Skip to content

පටුනට යන්න

පුවත්පතෙන් ප්‍රයෝජන ගන්නා අයුරු

පුවත්පතෙන් ප්‍රයෝජන ගන්නා අයුරු

පුවත්පතෙන් ප්‍රයෝජන ගන්නා අයුරු

“පුවත්පතක් නොකියවන මිනිසා මෝඩයෙකි. පුවත්පතේ ඇති හැම දෙයක්ම විශ්වාස කරන්නා ඊටත් වඩා මෝඩයෙකි.”—දහඅටවන සියවස අග භාගයේ සිටි ඉතිහාසඥයෙක් හා වාර්තාකරුවෙක් වන ඕගස්ට් ෆොන් ෂ්ලොට්සේ.

බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ කළ සමීක්ෂණයකදී විවිධ ආයතන 13ක් තෝරාගෙන ඒවා කෙරෙහි තබන්නේ කිනම් විශ්වාසයක්ද කියා විශාල පිරිසකගෙන් අසනු ලැබූ විට පුවත්පත් මාධ්‍යයට ලැබුණේ අන්තිම ස්ථානයයි. එය දේශපාලන හා ප්‍රධාන පෙළේ ව්‍යාපාරවලටත් පසු ස්ථානයක්. එක්සත් ජනපදයේ පාඨකයන්ගෙන් වැඩිදෙනෙක් පවසන්නේ තවමත් ඔවුන් පුවත්පත් කෙරෙහි විශ්වාසයක් තබන බවයි. නමුත් පියු පර්යේෂණ මධ්‍යස්ථානයෙන් කළ සමීක්ෂණවලින් පෙන්වන්නේ එම සංඛ්‍යාව පහත වැටී ඇති බවයි.

පුවත්පත්වල පළ වන පුවත් විශ්වාස නොකිරීමට සාධාරණ හේතු තිබෙනවා. එසේ වන්නේ එම පුවත්පත්වල රටට පක්ෂව පුවත් පළ කර තිබෙන නිසයි. එවිට සිදු වන්නේ කුමක්ද? සත්‍ය වසං වීමයි. විසිවන සියවසේ ඉංග්‍රීසි ජාතික ආණ්ඩුකාරයෙක් වන ආතර් පොන්සන්බි එක් අවස්ථාවක මෙසේ පැවසුවා. “යුද්ධයක් ඇරඹෙන විට මුලින්ම වැළලී යන්නේ සත්‍යයි.”

යුද්ධයක් නොමැති අවස්ථාවක පවා ප්‍රවෘත්ති ගැන කල්පනාකාරී වීම නුවණට හුරුයි. “මෝඩයා සැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් අය තමාගේ හැසිරීම හොඳ හැටි සොයයි.” (හිතෝපදේශ 14:15) ඔබ කල්පනාකාරී වෙනවා නම් පුවත්පත්වලින් තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිඳුවාගත හැකියි.

පුවත්වල වැදගත්කම

ලොව වටා සිදු වන දේවල් දැනගැනීමට පුවත් මාධ්‍යය විශාල රුකුලක් වෙනවා. එසේ දැනගැනීමත් වැදගත්. මන්දයත් අද දින සිදු වන බොහෝ දේ මේ අයුරින්ම ඉටු වන බව ලෝකයේ සිටි උතුම්ම අනාගතවක්තෘ වන යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කර තිබෙන නිසයි. සමාජ ක්‍රමයේ අවසානය ගැන අසනු ලැබූ විට ඔහු පැවසුවේ යුද්ධ, නීති විරෝධී ක්‍රියා වැඩිවීම, ආහාර හිඟකම්, වසංගත, භූමිකම්පා සහ වෙනත් සිද්ධීන් මගින් අවසාන කාලය සනිටුහන් වෙයි කියායි.—මතෙව් 24:3-14; ලූක් 21:7-11.

බයිබලයේ මෙසේද පවසනවා. “නමුත් අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙයි.” එම “අන්තිම දවස්වලදී” මිනිස්සු “තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන” සහ “දෙමාපියන්ට අකීකරු වන” බව එම අනාවැකියේ තවදුරටත් පවසනවා. ඒ වගේම ඔවුන් “ජන්ම ස්නේහය නැති” සහ “ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය.”—2 තිමෝති 3:1-5.

ඔබ ජීවත් වන පළාතේ මෙම බයිබල් අනාවැකිය ඉටු වෙමින් තිබෙන ආකාරය ඔබ දැක ඇති බවට කිසි සැකයක් නැහැ. ලොව පුරා සිදු වන සිද්ධීන් පුවත්පත්වලින් කියවන විට බයිබල් අනාවැකිවල නිවැරදිභාවය තවදුරටත් තහවුරු වෙනවා. එමනිසා පුවත්පත්වලින් කියවන සෑම දෙයක්ම අපට විශ්වාස කළ හැකිද? නැහැ. පුවත්පත් ක්ෂේත්‍රයේ නියැලෙන අයම කියා සිටින්නේ කල්පනාකාරී විය යුතු බවයි.

මුහුණ දෙන අභියෝග

අවංක හා පළපුරුදු අය ඇතුළු සෑමදෙනෙකු අතින්ම වැරදි සිදු වෙනවා. තොරතුරු පරීක්ෂකවරියක් ලෙස ස්වාධීනව සේවය කරන ඇරියල් හාට් පුවත්පතක මෙසේ පැවසුවා. “මම සේවය කළ අවුරුදු තුන ඇතුළත කිසි වරදක් නැති වාර්තාවක් මට අද වෙන තුරු ලැබී නැහැ. පිටු පහක හෝ ඡේද දෙකක වාර්තාවක වුණත් මොකක් හරි වරදක් තියෙනවා.” ඇය ඊට නිදසුන් ඉදිරිපත් කළා. “දිනය වැරදියි, දත්ත යල් පැනලා, අකුරු වරද්දලා, හැමෝම පිළිගත් තොරතුරක් වුවත් එය වැරදි තොරතුරක්.”—පුවත්පත Columbia Journalism Review.

සමහර අවස්ථාවල වැරදි තොරතුරුවලින් මුළාවන නිසා අසත්‍ය පුවත් පළ කෙරෙනවා. මෙයත් අභියෝගයක්. වර්ෂ 1999දී අනුන්ව මුළා කරන්නෙක් “මිනිපිට්ටනියක සතුටු උයනක්” ගැන කතාවක් ගෙතුවා. ඔහු බොරු නමක් යෙදූ සමාගමක් සම්බන්ධයෙන් වෙබ් අඩවියක්ද තැනුවා. ඊට අමතරව එම සමාගමේ නියෝජිතයා හැටියටත් කටයුතු කරමින් දුරකථන අංකයක්ද ලබා දුන්නා. පුවත් ඒජන්සියට මෙම රැවටීම කළ පුද්ගලයා කළේ බොරුවක් කියා සොයාගැනීමට නොහැකි වුණා. එමනිසා එක්සත් ජනපදයේ පුවත්පත්වල එම පුවත පළ කළා. මෙවැනි ගොතපු කතාවක් ඇත්ත වගේ පෙනෙන්න නම්, “සිත්ගන්නා රූප දසුන් සමඟ උනන්දුව දනවන විෂයක් තියෙන්න ඕනේ. ඒ වගේම අසාමාන්‍ය පුවතක් මෙන් පෙනෙන්න තිබුණත් විශ්වාස කරන්න පුළුවන් කියා හැඟෙන්නත් ඕනේ.”

අවංක වාර්තාකරුවන් අතින් පවා වැරදි සිදු වෙනවා. “වාර්තාකරුවන් ඉක්මනින් වැඩ කරනවා. පුවත්පත් අතර තරඟයකුත් තිබෙනවා. හැම පුවත්පතක්ම බලන්නේ මුලින්ම පුවත් පළ කරන්නයි. ඒ නිසා අපි හුඟක් වෙලාවලදී හොඳින් පර්යේෂණය කර ලිපි ලියන්න අසමත් වෙනවා.” එසේ පැවසුවේ පෝලන්තයේ ලේඛිකාවක්.

තවත් බාධක

වර්ෂ 2003දී මාධ්‍ය නිදහස පිළිබඳ සමීක්ෂණ වාර්තාවක සඳහන් වුණේ රටවල් 193කින් 115කට මාධ්‍ය නිදහසක් කොහෙත්ම තිබුණේ නැහැ කියායි. දී තිබුණා නම් ඒ සුළු වශයෙන්. මාධ්‍ය නිදහස ලබා දී තිබෙන රටවල පවා පුවත්වලට වෙනත් සූක්ෂ්ම බලපෑම් සිදු විය හැකියි.—එම වාර්තාව Freedom of the Press 2003—A Global Survey of Media Independence.

සමහර අවස්ථාවල වාර්තාකරුවන්ට වැදගත් තොරතුරු ලබාගැනීමට අවසර දෙන්නේ නැහැ. පැති ගෙන කටයුතු කරද්දී සමහරෙකුට වැඩි වරප්‍රසාද ලැබීමට ඉඩ තිබෙනවා. එවැනි පුද්ගලයන්ට දේශපාලනඥයන් සමඟ සංචාරයේ යෙදෙන්න පවා ආරාධනා ලැබෙනවා. වෙළඳ දැන්වීම් භාරගැනීමේදී මුදල් ගෙවන ආයතනයට අවශ්‍ය පරිදි වාර්තාව සැකසීමටත් සිදු වෙනවා. “වෙළඳ දැන්වීම භාර දුන් ආයතනයට අපක්ෂපාතීව යමක් පළ කළ විට එම දැන්වීම් ආපසු ලබා නොදෙන බවට තර්ජනය කළ හැකියි” කියා පෝලන්තයේ පත්‍ර කලාවේදිනියක් සඳහන් කරනවා. ජපානයේ පුවත්පතක සෝදුපත් බලන්නෙක් “සම්පූර්ණයෙන් නිවැරදි වාර්තාවක් සැකසීම පහසු කාර්යයක් නොවන” බව පවසනවා.

‘පුවතක් සැකසීමේදී වාර්තාකරුවන් මෙවැනි අභියෝගවලට මුහුණ දෙනවා නම් පාඨකයෙක් පුවත්පත්වල පළ වන දේ විශ්වාස කරන්නේ කොහොමද’ කියා ඔබ ඇසිය හැකියි.

සමබර වීම අවශ්‍යයයි

විචාර බුද්ධිය අවශ්‍ය බව පැහැදිලියි. “කට කෑම රස විඳින්නාක් මෙන් කන වචන විමසනවා නොවේද?” කියා පුරාණයේ සිටි යෝබ් අසනු ලැබුවා. (යෝබ් 12:11) පළ වී තිබෙන දේවල් පිළිගත හැකිද කියා පාඨකයෙක් කල්පනා කළ යුතුයි. කියවන විට ඒවා අතුරින් හරි දේ ඥානවන්තව තෝරාගන්න. පළමු සියවසේ සිටි යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයෙක් ප්‍රේරිත පාවුල්ට සවන් දුන් අයට ප්‍රශංසා කළා. එසේ කළේ පාවුල් පැවසූ දේ නිවැරදිද කියා දැනගැනීමට ඔවුන් ඔහු කියූ දේවල් නැවත සෝදිසි කළ නිසයි.—ක්‍රියා 17:11; 1 තෙසලෝනික 5:21.

ඒ හා සමානව පුවත්පත් කියවන අයට මෙවැනි ප්‍රශ්න ඇසිය හැකියි. වාර්තාකරුගේ පසුබිම මොකක්ද? ඔහු අපක්ෂපාතීද? වාර්තාවේ සත්‍යතාව සොයා බැලීමට හැකියාවක් තිබෙනවාද? සත්‍ය විකෘති කිරීමට මාන බලන කෙනෙක්ද? පාඨකයෙකුට හැකියි පුවතේ සත්‍යතාව වෙනත් ආරංචි මාර්ගවලින් විමසා බලන්න. ඒ වගේම තමන් කියෙවූ දේ අන් අය සමඟ සාකච්ඡා කිරීමටද හැකියි. “ඥානවන්තයන් සමඟ හැසිරෙන්න; එවිට ඔබත් ඥානවන්තයෙක් වන්නෙහිය” කියා බයිබල් හිතෝපදේශයක සඳහන් වෙනවා.—හිතෝපදේශ 13:20.

කෙසේවෙතත් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙන්න එපා. අප දුටු ආකාරයට විවිධ හේතූන් නිසා පුවත්පත් ප්‍රකාශකයන්ට සම්පූර්ණයෙන්ම නිවැරදි පුවත් පළ කළ නොහැකියි. ඒ වුණත් ලොව වටා සිදු වන දේ ගැන යම් දුරකට ඔබව දැනුවත් කිරීමට හැකියාවක් ඔවුන්ට තිබෙනවා. අප ජීවත් වන කාලය ගැන “අවදිව සිටින්න” කියා යේසුස් කියූ නිසා අප කාලීන සිදුවීම් ගැන දැනුවත් විය යුතුයි. (මාක් 13:33) අඩු පාඩු තිබුණත් යම් උපකාරයක් ලබා දෙන්න ඔබේ පුවත්පතට හැකියි.

[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වැරදි පුවත් මුද්‍රණය වන විට

සමහර අවස්ථාවලදී හොඳ චේතනා තිබුණත් කඩිමුඩියේ වාර්තා කිරීමෙන් හෝ වැරදි තොරතුරු ලබාගැනීමෙන් පළ වෙන අසත්‍ය පුවත් නිසා හානිදායක කට කතා පැතිරෙයි. අනෙක් අතට පුවත්පත් මගින් හිතා මතාම මහජනයාව නොමඟ යවන අවස්ථාත් තිබෙනවා. නිදසුනකට ජර්මනියේ නාට්සි යුගයේ සමහර ජාතීන් හා ආගම් ගැන අසත්‍ය ප්‍රචාරයන් පළ වුණා.

මෑතකදී රුසියාවේ මොස්කව් නුවර පැවති මානව හිමිකම් නඩුවකදී එල්ල වූ මඩ පහරක් ගැන කැනඩාවේ පුවත්පතක් වාර්තා කළා. “මොස්කව්වල ගැහැනු ළමුන් තිදෙනෙක් සිය දිවි නසාගත් අවස්ථාවේදී රුසියාවේ ජනමාධ්‍යයෙන් ප්‍රචාරය කළේ ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අන්තවාදී සාමාජිකයන් බවයි.”The Globe and Mail පුවත්පත.

මොස්කව් නුවර සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව තහනම් කිරීම සම්බන්ධ නඩුව නැවත සිවිල් උසාවියේදී විභාග කෙරුණේ 1999 පෙබරවාරි 9වෙනිදායි. ඉහත පුවත පළ වුණේත් එදිනමයි. The Globe and Mail පුවත්පත පළ කරන මොස්කව් ශාඛාවේ ජෙෆ්‍රි යෝක් වාර්තා කළේ මෙලෙසයි. “එම දැරිවියන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගමට කොහෙත්ම සම්බන්ධ නැහැ කියා මොස්කව් පොලිසිය පිළිගත්තා. එහෙත් ඒ වන විටත් රූපවාහිනි නාලිකා මගින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තවත් මඩ පහරක් එල්ල කර තිබුණා. එය ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාට්සිවරුන්ට ඔවුන් සහයෝගය දුන් බවයි. එසේ පැවසුවේ ඔවුන්ගේ සංවිධානයේ සාමාජිකයන් දහස් ගණනක් නාට්සි කඳවුරුවලදී මරා දැමූ බවට ඓතිහාසික සාක්ෂි තිබියදීයි.”

ප්‍රතිඵලයක් වශයෙන් මහජනයාට ලැබුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන වැරදි පින්තූරයක්. බොහෝදෙනෙක් සිතුවේ ඔවුන් සියදිවි නසාගන්න කල්ලියක් හෝ නාට්සිවරුන්ට සහයෝගය දෙන්නා වූ කණ්ඩායමක් කියායි.

[25වන පිටුවේ පින්තූරය]

පුවත්පත්වල කියන බොහෝ දේ යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කළා

[26වන පිටුවේ පින්තූර]

පුවත්පත් වාර්තා බයිබල් අනාවැකි ස්ථිර කරයි

[හිමිකම් විස්තර]

FAO photo/B. Imevbore

[26, 27වන පිටුවේ පින්තූරය]

ප්‍රේරිත පාවුල්ගේ ඉගැන්වීම්වල සත්‍යතාව සෝදිසි කර බැලූ අයට ප්‍රශංසා කරනු ලැබුවා. එසේ අසාමාන්‍ය පුවත් කියවන විට සෝදිසි කිරීම නැණවත් ක්‍රියාවක්