Skip to content

පටුනට යන්න

පුවත්පතේ බලේ

පුවත්පතේ බලේ

පුවත්පතේ බලේ

පළමුවෙනි ලෝක මහා යුද්ධය මගින් ජර්මනියේ රාජාණ්ඩු ක්‍රමය අහෝසි කළා. ඉන්පසු බර්ලින්හි බලයට පත් වුණේ සමාජවාදී-ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. කොමියුනිස්ට්වාදීන් මෙම නව රජය පෙරළන්න යත්න දැරුවා. මෙම අවස්ථාවේදී රජයටත් කොමියුනිස්ට්වාදීන්ටත් හැඟී ගියේ මුද්‍රිත මාධ්‍යය තමන් අතට ගැනීමෙන් ප්‍රවෘත්ති පමණක් නොව පුද්ගලයන්ගේ අදහස් උදහස් පවා තමන්ට පාලනය කළ හැකි බවයි. එවිට මුද්‍රිත මාධ්‍යය පාලනය කිරීම සඳහා විශාල ගැටුමක් හටගත්තා.

පසු ගිය සියවස් කිහිපය තුළ පුවත්පත් මගින් සංස්කෘතියට, දේශපාලනයට ව්‍යාපාර ක්ෂේත්‍රයට සහ මිලියන ගණනකගේ ජීවිතවලට කළ බලපෑම සුළුපටු නොවෙයි. ඔබේ ජීවිතයටත් එය බලපෑමක් කර තිබෙනවාද?

යුරෝපයේ මුල්ම පුවත්පතේ නිජබිම ජර්මනිය බවයි පෙනෙන්න තිබෙන්නේ. එය පළ වුණේ 1605දීයි. සමහර රටවල අවුරුදු 14ට වඩා වැඩි පුද්ගලයන් හතරදෙනෙකුගෙන් තුන්දෙනෙක් දිනපතා පුවත්පතක් කියවනවා. සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල පුද්ගලයන් 1,000කට දිනකට කියවීමට ලැබෙන පුවත්පත් ප්‍රමාණය පිටපත් 20කටත් වඩා අඩුයි. එනමුත් නෝර්වේහි පුද්ගලයන් 1,000කට ලැබෙන පුවත්පත් ප්‍රමාණය 600ක්. අද දින ලොව වටා පුවත්පත් වර්ග 38,000ක් පමණ තිබෙනවා.

පුවත්පත් මගින් ජනයාට වැදගත් සිද්ධීන් වාර්තා කරනවා පමණක් නොව යම් නිගමනයන්ට එළඹීමට දායක වන තොරතුරුත් ලබා දෙනවා. යුනෙස්කෝ සංවිධානයට අයත් ජර්මන් කොමිසමේ සිටි ඩීටර් ඔෆන්හොයිස මෙසේ අදහස් ඉදිරිපත් කළා. “නිතිපතා පුවත්පත් කියවීම අපගේ ආකල්පවලට, හැසිරීමට සහ අත්‍යවශ්‍ය සදාචාරමය ගති පැවතුම්වලටත් බලපෑමක් ඇති කරනවා.”

ඉතිහාසඥයන් පෙන්වන්නේ යුද්ධ ආරම්භ වීමට, ඊට අනුබල දීමට හා එය හරි දෙයක් කියා පෙන්වීමට පුවත්පත් දායක වී තිබෙන බවයි. වර්ෂ 1870-71දී පැවති ප්‍රංශ-ජර්මන් යුද්ධය, 1898 ස්පාඤ්ඤ-අමෙරිකා යුද්ධය සහ 1955-75දී වියට්නාම් යුද්ධය ඊට නිදසුනක් ලෙස ඔවුන් පෙන්වනවා. ව්‍යාපාරිකයන්, විද්‍යාඥයන්, නළු නිළියන් සහ දේශපාලනඥයන් බොහෝදෙනෙකුගේ පෞද්ගලික තොරතුරු පුවත්පත්වල පළ වන විට ඔවුන්ව අපහසුතාවකට පත් වෙනවා. එක්සත් ජනපදයෙහි 1970 ගණන්වල මැදභාගයේ සිටි ජනාධිපති රිචඩ් එම්. නික්සන්ගේ වැරදි පුවත්පත්වලින් හෙළි වූ නිසා ඔහුට සිය තනතුරෙන් ඉවත් වීමට සිදු වුණා. මේ අනුව බලන කල පුවත්පත්වලට යහපතක් හෝ අයහපතක් සිදු කිරීමට තරම් විශාල බලයක් තිබෙනවා.

පුවත්පත්වලට මෙවැනි බලයක් ලැබුණේ කොහොමද? අප පුවත්පත්වලින් කියවන දේ කොතරම් විශ්වසනීයද? එයින් නිසි ප්‍රයෝජන ගැනීමට නම් අප සැලකිලිමත් විය යුත්තේ කුමන කාරණ ගැනද?

[21වන පිටුවේ පින්තූරය]

බර්ලින්හි පළමුවෙනි ලෝක මහා යුද්ධයෙන් පසු මුද්‍රිත මාධ්‍යයේ යුද්ධය