Skip to content

පටුනට යන්න

මගේ ජීවිතය වෙනස් කළ යුද්ධයක්

මගේ ජීවිතය වෙනස් කළ යුද්ධයක්

මගේ ජීවිතය වෙනස් කළ යුද්ධයක්

පැවසුවේ මයිකල් මොලීනා

‘වියට්නාම් ජනරජය විසින් නාවුක හමුදාවේ සිටි මොලීනාට ඔහුගේ එඩිතරකම සඳහා විශේෂ සම්මානයක් පිරිනැමුවා. පසුව දරුණු සටනකදී ඔහු අභීතව අධිෂ්ඨානය අත් නොහැර දිගටම සටන් වැදුණු නිසා දෙවන වරටත් රන් පදක්කමක් දිනාගත්තා. එපමණක් නොව 1968 ජූනි 6වෙනිදා තෙවන වරටත් ඔහුට තවත් රන් පදක්කමක් පිරිනමනු ලැබුවා. ඒ ඔහු වියට්නාම් ගරිල්ලා භටයන්ගෙන් කඳවුරක් බේරාගත් නිසයි’ කියා අමෙරිකාවේ මෙරිලන්ඩ්හි “ටෙස්ටර්” නම් හමුදා පුවත්පතේ පළ වුණා.

ඔක්කොම ගණන් බැලුවොත් මම ගුවන් ප්‍රහාර 284කට සහභාගි වෙලා පදක්කම් 29ක් අරගෙන තියෙනවා. ඒත් දැන් මම ක්‍රිස්තියානි දේවසේවකයෙකු විදිහට වෙනස් යුද්ධයකටයි හවුල් වෙලා ඉන්නේ. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “අප කරන යුද්ධයේ ආයුධ මාංසික ඒවා නොවෙයි.” (2 කොරින්ති 10:4) මගේ ජීවිතයේ එතරම් ලොකු වෙනසක් සිද්ධ වුණේ කොහොමද කියලා මම දැන් කියන්නම්.

චිකාගෝ නගරය තියෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු ඉලිනොයිවලයි. එහෙට මිචිගන් විල හරහා නිතරම තද හුළං හැමුවා. මම ඉපදුණේ 1947 පෙබරවාරි 1වෙනිදායි. එදා සීතලෙන් වෙවුලන්න තරම් තද හුළං හැමුව දවසක්ලු. ඊට ටික කලකට කලින් මගේ තාත්තා IIවෙනි ලෝක මහා යුද්ධයට හවුල් වෙලා තිබුණ නිසා මගේ අම්මාට මාව හම්බ වෙද්දී හමුදා වෛද්‍යවරුන් දෙන්නෙක්ම ඈ ළඟ ඉඳලා තියෙනවා. මට වයස අවුරුදු දහය වෙද්දී අම්මායි තාත්තායි අපිවත් අරගෙන කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස්වලට ගියා. එහෙදී අයියයි, අක්කායි, මායි කතෝලික පාසැලකට ගියා.

අපි හැමදාම පාපන්දු සහ බේස්බෝල් ක්‍රීඩාව කළා. ලීවලින් සෙල්ලම් තුවක්කු හදාගෙන හමුදා භටයන් වගේ සෙල්ලම් කළා. මම ටිකක් ලොකු වුණාම, ඒ කියන්නේ 1960 ගණන්වලදී රට පුරාම විප්ලවවාදී අදහස් මතු වෙන්න පටන්ගත්තා. අපිට නිතරම අහන්න දකින්න ලැබුණේ උසස් නිලධාරීන්ව හා දේශපාලනික නායකයන්ව ඝාතනය කිරීම වැනි සිද්ධීන්. එක්සත් ජනපදයේ ජනාධිපතිව 1963දී මරා දැමුවා. විරෝධතා රැළි, අමෙරිකානු කොඩිය පිලිස්සීම සහ ප්‍රචණ්ඩත්වයෙන් පිරි පෙළපාළි වගේ දේවලුත් ඊට ඇතුළත් වුණා. පාසැලේදී මගේ පංතියේ මිතුරන්ගෙන් වැඩිදෙනෙකුත් මමත් බයෙන් හිටියේ අපිව බලෙන් හමුදාවට බන්දගනියි කියලයි.

වර්ෂ 1966දී පාසැල් අධ්‍යාපනය ඉවර කරලා ටික කාලෙකට පස්සේ හමුදාවට බන්දගැනීමට කැඳෙව්වා. වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වුණායින් පසුව මම බැඳුණේ නාවුක හමුදාවටයි. හෙලිකොප්ටර්වලට මං හුඟක් ආස කළ හින්දා ප්‍රහාර එල්ල කරන අලුත් ගුවන් යානා සමූහයට බැඳෙන්න කැමති වුණා. මූලික පුහුණුවෙන් පසුව 1967 නොවැම්බර්වලදී වියට්නාමයේ අගනුවර වී තිබුණ සයිගොන්වලට ගියා.

යුධ වැදීමේ මුල් අද්දැකීම්

හිවී වර්ගයේ හෙලිකොප්ටර් යානා හතරක් තිබුණ කුඩා ගුවන් තොටුපළකට මාව යැව්වා. එහෙට ගිය අපේ කණ්ඩායමේ 30දෙනාගෙන් සමහරු නැවතුණේ ගුවන් තොටුපළේමයි. අනිත් අය ඊට සැතපුම් දහයකට එහායින් තිබුණ තට්ටු දෙකේ ගොඩනැඟිල්ලේ නැවතුණා. එදාම රෑ අපේ ගොඩනැඟිල්ලට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මම ගැස්සිලා ඇහැරුණා. බූරු ඇඳෙන් බිමට බැහැලා ටික වෙලාවක් බිම දිගා වුණා. වෙඩි හඬ මැද්දේ තරප්පු පෙළ දිගේ නැඟලා වහලෙට ගොඩ වුණා. ඒත් එක්කම කවුද මට රයිෆලයක් දුන්නා. මුළු රෑ පුරාම යට ඇඳුම් විතරක් ඇඳගෙන සපත්තුත් නැතුව අපි සටන් වැදුණා.

දවස් තුනක් තිස්සේ දරුණු සටනක යෙදුණා. අපි කොටු වෙලයි හිටියේ. අපේ කෑම බීමත්, පතොරමුත් ඉවර වුණා. “ඉර එළිය වැටෙන කොටම ගුවන් තොටුපළට දුවන්න” කියලා අපේ ලොක්කා අපිට අණ කළා. දුවන්න තිබුණේ ගින්නෙන් ඇවිළෙන කුඩා නගරයක් හරහායි. අපි දුවද්දී ඇහුණේ වෙඩි සද්දේ විතරයි. හැම තැනම මිනිස්සු මැරී වැටිලා හිටියා.

යන්තම් පණ බේරගෙන ගුවන් තොටුපළට සේන්දු වුණා. එතනත් තත්වය දරුණුව තිබුණා. ඒ නිසා ගුවන් තොටුපළ මායිම දිගේ කානු කපලා ඒවට බැහැලා ගුවන් තොටුපළ ආරක්ෂා කරගන්න වෑයම් කළා. ඒත් කීප වතාවක්ම ගරිල්ලා භටයන් මායිමෙන් ඇතුළට ඇවිත් අපේ ලොක්කාවයි තවත් හුඟදෙනෙකුවයි මරා දැමුවා. මම සති ගණනාවක් කානුවටම වෙලා හිටියේ එකම ඇඳුමින්. ඇඟපතවත් හෝදගන්න විදිහක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපිව බේරගෙන හෙලිකොප්ටරයකින් වෙන කඳවුරකට අරගෙන ගියා.

එම මුල් සටන්වලින් පස්සේ හෙලිකොප්ටරයේ දොරටුවෙන් වෙඩි තියන්න කැමැත්තක් තිබුණ නිසා දවස් කීපයක පුහුණුවක් ලැබුවා. ඊට පස්සේ ගුවන් ප්‍රහාරක කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න පුළුවන් වුණා. දිනපතාම ගුවන් ප්‍රහාර සටන් තිබුණා. සමහර දවස්වලදී මම ප්‍රහාර මෙහෙයුම් තුනකට නැත්නම් හතරකට සහභාගි වුණා.

යුද්ධයේ ප්‍රතිඵල

බුරුතු පිටින් මිනිස්සු මරා දානවා දැක්කහම මට ලොකු දුකක් දැනුණා. අමෙරිකාවේ අය යුද්දෙට විරුද්ධව කතා කරනවා. ඒත් අපි මිනිසුන්ව මැරුවේ නිදහස වෙනුවෙන් නේද? අනුන්ව හොඳින් ජීවත් කරවන්න නෙවෙයිද අපේ ජීවිත පරදුවට තැබුවේ? යුද්ධයෙන් කාටද යුක්තිය ඉටු වෙන්නේ? කියලා මම හිතුවා. වියට්නාම් ජනතාවට එයින් වාසියක් ලැබුණේ නැහැ. අපි යන්නත් කලින් ඔවුන් අවුරුදු ගණනාවක් යුද්දෙට මැදි වෙලා හිටියා. දැන් වෙනසකට තියෙන්නේ මැරෙන ගානයි වේදනා විඳින ගානයි වැඩි වෙලා තියෙන එක විතරයි.

යුද්දෙ මුවාවෙන් තියෙන දේශපාලනය ගැන අවබෝධයකුත්, ඒ ගැන හිතන්න වෙලාවකුත් මට ඒ කාලේදී තිබුණේ නැහැ. මගේ මනසේ තිබුණේ ගුවන් යානා මෙහෙයුම් ගැන විතරයි. මාව පුහුණු කරද්දී නිතරම අහන්න ලැබුණේ “පුහුණු කරන්නේ සටන් කරන්න මිසක ප්‍රශ්න ගැන හිතන්න නෙවෙයි” කියලයි. ඒත්, බේරුණොත් අපි යුද්ධ කරන්නේ ඇයි කියලා හොඳට හොයලා බලනවා කියලා මම හිතාගත්තා.

වියට්නාමයේ සටන් වදින කාලේදී මත් ද්‍රව්‍ය ගන්නත් පුරුදු වුණා. කොලුගැටයා කාලේ ඉඳලාම දුම් පානය කරන්නත්, විනෝද වෙද්දී නැත්නම් සාදවලදී බීර, විස්කි වගේ සැර බීම බොන්නත් පුරුදු වෙලා හිටියා. ඒත් කවදාවත් මත් ද්‍රව්‍ය ගත්තේ නැහැ. මගේ යාළුවෝ මට මෙහෙම කිව්වා. “මයික් මේ, අපි අද හෙට මැරෙන මිතිස්සුනේ. ඉතින් ටිකක් ගත්තට මොකද වෙන්නේ?” ඒ නිසා ඉඳලා හිටලා මමත් ඔවුන්ට හවුල් වුණා.

ඒත් සටන් වදිනකොට හොඳ සිහියෙන් ඉන්න ඕනෙ. මත් ද්‍රව්‍ය ගැනීම භයානකයි. ඒ නිසා මෙහෙයුමකට යද්දී ඒවා ගත්තේ නැහැ. කොහොමවුණත් ආපහු ගෙදර යද්දී ඒ පෙලඹීම තිබුණ නිසා හිතේ හැටියට මත් ද්‍රව්‍ය ගත්තා.

යුද්දෙන් පසු යළි මව්බිමේ

යළි කැලිෆෝනියාවට ආවේ 1970 ඔක්තෝබර්වලදීයි. ඒ වෙද්දී ජීවිතය ගැන කලින් දැරුව අදහස් හොඳටම වෙනස් වෙලා තිබුණා. මම හමුදාවට බැඳුණේ නිදහස වෙනුවෙන් සටන් කරන්නයි. ඒත් මගෙන් අයුතු ප්‍රයෝජන ගත්තයි කියලා හිතුණ නිසා මට කෝපයක් සහ වෛරයක් ඇති වුණා. සමාජයෙනුත් මාව කොන් වුණා. මගේ දේශානුරාගී හැඟීම් පවා නැති වෙලා ගියා.

ගෙදර ගරාජයේ මගේ මෝටර්සයිකලය හදන ගමන් මම ගංජාත්, වෙන මත් ද්‍රව්‍ය ජාතිත් ගත්තා. වියට්නාම්වලදී මට සිද්ධ වුණ දේ ගැන හිතනකොට මාව අන්ත කලකිරීමකට පත් වුණා. මගේ හිත වද දෙන්න පටන්ගත්තා. වියට්නාම් යුද්ධයට හේතුව සොයන්න තිබුණ මගේ ආශාව වැඩි වුණා.

මං වගේ යුධ භටයන්ට රජයෙන් වැඩි දුර අධ්‍යාපනය සඳහා පහසුකම් ලබා දුන්න නිසා රජයේ විද්‍යාලයකටත්, ඊට පස්සේ ලොස් ඇන්ජලිස්වල කැලිෆෝනියා රජයේ විශ්ව විද්‍යාලයටත් ඇතුල් වුණා. එහෙදී මං ආශ්‍රය කෙරුවේ වියට්නාම් යුද්දෙට එරෙහිව විරෝධතා රැළිවලට වගේම යුද්දෙට හවුල් වුණ අය එක්කයි. යුද්දේ හා ලෝක තත්වේ ගැන අපි දීර්ඝ සාකච්ඡාවල් පැවැත්තුවට සෑහීමට පත් වෙන පිළිතුරු ලැබුණේ නැහැ. ඉතුරු වුණේ පිළිතුරු නැති ප්‍රශ්න ටිකක් විතරයි.

උපකාර දීමේ හා ලැබීමේ වෑයම

අපෙන් හුඟදෙනෙකුට මානසික ගැටලු ඇති වෙලා තිබුණා. කොයි විදිහකින් හරි උපකාර කරන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසා විද්‍යාලෙදී විශේෂයෙන්ම මනෝවිද්‍යාව හැදෑරුවා. යුද්දෙදී මම හුඟදෙනෙක්ව මරා දැම්ම නිසා වන්දි ගෙවීමක් කරන්න ඕන කියලා මම හිතුවා. මානසික රෝගීන්ව සුව කිරීමේ අදහසින් මම රෝහල්වල සේවය කරන්න පටන්ගත්තා.

විශ්ව විද්‍යාලේදී පහසුවෙන්ම මත් ද්‍රව්‍ය ගන්න පුළුවන් වුණත් මට තේරුණා ප්‍රශ්න රැසකට මුල ඒවා බව. මම ඒවා ගන්න එක නැවැත්තුවා. මට වුවමනා වුණේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන්නයි. මගේ කාලය සහ ශක්තිය පාඩම්වලටයි සේවයටයි කැප කළත් මනෝ වෛද්‍යවරයෙකු හැටියට මට රෝගීන්ට සම්පූර්ණ සුවයක් ලබා දෙන්න බැරි බව වැටහුණා.

මම හොඳටම කලකිරිලයි හිටියේ. මගේ හිතත් මට වද දෙන්න පටන්ගත්තා. මේ තත්වෙන් මිදෙන්න ක්‍රමයක් හෙව්වා. යාච්ඤා කරන්නත්, පල්ලි යන්නත් පටන්ගත්තා. කතෝලික පල්ලියේ දේව මෙහෙයෙන් වටිනා උපදෙසක් ලැබුණේ නැහැ. ඒ නිසා රෑ වෙලා පල්ලි යන්න පටන්ගත්තා. ඇතුලට ගිහින් ඉටිපන්දමක් පත්තු කරලා කුරුසෙක එල්ලිලා හිටිය යේසුස්ගෙත්, මරිය තුමීගේ සහ සාන්තුවරුන්ගෙත් රූප ඉදිරියේ යාච්ඤා කළා.

මොන තරම් අඳුරු, එපා වෙන තැනක්ද පල්ලිය. ඇත්තටම දෙවි මෙතනද ඉන්නේ කියලා මම හිතුවා. මට පිළිතුරු සහ දිරිගැන්වීමක් අවශ්‍ය වුණා. මිනිස්සු දුක් විඳින හැටි ඇති තරම් දැකලා තියෙනවා. ඉතින් එක රැයකදී මම පල්ලි නොයා උද්‍යානයකට ගිහින් යාච්ඤා කළා. අහසේ තරු දකින විට මං මුල් වතාවට මගේ මැවුම්කරුව සොයාගෙන ඔහු එක්ක කතා කරන්න උත්සාහ කළා.

බයිබල් සත්‍ය ඉගෙනගනිමින්

රෝහලේ වැඩ වෙහෙසකරයි. ඒ නිසා මගේ පරණ යාළුවෙක් එක්ක සති අන්තයක් ගත කරන්න මම ගියා. එයාගේ නම ගැරී. ජනාධිපති නික්සන්ට විරුද්ධව තියෙන චෝදනාවක් ගැන රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් දැක්කහම හැම අතින්ම සිද්ධ වෙන දූෂණයන් ගැන අපි කතා කළා. ඇත්තෙන්ම මම වියට්නාම් යුද්දෙ ගැන මුළා වෙලා හිටියේ කියලා මම කිව්වා.

කුස්සියේ හිටිය මගේ යාළුවාගේ බිරිඳට අපේ සාකච්ඡාව ඇහිලා. ඇගේ නම ඇල්වා. ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ බයිබල් අනාවැකි ඉටු වෙන හින්දයි කියලා ඈ ඇවිත් කිව්වා. “ජනාධිපති තුමාගේ ගැටලු කොහොමද බයිබලේ අනාවැකිවලට සම්බන්ධ වෙන්නේ” කියලා මම ඇගෙන් ඇහැව්වා. ළඟදීම දෙවිගේ රාජ්‍යයේ පාලකයා වන යේසුස් ක්‍රිස්තුස් දූෂිත ආණ්ඩු සියල්ලම නැති කරලා දානවා. ඊට පස්සේ මේ පොළොව පාරාදීසයක් වෙලා මිනිස්සු සදාකාලෙටම සාමෙන් ජීවත් වෙනවා කියලා ඈ පැහැදිලි කළා. (දානියෙල් 2:44; එළිදරව් 21:3, 4) ඇල්වා ස්වාමීන්ගේ යාච්ඤාව ගැන මතක් කළා. අපි දේවරාජ්‍ය පැමිණේවා කියලත්, දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද සිදු වේවා කියලාත් ඒ යාච්ඤාවේදී කියනවා.—මතෙව් 6:9, 10.

මුළු ලෝකෙටම සාමය උදා කළ හැකි ආණ්ඩුවක් එන්න නම් දෙවිගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි කියලා මට තේරුණා. (දේශනාකාරයා 8:9; යෙරෙමියා 10:23) නොමැරී ජීවත් වෙන්න පුළුවන්කම අපේ ශරීර සැකැස්මේ තියෙන බවත්, අපේ සෛල හැදිලා තියෙන පරමාණු කෙටි කාලෙන් කාලෙට අලුත්වැඩියා වෙන බවත් මම ඉගෙනගෙන තිබුණ අතර මට ඕන වුණේ මම කරපු ජීවිත හානිවලට වන්දි ගෙවන්නයි, අනිත් අයව වේදනාවෙන් මුදවන්නයි. ඒ නිසා ඇල්වා කිව්ව සමහර දේවල් විශ්වාස කරන්න අමාරු වුණත් මට කුතුහලයක් ඇති වුණා. රාජ්‍යශාලාවට ගියොත් නම් තව හුඟක් ඉගෙනගන්න පුළුවන් කියලා ඇල්වා කිව්වා.

බිල් අකිනා පූර්ණ කාලීන දේවසේවකයෙක්. දෙවන ලෝක මහා යුද්ධයේදී ඔහු නාවුක හමුදාවේ සේවය කරලා තිබුණ නිසා ඔහු මාව හොඳින් තේරුම්ගත්තා. බයිබලය ගැන හොඳ දැනුමක් තිබුණ ඔහුත් ඔහුගේ බිරිඳත් මගේ ප්‍රශ්න හුඟකට බයිබලෙන්ම පිළිතුරු දුන්නා. බිල් එක්ක දිගටම බයිබල් පාඩම කරගෙන යද්දී මට තේරුණා හොඳ අදහසින් මම රෝගීන්ට උපකාර කරන්න වෑයම් කළත් ඔවුන්ට දෙන්න පුළුවන් තාවකාලික සහනයක් විතරයි කියලා. අනික් අතට බයිබලේ ගැන නිවැරදි දැනුමක් ලබාගන්න මිනිසුන්ට උපකාර කළොත් ඔවුන්ට සදාකාල ජීවනය ලැබෙයි. හැබැයි ඔවුන් මේ දැනුමට එකඟව ඇදහිල්ලෙන් ජීවත් වුණොත් විතරයි.—යොහන් 17:3.

බිල් මාත් එක්ක බයිබල් පාඩම කළේ සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය පොතෙනුයි. මම දෙවිට කැප වෙලා බව්තීස්ම වුණේ 1974 ජූලිවලදීයි. මාස හයකට පස්සේ මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයෙක් වෙලා පුරෝගාමි සේවය ආරම්භ කළා. මේ අතරතුර මම මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනේ නතර කරලා රෝහලේ සේවයෙනුත් අස් වුණා. දේවසේවේ යෙදෙන්න සල්ලි ටිකක් හොයාගන්න ඕන නිසා රාත්‍රි කාලෙදී බැංකු පිරිසිදු කරන්නෙක් හැටියට වැඩ කළා. (1 තෙසලෝනික 4:11) මගේ යාළුවොත් පවුලේ අයත් හිතුවේ මට පිස්සු හැදිලා කියලයි.

අවුරුද්දක් විතර කැලිෆෝනියාවේ පුරෝගාමි සේවය කළාට පස්සේ යෙහෝවාට කරන සේවය වැඩියෙන් කරන්න පුළුවන්ද කියලා කල්පනා කරලා, විදේශ රටක මිෂනාරි සේවේ යෙදෙන්න මම තීරණය කළා. අවුරුදු කීපයක් පුරෝගාමියෙකු හැටියට සේවය කළාට පස්සේ ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ඒක පැවැත්තුවේ නිව් යෝක් බෘක්ලින්වලයි. නිව් යෝක්හි ලෝං දූපත් නගරයේ 1979 මාර්තු 11වෙනිදා ඒ පාසැලේ 66වෙනි පංතියෙන් සමත් වුණා.

විවිධ පැවරුම්

මට අමෙරිකාවේ ග්වාටමාලාවල පැවරුමක් ලැබුණා. එහෙ මම මිෂනාරිවරයෙකු හැටියට අවුරුද්දක් විතර සේවය කළා. ඊට පස්සේ ග්වාටමාලාවල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලේ කුඩා මුද්‍රණාලයේ සේවයට මට ආරාධනාවක් ලැබුණා. ග්වාටමාලාවල පුරෝගාමි සේවය කර කර හිටිය ලූපිටාව 1981දී මම විවාහ කරගත්තා. මාත් එක්ක ශාඛා කාර්යාලයේම සේවය කරන්න ඇයට ප්‍රස්තාව ලැබුණා. ඒත් 1996දී අපේ ප්‍රකාශන සියල්ලම මෙක්සිකෝ ශාඛාවෙන් ලැබෙන්න පටන්ගත්ත නිසා ග්වාටමාලාවල සිදු කළ මුද්‍රණ කටයුතු නවතා දැමුවා.

වර්ෂ 1984දී අපිට දුවෙක් ලැබුණත් ශාඛා කාර්යාලේ දිගටම සේවය කෙරුවා. ආපහු 1987දී පුතෙක් ලැබුණා. පුතාගේ නම මිචෙල්, දුවගේ නම ස්ටෙෆනි. ශාඛා කාර්යාලෙන් පිට ගෙයක ජීවත් වෙන එකත්, හැමදාම කිලෝමීටර් දහයක දුරක් එහෙට යන්න වුණ එකත් ලේසි වුණේ නැහැ. ඒත් එතන සේවය කිරීමට ලැබීම වරප්‍රසාදයක්. මගේ පවුලේ අයත් මට හුඟක් උපකාර කළා.

ලූපිටයි, ස්ටෙෆනියි දැන් පුරෝගාමින්. මිචෙල් බව්තීස්ම වෙලා ඉන්නවා. එයා මේ වසරේදී වෘත්තීය පුහුණු පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ පූර්ණ කාලීන දේවසේවකයෙක් වෙන්න ඉලක්ක කරගෙන ඉන්නවා. අපිට මේ විශේෂ වරප්‍රසාද ලැබෙන්න හේතුව අපේ හැකියාවන් නෙවෙයි යෙහෝවාගේ මහත් කරුණාවයි. ඔහු ප්‍රේමණීය දෙවි කෙනෙක්. ඔහුගේ මඟ පෙන්වීම් සොයන, කැමැත්තෙන් ඉදිරිපත් වන ස්වභාවයක් ඇති ඕනෑම කෙනෙකුව ඔහු සේවයේ යොදවනවා.

පවුලක් වශයෙන් සේවයට සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්න ගමන් ජීවිකාව ගෙනියන්නේ කොහොමද කියලා සමහරු අපෙන් අහනවා. අපේ නිවාඩු කාලයේදී අපි රැකියාවල් කරනවා. ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම් වගේ දේවල් ගැන ‘සරලව’ හිතන්නත්, යෙහෝවාගෙන් උපකාර පතන්නත්, ඔහු කෙරෙහි විශ්වාසය තබා නිරතුරුවම ඔහුගේ මඟ පෙන්වීම සොයන්නත් අපි නිතරම උත්සාහ කරනවා.—මතෙව් 6:25-34; හිතෝපදේශ 3:5.

තුවක්කුවක් අතේ තියෙද්දී මට බලය තියෙනවා කියන හැඟීම ඇති වුණා. ඒ අද්දැකීම මට තියෙන නිසා මමත් නිතරම නිහතමානිකම වර්ධනය කරගන්න ඕන. සාතන්ට යටත් සමාජ ක්‍රමයෙන් මට ඉගැන්නුවේ වෛර කරන්න, මරා දාන්න, සැකයෙන් බලන්න, කලහකාරීව සහ ඇඟ බේරගෙන ඉන්නයි. ඒත් යෙහෝවා මට දයාවයි, ප්‍රේමණීය කරුණාවයි පෙන්වලා තියෙන එක ගැන ඇත්තෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. ආපහු කවදාවත් යුද්ධ නොකරන්නත්, හැමෝටම කරුණාව දයාව පාන්නත් දැන් මම අදිටන් කරගෙන ඉන්නවා.—මතෙව් 5:43-45; යෙසායා 2:4.

මට මගේ ජීවිතේ වෙනස් කරන්න ලේසි වුණේ නැහැ. කොහොමවුණත් දැන් මම සාමකාමී ජීවිතයක් ගත කරන්න ඉගෙනගෙනයි ඉන්නේ. යුද්දෙට ගිය නිසා ඇති වෙන තිගැස්සීම්වලට මුහුණ දෙන්නත් දෙවිගේ උපකාරයෙන් මට පුළුවන් වෙලා තියෙනවා. යුද්ධ සහ ගැටුම් නැති කාලය එනකම් මම ආසාවෙන් බලාගෙන ඉන්නේ. (ගීතාවලිය 46:9) ඒ කාලේ එනකම් අපේ ශ්‍රේෂ්ඨ ජීවිතදායකයා වූ යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න මිනිසුන්ට උපකාර කරමින් ජීවිත ගලවන සේවයේ යෙදෙන්න ලැබිලා තියෙන ප්‍රස්තාවට මම තුති පුදනවා.

[17වන පිටුවේ පින්තූරය]

මම හෙලිකොප්ටරයේ දොරෙන් වෙඩි තබද්දී

[19වන පිටුවේ පින්තූරය]

බිල් අකිනා සහ ඔහුගේ බිරිඳ එලොයිස් එක්ක 1978දී

[20වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1982දී ග්වාටමාලා ශාඛාවේ මුද්‍රණ අංශයේ වැඩ කරමින්

[20වන පිටුවේ පින්තූරය]

දේශනා සේවයේදී මගේ බිරිඳ එක්ක

[20වන පිටුවේ පින්තූරය]

දැන් ලූපිටා, මිචෙල් සහ ස්ටෙෆනි එක්ක