දෙවි සමහර ජාතීන්ට විශේෂ අනුග්‍රහයක් දක්වනවාද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
දෙවි සමහර ජාතීන්ට විශේෂ අනුග්‍රහයක් දක්වනවාද?
බොහෝදෙනෙකුට හැඟෙන්නේ තමන්ගේ ජාතියට දෙවි විශේෂ අනුග්‍රහයක් දක්වන බවයි. ඊට සාක්ෂි හැටියට ඔවුන් පෙන්වන්නේ තමන්ගේ ජාතියට ලබා දුන් යුධ ජයග්‍රහණයන් හෝ ආර්ථික සමෘද්ධියයි. ඒ වගේම කුසගින්නේ පෙළෙන අයව පෝෂණය කිරීමට, දිලිඳු අයව රැකගැනීමට, ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට හා සාධාරණව සැලකීමට ක්‍රියාත්මක කළ සැලසුම් සාර්ථක වන විට දෙවිගේ අනුමැතිය තමන්ටයි තිබෙන්නේ කියා එම ජාතීන් කියා සිටිනවා. දෙවි තම ජාතියට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ එහි තිබෙන ස්වාභාවික සුන්දරත්වය නිසායයි තවත් සමහරෙකු කියා සිටිනවා.
ජාති අභිමානය හැම රටකම දකින්න තිබෙන දෙයක්. නමුත් දෙවි එක් ජාතියකට විශේෂ අනුග්‍රහයක් දක්වනවාය යන අදහසට බයිබලය අනුබල දෙනවාද?
දෙවිගේ සුවිශේෂ ගුණාංගයක්
මීට පිළිතුරු ලබාගැනීමට නම් සියලු බලැති දෙවිගේ සුවිශේෂ ගුණාංගයක් ගැන අප අවබෝධයක් ලබාගත යුතුයි. එය බයිබලයේ මනාව විස්තර කර තිබෙනවා. දෙවි අපක්ෂපාතියි කියා එහි සඳහන් වෙනවා. ක්‍රියා 10:34හි පවසන්නේ “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන” බවයි. යෙහෝවා දෙවිට “අයුතුකමක්වත් මනුෂ්‍යයාගේ තරාතිරම් බැලීමක්වත් නැත” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 10:17; 2 ලේකම් 19:7) දෙවි තරාතිරම් බැලීම හෝ අනිසි අනුග්‍රහය දැක්වීම ද්වේෂ කරනවා. ඔහු එය සලකන්නේ අයුතුකමක් ලෙසයි.
ඔබ මෙලෙස කල්පනා කිරීමට ඉඩ තිබෙනවා. ‘දෙවි අනෙකුත් ජාතීන්ට වඩා ඊශ්‍රායෙල් ජාතියට විශේෂ අනුග්‍රහයක් දැක්වුවා නේද? එය පක්ෂපාතකම දැක්වීමක් නොවෙයිද?’ ඈත අතීතයේදී දෙවි ඊශ්‍රායෙල් ජාතිය තෝරාගත් අතර වෙනත් ජාතීන් සමඟ ඔවුන් ඇති කරගත් ගැටුම්වලදී ඔවුන්ව ආරක්ෂා කළ බවද සත්‍යයක්. ඊට අමතරව දෙවි සම්බන්ධයෙන් බයිබලයේ මෙසේද පවසා තිබෙනවා. “ඔහු යාකොබ්ට ස්වකීය වචනයද ඊශ්‍රායෙල්ට ස්වකීය පනත් සහ විනිශ්චයන්ද පෙන්වන්නේය. ඔහු කිසි මනුෂ්‍ය ජාතියකට එසේ නොකළේය.” (ගීතාවලිය 147:19, 20) දෙවි ඊශ්‍රායෙල් ජාතිය සමඟ තිබූ සබඳතාව, ඔහු ඔවුන්ට අනිසි අනුග්‍රහයක් දැක්වු බව අදහස් කරනවාද? ඇත්තෙන්ම නැහැ. පහත සඳහන් කාරණා තුන සලකා බලන විට එය තහවුරු වෙයි.
පළමු කාරණය නම් දෙවි ඊශ්‍රායෙල් ජාතිය තෝරාගත්තේ සියලුම ජාතීන්ට ඔවුන්ගෙන් ප්‍රයෝජන ලැබෙන පිණිසයි. දෙවි එම ජාතියේ මුතුන්මිත්තෙකු වූ ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගත් විට පැවසුවේ “ඔබේ වංශය කරණකොටගෙන පොළොවෙහි සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය” යනුවෙන්. (උත්පත්ති 22:17, 18) දෙවි ඊශ්‍රායෙල් ජාතිය තෝරාගත්තේ ඔවුන්ට පමණක් නොව නමුත් ‘පොළොවෙහි සියලු ජාතීන්ට ආශීර්වාද’ ලැබෙන “වංශය” බිහි කිරීම සඳහායි.
දෙවෙනි කාරණය නම්, දෙවිගේ ආශීර්වාද කිසි දින ඊශ්‍රායෙලිතයන්ට පමණක් සීමා නොවීමයි. තමා තෝරාගත් සෙනඟ සමඟ තමාට නමස්කාරය කිරීමට වෙනත් ජාතීන්වල අයටත් දෙවි අවස්ථාව ලබා දුන්නේ අපක්ෂපාතීවයි. (2 ලේකම් 6:32, 33) බොහෝදෙනෙක් එම ආරාධනය පිළිගත් අතර ආශීර්වාදද අද්දැක්කා. මීට නිදසුනක් තමයි මෝවබ් ජාතික රූත් නමැති ස්ත්‍රිය.—රූත් 1:3, 16.
තුන්වෙනි කාරණය නම් ඊශ්‍රායෙල් ජාතිය සමඟ දෙවිට තිබූ විශේෂ සබඳතාව තාවකාලික වීමයි. ක්‍රිස්තු වර්ෂ 29දී පුරෝකථනය කළ “වංශය” වන ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් ඊශ්‍රායෙල් ජාතියෙන් බිහි වුණා. (ගලාති 3:16) නමුත් යේසුස්ගේ රටවැසියන් ඔහුව ගැලවුම්කරු ලෙස පිළිගත්තේ නැහැ. යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ.” (මතෙව් 23:38) ඉන්පසු දෙවි එක් විශේෂ ජාතියකට අවධානය නොදී මුළු මිනිස් පවුලටම ඔහුගේ ආශීර්වාද ලබා දුන්නා. මීට නිදසුන් කිහිපයක් සලකා බලන්න.
හැමෝටම ලබා දුන් ආශීර්වාද
යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව දෙවි මිනිසාට ලබා දුන් ලොකුම ආශීර්වාදයයි. (රෝම 6:23) ඒ මගින් අප සෑම කෙනෙකුටම පාපයෙන් හා මරණයෙන් මිදී සදාකාලයටම ජීවත් වීමට මාර්ගය විවෘත කළා. මෙම ආශීර්වාදය “සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද” අයත් පුද්ගලයන්ට ලබා දුන් දෙයක්. (එළිදරව් 5:9) දෙවිට වුවමනා කරන්නේ යේසුස් කෙරෙහි ‘ඇදහිල්ල පෙන්වන සෑමදෙනාම සදාකාල ජීවනය ලබගන්නවා’ දැකීමයි.—යොහන් 3:16.
දේවරාජ්‍ය පිළිබඳ ශුභාරංචියට සවන් දෙන අයට බොහෝ ආශීර්වාද ලැබෙනවා. (එළිදරව් 14:6, 7) එයින් අනාගතය ගැන බලාපොරොත්තුවක්ද, දැනුදු සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන නැණවත් උපදෙස්ද ලැබෙනවා. යෙහෝවා භේදයකින් තොරව “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලැබීමට” කටයුතු කර තිබෙනවා. (මතෙව් 24:14; 28:19, 20; ක්‍රියා 16:10) එම ශුභාරංචිය බයිබලයේ ලියැවී තිබෙනවා. අද දින බයිබලයෙහි කොටසක් හෝ මුළු බයිබලයම භාෂා 2,300කට වඩා වැඩියෙන් ලබාගත හැකියි. ප්‍රේමණීය පියෙක් ලෙස යෙහෝවා දෙවි “සදාකාල ජීවනයේ වචන” හැමෝටම පාහේ දැනගැනීමට පියවර ගෙන තිබෙනවා.—යොහන් 6:68; යෝෂුවා 1:8.
දෙවිගේ මෙම සියලු ආශීර්වාදයන් ඕනෑම ජාතියකට, වර්ගයකට හෝ ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට ලබාගත හැකියි. දෙවිගේ අනුග්‍රහය සහ ආශීර්වාද ලබාගැනීමට අපගේ උපන් ස්ථානය හෝ ජාතිය වැදගත් නැති බව මෙයින් පැහැදිලියි.
දෙවිගේ අනුග්‍රහය ලැබෙන්නේ කොහොමද?
එහෙමනම් දෙවිගේ අනුග්‍රහය ලැබීමට අපි මොනවද කරන්න ඕනේ? පේතෘස් ඊට මෙසේ පිළිතුරු දෙනවා. “සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.” (ක්‍රියා 10:34, 35) දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කිරීම ප්‍රමාණවත් මදි. අප තුළ දෙවි කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක් හා ඔහුව අසතුටු කිරීමට දැඩි අකමැත්තක් ඇති කරගත යුතුයි. ඒ වගේම අප ‘ධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කළ’ යුතුයි. එනම් යහපත් කියා දෙවි පෙන්වන දේවල් කළ යුතුයි.
එම අදහස මෙසේ නිදර්ශනය කළ හැකියි. බොහෝ රටවල අධ්‍යාපනය ලැබීමට ඕනෑ තරම් පාසැල් තිබෙනවා. නමුත් එයින් ප්‍රයෝජන ලබන්න නම් එම පැසැල්වලට ගොස් වෙහෙස මහන්සි වී ඉගෙනගන්න අවශ්‍යයි. ඒ හා සමානව දෙවිගේ අනුග්‍රහය හැමෝටම ලැබිය හැකියි. නමුත් අප විසින් යම් වෑයමක් දැරිය යුතුයි. එම වෑයමට දිනපතා බයිබලය කියවීම, යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම සහ බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූල ජීවිතයක් ගත කිරීම ඇතුළත් වෙනවා. අප ඇත්තටම ‘යෙහෝවා දෙවිව සොයනවා’ නම් අපට ඔහුගේ අනුමැතිය දිනාගත හැකියි.—ගීතාවලිය 105:3, 4; හිතෝපදේශ 2:2-9.
[26වන පිටුවේ පින්තූරය]
දෙවි “සදාකාල ජීවනයේ වචන” සෑම ජාතියකටම දැනගැනීමට සලස්වා තිබෙනවා