික කලකට පසු ලයිනෝ ටයිප් යන්ත්‍රය භාවිත කළා. එහි ලෝහමය අච්චුව නිසා බොහෝ පිටපත් විගස සෑදීමට හැකි වුණා. විසිවන සියවස අග භාගයේදී පරිගණක තාක්ෂණය නිසා වියදම වගේම වෙහෙස අඩු වුණා.

මේ අතරතුර 1840 ගණන්වල විදුලි සංදේශ සේවාවන් ඇරඹුණා. එමෙන්ම 1870 ගණන්වල යතුරු ලියනය සහ දූරකථන වැඩි වශයෙන් භාවිත කිරීමට පටන්ගත්තා. මේ හේතුවෙන් පුවත් ඉක්මනින් ප්‍රචාරය වුණා. වර්තමානයේ පරිගණක, ඊ-මේල් සහ ෆැක්ස් යන්ත්‍ර වැනි දේ පුවත්පත් ව්‍යාපාරය තුළ බහුල ලෙස භාවිත කෙරෙනවා. ඒ වගේම රථවාහන සහ ගුවන් යානා නිසා වාර්තාකරුවන්ට ඔවුන්ගේ කාර්යය පහසුවෙන් කරගැනීමටද හැකි වී තිබෙනවා. අධිවේගී ප්‍රවාහන සේවා නිසා පුවත්පත් විශාල වශයෙන් බෙදාහැරීමටත් හැකි වී තිබෙනවා.

පුවත්පත්වල පළ වෙන්නේ මොනවාද?

නවීන ක්‍රම නිසා තොරතුරු ලබාගැනීම එතරම් අපහසු නැහැ. “නමුත් ගැටලුව කොයි පුවතද පළ කරන්නේ කියලා තෝරා බේරාගන්නා එකයි” කියා එක් පුවත්පතක සංස්කාරකවරුන් කියා සිටිනවා. (පුවත්පතේ නම Frankfurter Allgemeine Zeitung) ජර්මනියේ පුවත්පත් ප්‍රකාශකයන් වෙත පුවත් ඒජන්සිවලින් දිනකට විවිධ පුවත් 2,000ක් පමණ ගලා එනවා. ඒ වගේම පුවත්පතේ සංස්කාරකවරුන් වෙත වාර්තාකරුවන්ගෙන්, තොරතුරු සපයන්නන්ගෙන් සහ ප්‍රවෘත්ති විකාශනයන් හා වෙනත් මූලාශ්‍රවලින් තොරතුරු ගලා එයි.

පළ වන පුවත්වලින් තුනෙන් දෙකක් දැන්වීම්. එනම් විශේෂ ප්‍රවෘත්තියක් සහ ප්‍රසංග, ක්‍රීඩා තරඟ, සම්මේලන පවත්වන වේලාවන් පිළිබඳ නිවේදන ඊට ඇතුළත් වෙනවා. සංස්කාරකයන් ප්‍රාදේශීය පාඨක රුචිය හඳුනාගත යුතුයි. ඒ අනුව කෘෂිකර්මයට අදාළ තොරතුරු, සංවත්සර සහ සැමරීම් පිළිබඳ වාර්තා ඇතුළත් කළ හැකියි.

ක්‍රීඩා තොරතුරු, කාටූන් තීරය, දේශපාලන විකට චිත්‍ර සහ කතු වැකිය පුවත්පතේ නිතිපතා දක්නට ලැබෙන අංගයන් වෙයි. ප්‍රධාන පුවත්වලින්, විදෙස් පුවත්වලින්, ප්‍රභූවරයන් සහ එක් එක් විෂයන් පිළිබඳ ප්‍රවීණයන් සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡාවලින් දැනුම මෙන්ම විනෝදයද ලැබිය හැකියි.

පුවත්පත් අර්බුදයකට ලක් වී

“ජර්මනියේ පුවත්පත් කර්මාන්තය පෙර නොවූ විරූ ආකාරයේ මුදල් හිඟයකට ලක් වී තිබෙනවා” කියා එක් පුවත්පතක් 2002දී වාර්තා කළා. (එම පුවත්පත Die Zeit) පසුගිය වසර දහය ඇතුළත අඩුම පුවත්පත් බෙදාහැරීම සිදු වුණේ 2004දී කියා ස්විට්සර්ලන්තයේ පුවත්පත් සමාගම වාර්තා කළා. මෙවැනි අඩුවීමකට හේතුව කුමක්ද?

පුවත්පත්වලින් ලබන ආදායමෙන් තුනෙන් දෙකක් ලැබුණේ දැන්වීම්වලින්. නමුත් ලෝක ආර්ථික පරිහානිය නිසා දැන්වීම් ගලා ඒම අඩුවීම ආදායම පහළ බැසීමට එක් හේතුවක්. වර්ෂ 2000ත් 2004ත් අතරතුර අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් පුවත්පතේ දැන්වීම්වලින් ලැබුණ ආදායම සියයට 43කින් අඩු වුණා. ආර්ථිකය දියුණු වුණොත් වෙළඳ දැන්වීම් වැඩියෙන් ලැබෙයිද? තවත් හේතුවක් නම් ඉඩම් හා වාහන විකිණීම, රැකියා ඇබෑර්තු වැනි දැන්වීම් අන්තර්ජාලයේ පළ කිරීමයි. අද දින පුවත්පත් මාධ්‍යයට විද්‍යුත් මාධ්‍යය සමඟ ගැටෙන්න සිදු වී තිබෙනවා.

ඒ වුණත් පුවත් දැනගැනීමට තිබෙන පිපාසය තවම සංසිඳී නැහැ. මාධ්‍යයේ ආර්ථිකය පිළිබඳ හැදෑරූ මහාචාර්ය ඇක්සෙල් සෙඩ්‍රික් ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර පුවත්පතකට මෙසේ පැවසුවා. “පුවත්පත් වාර්තාකරුවන් හිතන තරම් ප්‍රශ්නය දරුණු නැහැ.” ජර්මනියේ දිනපතා පළවන පුවත්පතක ප්‍රධාන සංස්කාරකවරිය ඒ හා සමාන අදහසක් පළ කළා. “මේ පළාතේ පුවත්පත්වලට හොඳ ඉල්ලුමක් තවම තියෙනවා.”

පුවත්පත් මගින් වෙනත් මාධ්‍යයන්ට වඩා පුළුල් ලෙස පුවත් ආවරණය කළත්, මහජනයාගේ කුතුහලය ඇවිස්සීමට බලය තිබුණත් ප්‍රශ්නය වන්නේ පුවත්පත්වල පළ වන අදහස් කොතෙක් දුරට විශ්වාස කළ හැකිද, ඔබ කියවන පුවත්පතෙන් කොතරම් ප්‍රයෝජනයක් නෙළාගත හැකිද යන්නයි.

[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පුවත්පත් කලාව වෙහෙසකර වෘත්තියක්

වාර්තාකරුවෙකු ඊර්ෂ්‍යාවට ලක් විය හැකියි. “ජනමාධ්‍යය තුළින් තමන් ජනප්‍රිය වෙද්දී ඔහුට ආඩම්බරයක් ඇති විය හැකියි” කියා ප්‍රංශයේ අද්දැකීම් ලත් වාර්තාකරුවෙකු පැවසුවා. එහෙත් වාර්තාකරුවෙකු කලකිරීමට පත් වන අවස්ථා බොහොමයක් තිබිය හැකියි. තමන් හා තරඟ වදින කෙනෙක් තමන්ට කලින් එම පුවතම පළ කිරීම, පිළිසඳරක් අසාර්ථක වීම, බොරු ප්‍රවෘත්තියක් ඔස්සේ ගොස් කාලය නාස්ති වීම වැනි දේවල් ඊට හේතු විය හැකියි.

පෝලන්තයේ පුවත්පත් ලේඛිකාවක් තවත් අභියෝගයක් ගැන සඳහන් කරමින් “අපිට විවේකය තියෙන්නෙත්, වැඩ තියෙන්නෙත් කොයි වෙලාවෙද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට නිදහසක් ඇත්තෙම නැහැ. එක දිගට වැඩ කරන්න වෙන නිසා පවුල් ජීවිතයටත් ඒක බලපානවා” කියා පැවසුවා. කලින් තිබූ සෝවියට් සමූහාණ්ඩුවේ හිටපු වාර්තාකරුවෙක් ඊටත් වඩා කලකිරෙන දෙයක් ගැන පැවසුවා. “මැරීගෙන වැඩ කළත් පුවත පළ කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා.”

නෙදර්ලන්තයේ ප්‍රසිද්ධ පුවත්පතක ක්‍රීඩා තොරතුරු පිළිබඳ ලේඛිකාවක් මෙසේ හෙළි කළා. “මට කිසි දැනුමක් නැහැ කියලා තියෙනවා. තරඟවල උණුසුම සමහර පාඨකයන්ටත් දැනෙන නිසා ඔවුන්ට මාත් එක්ක ඇති වන කේන්තියට මගෙන් පළිගන්න බලනවා. මට මරණ තර්ජන පවා එල්ල වෙනවා.” එහෙනම් ඇයි වාර්තාකරුවන් තම වෘත්තිය අත්නාරින්නේ?

සමහරෙක් වැඩ කරන්නේ පඩියකටයි. ඒත් හැමෝම එසේ නොවෙයි. ප්‍රංශ පුවත්පතකට ලියන වාර්තාකරුවෙක් පැවසුවේ ලිවීමෙන් ඔහු වින්දනයක් ලබන බවයි. එමෙන්ම මෙක්සිකානු වාර්තා කරන්නියක් පැවසුවේ “එමගින් මිනිසුන්ව දැනුවත් කරන යමක් දීමට හැකි” බවයි. ලෝකයේ දෙවනි තැන ගෙන තිබෙන ඩේලි පුවත්පතේ ප්‍රවීණ ජපන් කර්තෘවරයෙක් මෙහෙම කිව්වා. “ජනයාට උපකාර කරන්නත්, යුක්තිය ඉටු කරන්නත් පුළුවන් කියලා දැනෙන එක මට සතුටක්.”

පුවත්පත් සකසන්නේ වාර්තාකරුවන් පමණක්ම නොවෙයි. පුවත්පත් සමාගමේ විශාලත්වය අනුව සංස්කාරකයන්, සෝදුපත් කියවන්නන්, දත්ත පරීක්ෂකයන්, ලේඛනාරක්ෂකයන් සහ තවත් බොහෝ සේවකයන් සිටිය හැකියි. පුවත්පත් ඔබ අතට පත් කිරීම සඳහා ඔවුන් ඇප කැප වී වැඩ කරන මුත් පුවත්පත්වල ඔවුන්ගේ නම් සඳහන් නොවෙයි.

[22වන පිටුවේ පින්තූර]

ජර්මනියේ පැරණි පුවත්පතක් හා නවීන දින අලෙවි සැලක්

[හිමිකම් විස්තර]

Early German newspaper: Bibliothek für Kunst-und Antiquitäten-Sammler, Vol. 21, Flugblatt und Zeitung, 1922