Skip to content

පටුනට යන්න

ආහාර නැතුව ගියොත්?

ආහාර නැතුව ගියොත්?

ආහාර නැතුව ගියොත්?

ලෝකයේ සමහර රටවල නාගරික වැසියන් කල්පනා කරන්නේ හිතේ හැටියට වෙළඳ පොළෙන් ආහාර මිල දී ගන්න පුළුවන් වෙයි කියලා. වෙළඳ පොළේ ආහාර බහුලව තියෙන විට ඒවා වෙළඳ පොළට පැමිණෙන්නේ හා සපයන්නේ කොහෙන්ද කියා ඔවුන් තැකීමක් කරන්නේ නැහැ. ඒත් මිනිසුන් තමන්ගේ කුසට ආහාර ලැබෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ අර්බුදකාරී කාලයක් පැමිණි විටයි. යම් හේතුවක් නිසා ආහාර සැපයුමට තර්ජනයක් සිදු වුවහොත් එයින් ඇති වන ප්‍රතිඵල විනාශකාරී විය හැකියි.

ආර්ථික ගැටලු තිබූ උතුරු අප්‍රිකානු රටක සිදු වූ දේ සලකා බලන්න. එම රටේ රජයෙන් නිෂ්පාදකයන්ට ලබා දුන් සහනාධාර කපාහැරීම නිසා එක රැයකින් පාන් ගෙඩියක මිල දෙගුණයකින් ඉහළ ගියා. මෙයට විරෝධය පෑ මහජනයා නගරයේ කඩ සාප්පු කුඩු කරමින්, බැංකු හා තැපැල් කාර්යාලවලට පහර දෙමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා. රට පුරා පැතිර ගිය කලබලකාරී තත්වය නිසා රජයෙන් හදිසි නීතිය ක්‍රියාත්මක කළා. ඇති වූ කෝලාහලය මැඩලීමට හමුදාව සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයන් 120දෙනෙකුවත් මිය යන්න ඇති අතර හුඟදෙනෙකුට තුවාල සිදු වුණා.

ස්ථාවර ආර්ථිකයක් තිබෙන රටවල පවා ආහාර සැපයීමේදී ගැටලුවලට මුහුණ පෑ හැකියි. එය සනාථ කරන්නේ 2000 සැප්තැම්බර් මස බ්‍රිතාන්‍යයේ සිදු වූ දෙයින්. ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට විරුද්ධත්වය පළ කළ අය ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන අවහිර කළා. දින කිහිපයක් ඇතුළත ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැතුව ගියා. කාර් හා ට්‍රක් රථ ධාවනයට ඉන්ධන නොමැති වූ නිසා ආහාර බෙදාහැරීමේ සේවාවන් මුළුමනින්ම අඩාළ වුණා. රට පුරාම කඩ සාප්පු සහ සුපිරි වෙළඳ සැල්වලට “කලට වේලාවට” බඩු නොලැබුණු නිසා රාක්ක හිස් වුණා.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර බෙදාහැරීමට බාධා කරන විවිධ හේතු තිබෙනවා. නියඟ, ආර්ථික අර්බුද, සිවිල් ගැටුම් හා යුද්ධ හේතුවෙන් “සිදු වෙන අකාර්යක්ෂමතා නිසා නිතර සේවා අඩාළ වෙනවා. මෙවැනි දේ කොහේ සිදු වුණත් එයින් පීඩා විඳින්නේ දුප්පත් අයයි.” එසේ සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ප්‍රකාශයට පත් කළ පොතකයි.—පොතේ නම Feeding the Cities.

විශ්ලේෂකයන් පවසන්නේ ශීඝ්‍ර ලෙස සිදු වෙන නාගරීකරණය ආහාර සැපයුමට හා බෙදාහැරීමට “විශාල තර්ජනයක්” වෙයි කියායි. වර්ෂ 2007 වන විට ලෝක ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් නගරවල වෙසෙයි කියා ගණන් බලා තිබෙනවා. එම සංවිධානයට අනුව “නාගරික වැසියන්ට පරිභෝජනය සඳහා සුදුසු හා ප්‍රමාණවත් ආහාර සැපයුමත්, බෙදාහැරීමත් ඇනහිටින දවසක් ඒවි.”

පාරිභෝගිකයන්ට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට නම් වෙළඳ සැල්වලට ආහාර ද්‍රව්‍ය සැපයිය යුතුයි. එය ඇත්තෙන්ම සැලකිය යුතු කාරණයක්. ආහාර සැපයීමේ ක්‍රම කොතරම් ස්ථිරද? සැපයීමට ප්‍රමාණවත් ආහාර නොමැතිවීම ගැන විශේෂඥයන් කනස්සල්ලට පත් වන්නේ මන්ද? තමන්ගේ ආහාර වේල සොයාගන්නේ කොහොමද කියා ළතවීමට සිදු නොවන කාලයක් කවදා හරි ඒවිද?

[3වන පිටුවේ පින්තූරය]

ආහාර හිඟ කාලයක කොල්ල කන අවස්ථාවක්

[හිමිකම් විස්තර]

BETAH/SIPA