Skip to content

පටුනට යන්න

දිලිඳුකමට ස්ථිර විසඳුමක්

දිලිඳුකමට ස්ථිර විසඳුමක්

දිලිඳුකමට ස්ථිර විසඳුමක්

ලොව වටා සෑම දිනකම මිලියන ගණනක් අන්ත දුගී බවෙන් මිරිකී සිටිනවා. සිදු වී තිබෙන මෙම අයුක්තිය නැති කිරීමට දූෂණයෙන් තොර ප්‍රතිපත්ති ගරුක ආණ්ඩුවක් අවශ්‍ය බව පැහැදිලියි. එවැනි ආණ්ඩුවකට තම අරමුණු ඉටු කරගැනීමට බලයක්ද තිබිය යුතුයි. මනුෂ්‍යයන්ට එවැනි ආණ්ඩුවක් බිහි කළ හැකියි කියා අපට අපේක්ෂා කළ හැකිද?

බයිබලයේ සඳහන් අනතුරු ඇඟවීමේ සත්‍යතාව ඉතිහාසයෙන් ඔප්පු කරයි. “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාස නොකරන්න.” (ගීතාවලිය 146:3) ආණ්ඩු හා නායකයන් කෙරෙහි විශ්වාසය තැබීම බොහෝවිට බලාපොරොත්තු සුන්වීමට හේතු වන බව ඔබට වැටහෙනවාද? එසේනම් අපට විශ්වාස කරන්න පුළුවන් කාවද?

මිලියන ගණන් අය මෙම අසාධාරණ තත්වය වෙනස් කළ හැකි ආණ්ඩුවක් වෙනුවෙන් යාච්ඤා කර තිබෙනවා. සමහරවිට ඔබත් යේසුස් ඉගැන්වූ ආදර්ශ යාච්ඤාව කියන්න ඇති. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා. අපේ දිනපතා භෝජනය අද අපට දෙන්න. අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන්නාක් මෙන් අපේ වැරදිවලටද අපට සමාව දෙන්න. අපව වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.”—මතෙව් 6:9-13.

අපට අවශ්‍ය කරන්නෙත් මෙම ආණ්ඩුවම නොවෙයිද? ඒත් එය දූෂණයෙන් තොරව ප්‍රතිපත්ති ගරුක ලෙස පාලනය කරයිද? අරමුණු කර ඇති දේ ඉටු කිරීමට තරම් බලයක් එයට තිබෙනවාද? ඒ ගැන නම් කිසි සැකයක් නැහැ! මෙම ආණ්ඩුව ස්ථාපිත කර තිබෙන්නේ “ස්වර්ගයේ සිටින අපගේ පියාණන්” වන දෙවියි. ඔහු ‘ධර්මිෂ්ඨ ගැලවුම්කාරයෙක් මෙන්ම ඔහුගේ සෑම ක්‍රියාවක්ම ධර්මිෂ්ඨයි.’ (යෙසායා 45:21; දානියෙල් 9:14) ඔහු ගැන මෙසේද පවසා තිබෙනවා. “නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඔබට ඇත.” එමනිසා ඔහුගේ ආණ්ඩුව කිසිදා වංක, ප්‍රතිපත්ති කඩ කරන ආණ්ඩුවක් වන්නේ නැති බව ස්ථිරයි. (හබක්කුක් 1:13) ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන නිසාත් සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නා නිසාත්’ ඔහු සියලු ජනයාගේ ශුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරයි කියා අපට නිසැකයි.—ක්‍රියා 10:34, 35; රෝම 2:11.

දැනටමත් ආණ්ඩුව ක්‍රියාත්මක වෙයි

දේවරාජ්‍යය ස්වර්ගීය ආණ්ඩුවක් වුණත් එය පොළොවේ සිදු වෙන ක්‍රියාවන් පාලනය කරනු ලබන්නේ දෙවිගේ අරමුණු ඉටු කිරීම සඳහායි. ඉන් එකක් නම් මිනිස් ආණ්ඩු වෙනුවට පරිපූර්ණ දේවපාලනයක් පිහිටුවීමයි. දානියෙල් 2:44හි කියන්නේ, “ඒ රජුන්ගේ දවස්වලදී [ආණ්ඩු පවතින කාලයේ] ස්වර්ගයේ දෙවි කිසි කලකත් විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවන්නේය; ඒ රාජ්‍යයේ තමන් රජකම අන් සෙනඟකට අත්නෑර මේ සියලු රාජ්‍යයන් කැබලි කොට නාස්ති කර සදාකාලේටම පවත්නේය” කියායි.

දේවරාජ්‍යයේ මඟ පෙන්වීම් යටතේ දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම පොළොවෙහිද කරනු ලබනවා. මෙම ආණ්ඩුවට දිලිඳුකමේ හා ධනවත්කමේ පරතරය මුලිනුපුටා දැමීමට හැකියාවක් තිබෙනවා කියා දැනගැනීම මොනතරම් දිරිගැන්වීමක්ද! එවිට ටිකදෙනෙක් ධනවත් වන්නේවත් බහුතරයක් අන්ත දුගී බවෙන් පෙළෙන්නේවත් නැහැ.

දෙවිගේ ස්වර්ගික ආණ්ඩුව මෙම ගැටලුවලට ස්ථිර විසඳුමක් ගෙන ඒම සඳහා දැනටමත් ක්‍රියාත්මක වී ඇති බව දැනගැනීම මොනතරම් ප්‍රීතියක්ද! බයිබල් කාල නිර්ණයන් හා ලෝක සිද්ධීන්වලින් පැහැදිලිව පෙන්නුම් කරනවා දෙවිගේ ආණ්ඩුව 1914දී ස්වර්ගයේ ස්ථාපිත කළ බව. * එම ආණ්ඩුව ධර්මිෂ්ඨ නව සමාජයක් සැකසීම සඳහා ශත වර්ෂයක පමණ කාලයක් පුරා කටයුතු කරමින් සිටිනවා.

දෙවිගේ ආණ්ඩුව ස්ථාපිත කර තිබෙන බව තේරුම්ගෙන එහි මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන අය අපක්ෂපාතීයි. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම දේශනා සේවය සෑම රටකම පාහේ සිදු කරනවා. මේ රටවල වැසියන් ධනවත් වුණත් දිලිඳු වුණත් සදාකාල ජීවනය ලබාගන්නේ කෙසේද කියා ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දෙනවා. (යොහන් 17:3) සාක්ෂිකරුවන් තම සභාවේ සිටින පුද්ගලයන්ගේ වැදගත්කම මනින්නේ දුප්පත්කම හෝ පොහොසත්කම අනුව නෙමෙයි. ඔවුන් වත්කම් අනුව පුද්ගලයන්ව විනිශ්චය කරන්නේ නැහැ. ඔවුන්ගේ පෞද්ගලිකත්වය අනුව ඔවුන්ට දිය යුතු ගෞරවය ලබා දෙනවා. ඔවුන් මුල් තැනක් දෙන්නේ ධනයට නොව දේවගුණාංගවලටයි.

මෙම ප්‍රතිපත්ති ගරුක ආණ්ඩුවේ යටත් වැසියෙක් වෙන්නේ කොහොමද කියා දැනගන්න ඔබ කැමතිද? ඒ සඳහා අදම පියවරක් ගන්න. ධනය නිසා බෙදී නැති ලෝකයක ඔබට ප්‍රීතියෙන් ජීවත් විය හැකි අයුරු ඉගෙනගන්න.

[පාදසටහන]

^ 9 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොතේ 95-107 පිටු බලන්න.

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දුප්පත් වුණත් පොහොසත් වුණත් අපි හැමෝම සහෝදරයෝ

▪ දෙවන ලෝක මහ යුද්ධය අවසානයේදී යුරෝපයේ හා ආසියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙකුට ආහාර, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් නැති වුණා. වෙනත් රටවල සාක්ෂිකරුවන් ඇඳුම් පැළඳුම්, ආහාර පාන යනාදිය ටොන් ගණනක් නැව් මගින් යුරෝපයේ, පිලිප්පීනයේ සහ ජපානයේ සිටින සෙසු සාක්ෂිකරුවන්ට යැව්වා. එක්සත් ජනපදයේ හා කැනඩාවේ සිටින සාක්ෂිකරුවන් ඉතාලිය, එංගලන්තය, ඔස්ට්‍රියාව, ඕලන්දය, ග්‍රීසිය, චෙකෝස්ලොවැකියාව (දැන් චෙක් සමූහාණ්ඩුව සහ ස්ලෝවැකියාව) ජර්මනිය, පෝලන්තය, ප්‍රංශය, බෙල්ජියම, රුමේනියාව, හංගේරියාව සහ ෆින්ලන්තය යන රටවලට සහනාධාර යවනු ලැබුවා.

[පින්තූර]

එක්සත් ජනපදය

ස්විට්සර්ලන්තය

ජර්මනිය

▪ වර්ෂ 1994 ග්‍රීෂ්ම කාලයේදී යුරෝපයේ සාක්ෂිකරුවන් පිරිසක් ස්වේච්ඡාවෙන් අප්‍රිකාවේ තම සහෝදර සහෝදරියන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වුණා. රුවන්ඩාවේ අනාථ අය සඳහා කඳවුරුද, වෛද්‍ය සේවාවන්ද සංවිධානය කළා. අනාථ වී සිටි 7,000කට වඩා වැඩිදෙනෙකුට ඇඳුම්, බ්ලැන්කේට්ටු, ආහාර පාන සහ බයිබල් පොත් පත් විශාල ප්‍රමාණයක් සැපයෙව්වා. එම සංඛ්‍යාව එවකට රුවන්ඩාවේ සිටි සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයක්.

▪ අවුරුදු දෙකකට පසු එනම් 1996දී ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ නැඟෙනහිර යුද්ධය නිසා වගා බිම් විනාශ වී ගියා. ආහාර ගබඩා කොල්ල කෑවා. ආහාර ලැබෙන ක්‍රම ඇණහිටියා. හුඟදෙනෙකුට දිනකට එක ආහාර වේලක් පමණයි සොයාගැනීමට හැකි වුණේ. මේ නිසා දේශය පුරා මන්දපෝෂණය හා ලෙඩ රෝග පැතිර ගියා. මෙය දැනගත් විගසම යුරෝපයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ක්‍රියාත්මක වුණා. වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළුව සාක්ෂිකරුවන්ගේ සහනාධාර කණ්ඩායමක් අවශ්‍ය බෙහෙත් සහ මුදල් සමඟින් එම ප්‍රදේශවලට ගමන් කළා. වර්ෂ 1997 ජූනි මාසය වන විට බෙල්ජියම, ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය බෙහෙත් කිලෝග්‍රෑම් 500ක්, අධි ප්‍රෝටීන් සහිත බිස්කට් ටොන් 10ක්, වෙනත් ආහාර ටොන් 20ක්, ඇඳුම් ටොන් 90ක්, සපත්තු කුට්ටම් 18,500ක් සහ බ්ලැන්කේට්ටු 1,000ක් තෑගි කළා. ඒවාවල වටිනාකම ඩොලර් 10,00,000යි.

▪ යෙහෝවාගේ සාක්ෂිකරුවන් එවැනි දේවල් සපයනවාට අමතරව පොදු ජනයාට බයිබල් දැනුම ලබා දීමටත් වැඩි උනන්දුවක් දක්වනවා. මනුෂ්‍යයන්ට එම දැනුම ලබා දීමේ මධ්‍යස්ථාන හැටියට ඔවුන් රාජ්‍ය ශාලා ගොඩනඟනවා. වර්ෂ 1997දී මෙසේ වාර්තා වුණා. “වෙනත් රටවල සහෝදරයන්ගේ සහාය ඇතුව මාස හතරක් ඇතුළත රටවල් 75ක නව රාජ්‍ය ශාලා 413ක් තනන්නත්, ශාලා 727ක් අලුත්වැඩියා කරන්නත් [වොච් ටවර්] සමිතියට හැකි වුණා.” වර්ෂ 2003දී මෙසේ වාර්තා වුණා. “අඩු සම්පත් ඇති රටවලට නව රාජ්‍ය ශාලා තනා දීමේ වැඩ සටහනකට අයත් වූ යුරෝපා රටකි රුමේනියාව. එහි 2000හේ ජූලි මාසයේ සිට රාජ්‍ය ශාලා 124ක් ගොඩනඟා තිබෙනවා. යුක්රේනයේ ගොඩනැඟිලි තනන ප්‍රාදේශීය ක්‍රම යොදාගෙන 2001දී රාජ්‍ය ශාලා 61ක් ගොඩනැඟූ අතර 2002දී තවත් 76ක්ද ගොඩනැඟුවා. රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ අරමුදලට දෙන සම්මාදම්වලින් ක්‍රොඒෂියා, බල්ගේරියාව, මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ, මෝල්ඩෝවා, රුසියාව, සර්බියා යන රටවල රාජ්‍ය ශාලා සිය ගණනක් තනා තිබෙනවා.”

[පින්තූර]

රුමේනියාව

ක්‍රොඒෂියා

බල්ගේරියාව

[7වන පිටුවේ පින්තූරය]

ස්වේච්ඡා සේවිකාවක් අනාථ දරුවන් දෙදෙනෙකුව රැකබලා ගනිමින්

[හිමිකම් විස්තර]

© Liba Taylor/Panos Pictures

[10වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ ජනයා බලාපොරොත්තුවේ පණිවිඩයක් දේශනා කරයි

[10වන පිටුවේ පින්තූරය]

දෙවිගේ ආණ්ඩුව දුප්පත්කම තුරන් කරයි